ලක්දිව ශාසන ඉතිහාසයේ බිහිවුණු සිල්වත්, පණ්ඩිත හිමිවරුන් අතරින් බලංගොඩ ආනන්ද මෛත්‍රිය නා හිමියන් ඉහළින්ම සිටිනවා. උන්වහන්සේ මෙරට බුද්ධ ශාසනයේ දියුණුව වෙනුවෙන් මහා මෙහෙවරක් ඉටු කළා. 1896 අගෝස්තු 23 වැනිදා උපත ලැබූ ආනන්ද මෛත්‍රිය නා හිමියන් වයස අවුරුදු 101ක් ආයු වළඳා 1998 ජූලි 19 වැනිදා අපවත් වුණා. උන්වහන්සේගේ ජීවිතයෙන් අපට ගත හැකි ආදර්ශ බොහෝමයක් තිබෙනවා.
ආනන්ද මෛත්‍රිය නා හිමියන් භාවනාව මඟින් වැඩිපුර සිත දියුණුකර තිබුණු බව කියැවෙනවා. උන්වහන්සේ චිත්ත ශක්තිය යොදා ගෙන කළ බව කියන අරුම පුදුම දේ ගැන අදටත් ඇතැම් ගම් පළාත්වල වැඩිහිටි උදවිය සිහිපත් කරනවා. මේ, ආනන්ද මෛත්‍රිය නා හිමියන්ගේ ජීවිතය හා බැඳුණු එවැනි අපූරු කතා පුවත් 3ක්.
1) අහංකාර මිනිසකුගේ මානය බිඳ දැමූ හැටි
ආනන්ද මෛත්‍රිය හිමියන් තරුණ වියේ දී පොහොසත් මිනිසුන්ට සේම දුප්පත් මිනිසුන්ට ද එකසේ සැලකුවා. එසේම උන්වහන්සේ සමහර නුසුදුසු ගතානුගතික ක්‍රමවේද විවේචනය කළා. එකල පැවති අධිරාජ්‍යවාදී පාලනයට එරෙහි ව පුවත්පත්වලට ලිපි ලිවීම සිදු කළා. එනිසා එකල බලංගොඩ ප්‍රදේශයේ ජීවත් වුණු ප්‍රභූ පැලැන්තියේ උදවිය ආනන්ද මෛත්‍රිය හිමියන්ගේ වැඩපිළිවෙළ ගැන වැඩි කැමැත්තක් දැක්වූයේ නැහැ.
එවැනි කාලයක බලංගොඩ ප්‍රදේශයේ එක්තරා විහාරස්ථානයක සියක් නමක් උදෙසා සාංඝික දානයක් පැවැත්වුණා. එම දානය සඳහා තරුණ ආනන්ද මෛත්‍රිය හිමියන් ද වැඩම කළා. දානයේ වැඩ කටයුතු අවසන් වීමෙන් පසුව එහි වැඩ සිටි ප්‍රධාන නාහිමිපාණන් වහන්සේ නමක් පිංකම ප්‍රධාන සංවිධායකව කැඳවා විමසා සිටියේ “වෙද මහත්තයා කොහොමද දානයේ වැඩ කටයුතු බොහොම හොඳින් සිද්ධ වුණා නේද?” යන වචන කිහිපය යි. එවිට වෙද මහතා “එහෙයි අපේ නායක හාමුදුරුවනේ. මේ දානය මහත් පල මහානිසංසයි ආනන්ද මෛත්‍රිය හාමුදුරුවො ගත් දානය හැරෙන්නට” යනුවෙන් පිළිතුරු දුන්නා.
වෙද මහත්මයා ආනන්ද මෛත්‍රිය හිමියන්ට නින්දා කිරීමත් සමඟ ම එහි සිටි සියලු ම දෙනා මුහුණට මුහුණ බලා ගත්තා. ඒ සමගම ආඩම්බරයෙන් මෙන් හැඳ සිටි කබාය සකස් කළ වෙද මහත්තයා ගාම්භීර ලීලාවෙන් වටපිට බැලුවා. එම කාල සමය වන විට ආනන්ද මෛත්‍රිය හිමියන් අධි මානසික විද්‍යාව තුළින් සිදු කළ හපන්කම් නිසා යම් ප්‍රසිද්ධියක් ලබා තිබුණා. එනිසා රැස්ව සිටි සැදැහැවත් පිරිස දැන් කුමකින් කුමක් වේදැයි යන සිතිවිල්ල හිතේ තබා ගෙන විමසිල්ලෙන් බලා සිටියා.
ඒ මොහොතේ දී වෙද මහත්මයා ළඟට ගිය ආනන්ද මෛත්‍රිය හිමියන් “මට වෙද මහත්මයා එක්ක ටිකක් කතා කරන්න ඕනි” යනුවෙන් පවසා සිටියා. එවිට ආනන්ද මෛත්‍රිය හිමියන් සහ වෙද මහත්මයා යන දෙදෙනාම ධර්ම ශාලාවෙන් ඉවතට ගියා. එම අවස්ථාවේ දී එහි සිටි පිරිස තරමක් කලබලයට පත්වී කසු කුසු ගාන්නට වුණා. එසේම ඔවුන් ධර්ම ශාලාවෙන් පිටත සිදුවන දේ පිළිබඳ ව වඩාත් අවධානයෙන් පසු වුණා. ඉන් පසුව ආනන්ද මෛත්‍රිය හිමියන්, වෙද මහත්මයාගේ ඇස් දෙක දෙස ඍජුව බලාගෙන කතා කළා. එම අවස්ථාවේ දී පහත දැක්වෙන ආකාරයේ කතාබහක් එහි සිදුවුණා.
ආනන්ද මෛත්‍රිය හිමියන්- වෙද මහත්මයා මුහුද දැකල නැහැ නේද?
වෙද මහත්මයා- අපොයි මං හොඳට මුහුද දැකල තියෙනවා. ඒ විතරක් නෙවෙයි මං හොඳට කරිජ්ජ පාගපු කොල්ලෙක්. ඒහින්ද ආයෙ කවුරුවත් මට අමුතුවෙන් මුහුද කියල දෙන්න දෙයක් නෑ.
ආනන්ද මෛත්‍රිය හිමියන්- ආහ්! එහෙනම් වෙද මහත්තයා හොඳට මුහුද දැකල තියෙනව වගෙයි. ඉන්නකො එහෙනම් මං දැන් වෙද මහත්තයා මුහුද ගාවට එක්ක යන්න හදන්නෙ.
ඒ මොහොතේ දී ආනන්ද මෛත්‍රිය හිමියන්, වෙද මහත්මයාට ධර්ම ශාලාවේ මිදුල පෙන්වා “මහත්තයො මේ තියෙන්නෙ මුහුද දැන් මුහුදට පැනල ඇති තරම් නාගන්න” යන වචන කිහිපය විධානයක ස්වරයෙන් පවසා සිටියා. ඒ සමඟ ම වෙද මහත්මයා හැඳ සිටි කබාය පිටින් ම මුහුදට පනින විලාසයෙන් ධර්ම ශාලාවේ මිදුලට පැන්නා. ඉන් පසුව මුහුදේ පිහිනන පිහිනුම්කරුවකු මෙන් මිදුලේ වැලි සහ දූවිලි අවුස්සන්නට වුණා. ඒ මොහොතේ එහි සිටි පිරිස ඔළුවේ අත ගසාගෙන වෙද මහත්මයා මිදුලේ පීනන ආකාරය දෙස බලා සිටියා. ඊට මඳ වේලාවකට පසුව වෙද මහත්මයා ඇමතූ ආනන්ද මෛත්‍රිය හිමියන් “ආ වෙද මහත්තයා දැන් පීනුව ඇති. දැන් හනිකට ගොඩට එන්න.” යනුවෙන් විධාන කළා. එවිට වෙද මහත්මයා පළපුරුදු පිහිනුම්කරුවකු සේ ධර්ම ශාලාවේ ඉස්තෝප්පුව වෙතට ගියා.
ටික වේලාවකින් වෙද මහත්මයා ප්‍රකෘති තත්ත්වයට පත්වුණා. වැඩි වේලාවක් යන්නට පෙර ඔහුට සිදුවුණු දේ පිළිබඳ ව වැටහී ගියා. ඉන් පසුව වෙද මහත්මයා ඉක්මන් ගමනින් ආනන්ද මෛත්‍රිය හිමියන් ළඟට පැමිණ උන්වහන්සේගේ දෙපා මුල වැටී සමාව ඉල්ලා සිටියා. එම සිද්ධියෙන් පසුව වෙද මහත්මයා සහ ආනන්ද මෛත්‍රිය හිමියන් අතර සමීප මිතුදමක් ඇතිවුණා. එපමණක් නොව ඔහු ආනන්ද මෛත්‍රිය හිමියන්ගේ ප්‍රධාන දායකයා බවට ද පත්වුණා.
2) හිමාලයේ දී හමුවුණු අපූරු යෝගීවරයා
1940 දශකයේ මැද භාගයේ දී ආනන්ද මෛත්‍රිය හිමියන් හිමාල අඩවියේ කංඛල නම් ගම්මානයට වැඩම කළා. ඒ ප්‍රාණයාම යෝගී ක්‍රම ඉගෙන ගැනීම සඳහා යි. එදා උන්වහන්සේට යෝගි ක්‍රම උගන්වනු ලැබුවේ ස්වාමි නාරායනාන්ද නම් ගුරුවරයා යි. එලෙස යෝගී ක්‍රම පිළිබඳ ව ඉගෙනගත් ආනන්ද මෛත්‍රිය හිමියන් ස්වාමිගේ ආරාමයේ වැඩ සිටියා. එකල එම ආරාමයේ වැඩ සිටියේ ස්වාමිවරයා සහ ආනන්ද මෛත්‍රිය හිමියන් පමණ යි. එදා එම ප්‍රදේශයේ ජීවත්ව සිටි සමහර උදවිය ස්වාමිවරයා ගැන පැහැදී සිටි නිසා වියළි ආහාර ද්‍රව්‍යය ආරාමය වෙත ගෙනැවිත් දුන්නා. එහි ආවතේවකරුවකු නොසිටි නිසා ස්වාමි නාරායනාන්ද එම වියළි ආහාර භාවිතා කර ආනන්ද මෛත්‍රිය හිමියන්ට ආහාර සකස්කර දුන්නා.
ඒ අයුරින් ආරාමයේ වැඩ සිටි ආනන්ද මෛත්‍රිය හිමියන්ට දින කිහිපයක් ම දහවල් ආහාරය ලෙස රොටී ලැබුණා. එලෙස එක දිගට රොටී කෑම නිසා ආනන්ද මෛත්‍රිය හිමියන්ට රොටී කෑම එපා වුණා. එනිසා එක්තරා දිනයක උන්වහන්සේගේ සිතට නැගුණේ මට බත් ටිකක් කන්න තිබුණ නම් හොඳයි යන සිතිවිල්ල යි. ඊට පසුදින දහවල් ආහාරයට ගිය ආනන්ද මෛත්‍රිය හිමියන්ට දක්නට ලැබුණේ ස්වාමිවරයා විසින් දහවල් ආහාරය සඳහා බත් පිළියෙළ කර තිබුණු ආකාරය යි.
එහෙම එක දිගටම බත් අනුභව කරනකොට උන්වහන්සේට හිතුණා කාලෙකින් පැණි රස කෑමක් කෑවෙ නැතිහන්ද පුඩිං වගේ ආහාරයක් ගන්න තිබුණ නම් හොඳයි කියල. ඔන්න එහෙම හිතල පහුවදා දිවා ආහාරය ගන්න ගියා ම ආනන්ද මෛත්‍රිය හාමුදුරුවන්ට දැක්ගන්නට ලැබුණේ ආටා පිටිවලට පැණි මුසුකරල හදපු පුඩිමක් කෑම මේසය උඩ තබා තිබුණු ආකාරය යි. ඊට පස්සෙ ටික දවසක් යද්දි ඒ පැණිරස පුඩිම කන්න බෑ කියල හිතෙද්දි හාමුදුරුවන්ට හිතුණ කුරහන්වලින් කෑමක් කන්න තිබුණ නම් හොඳයි කියල. එහෙම හිතල පහුවදා බලනකොට ස්වාමිවරයා දවල්ට කන්න කුරහන්වලින් තලප හදල තිබුණා.
එදා ස්වාමිවරයා, හාමුදුරුවන්ගේ පිඟානට කුරහන් තලප බෙදන ගමන් සිනාසෙමින් මෙසේ පවසා සිටියා.
“හාමුදුරුවනේ ඔබ වහන්සේ කන්න කැමති ඕනිම දෙයක් ගැන හිතින් හිතන්න. එතකොට මට ඒවා හදල දෙන්න පුළුවන්. ඒත් මේ රටේ නැති කෑම වර්ග ගැන නම් හිතන්න එපා. ඒ මොකද ඒවානම් මට ගෙනත් දෙන්න් විදිහක් නෑ.”
පසු කලෙක ආනන්ද මෛත්‍රිය හිමියන් පවසා සිටියේ එම යෝගීවරයාට තවත් කෙනෙකු සිතන දේවල් පිළිබඳ ව වටහා ගැනීමේ ශක්තියක් තිබුණු බව යි. එසේම උන්වහන්සේ වැඩිදුරටත් පවසා සිටියේ එවැනි යෝගීවරුන් රැසක් හිමාල අඩවියේ ජීවත් වන බව යි.
3) කෙට්ටුව මට්ටු කළ හැටි
ආනන්ද මෛත්‍රිය හිමියන් තරුණ කාලයේ දී ඉතාමත් කෙට්ටුවට සිටි අයෙක්. එක් දිනයක උන්වහන්සේගේ ගුරු හාමුදුරුවන් ආනන්ද මෛත්‍රිය හිමියන්ට පවසා සිටියේ “මොකද ආනන්ද ඔයතරම් කෙට්ටු? තරුණ වයසට හොඳට මහතට ඉන්න එපාය.” යන්න යි. ඉන් පසුව වැඩිදුරටත් අදහස් දැක්වූ ගුරු හාමුදුරුවන් පවසා සිටියේ මහත් වෙන්න නම් ඇඟ නිවෙන්න ඕනි. ඒකට මං හොඳ බෙහෙතක් කියන්නම්. පහත දක්වා ඇත්තේ ගුරු හාමුදුරුවන් ලබාදුන් බෙහෙත් වට්ටෝරුව යි.
“මුලින්ම කෝමාරිකා වටේ පොතු හැර දමා පෙති ගසා ගන්න. ඊට පස්සෙ ඒ පෙති ගොම මැටි ගෑ අළු පොළවක තෙත බහින්න දාන්න. එහෙම තියපු කෝමාරිකා ටික වරුවකින් විතර ගිතෙලෙන් තම්බන්න. ඊට පස්සෙ ඒ කෝමාරිකවලට පත් පැණි එකතු කර උදේ හවස ආහාරයට ගන්න.”
එදා සිය ගුරු හාමුදුරුවන් දුන් උපදෙස්වලට අනුව බෙහෙත සෑදීමට ආනන්ද මෛත්‍රිය හිමියන්ට හැකිවුණා. නමුත් එය වරක් ආහාරයට ගත් විට උන්වහන්සේට දැඩි අප්‍රිය ගතියක් දැනුණා. එනිසා බඳුනේ තිබුණු බෙහෙත පන්සලේ තිබුණු පොල් ගහක් මුලට හැලුවා. ඒ මොහොතේ පන්සලේ සිටි ලොම් හැළුණු බැල්ලියක් එතනට පැමිණ පොල්ගහ මුල තිබුණු බෙහෙත් සියල්ලම කා ගෙන කා ගෙන ගියා. එම සිදුවීමෙන් මාසයක් පමණ ගතවෙද්දී වැහැරී සිටි බැල්ල පුෂ්ටිමත් වන්නට පටන් ගත්තා. එපමණක් නොව උගේ ඇඟේ හොඳින් ලෝම වැඩෙන්නටත් පටන් ගත්තා.
ඒක දැකපු ආනන්ද මෛත්‍රිය හිමියන්ට වැටහී ගියේ සිය ගුරු හාමුදුරුවන් නියම කරන ලද බෙහෙත බලගතු එකක් බවයි. ඊට පස්සෙ ආපහු බෙහෙත හදා ගත් ආනන්ද මෛත්‍රිය හාමුදුරුවො ඒක ටිකෙන් ටික වැළඳුවා. එහෙම ටික කාලයක් බෙහෙත වළඳන කොට හාමුදුරුවන්ගෙ කෙට්ටු ගතිය සදහටම අතුරුදහන් වෙලා ගියා. අන්න එහෙමයි උන්වහන්සේ කෙට්ටුව මට්ටු කළේ.