පිළිකාව යනු වර්තමාන සමාජය තුළ ඉතාමත් බහුල හා සාමාන්‍ය මාතෘකාවකි. එය මානව සමාජය මත ඇතිකරන බලපෑම සුළුපටු නොවේ. විවිධ හේතු මත මිනිස් ශරීරය තුළ ඇතිවන පිළිකා, සිරුරේ අසාමාන්‍ය සෛලවල, පාලනයකින් තොර ව ඇතිවන වර්ධනයක් ලෙස සරල ව හැඳින්විය හැකි ය. ඒ ආකාරයෙන් ශරීරයේ හට ගන්නා එක් පිළිකා ප්‍රභේදයක් වන ලියුකේමියාව පිළිබඳ වැදගත් කරුණු කිහිපයක් මෙම ලිපියෙන් සොයා බලමු.
ලියුකේමියාව යනු කුමක්ද?
සරලව ම කියතොත් ලියුකේමියාව යනු සිරුරේ සුදු රුධිරාණු මට්ටම, රතු රුධිරාණු මට්ටම ඉක්මවා යාම යි. සාමාන්‍ය නිරෝගී පුද්ගලයකුගේ සිරරේ රුධිරය මයික්‍රෝ ලීටරයක සුදු රුධිරාණු 4,000 සිට 11,000 දක්වා වූ අගයක පවතී. එය මුළු රුධිර පරිමාවෙන් 1%ක ප්‍රතිශතයකි. ලියුකේමියා රෝගයෙන් පෙළෙන පුද්ගලයකුගේ සිරුර තුළ මෙම අගය රුධිරය මයික්‍රෝ ලීටරයකට 100,000 සිට 400,000 දක්වා වූ අගයක් ගනී. මෙම රුධිර සෛල පූර්ණ ලෙස වර්ධනය නොවූ අසම්පූර්ණ සෛල ලෙස සැලැකේ.
මෙලෙස අසාමාන්‍ය ලෙස වර්ධනය වන සුදු රුධිරාණුවලට, ආසාදනයන්ට එරෙහි ව සරන් කිරීමට නොහැක. ඒවා රතු රුධිර සෛල හා රුධිර පට්ටිකා නිපදවීමට, ඇට මිදුළුවලට ඇති හැකියාව ද අඩාල කරයි. මෙම රෝගී තත්ත්වය ජානමය සාධක එසේත් නැතිනම් පවුල් පසුබිම මුල් කොටගෙන හෝ වෙනත් පාරිසරික සාධක මුල් කොටගෙන ඇතිවිය හැකි ය.
ලියුකේමියා තත්ත්වය ඇති වන අයුරු
ලියුකේමියාව හටගන්නේ සිරුරේ ඇටමිඳුළුවල වර්ධනය වන රුධිර සෛල තුළ ය. මෙම සෛල සාමාන්‍ය රුධිර සෛල මෙන් ම ප්‍රාථමික මට්ටමේ සිට වැඩිහිටි සෛලයක් දක්වා වර්ධනය වීමක් සිදු වේ. මෙය තවදුරටත් පැහැදිළි කළහොත්, සාමාන්‍ය පුද්ගලයකුගේ ඇටමිදුළුවල නිපදවන ප්‍රාථමික රුධිරය පළමු ව මයිලොයොඩ් සෛල හෝ ලිම්ෆොසයිට් සෛල ලෙස වර්ධනය වේ. මේවා නිරෝගී ලෙස වර්ධනය වන්නේ නම්, මයිලොයිඩ් සෛල; රතු රුධිර සෛල, රුධිර පට්ටිකා සහ ඇතැම් සුදු රුධිරාණු බවට පත් විය යුතු ය. එසේ ම ලිම්ෆොසයිට් සෛල ඇතැම් සුදු රුධිරාණු බවට වර්ධනය විය යුතු ය.
කෙසේ නමුත්, ලියුකේමියා රෝගියකුගේ මෙම රුධිර සෛලවලින් එක වර්ගයක් පමණක් පාලනයෙන් ගිලිහී වෙනස් ආකාරයෙන් වර්ධනය වීම සිදු වේ. එය සාමාන්‍ය ප්‍රමාණයට වඩා වේගවත් වර්ධනයක් පෙන්නුම් කරයි. මෙලෙස වර්ධනය වන අසාමාන්‍ය සෛල ලියුකේමියාව ලෙස හඳුන්වන අතර එම සෛල ඇටමිදුළුවල සාමාන්‍ය රුධිරය නිපදවීමට ඇති ඉඩකඩ ඉතා ඉක්මනින් අත්පත් කර ගනී.
මෙම අසාමාන්‍ය සෛල අනෙක් නිරෝගී සෛල ඉවත් කරන නමුත් සිරුරට ප්‍රයෝජනවත් යමක් ඉටු නො කරයි. මෙසේ සිරුරට රුධිරයෙන් ඉටු විය යුතු කාර්යය ඉටු වීම නිසි පරිදි ඉටු නොවන විට සිරුරෙහි නොයෙක් වෙනස්කම් ඇතිවීමට පටන් ගනී.
ලියුකේමියා වර්ග
මෙම රෝගී තත්ත්වය මූලික වශයෙන් ඇති වන ආකාරය අනුව ප්‍රධාන කොටස් දෙකකට බෙදා දැක්විය හැකි ය. ඒ උග්‍ර ලියුකේමියාව (Acute leukaemia) සහ නිදන්ගත ලියුකේමියාව වශයෙනි.
උග්‍ර ලියුකේමියාව (Acute leukaemia)
උග්‍ර ලියුකේමියා තත්ත්වයේ දී නිපදවන සෛල අසාමාන්‍ය ලෙස, වේගවත්ව වර්ධනය වන, නොමේරු රුධිර සෛල වේ. රුධිරයෙන් ඉටුවන සාමාන්‍ය ක්‍රියාකාරකම් ඒවායින් ඉටු නොවේ. මෙවැනි තත්ත්වයකදී ඉතා ඉක්මනින් ප්‍රතිකාර සඳහා යොමුවීම අත්‍යවශ්‍යය වේ.
නිදන්ගත ලියුකේමියාව (Chronic leukaemia)
ජාන මගින් ඇති වන මෙම ලියුකේමියා තත්ත්වය උග්‍ර ලියුකේමියා තත්ත්වයට සමාන නමුත් විශේෂත්වය වන්නේ එහි රෝග ලක්ෂණ පෙන්නුම් කිරීමට කල්ගත වීම යි.
ලියුකේමියා රෝග ලක්ෂණ
ඉහතින් සඳහන් කළ ලියුකේමියා වර්ග අනුව පවතින රෝග ලක්ෂණ ද වෙනස් විය හැකි ය. නමුත් පොදුවේ ගත්විට පහත රෝග ලක්ෂණ හඳුනාගත හැකි අතර, නිදන්ගත ලියුකේමියා තත්ත්වයන් ඇති වූ විට මුල් කාලීන ව සැලකිය යුතු රෝග ලක්ෂණ කිසිවක් නොපෙන්වයි.
පොදුවේ ලියුකේමියා තත්ත්වයෙන් පෙළෙන පුද්ගලයකුගේ රෝග ලක්ෂණ ලෙස ඉතා ඉක්මනින් වෙහෙසට පත්වීම, ශක්තිය මඳ බව / දුර්වල ගතිය, සමේ වර්ණය සුදුමැලි වීම, උණ ඇතිවීම, සම මත පහසුවෙන් තැලීම් ඇතිවීම හා ලේ ගැලීම් සිදුවීම, අස්ථි/සන්ධිවල ඇතිවන වේදනාව, වසා ගැටිති ඉදිමීම, ප්ලීහාව හා අක්මාව විශාල වීම, නිරන්තරයෙන් ආසාදන ඇති වීම, අසාමාන්‍ය ලෙස බර අඩුවීම, රාත්‍රියේ දී දහදිය දැමීම සහ ස්වසන අපහසුතා ඇතිවීම ආදිය හැඳින්විය හැකි ය.
රෝගය හඳුනාගන්නා අයුරු
රෝග ලක්ෂණ මත හෝ පවුල් පසුබිම මත වෛද්‍යවරයා පහත පරීක්ෂණ එකකට හෝ කිහිපයකට රෝගීන් යොමු කරවිය හැකි ය.
රුධිර පරීක්ෂණ (Blood tests)
සම්පුර්ණ රුධිර ගණනයක් (Full Blood Count- FBC) මගින් රුධිරයේ සංයුතිය පරික්ෂා කොට රෝග නිර්ණය සිදුකොට ප්‍රතිකාර අරඹයි.
ඇටමිදුළු පරික්‍ෂාව (Bone marrow biopsy)
දිගු කටුවක් භාවිතයෙන් pelvic අස්ථියෙන් නියැදි ලබාගනිමින් පරීක්ෂණය සිදු කරයි. එමගින් වැලඳී ඇත්තේ කුමන වර්ගයේ ලියුකේමියාවක් ද යන්න නිශ්චය කරගත හැකි ය.
කොඳුඇට පෙළ පරීක්ෂාව (Spinal tap)
සුසුම්නාව ආශ්‍රිත පරීක්ෂණයක් වන මෙමගින් කොතෙක් දුරට ලියුකේමියාව වර්ධනය වී ඇත්දැයි යන්න නිගමනය කරයි.
රූප පරීක්ෂණ (Imaging tests)
CT, MRI, සහ PET ස්කෑන් වැනි පරීක්ෂණ මගින්රෝගය හඳුනාගත හැකිය.
ප්‍රතිකාර
ඕනෑම ලියුකේමියා රෝගියකුට ප්‍රතිකාර කිරීමේදී, ඔහුට වැලඳී ඇති ලියුකේමියා වර්ගය, වයස, වෙනත් අවයවවලට රෝගය පැතිරී ඇති ද යන්න හා සමස්ත සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ ව සැලකිලිමත් වීම වැදගත් ය. මේ අනුව පොදු ප්‍රතිකාර ක්‍රම කිහිපයක් පහත පරිදි දැක්විය හැක.
රසායනික චිකිත්සාව (Chemotherapy)
මෙහිදී ඖෂධ, පෙති මගින් සිරුරට ඖෂධ ලබාදෙන අතර IV හරහා නහර තුළට, මධ්‍ය රේඛාවට හෝ සැමට යටින් ඇති ස්ථරයට එන්නත් කිරීම සිදු කරයි. එමගින් ලියුකේමියා සෛල විනාශ කිරීම හෝ තවදුරටත් සෛල බෙදී යාම පාලනය කරයි. ලියුකේමියාව සඳහා ඉතාමත් සුලබ ප්‍රතිකාර ක්‍රමයක් වන මෙම ප්‍රතිකාර ක්‍රමය මාස හයකට වැඩි කාලයක් සිදු කළ යුතු ය.
විකිරණ චිකිත්සාව (Radiation therapy)
මෙම ප්‍රතිකාර ක්‍රමයේදී විකිරණ මගින් ලියුකේමියා සෛල මර්දනය කිරීම හෝ පාලනය කිරීම සිදුවේ. විශාල ලෙස වර්ධනය වී ඇති පිළිකා සෛල කොටසක් තෝරාගෙන එයට අධි ශක්ති X-Ray කදම්භ යොමු කර මෙහිදී ඒවා විනාශ කරයි.
ජීව විද්‍යාත්මක චිකිත්සාව (Biologic therapy)
පිළිකා සෛල සොයාගෙන ඒවා විනාශ කිරීමට සිරුරේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට උපකාර කිරීම මෙහිදී සිදු වේ. ප්‍රතිශක්තිකරණය යොදා ගනිමින් ප්‍රතිකාර කරන බැවින් මෙය ප්‍රතිශක්තිකර චිකිත්සාව ලෙස ද හඳුන්වයි.
ඉලක්කගත චිකිත්සාව (Targeted therapy)
මෙහිදී ලියුකේමියා සෛලවල ඇති විශේෂිත ලක්ෂණ පිළිබඳ ව අවධානය යොමුකරමින් ඖෂධ ලබා දේ. එමගින් ලියුකේමියා සෛල වර්ධනය වීම හෝ තවදුරටත් බෙදී යාම සඳහා අවශ්‍ය කරන සාධක අවහිර කිරීම හෝ ආසාදිත සෛල මරා දැමීම සිදු කරයි. මෙම ක්‍රමයේ වැදගත්කම වනුයේ එමගින් සිරුරේ ඇති සාමාන්‍ය සෛලවලට සිදුවන හානිය අවම වීම යි.
ප්‍රාථමික සෛල බද්ධ කිරීම (Stem cell transplant)
මෙමගින් ඇටමිදුළුවල ඇති ලියුකේමියා සෛල වෙනුවට නිරෝගී රුධිරය නිපදවිය හැකි නව සෛල ප්‍රතිස්ථාපනය කිරීම සිදු කරයි. රෝගියාගෙන් ම හෝ පරිත්‍යාගශීලි පුද්ගලයකුගෙන් නව ප්‍රාථමික සෛල ලබා ගෙන බද්ධ කිරීම සිදු කරයි. මෙහිදී පළමුව අධි මාත්‍රාවක් සහිත Chemotherapy ලබා දී නව ප්‍රාථමික සෛල උත්පාදනය කර ගනී. පසුව ඒවා නිරෝගිමත් නව සෛල බවට සංවර්ධනය වීම ආරම්භ වේ.
මෙලෙස සාර්ථක ලෙස ප්‍රතිකාර ක්‍රම අනුගමනය කිරීමෙන් ලියුකේමියාව පාලනය කරගත හැකි ය.
ලියුකේමියාව කලින් හඳුනාගත හැකිද?
ලියුකේමියාව ඇති වීම සඳහා නිශ්චිත හේතු හඳුනා ගෙන නොමැති බැවින් එය වළක්වාගත හැකි නිශ්චිත ක්‍රමයක් තවමත් ලෝකයේ සොයාගෙන නොමැත. කෙසේ නමුත්, අධික ලෙස රසායනික ද්‍රව්‍යවලට හෝ විකිරණවලට නිරාවරණය වන්නන්, පිළිකා රෝග සඳහා radiation therapy හෝ chemotherapy ලබාගන්නන්, ලියුකේමියා පිළිබඳ ව පවුල් ඉතිහාසයක් ඇති අය සහ Down syndrome වැනි ජානමය ආබාධ ඇති අය, මෙම රෝගී තත්ත්වය පිළිබඳ ව අවධානයෙන් පසු වීම වැදගත් ය.
අප පළ කළ ලියුකේමියා රෝගය පිළිබඳව තොරතුරු බිඳක් ලිපියත් කියවන්න.