කැලණි ගංගා නිම්නයේ පිහිටි සියනෑ කෝරළය අද අයත් වන්නේ ගම්පහ දිස්ත්‍රික්කයට යි. ක්‍රිස්තු පූර්ව යුගයේ සිට ම කොළඹට නුදුරු සියනෑ කෝරළය අවට කලාපයේ බුදුදහම පැතිර පැවති බවට සාධක සපයන සෙල්ලිපි පිළිකුත්තුව, වාරණ, සමණබැද්ද වැනි ස්ථාන කිහිපයක ම ලෙන් විහාරවලින් හමු වී තිබෙනවා.
අපි මෙහි දී උත්සාහ ගන්නේ මේ ප්‍රදේශයේ පැවති අප්‍රකට කටාරම් කෙටූ පුරාණ ලෙන් විහාර කිහිපයක් ගැන තොරතුරු සොයා බැලීමට යි.
මැද්දේගම ලෙන් විහාරය
දෙවන පෑතිස් රජ සමයේ දෙතිස් ඵලරුහ බෝධින් වහන්සේ නමක් රෝපණය කිරීම නිසා පූජනීයත්වයට පත් ස්ථානයක් ලෙස මැද්දේගම විහාරය සැලකෙනවා. ආචාර්ය චාල්ස් ගොඩකුඹුර සදහන් කරන්නේ බෝධිවංශයේ සදහන් මැද්දේගම වෙනත් මැද්දේගමක් විය හැකි බව යි. විහාරයට ළඟා විය හැක්කේ කිරිඳිවැල සිට හංවැල්ල දක්වා දිවෙන මාර්ගයේ නාවැටිය හන්දියෙන් වමට ඇති අමිතිරිගල පාරේ කිලෝ මීටර් 1 ක් පමණ ගමන් කිරීමෙන්. නැතහොත් මැද්දේගම ශ්‍රමදාන මාවතේ කිලෝ මීටර් 1 ක් පමණ ගමන් කිරීමෙන් පසු වමට හැරී මඳ දුරක් ගමන් කිරීමෙන් ද විහාර බිමට පිවිසිය හැකි යි.
අක්කර 28ක භූමියක පැතිරි මේ දර්ශනීය විහාර බිම පිහිටා තිබෙන්නේ ගල් පර්වත සහිත කඳු මුදුනක යි. කඳු මුදුනට ගමන් කිරීමට පියගැට පෙළක් සකස් කර තිබෙනවා. සංඝාවාසය පිහිටා තිබෙන්නේ කඳු පාමුල යි. ප්‍රාදේශීය දෙවියකු වන රංවල දෙවියන් වෙනුවෙන් ඉදි කළදේවාලයක් ද කඳු පාමුල දැකගත හැකි යි.
පියගැට පෙළ අඩක් නැගි විට වම් පස කටාරම් කොටන ලද කුඩා ප්‍රමාණයේ ගල් ලෙනක් පිහිටා තිබෙනවා. පිළිම ගෙය පිහිටියේ එම ලෙන තුළ යි. වළගම්බා රජු සම්බන්ධ ජනප්‍රවාද ද මැද්දේගම ලෙන් විහාරය වටා ගොඩ නැඟී තිබෙනවා. පිළිම ගෙය තුළ පිහිටි ප්‍රතිමා සහ චිත්‍ර අවුරුදු 100කට පමණ පෙර අලුත්වැඩියා කර තිබෙන නිසා පෞරාණික බවක් නම් දැක ගත නොහැකි යි.
සැතපෙන බුදු පිළිමයක්, හිඳි බුදු පිළිමයක් සහ හිටි බුදු පිළිමයක් ද ලෙන තුළ පිහිටා තිබෙනවා. ලෙනෙහි වියන් සිත්තම් මෑතකදී කෘත්‍රිම සායමින් නිම කර තිබෙනවා. විහාර මන්දිරයේ සිතුවම් අතර දෙවන පෑතිස් රජු, වලගම්බා රජුගේ රූපයක් හා සුදුමල්බණ්ඩාර දෙවියන්ගේ රුවක් මෙන් ම නළපාන ජාතකය වැනි සිතුවම් ද දැකගත හැකි යි. පිළිම ගෙයට නුදුරින් දැනට භාවිතයෙන් අත්හැර දමා තිබෙන ලෙන් කිහිපයක් ද තිබෙනවා.
උඩමළුව
ලෙන් විහාරය අසලින් පිය ගැට නැගීමෙන් පසු පර්වතය මත පිහිටි උඩමළුවට පිවිසිය හැකි යි. දෙතිස් ඵලරුහ බෝධිය පිහිටා තිබෙන්නේ එතැන යි. මෙහි පැරණි බෝධි ප්‍රාකාරයක් ද පිහිටා තිබෙනවා. අක්ෂර ගෙවී ගිය සෙල්ලිපියක් ද බෝධිය අසල පිහිටා තිබෙනවා. එම අක්ෂර අනුරාධපුර යුගයේ අවසන් කාලයට අයත් බවට අනුමාන කරනවා.
බෝ වෘක්ෂයට නුදුරින් පර්වතය කෙළවර මෑතක දී ඉදිවුණු දාගබක් ද දැකගැනීමට පුළුවන්. මේ දාගබ සියනෑ කෝරළයේ ඈතට දිස්වන මග සලකුණක් බවට පත්ව තිබෙනවා. අලංකාර පොකුණක් ද මේ පර්වතය මත තිබෙනවා.
1959දී මෙම බෝධි වෘක්ෂය, පුරාවිද්‍යා ස්මාරකයක් ලෙස නම් කළ අතර 2014 වර්ෂයේදී උඩමළුව සම්පුර්ණයෙන් ම පුරාවිද්‍යා භූමියක් ලෙස නම් කර තිබෙනවා. කැලණි ගං නිම්නයේ රමණීය දර්ශනයක් මේ කඳු මතට පෙනෙවා.
වෑබඩ ලෙන් විහාරය
කොළඹ නුවර පාරේ කඩවත පසුකර කිලෝමීටර් පහක් පමණ නුවර දෙසට ගමන් කරන විට හමුවන කිරිල්ලවල ඉඳිගහමුල මංසන්දියෙන් වෑබඩ දෙසට හැරී කිලෝමීටර තුනක් පමණ ගමන් කළ විට වෑබඩ පුරාණ ගල්ලෙන් රාජමහා විහාරයට පිවිසීමට පුළුවන්. සාමාන්‍ය ව්‍යවහාරයේ දී ‘ගලේ පන්සල’ යන නමින් හඳුන්වන මෙම විහාරය පුංචි ශ්‍රී පාදස්ථානය ලෙසත් ප්‍රකට ව පවතිනවා.
එයට හේතුව විශාල කළුගලක් ආශ්‍රිත ව විහාරය පිහිටීම යි. ගල්කන්ද මුදුනේ ඉහළින් පිහිටි විහාර මන්දිරය අසල ශ්‍රීපාද සලකුණ කළු ගල්කුලක කැටයම් කර තිබෙනවා. මෙම සිරිපා සලකුණ බොහෝවිට මහනුවර යුගයේ හෝ ඉන් පසු කලෙක තැනූ බවයි පේන්නේ. සංඝාවාස ගොඩනැඟිල්ල පිහිටා තිබෙන්නේ පර්වතය පාමුල යි.
පියගැටපෙළ දිගේ කන්දට නගින විට කන්ද මත ජල පොකුණක් දැක ගැනීමට ලැබෙනවා. කෙතරම් බලවත් නියඟයක් පැවැතිකාලයක වුව ද මෙහි ජලය නොසිඳී පවතින බව පැවසෙනවා. එම පොකුණේ පහළට, ගැඹුරට යන විට දෝනාවක ස්වරූපයක් ගන්නා බව කියවෙනවා.
කටාරම් කෙටූ ලෙනක පිහිටි විහාර ගෙයි සිතුවම් සහ මුර්ති නම් ප්‍රතිසංස්කරණයට ලක් ව ඇති නිසා පෞරාණික අගයෙන් තොර යි. ලෙන් විහාරයේ ඉදිරි පියස්ස කොටස තනා තිබෙන්නේ ඉංග්‍රීසි පාලන යුගයේ බව එහි අංගලක්ෂණ අනුව පේනවා.
ලුණුගම ලෙන්
කොළඹ සිට කැලණිය, මල්වාන, දෙකටන හරහා කිරිඳිවැල මාර්ගයේ පුටුපාගල මංසන්දිය පසු කොට කිලෝමීටරයක් ගොස් ලුණුගම දක්වා දිවෙන අතුරු මාර්ගයේ කිලෝමීටර දෙකක් ගමන් කරන විට ලුණුගම කන්ද දැක ගැනීමට ලැබෙනවා. ලෙන් විහාරය පිහිටා තිබෙන්නේ මේ කන්දේ විශාල ගල්පර්වතයක් ඇසුරකර ගෙන යි.
සද්ධර්මාරත්නාකරයේ 12 වන පරිච්ඡේදයේ කෝට්ටේ සවැනි පරක්‍රමබාහු රජතුමාගේ ශාසනික සේවාව පිළිබඳ ව කෙරෙන විස්තරයෙහි ලුණුගම විහාරය ගැන මෙසේ සඳහන් වෙනවා;
“තව ද ලුණුගම ප්‍රාග්භාරාන්තරයෙහි දිග දසරියන් පුළුල සරියන් පිළිමගෙයක්කරවා බෝමැඩ වජ්‍රාසනාරූඪව දිව සෙනග පිරිවරා බුදුවන්නට වැඩ උන්නාක් මෙන් වඩුදෙරියන් උස වැඩහුන් පිළිමයක් කරවා එසේම සිටි පිළිම දෙදෙනකුන් වහන්සේ හා නාථ මෛත්‍රි රූප පිහිටුවා විහාරයට තත්‍රැප්පාදාදිය පුදමින්...“
කඳු බෑවුමෙන් ඉහළට එසවුණු ගල් තල්ලක කටාරම් කොටා ලෙන සකස් කර තිබෙනවා. මෙය තරමක් විශාල ලෙනන්. එහි පැත්තක දිග අඩි 30 ක් පමණ වෙනවා. ලෙන ඉදිරිපස ආලින්දයකින් ද සමන්විත යි. පසුකාලීන ව විහාරයට නූතන අංග එක්කිරීම නිසා පැරණි පෙනුමට හානි වී තිබෙනවා. ලෙන තුළ ඇති පිළිමගෙය කොටස් දෙකකින් යුක්ත යි. මෙහි පළමු කොටසේ අඩි 12ක් දිග සැතපෙන බුදු පිළිමයක්පිහිටුවා තිබෙනවා. මකර තොරණ යට වැඩසිටින හිඳි බුදු පිළිමය අලංකාර නිර්මාණයක්. එය 6 වැනි පැරකුම්බා රජු කරවූ පිළිමය බව විශ්වාස කෙරෙනවා.
හිටි බුදු පිළිමයක් සහ මෛත්‍රී බෝසත් රූපයක් ද මෙම විහාරයේ දැකගත හැකි යි. විහාර ගෙයි දෙවැනි කොටස ලෙස සැලකෙන්නේ ප්‍රධාන පිළිමගෙය පිටුපස පිහිටි ලෙන් කොටස යි. එහි දැක ගත හැක්කේ නූතන යුගයට අයත් සත් සති විහාරයක්. විහාරස්ථානයේ ඇති ධර්මශාලාව අවුරුදු 100ක් පමණ පැරණි ගොඩනැඟිල්ලක්. එය පැත්තක දිග අඩි 40ක් පමණ වූ චතුරස්‍රාකාර ඉදිකිරීමක්. විහාරයට අක්කර 15ක පමණ බිමක් අයිති යි. මෑතක දී ඉදි කළ දාගැබ ද විහාර ලෙන අසල ම දැක ගැනීමට පුළුවන්. පිළිම ගෙයට තරමක් එපිටින් විහාර බිමේ තවත් කටාරම් කෙටූ ලෙනක් ද පිහිටා තිබෙනවා. එය දැන් වනගතයි පවතින්නේ.
කඳු බෑවුමෙන් උපත ලබා පැමිණෙන දිය කඳුරක් විහාරය අසලින් ගලා යනවා. එහි දිය රැස්කර මෑතකදී පොකුණ ද තනා තිබෙනවා.ලුණුගම කන්දෙන්අරඅරඹෙන පීල්ලක්ද විහාර බිමට නුදුරින් දකින්න ලැබෙනවා. වසර පුරාම ජලය ගලායන එම පීල්ල නියඟයකදි පවා නොසිඳෙන බවට ප්‍රකටයි.විහාරය අසලම පිහිටා තිබෙන්නේ ලුණුගම සිරිපැරකුම්බා විද්‍යාලයයි.
ලෙනගම්පොළ ලෙන් විහාරය
ලෙනගම්පල රජමහා විහාරය පිහිටා ඇත්තේ මල්වාන හන්දියේ සිට කිලෝමීටර් එක හමාරක් පමණ දුරින්. බියගමින් මල්වාන පාරේ පැමිණ මල්වාන හන්දියෙන් මාපිටිගම පාරට හැරී එන විට හමුවන සාරානන්ද මාවතෙන් මේ විහාරයට ළඟා විය හැකි යි.
විහාරය මුලින් ම පැවතියේ කටාරම් කෙටූ ලෙනක යි. දැනට එම ලෙන විහාර ගෙයක් නොවෙයි. පසුගිය සියවසේ මුල් කාලයේ ලෙන් විහාරය අබලන් වූ පසුව දැනට දක්නට ලැබෙන පිළිම ගෙය තනා තිබෙන්නේ ලෙන පිහිටි ගල්පර්වතය මත යි. එහි විශේෂත්වය නම් කැලණි විහාරයේ චිත්‍ර ඇඳි සෝලියස් මැන්දිස් සිත්තරා කැලණියට පෙර මෙහි චිත්‍ර ඇඳීම යි.
අදටත් එම චිත්‍ර හා මූර්ති ඉතා හොඳ තත්තවයෙන් පවතිනවා. කැලණි විහාරාධිපති හිමියන් හා කැලණි විහාරයේ දායිකා හෙලේනා විජයවර්ධන මෙම විහාර මන්දිරය සෝලියස් මෙන්දිස් වෙත භාර දී ඇත්තේ ඔහුගේ හැකියාව උරගා බැලීමට යි.
ලෙනගම්පොළ විහාරස්ථානයේ විහාර මන්දිරය අඩි 30 ක් පමණ දිග වන අතර පළල අඩි 25 ක් පමණ වෙනවා. විහාරයට ඇතුළු විය යුත්තේ දැව දොර උළුවහු දෙකකින්. එම උළුවහු කැටයම්වලින් යුක්ත යි. විහාර මන්දිරය තුළ නිර්මාණය කර ඇති හිටි පිළිමය, ඉඳි පිළිමය හා පිරිනිවන් මඤ්චකයෙහි වැඩ සිටිනා පිළිමය සෝලියස් මෙන්දිස් සතු ව තිබූ විශිෂ්ට දක්ෂතා මතු කරනවා.
ඔහුගේ අගනා නිර්මාණ කෘති සේ මෙම මූර්ති හැඳින්විය හැකි යි. බුද්ධ ශරීර විෂයෙහි ස්ත්‍රී ලාලිත්‍යයක් පිළිබිඹු වන සෝලියස් මැන්දිස් සම්ප්‍රදායය මෙම පිළිම ත්‍රිත්වයෙන් අපට හඳුනා ගත හැකි යි. පිළිම ගෙය තුළ සැතපෙන බුද්ධ ප්‍රතිමාවක්, හිටි බුදු පිළිමයක් හා හිඳි පිළිමයක් ද දැකිය හැකිය. ඒ ප්‍රතිමාවලට නමස්කාර කරන රහතන් වහන්සේලාගේ සිතුවම් බිත්තියේ ඇඳ තිබෙනවා දාගබ, සහ මෑතකදී තැනූ ධර්ම ශාලාව ද විහාර අංග අතරට අයත්. මෙහි පිහිටි කටාරම් සහිත ලෙන 2016 නොවැම්බර් 22 දින පුරාවිද්‍යා ස්මාරකයක් ලෙස නම් කර තිබෙනවා.