සාගර දියඇළි

 සාගර දියඇළි








ලොව විශාලතම දිය ඇල්ල මුහුදු පතුලේ තිබෙන බව ඇසුවොත් ඔබ පුදුම වෙනු ඇත..සැබවින්ම එවැනි දිය ඇල්ලක් අයිස්ලන්තය සහ ග්‍රීන්ලන්තය වෙන් කරන ඩෙන්මාර්ක් සමුද්‍ර සන්ධිය පතුලේ පිහිටා ඇත.

මහපොළව මතු පිට ඇති දියඇලි පොලොවේ උන්නතාංශ නිසා ඇති වුවත් මුහුද යට ඇති දිය ඇලි ඇතිවන්නේ සාගර ජලයේ ඝනත්වයේ ඇති වෙනස්කම් නිසයි.

උණුසුම් ජලයට වඩා සීතල ජලය බරින් වැඩිය. එම නිසා සෑම විටම සීතල ජලය උණුසුම් ජලය පරයා මුහුදු පත්ල තුලට ගමන් කරයි.

එලෙස ගමන් කරන ග්‍රීන්ලන්ත මුහුදේ ඇති සීතල ජල ප්‍රවාහ (Deep ocean currents *) මුහුදු පත්ලේ ඇති අති දැවැන්ත ප්‍රපාතයක් ඔස්සේ ඉර්මින්ගර් මුහුදට (Irminger Sea) ගලා යාමේදීයි මෙම විශ්මිත දිය ඇල්ල නිර්මාණය වන්නේ.

ඩෙන්මාර්ක් සමුද්‍ර සන්ධියට යටින් මුහුදේ අඩි 2,000 ක් පමණ ගැඹුරින් හමු වන මෙම දිය ඇල්ල , එතැන් සිට අඩි 11,500 ක් පමණ දක්වා (මීටර් 3,505) ප්‍රපාතයකට වැටෙමින් තත්පරයට කියුබික් මීටර් මිළියන 5 ක ජල ධාරිතාවක් ඉර්මින්ගර් මුහුදට මුදා හරියි.

Denmark Strait cataract නමින් හැදින්වෙන මෙම දිය ඇල්ලේ ජල ධාරිතාව ගොඩබිමේ හමුවෙන අධික ජල ධාරිතාවක් ඇති මනස්කාන්ත දිය ඇල්ලක් ලෙස සැළකෙන නයගරා දිය ඇල්ලේ ජල ධාරිතාවය මෙන් 2,000 ගුණයකි. ලොව උසම දිය ඇල්ල ලෙස සැළකෙන වෙනිසියුලාවේ එන්ජල් දිය ඇල්ලේ උස මෙන් 3.5 ගුණයකි.

Giant Ocean Cataracts නමින් හැදින්වෙන මුහුදු පත්ලේ ඇති මෙවැනි අති දැවැන්ත දියඇලි , සාගර විද්‍යාඥයින් විසින් 1870 වර්ෂයේ තරම් ඈත කාලයේ සිටම තිබෙන බව දැන සිටියත් ඒවායේ විශාලත්වය ගැඹුර සහ ඒවා කොතරම් ප්‍රදේශයක් පුරා පැතිරී ඇතිද යන්න පිළිබද ගවේෂණය කිරීමට සරිලන උපකරණ ඔවුන් සතු නොවීය.

නමුත් 1960 දශකයේ නවීන උපකරණ භාවිතයත් සමග සිදුකල ගවේෂණ වල ප්‍රථිපලයක් ලෙස අත්ලාන්තික් සාගරයේ පමණක් මෙවැනි දිය ඇලි 6 ක් පමණ ඇති බව සොයාගෙන ඇත.

නිදසුනක් ලෙස දකුණු අත්ලාන්තික් සාගරයේ , දකුණු ඇමරිකානු මහාද්වීපය සහ අප්‍රිකානු මහාද්වීපය අතර මුහුදු පත්ලේ ඇති Ceara cataract නම් දිය ඇල්ල , තත්පරයට කියුබික් මීටර් මිලියන 1 ත් 2 ත් අතර ජල ප්‍රවාහයක්ද , අත්ලාන්තික් සාගරයේ Rio Grande cataract තත්පරයට කියුබික් මීටර මිලියන 4 ක පමණ ජල ප්‍රමාණයක් මුදා හරින අති දැවැන්ත දිය ඇලිය.

* Deep ocean currents / ගැඹුරු මුහුදු දියවැල්
==========================
සාගර ජලයේ ඇති උෂ්ණත්ව වෙනස මෙන්ම සාගර ජලයේ ඇති ලවණතාවද හේතුකොටගෙන සාගර පතුලේ ජල ධාරාවක් ලොව පුරා ඇති ගංගා සියල්ලටම වඩා 16 ගුණයක් ශක්තිමත් බලයක් සහිතව ලෝකය වටා ගමන් කරයි....මේවා Deep ocean currents එසෙත් නැතහොත් global conveyor belt යනුවෙන් හදුන්වනු ලබයි.

පෘථිවියේ ධ්‍රැව ආසන්න සාගර වලදී , සීතල ජලයේ ඇති ලුණු කැටි ගැසීමට භාජනය නොවෙයි. එවිට අධික ලුණු සාන්ද්‍රණයක් සහිත සීතල ජලයේ ඝනත්වය වැඩිවී එම ජලය මුහුදු පත්ලේ ගිලී යයි....එවිට එම හිඩැස පිරවීමට වැඩි ජල ප්‍රමාණයක් නිවර්තන කලාප සාගර වල සිට පැමිණෙමින් ජල ධාරාවක් නිර්මාණය කරයි....එළෙස පැමිණෙන නව ජලය ද සීතල වී ගිලී යයි....මෙලෙස චක්‍රයක් ලෙස මෙම ක්‍රියාවලිය දිගටම ක්‍රියාත්මක වෙමින් ඇදහිය නොහැකි තරම් බලයක් සහිතව ජල ධාරාවක් ලෝකය පුරා සාගර ඔස්සේ රැගෙන යයි....මෙම ජල ධාරාවට ලෝකය වටා එක් චක්‍රයක් සම්පූර්ණ කිරීමට වසර 1,000 ක් පමණ ගත වන බව විද්‍යාඥයින් විසින් ගණන් බලා ඇත.

Post a Comment

Hi! Thank You For Visit Our Web site

Previous Post Next Post

Contact Form