ආයෙමත් ලස්සන අත්අකුරු ඇතිකරගන්න ආසයිද? එහෙමනම් මෙන්න ඒකට ටිප්ස් කීපයක්!
මතකද පුංචි කාලේ අපි අත්අකුරු පුරුදු පුහුණු වෙන්න කොයි වගේ කට්ටක් කෑවද කියලා? ඇත්තටම ඒකට කට්ටක් කියන්නත් බැහැ. මොකද, අපි පුංචි කාලේ ඉඳලා භාෂාව පුරුදු පුහුණු වුණේ ඒ විදියට තමයි. හැබැයි එහෙම පුරුදු පුහුණු වුණු එකේ වටිනාකම තමයි, අපි ගොඩක් දෙනෙක්ට හරිම ලස්සන අත්අකුරු ලැබුණු එක. අපි සමහරු අත්අකුරු තරඟ වලට ගිහිල්ලා තෑගි එහෙමත් දිනලා ඇති! ඒ කාලේ එහෙම තෑගි ලැබුණේ නැතත්, අත්අකුරු ලස්සනම ලස්සනයි කියන්න බැරි වුණත්, පොඩි පංති වල හිටපු අපි හැමෝම ළමයින්ගෙ වගේ අත්අකුරු කැත නෑ.
හැබැයි පස්සේ ඉහළ පංති වලට යනකොට වේගෙන් නෝට්ස් එහෙම ලියාගෙන ලියාගෙන යනකොට අපේ අත්අකුරු කැත වෙන්න පටන් ගත්තා. ඊට පස්සේ රස්සා එහෙම කරන්න පටන් ගත්තට පස්සේ ඔන්න අපි කම්පියුටර් එකෙන් හැමදේම කරන්න පටන් ගත්තා. ඇත්තටම අද වෙනකොට කෙනෙක්ට ඔය බැංකු ස්ලිප් එකක් පුරවනවා වගේ දෙයක් කලාතුරකින් කරන්න වුණොත් ඇරෙන්න, අතින් ලියන්න අවස්ථාවක් හරි වුවමනාවක් හරි ඇතිවෙන්නේ නැති තරම්. ඒකෙන් වෙලා තියෙන්නේ මොනවද? ඒ ගැන දැනගන්න නිකමට අත්අකුරු මොනවා හරි කොළේක ලියලා බලන්න. හිතාගන්න බැරි තරමට අත්අකුරු කැත වෙලා නේද? කමක් නෑ. ගැටළුවක් කරගන්න එපා. අපේ අත්අකුරු ආයෙමත් ලස්සන කරගන්න පුළුවන්. ආන්න ඒකට ටිප්ස් කීපයක් තමයි මේ!
1. මොන අකුරුද ලස්සන කරගන්න ඕන?
අන්න හොඳ ප්‍රශ්නයක්. අපි සමහරුන්ගේ ඉංග්‍රීසි අත්අකුරු ඕකේ. සිංහල අත්අකුරු කැතයි. සමහරුන්ගේ සිංහල අත්අකුරු ලස්සනයි. හැබැයි ඉංග්‍රීසි අත්අකුරු කැතම කැතයි. තව සමහරුන්ගේ සිංහල, ඉංග්‍රීසි දෙකම කැතම කැතයි. ඉතින් පළවෙනියටම කරන්න ඕන දේ තමයි අපි අපේ අත්අකුරු ගැනම තක්සේරුවකට එන එක. ඊට පස්සේ අපිට හිතාගන්න පුළුවන් කොතනින්ද පටන් ගන්නේ කියලා. අවශ්‍ය නම් සිංහල සහ ඉංග්‍රීසි භාෂා දෙකේම අත්අකුරු වලට ඉඩක් දෙන්න පුළුවන්. එහෙම නැතිනම් වැල් අකුරු වලට වැඩි අවධානයක් දෙන්න පුළුවන්. අපි හැමෝම ඉන්නේ කාර්යබහුල ජීවිත වලනේ. ඒ නිසා අත්අකුරු ලස්සන කරගැනීමට අපිට පැය දෙක තුන වැය කරන්න බෑ. අන්න ඒ නිසා තමන්ගේ අවශ්‍යතාවය මුලින් තේරුම් ගැනීම වැදගත්.
2. හොඳ පෑනක්
අත්අකුරු ලස්සන කරගන්න පටන් ගන්න නම් ඒකට අවශ්‍ය හරි ටූල්ස් තියෙන්න ඕන. පළවෙනි ටූල් එක තමයි හොඳ පෑනක්. දැන් අහන්න එපා අයියෝ ඕක මහ දෙයක්ද, ඕනම කාබන් පෑනක් රුපියල් දහයයි, හොඳම එකක් ඕන නම් විස්සක් වෙයි නේද කියලා. අපි යෝජනා කරන්නේ පටන් ගන්න කියලා තීන්ත පෑනකින්. මතකද පුංචි කාලෙත් අපි පැන්සලට පස්සේ පටන් ගත්තේ තීන්ත පෑනෙන්. ආන්න ඒ නිසා, ආයෙමත් අත්අකුරු ලස්සන කරගන්න නම් හොඳ තීන්ත පෑනක් සහ තීන්ත කූඩුවක් ගන්න ඕන. තීන්ත පෑනක් මීට කලින් පාවිච්චි කරලා නැති නම්, පොඩ්ඩක් පෑනට තීන්ත දාන එක, පෑන පිරිසිදු කරන එක එහෙමත් ප්‍රැක්ටිස් කරන එක හොඳයි.
3. අකුරු ලියන පොත් ටිකක්?
මේක වැදගත් වෙන්නේ ලේසියෙන් අත්අකුරින් ලියලා නැති, සමහර වෙලාවට අකුරු මතකවත් නැති තරම් වෙන, අත්අකුරු වලට සීරියස් ටින්කරින් පාරක් දෙන්න අවශ්‍ය කෙනෙක්ට. බය වෙන්න එපා. එහෙම කෙනෙක්ට වුණත් අත්අකුරු ලස්සන කරගන්න පුළුවන්. හැබැයි පටන් ගන්න අපිට අකුරු හරියට ලියන්න, අකුරු හරියට අඳුනාගෙන ඉන්න අභ්‍යාස ටිකක් අවශ්‍ය වෙනවා. ඒකට ඇත්තටම කරන්න පුළුවන් දෙයක් තමයි අත්අකුරු ලියන්න පොඩි ළමයින්ට පුරුදු පුහුණු කරන්න තියෙන පොත් ටිකක් ගන්න එක. ඕන නම් පොඩි ළමයෙක්ට කියලා පොත් කඩේකින් ගන්න පුළුවන්. ඊට පස්සේ ඒ පොත් වල උඩ රූලේ තියෙන අකුරු බලාගෙන යට රූලේ ලියන්න තමයි තියෙන්නේ. අන්න ඒකෙන් අකුරු ඉගෙන ගන්න පුළුවන්.
4. අකුරු සයිස්
සමහරුන්ට තියෙන ප්‍රශ්නයක් තමයි පොල් ගෙඩි අකුරු තියෙන එක. සමහරුන්ට ලස්සන අකුරු තිබ්බට අකුරු පොල් ගෙඩි සයිස්. ඒක එතකොට ප්‍රශ්නයක්. හැබැයි ගොඩක් වෙලාවට වෙන දේ තමයි අකුරු පොල් ගෙඩි සයිස් වෙන තරමට අකුරු කැත වෙන්නත් ප්‍රවණතාවයක් තියෙනවා. අන්න ඒ නිසා අපි පොල් ගෙඩි අකුරු හරි ප්‍රමාණයට අරගන්න ඕන. අන්න ඒකටත් කරන්න පුළුවන් දේ තමයි උඩ කියපු විදියට අකුරු ලියන පොත් අරගෙන, ඒකේ තියෙන රූලේ ප්‍රමාණයට ලියන එක. පටන් ගත්තු ගමන් අමාරුයි තමයි. හැබැයි ටිකෙන් ටික අකුරු වල සයිස් එක අඩු කරලා, රූලේ ප්‍රමාණයට ගන්න පුළුවන්. ඊට පස්සේ ගන්න පුලුවන් ඊලඟ පොත. ඒකේ තව ටිකක් පටු රූල් තියෙනවා. ආන්න එතකොට තවත් කුඩාවට ලස්සන අකුරු ලියන්න පුළුවන් විදියට අත්අකුරු හැදෙනවා.
මේකෙම අනික් පැත්තත් තියෙනවා. කූඹි අකුරු කියන්නේ. ඇහැට පේන්නෙ නැති තරමට ලියන අකුරු. ආන්න ඒවා වුණත් හදාගන්න පුළුවන් උඩ කියපු ක්‍රමේට. ටික ටික අකුරු ලොකු කරලා රූලේ ප්‍රමාණයට ලියන්න ගේන්න පුරුදු පුහුණු වෙන එක.
5. දිනපොතක් ලියමුද?
දැන් ඔහොම ටිකක් අත්අකුරු හැදුණට පස්සේ මේ ස්ටෙප් එකට එන්න පුළුවන්. එහෙම නැතිනම් අකුරු ලියන්න කියන්න අවුලක් නැති නම්, කෙලින්ම මෙතනින් පටන් ගන්නත් පුළුවන්. කරන්න තියෙන්නේ දිනපොතක් කඩෙන් අරගෙන දවස ගාණේ ලියන්න පටන් ගන්න එක. ඔලුවට එන ඕනම දෙයක් ලියන්න තියෙන්නේ. එදිනෙදා කරපු වැඩ, හම්බුණු මිනිස්සු, කාපු බීපු එව්වා, රටේ දේශපාලන තත්ත්වය, තමන්ට හිතෙන එව්වා වගේ ඕනම දෙයක් ලියන්න පටන් ගන්න. හැබැයි මේකට පොඩි කැපවීමක් ඕන. අපි හිතමු දවසකට පැය කාලක් වෙන් කරනවා දිනපොත ලියන්න. අන්න එහෙම දිනපතාම කරගෙන යන්න ඕන. එක අවුරුද්දක් ඉවර වුණහම ඊලඟ අවුරුද්දේ පටන් ගන්න. ආන්න එතකොට අන්තිමට අපිට පුළුවන් පරණ දිනපොත් වල ඉඳලා, එහෙම නැතිනම් දිනපොත පටන් ගත්තු තැන ඉඳලා අද වෙනකොට කොහොමද අපේ අත්අකුරු වෙනස් වෙලා තියෙන්නේ කියලා බලන්න. පුදුම හිතෙයි.
හැබැයි තව දෙයක්, අත්අකුරු තමන්ට තෘප්තිමත් වෙන්න පුළුවන් ප්‍රමාණෙට ලස්සන වෙනකල් ලියන්න ඕන තීන්ත පෑනෙන්. ඊට පස්සේ ඕන නම් කාබන් පෑනකට මාරු වෙන්න පුළුවන්. හැබැයි පුළුවන් නම් දිනපොත ලියන එකට විතරක් හරි හැමදාම තීන්ත පෑන පාවිච්චි කරන්න. ඒක ක්ලැසික්.
6. පොඩි කතාවක් ලියමුද?
මේක නම් කියපු ගමන් කෙනෙක් කියයි මට කතා ලියන්න තේරෙන්නෙ නෑ කියලා. ඇත්තටම මේකට අමුතුවෙන් තේරෙන්න දෙයක් නෑ. හිස් කොපි පොතක් ගත්තා, මොකක් හරි සිද්ධි ටිකක් හිත හිතා ලියාගෙන ලියාගෙන ගියා. ඇත්තටම දැන් ඔය ෆේස්බුක් ගෘප් වලත් කී දෙනෙක් ඔය වගේ කතා ලියනවද? ආන්න එහෙම තමන්ටත් ලියන්න පුළුවන්. පටන් ගන්න විතරයි ඕන. එහෙම ලියන එකේ තියෙන වාසිය වෙන්නේ අත්අකුරු හැඩ වෙන එක විතරක් නෙවෙයි. ඊට අමතරව තව පරිකල්පනය දියුණු වෙන එක, භාෂාව දියුණු වෙන එක එහෙමත් සිද්ධ වෙනවා. උදාහරණයක් විදියට අපි කියමු අපිට ඉංග්‍රීසි දැනුම වැඩිදියුණු කරගන්න ඕන කියලා. ආන්න ඒකටත් ඉංග්‍රීසියෙන් මේ වගේ කතන්දර ලියන්න උත්සාහ කරන එක වටිනවා.
ඕන නම් ඒකටත් පටන් ගැන්මක් විදියට පිටපත් ලිවීම කරන්නත් පුළුවන්. මොකක් හරි පොතක් හරි පත්තරයක් හරි අරගෙන, ඒකේ තියෙන ඡේදයක් හරි මොනවා හරි බලාගෙන තමන්ගේ අත්අකුරු වලින් ලියන එක තමයි ඒ කියන්නේ.
7. මුලින් අත්අකුරු වලින් ලියලා ටයිප් කරමු?
මේක නම් ටිකක් වෙලාව ගත වෙන වැඩක්. හැබැයි තමන්ට වටිනවා. දැන් ඔය අපි ෆේස්බුක් එකේ එහෙම දාන පෝස්ට් තියෙනවනේ. ඒ කියන්නේ ෂෙයාර් කරන පෝස්ට් නෙවෙයි. තමන් විසින්ම දේශපාලනේ ගැන හරි, ජීවිතේ ගැන හරි, තමන්ට සිද්ධ වෙච්ච දෙයක් ගැන හරි ලියන එව්වා තියෙනවනේ. ඒවා අපි කරන්නේ ටක් ටක් ගාලා ෆේස්බුක් එකේ කොටලා පෝස්ට් කරන එකනේ. හැබැයි ඒ වෙනුවට, ඒ පෝස්ට් එක පොතක ලියන්න. ආයෙ හෑලි වුණත් කමක් නෑ පොතේ ලියන්න. එහෙම පොතේ ලියනකොට ඇත්තටම ඒක වඩාත් සංවිධිත විදියකට ලියවෙයි. ඊට පස්සේ ඒක එක පාරක් කියවන්න. අන්න එතකොට ඒකේ වැරදි අහුවෙයි. ආන්න ඊට පස්සේ ඒක අන්තිමට ෆේස්බුක් එකේ හරි වෙන ඕන සෝෂල් මීඩියා එකක හරි පෝස්ට් එකක් විදියට ටයිප් කරන්න. ඩබල් වැඩක් කියලා හිතෙයි. හැබැයි එකක් ඒකෙන් තමන් දාන පෝස්ට් වඩාත් හොඳ වෙයි. ඊටත් වඩා ඒකෙන් තමන්ගේ අත්අකුරු ලස්සන වෙයි!
දැන් පැහැදිළියි නේද ඇත්තටම අපිට පොඩි කාලයක් වැය කරලා ආයෙමත් පුංචි කාලේ වගේ මුතු කැට වන් ලස්සන අත්අකුරු ලබාගන්න එක අමාරු වැඩක් නෙවෙයි කියලා. එහෙමනම්, ඊලඟට දවසක කියවපු එහෙම ලස්සනට අත්අකුරු පවත්වා ගන්න අතින් ලිවීමේ, එහෙම නැතිනම් මේ ඩිජිටල් යුගයේත් පුළුවන් වෙලාවට අතින් ලිවීමේ තියෙන වැදගත්කම ගැන!