මෑත වසරවලදී, ආබාධ සහිත පුද්ගලයින් සඳහා සහ විශේෂයෙන් ආබාධ සහිත කාන්තාවන් සහ ගැහැණු ළමුන්ගේ ඇතුලත්කරණය ලබා දීම වැඩි කිරීම කෙරෙහි ඉහළ අවධානයක් යොමු කර ඇත. ලොව පුරා බිලියනයකට අධික ජනතාවක් එනම්, මුළු ජනගහනයෙන් 15% ක් ආබාධිත තත්ත්වයට පත්ව දිවි ගෙවන හෙයින්, ඔවුන්ට සමානව සැලකීම සහතික කිරීම සඳහා ප්‍රමාණවත් පියවර ගැනීම බෙහෙවින් වැදගත් ය. 

එසේම, සමස්තයක් වශයෙන් ගත් විට, පිරිමින්ට සාපේක්ෂව කාන්තාවන්ගේ ආබාධිත ප්‍රවණතාවය වැඩිය. පිරිමින්ගෙන් 12%ක ප්‍රතිශතයක් ආබාධිත තත්වයෙන් පසුවන බවට වාර්තා වී ඇති එම අගය කාන්තාවන් සඳහා 19.2% කි.

2012 ජාතික ජනලේඛන අනුව, සෑම වයස් කාණ්ඩයකම සිටින ආබාධ සහිත කාන්තාවන්ගේ සංඛ්‍යාව පිරිමින්ට වඩා වැඩි ය. එසේ වුවත්, ශ්‍රී ලංකාවේ රැකියාවේ නියුතු ආබාධ සහිත පුද්ගලයන් ගත් විට එහි කාන්තා ප්‍රතිශතය වන්නේ 15%ක් වැනි අඩු අගයකි. 

සමාජ, ආර්ථික හා දේශපාලන ක්ෂේත්‍රයන්හි, ආබාධ සහිත කාන්තාවන් සහ ගැහැණු දරුවන් ඉතා අඩුවෙන් නියෝජනය වන අතර දැඩි වෙනස්කම් වලට මුහුණ දෙමින් සිටිති. මෙය ආර්ථික හා සමාජමය වශයෙන් ඔවුන්ට බලපාන අතර, ලිංගික හිංසනය ඇතුළු ප්‍රචණ්ඩත්වය, අපයෝජනය වැඩි වීමේ අවදානම, ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ වෙනස් කොට සැලකීම් වලට මඟ පාදයි. ලිංගික හා ප්‍රජනන සෞඛ්‍යය, තොරතුරු හා සේවා, යුක්තිය, දේශපාලනය, අධ්‍යාපනය, සහ සෞඛ්‍ය සේවා සඳහා ඔවුන්ට ලැබෙන්නේ සීමිත ප්‍රවේශයකි.

මෙම ගැටළු විසඳීම සඳහා ක්‍රියාත්මක වන ඕනෑම ප්‍රතිපත්තියක් හෝ උපාය මාර්ගයක් ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ සංවේදී භාවය ද සහතික කිරීම අවශ්‍ය බව ඉන් පැහැදිලි වේ.

විවිධ ආකාරවලින් එල්ලවන වෙනස්කම් කිරීම්, අවස්ථාව නොලැබීම් නිසා පීඩාවට පත්වන ආබාධිත තත්ත්වයට පත්වූ කාන්තාවන් සහ ගැහැණු දරුවන් වෙත අවධානය යොමු කිරීම සඳහා ඉහළ ප්‍රමුඛතාවයක් දිය යුතුව තිබේ. එමඟින් අධ්‍යාපන අවස්ථා, රැකියා, ලිංගික හා ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය සහ වැනි ගැටළු විසඳීමට පිළියම් සෙවිය හැක.

තිරසාර සංවර්ධනය සහ ඇතුලත්කරණය

ලෝක නායකයින් 2015 සැප්තැම්බර් මාසයේදී පැවති එක්සත් ජාතීන්ගේ සමුළුවේදී තිරසාර සංවර්ධන අභිමතාර්ථ 17 ක් (SDG) සම්මත කර ගත් අතර, ඒ සියල්ල 2030 වන විට සාමාජික රටවල් විසින් සපුරා ගත යුතු වේ. මෙම තිරසාර සංවර්ධන අරමුණු ලොව පුරා වර්ධනය වන ගැටළු වලට එරෙහිව සටන් කිරීම අරමුණු කර ගෙන ඇති අතර, ආබාධ සහිත පුද්ගලයින් ඇතුලත්කරණය හා වැඩි අවස්ථාවන් ලබා දීම එහි ප්‍රධාන අංගයකි.

එම අභිමතාර්ථවලින් 5ක් ම ආබාධ සහිත පුද්ගලයන් වෙනුවෙන් සකසා තිබේ. එනම්, 4 වැනි අභිමතාර්ථය වන පරිපුර්ණ සහ සාධාරණ අධ්‍යාපනයක් සුරක්ෂිත කිරීම සඳහා අබාධ සහිත පුද්ගලයන්ට අවශ්‍ය සහාය ලබා දීම; 8 වැනි අභිමතාර්ථය වන ආබාධ සහිත පුද්ගලයින්ට රැකියා වෙළඳපොළ වෙත පූර්ණ ප්‍රවේශ වීමට ඉඩ සලසමින් ආර්ථික ඵලදායී රැකියා ප්‍රවර්ධනය; 10 වැනි අභිමතාර්ථය වන ආබාධ සහිත පුද්ගලයින් වෙත සමාජ, ආර්ථික හා දේශපාලනික වශයෙන් ඇතුලත්කරණය; 11 වැනි අභිමතාර්ථය වන පහසුවෙන් පිවිසිය හැකි නගර සහ ජල සම්පත් නිර්මාණය කිරීම, දැරිය හැකි හා ආබාධ සහිත පුද්ගලයන්ට පහසුකම් සහිත තිරසාර ප්‍රවාහන පද්ධති, සහ ආරක්ෂිත හා හරිත පොදු අවකාශයන් සැපයීම; සහ 17 වැනි අභිමතාර්ථය වන දත්ත එක්රැස් කිරීමේ වැදගත්කම සහ තිරසාර සංවර්ධන ඉලක්ක අධීක්ෂණය කිරීම, ආබාධිතභාවය පිළිබඳ දත්ත වෙත අවධානය යොමු කිරීම යනාදිය යි.

මේවා 5 වැනි අභිමතාර්ථය වන ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානාත්මතාවය හා බැඳී පවතින අතර, ලිංගික හිංසනය සහ සූරාකෑම, අසමානව සැලකීම, වැටුප් නොලබන සත්කාරක සේවය, සහ රජයේ කාර්යාලවලින් වෙනස්කම් කිරීම නිසා නිසා අබාධ සහිත කාන්තාවන්ගේ පූර්ණ සමාජ සහභාගීත්වයට අවස්ථාව අහිමි වී ඇත.

ප්‍රතිපත්ති සහ නීති සම්පාදනය

තිරසාර සංවර්ධන ඉලක්ක පිළිගැනීමට පෙර ශ්‍රී ලංකා රජය 2007 මාර්තු මාසයේදී ආබාධ සහිත පුද්ගලයින්ගේ අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියට අත්සන් තැබීය. එය ආබාධ සහිත පුද්ගලයින්ගේ අයිතිවාසිකම් සහ ගෞරවය ආරක්ෂා කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සම්බන්ධ ජාත්‍යන්තර ගිවිසුමකි. පසුව එය 2016 පෙබරවාරි මාසයේදී අනුමත විණි.

ආබාධ සහිත පුද්ගලයින්ගේ අයිතිවාසිකම් පිළිබඳ සම්මුතිය ක්‍රියාත්මක කිරීමට සමගාමීව, ශ්‍රී ලංකාව ආබාධ සහිත පුද්ගලයින්ට සමානව සලකන බවට ව්‍යවස්ථාමය සහතිකයක් ලබා දුන් අතර, ඔවුන්ගේ ගෞරවය සහ පුද්ගල ස්වාධීනත්වය සහතික කිරීමට ඒ අනුව ප්‍රමුඛත්වය ලබා දුනි.

ආබාධ සහිත පුද්ගලයින් මුහුණ දෙන බොහෝ බාධක සැලකිල්ලට ගනිමින් සමාන අයිතිවාසිකම් ආරක්ෂා කිරීම හා ප්‍රවර්ධනය කිරීම අරමුණු කරගනිමින් රජය 2014 දී ආබාධ සහිත පුද්ගලයන් සඳහා වූ ජාතික ක්‍රියාකාරී සැලැස්මක් ද ඉදිරිපත් කළේය. එය ප්‍රධාන ක්ෂේත්‍ර 7 ක් ආවරණය කරයි. ඒවා නම්, සවිබල ගැන්වීම; සෞඛ්‍යය සහ පුනරුත්ථාපනය; අධ්‍යාපනය; රැකියාව සහ සේවා නියුක්තිය; සමාජ දෘෂ්ඨීන් නිවැරදි කිරීම හා සමාජ පසුබිම ගොඩනැගීම; දත්ත සහ පර්යේෂණ; සහ සමාජ ආයතනික සහජීවනය යනාදිය යි.

ආබාධ සහිත පුද්ගලයින් සඳහා වන ජාතික ක්‍රියාකාරී සැලැස්මට අනුකූලව, ආබාධ සහිත පුද්ගලයින් ශ්‍රම බලකායට සම්බන්ධ කර ගැනීමට අවස්ථාව ලබාදීම සඳහා රජය සිය මධ්‍ය කාලීන අයවැය රාමුව (2014-2016) සඳහා රු. බිලියන 65 ක් වෙන් කර තිබේ.

නමුත්, ශ්‍රී ලංකාව තුළ ආබාධ සහිත පුද්ගලයින් වෙත පූර්ණ වශයෙන් ඇතුලත්කරණය කරගැනීම සඳහා තවත් බොහෝ දෑ කළ යුතුව තිබේ.

Source: Yomex Owo on Unsplash

හිතන හැටි වෙනස් කිරීම

ආබාධ සහිත පුද්ගලයින්ගේ අයිතිවාසිකම් පිළිබඳ සම්මුතිය ක්‍රියාත්මක කිරීමේදී ශ්‍රී ලංකාව බාධක රැසකට මුහුණ දුන්නේ ය. එවැනි එක් බාධාවක් වූයේ ශ්‍රී ලංකාව තුළ ආබාධිතභාවය පිළිබඳව පවතින දුර්වල චින්තනය යි. ‘ශ්‍රී ලංකාවේ ආබාධ සහිත පුද්ගලයින්ගේ අයිතිවාසිකම් පිළිබඳ සම්මුතිය ක්‍රියාත්මක කිරීමට ඇති බාධක’ පිළිබඳ ජනවාර්ගික අධ්‍යයනය සඳහා වූ ජාත්‍යන්තර කේන්ද්‍රයේ (ICES) 2018 වාර්තාවට අනුව, සංස්කෘතික බාධක වඩාත් බලවත් බාධකවලින් එකක් ලෙස කැපී පෙනුණි. මෙරට දෙමව්පියන් තම ආබාධ සහිත දරුවන් ‘ගෙදරට කොටු කර’ සැඟවීම සාමාන්‍ය දෙයක් බවට පත්ව ඇති බව එම වාර්තාව පෙන්වා දෙයි.
පවුලේ ආබාධ සහිත සාමාජිකයෙකු සිටීම පවුලේ අනෙකුත් සාමාජිකයින්ට අනිටු සමාජ බලපෑම් ගෙන දෙන බවත්, එය පවුලේ වෙනත් සාමාජිකයෙකුගේ විවාහයට පවා බලපාන බව එම සමීක්ෂණයට සහභාගිවූවන් අනාවරණය කරයි.

ආබාධ සහිත පුද්ගලයින් බොහෝ විට හිරිහැර, අපයෝජන සහ සූරාකෑමට ලක්ව ඇති බවත්, එමඟින් පොදු ප්‍රවාහන සේවය, පාසල් යාම හෝ රජයේ කාර්යාලවල සේවය කිරීම ආදිය හරහා ක්‍රියාකාරී සාමාජිකයන් ලෙස සමාජය හා මුසුවීම වළක්වන බවත් අධ්‍යයනයට සහභාගී වූවන් තවදුරටත් පෙන්වා දෙයි.

ආබාධ සහිත පුද්ගලයන්ගේ හැකියාවන් සම්බන්ධයෙන් සේවායෝජයකයන්ගේ ඇති පක්ෂග්‍රාහී මනෝභාවයන් නිසා ඔවුන් රැකියාවන් සඳහා බඳවා ගැනීමේ පසුබෑමක්ද දක්නට ලැබේ.

ආබාධ සහිත පුද්ගලයින්ගේ රැකියා සම්බන්ධව කටයුතු කරන සංවිධානවල අධ්‍යයනයට සහභාගී වූවන් පෙන්වා දෙන පරිදි, මෙරට සමාජය උපකල්පනය කරනුයේ ආබාධ සහිත ප්‍රජාව ‘කම්කරු රැකියා සඳහා පමණක්’ සුදුසු බවයි.

අධ්‍යාපනය ලැබීමට අවස්ථාව

ජනවාර්ගික අධ්‍යයනය සඳහා වූ ජාත්‍යන්තර කේන්ද්‍රයේ වාර්තාවට අනුව, අධ්‍යයනයට සහභාගී වූවන් අධ්‍යාපනය හා ආබාධිතභාවය‍ යනු විකර්ෂණාත්මක සාධකයන් සේ පෙන්වා දිණි. ඔවුන් එකිනෙකට පරස්පර අදහස් ප්‍රකාශ කළ අතර, ඇතැමුන් ආබාධ සහිත පුද්ගලයින්ගේ හැකියාවන් අධි තක්සේරු කර ඇති බවත්, තවත් අය ඒවා අවතක්සේරු කර ඇති බවත් පවසයි.

එහෙත් බුද්ධිමය ආබාධ සහිත දරුවන් වෙනුවෙන් පිළිගැනීමක් තිබුණ ද, එවැනි දරුවන්ට වෙනත් දරුවන් හා පන්තිවල රැඳී සිටීමට නොහැකි බව සහභාගිවන්නන් කියයි.

එවන් වැඩසටහන් වෙනත් බොහෝ රටවල සුලබව දක්නට ලැබුණද, අපට තවමත් යා යුතු බොහෝ දුර තිබේ. අධ්‍යාපනය තුළ පුළුල් පරාසයක පහසුකම් සැලසීමටත්, සියලු දරුවන්ට ඉහළම මට්ටමේ සාධාරණ අධ්‍යාපනයක් ලැබීම සහතික කිරීමටත් අවශ්‍ය වේ. 

Source: David Knudsen on Unsplash

එය මෙසේ අරඹමු

වඩාත් සුසංයෝගී හා සියල්ලන්ටම අවස්ථාවන් සලසන සමාජයක් ගොඩනැගීම සඳහා, අප මෙම බාධක බිම් මට්ටමේ සිට බිඳලීමට අරමුණු කර යුතු අතර, එය සිදු කිරීම සඳහා, ආබාධිතභාවය කෙරෙහි ඇති සමාජ අපකීර්තියට එරෙහිව සටන් කිරීම වෙනුවෙන් ඍජුව කටයුතු කළ යුතුය. ආබාධිතභාවයන්, සහ ආබාධ සහිත පුද්ගලයින් පිළිබඳ මිථ්‍යා විශ්වාසයන්ට එරෙහි වීම මෙයට ඇතුළත් ය.

ආබාධ සහිත සියලුම දරුවන්ට ප්‍රමාණවත් හා ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දෙන බවත්, කිසිදු දරුවෙකු අත් නොහරින බවත් සහතික කිරීම සඳහා ශ්‍රී ලංකා අධ්‍යාපන ක්‍රමය ද නැවත ප්‍රතිසංවිධානය කළ යුතුය.

ආබාධ සහිත පුද්ගලයින් සඳහා; විශේෂයෙන් ආබාධ සහිත කාන්තාවන් සඳහා, රැකියාව වනාහි ශක්‍ය විකල්පයක් විය යුතු ය. එනම්, සේවා යෝජකයින් ආබාධ සහිත පුද්ගලයන් පිළිබඳව දැනුවත් භාවයක් ලබා සිටීම, ආබාධ සහිත පුද්ගලයින්ට එම කාර්යාල වෙත පහසුවෙන් ප්‍රවේශ විය හැකි බව, සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවීය අසමානතා අවම කිරීමට වග බලා ගත යුතු වේ.

මෙම සටනේ ප්‍රධානතම අරමුණක් වන්නේ, ප්‍රතිපත්ති සම්පාදනයේදී ආබාධ සහිත පුද්ගලයන් සඳහා වැඩි නියෝජනයක් ලබාදීම යි. ඒ අනුව, ආබාධ සහිත පුද්ගලයින්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම හා ප්‍රවර්ධනය කිරීම සඳහා වඩා හොඳ නීති සම්පාදනය කිරීමට කටයුතු කිරීමයි.

ස්ත්‍රී පුරුෂ සමාජභාවීය පක්ෂග්‍රාහීත්වය තුරන් කිරීම සහ ආබාධ සහිත පුද්ගලයින්ට හඬක් නැගීමට අවකාශය ලබා දීම තුළින් එම ප්‍රජාව සවිබල ගැන්වීම සඳහා ඉහළ බලපෑමක් කළ හැකි අතර, ඔවුන් සමානව හා සමාජයේ ඵලදායී සාමාජිකයන් ලෙස සලකන්නට අවස්ථාව උදා වනු ඇත.