කන්නෙලිය

 Today Travelling :- 2021.12.06


පරිසර සංචරණයේ පිවිසුම් දොරටුව - කන්නෙලිය

kanneliya

හැමදාම ගෙවන ඒකාකාරී ජීවිතයෙන් මිදිලා ගහක කොළක සුන්දරත්වය විඳින්න සතෙක් සීපාවෙක් දිහා බලාගෙන ඉන්න, පෙණ පිඬු විසුරුවන දිය ඇල්ලක මිහිර විඳින්න, තුරු ගොමු අතරින් හමා එන මදනලක නැවුම් පහස ලබන්න අපි කවුරුත් කැමතියි. මේ නිසා බොහෝදෙනෙක් බලාගෙන ඉන්නෙ ඉඩක් පාඩුවක් ලැබුණු ගමන්ම සොබාදහම විඳින්න පුළුවන් තැන් හොයාගෙන යන්න.

 

ගාලු දිස්ත්‍රික්කයේ තවලම ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි කන්නෙලිය රක්ෂිත වනාන්තරය මෙහෙම සොබා දහම විඳින්න කැමති ඕනෑම කෙනෙකුට ඇවිත් යන්න ඉතාම සුදුසු තැනක්. පහතරට නිවර්තන වර්ෂා වනාන්තර ගණයට අයත්වන කන්නෙලිය රක්ෂිත වනාන්තරය කන්නෙලිය - දෙදියගල- නාකියාදෙනිය සංකීර්ණයට ( KDN complex) අයත් ප්‍රධානතම වනාන්තරය යි. උතුරු අක්ෂාංශ 6°10. සහ 6°18. සහ නැගෙනහිර දේශාංශ 81°19. සහ 81°27. අතර පිහිටා ඇති මෙම රක්ෂිත වනාන්තරය හෙක්ටයාර් 6,144ක විශාලත්වයකින් යුත් සුවිශාල වනාන්තරයකි . ඉන් හෙක්ටයාර 5108.2 ක් ඝන වනාන්තරවලින් ද හෙක්ටයාර 168.4 ක් විවෘත වනාන්තරවලින් ද හෙක්ටයාර 29.3 ක් වන වගාවලින්ද සමන්විත වේ. කන්නෙලිය වනාන්තරයේ වාර්ෂික වර්ෂාපතනය මි.මි 4445ක් වන අතර වැඩිම වර්ෂාපතනයක් මැයි මාසය මැද භාගයේ සිට සැප්තැම්බර් මස අවසානය දක්වා පවතින නිරිතදිග මෝසම මගින් ලැබේ. මධ්‍ය උෂ්ණත්වය 27 0C ක් පමණ වේ. දවස තුළ උෂ්ණත්වය 4‘C - 5‘C අතර පරාසයක් තුළ වෙනස් වේ .

 

1934 ජූලි 06 වැනි දින අංක 8262 දරන ගැසට්පත්‍රය මගින් රක්ෂිත වනාන්තරයක් ‌ ලෙස ප්‍රකාශයට පත්කර ඇති කන්නෙලිය රක්‍ෂිතය, වන සංරක්‌ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන වනාන්තරයකි. 1990 දශකයේ මුල් භාගයේ දී වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සංරක්ෂිත වනාන්තරයක් ලෙස ද නම් කරනු ලැබූ කන්නෙලිය 2004 වර්ෂයේ දී යුනෙස්කෝ (UNESCO) සංවිධානයේ ‘මිනිසා සහ ජෛවගෝල’ වැඩසටහන යටතේ අන්තර්ජාතික මිනිසා සහ ජෛවගෝල රක්ෂිතයක් ලෙස ද ප්‍රකාශයට පත්කර ඇත. මෙවැනි මිනිසා සහ ජෛවගෝල රක්ෂිත තුනක් ශ්‍රී ලංකාවේ පිහිටා ඇත.

 

කඳු හා නිම්නවලින් යුත් මීටර් 60 - 425 උච්චත්වයකින් යුතු කන්නෙලිය රක්ෂිතය තුළ ඉහළ ජෛව විවිධත්වයක් දක්නට ලැබේ. එක් කුඩා ප්‍රදේශයක හමුවන වැඩිම ජෛව විවිධත්වය වාර්තා වන්නේ ද කන්නෙලිය රක්ෂිතයෙනි.මේ නිසා කන්නෙලිය ජෛව විද්‍යාත්මක උණුසුම් කලාප හෙවත් Bio diversity hot spot ලෙස සලකයි. අධික ජෛව විවිධත්වයක් පැවතිය ද කන්නෙලිය වනාන්තරය තුළ ප්‍රාථමික වනාන්තර (primary forest) ඇත්තේ ඉතා සුළු ප්‍රමාණයකි. වනාන්තරය පුරා පැතිර පවතින්නේ අලුතින් වැඩුණු ශාකවලින් යුත් ද්වීතියික වනාන්තර (secondary forest) වලිනි. මීට හේතුවී ඇත්තේ 1960 දශකයේ සිට 1970 අගභාගය වන තුරු තුනීලෑලි සංස්ථාවේ ගාල්ල ගිංතොට කම්හල වෙත තුනී ලෑලි නිෂ්පාදනය සඳහා දැව ලබා ගැනීමට වරණීය ලෙස දැව හෙළීමට ලක්කිරීමයි. වර්තමානයේ පවා දැව හෙළීම සඳහා ඉදිකරන ලද ගොඩනැගිලි සහ තාර දමා සකස්කළ මාර්ග පද්ධතිය වනාන්තරය තුළ දක්නට ලැබේ. මෙම මාර්ග වනාන්තරය සංචාරක කටයුතු සඳහා යොදාගෙන ඇත. ලෑලි සඳහා දැව කැපීම නතරවීමෙන් පසු වනාන්තරය ඝනව වැඩී ඇති අතර, අද වන විට වන විනාශයක් සිදුවී ඇති බවට සලකුණු මැකී ගොස් තිබේ.

 

කන්නෙලිය දකුණු ආසියාවේ පිහිටි ශාක සම්පත අතින් ඉහළම වටිනාකමකින් යුක්ත වනාන්තරයකි. කන්නෙලිය වනාන්තරයෙන් ශාක විශේෂ 301ක් වාර්තා වී තිබේ. මෙම ශාක විශේෂවලට ශාක, පඳුරු සහ පැළෑටි අයත්වන අතර, ඉන් 25% ක් ම ශ්‍රී ලංකාවට ආවේණික වේ. මෙම ශාක විශේෂ අතුරින් විශේෂ 26ක් අප රටෙන් වඳවීයාමේ තර්ජනයට ලක්වී තිබේ. කන්නෙලිය වනාන්තරය තෙත් කලාපීය වනාන්තර අතුරින් ඉහළම ආවේණික කාෂ්ඨීය ශාක විශේෂ ප්‍රතිශතයක් (60%) සතු වනාන්තරයකි.

 

කන්නෙලිය වනාන්තරයේ ප්‍රමුඛ ශාක කුලය ලෙස හොර කුලය හැඳින්විය හැකිය. තව ද, නා, දුන් ,ඇටඹ, කීන, කැකුණ, බදුල්ල, රං දෝතළු , දොරණ , බෙරලිය දුන් , හොඳ බෙරලිය , තිනිය , දියපර , ආරිද්ද , මඩොල් ආදී ශාක විශේෂ බහුලව දැකිය හැකිය. මෙහි දක්නට ලැබෙන මැන්ඩෝරා විශේෂයක් මුළු ලොවින්ම දක්නට ලැබෙන්නේ කන්නෙලියේ පමණි. වනාන්තරය තුළ ඖෂධ ශාක වර්ග ද රාශියක් හමුවේ. ඒවා අතර රසකිඳ , වෙනිවැල්, හාතාවාරිය, එනසාල්, කුඩා හැඩයා, මහා හැඩයා, සත්සඳ , සඳරාජ , වනරාජ, ඉරු රාජ, කොකුම්, දුම්මල වැනි ශාක මුල් තැනක් ගනී.

කන්නෙලිය තුළ අනෙකුත් වැසි වනාන්තරයකට නොදෙවෙනි මට්ටමේ ඉහළ සත්ව විවිධත්වයක් ද දක්නට ලැබේ. කන්නෙලිය රක්ෂිතය තුළින් පක්ෂි විශේෂ 120ක් පමණ හඳුනාගෙන ඇත. ශ්‍රීලංකාවට ආවේණික පක්ෂි විශේෂ 24 අතරින් පක්ෂි විශේෂ 14ක් ම මේ අතර සිටීම සුවිශේෂි වැදගත්කමකි. බට ඇටිකුකුලා, කැහිබෙල්ලා ,වලිකුකුලා, දෙමලිච්චා, හබන් කුකුලා ,අළුගිරවා, වත රතුමල් කොහා, ලංකා සැලලිහිණියා වැනි දුර්ලභ පක්ෂි විශේෂ රාශියක් කන්නෙලිය තුළ දී දැකබලා ගත හැකිය.

 

කන්නෙලිය තුළින් ක්ෂීරපායි විශේෂ 20 පමණ හඳුනාගෙන ඇති අතර කළු වඳුරා, මී මින්නා, රත් උණහපුළුවා රන් හෝතඹුවා, ගෝනා ,කබල්ලෑවා ,බටුලේනා ,දඬු ලේනා ,දම් මුහුණැති කොළ වඳුරා බහුලව හඳුනාගත හැකිය. මෙම විශේෂ අතුරින් ගෝනා විශාලතම ශාක භක්ෂක සත්ත්ව විශේෂය වේ. ශ්‍රී ලංකාවේ වෙසෙන විශාලතම මාංශ භක්ෂක සත්ත්වයා වන දිවියා ද මෙම වනාන්තරය තුළින් වාර්තා වී තිබේ.

රක්ෂිතය තුළින් හඳුනාගෙන ඇති උභයජීවී විශේෂ 19 අතරින් විශේෂ 14ක් ම ශ්‍රී ලංකාවට ආවේණික විශේෂ වේ. මේ අතරින් රුක් මැඩියන්, මොට හොඹු මැඩියා, කුරුගෙම්බා, ගල්පර මැඩියා ,ලබුගම පඳුරු මැඩියා ප්‍රධාන වශයෙන් හඳුනාගත හැකිය. ශ්‍රී ලංකාව තුළ හමුවන විශාලතම සර්පයා වන ඉන්දියානු පිඹුරා, මූදු කරවලා, පලා පොළඟා, මල් කරවලා ,පුල්ලි දත් කැටියා ,දෙපත් නයා ,කබර දත් කැටියා ඇතුළු උරග විශේෂ 50ක් පමණ ද මේ ආශ්‍රිතව හඳුනාගෙන තිබේ. මින් බහුතරයක් ශ්‍රී ලංකාවට ආවේණික විශේෂ වේ. කටුසු විශේෂ රාශියක් ද කන්නෙලිය තුළදී දැක බලා ගත හැකිය. රළු අං කටුස්සා, ගැටහොඹු කටුස්සා, පිනුම් කටුස්සා, බෝදිලිමා වැනි කටුසු විශේෂ බහුලව හඳුනාගත හැකිය. කන්නෙලිය සුන්දර සමනලුන්ගේ තෝතැන්නකි. සමනල විශේෂ 53කට අධික සංඛ්‍යාවක් කන්නෙලිය ආශ්‍රිතව වාර්තා වී ඇත. කැලෑ නිලයා ,පසිරි කඩුවා, මහා සේලරුවා වැනි දුර්ලභ සමනලුන් මෙහිදී දැකබලා ගත හැකිය.

 

දකුණු ශ්‍රී ලංකාවේ පිහිටි ප්‍රධාන ගංගා දෙක වන ගිං හා නිල්වලා ගංගා දෙකෙහි ම ප්‍රධාන පෝෂක ප්‍රදේශය වන්නේ කන්නෙලිය වනාන්තරයයි. වනාන්තරය තුළින් ආරම්භ වන දිය දහරා විශාල ප්‍රමාණයක් පවතින බැවින් ජල විද්‍යාත්මක දකුණු ලංකාවේ ප්‍රථම ස්ථානය හිමි වන්නේ ද කන්නෙලියටය. වනය තුළ ඇති කුඩා දිය දහරාවන් මගින් ප්‍රධාන ජල දහරාවන් තුනකට ජලය සපයන අතර මෙම අතු ගංගා තුන ඔස්සේ ගිංගඟ වෙත ජලය සැපයීම සිදුකරයි. මේ එක් අතුගංගාවක් මගින් වනයේ පිහිටි සුන්දරම දිය ඇලි දෙක වන අනගිමල ඇල්ල හා නාරංගස් ඇල්ල යන සුන්දර දියඇලි දෙක ඇතිවේ. මෙම ජල දහරාවන් ආශ්‍රිතව මිරිදිය මත්ස්‍ය විවිධත්වය ද ඉහළ මට්ටමක පවතී. ශ්‍රී ලංකාවේ මිරිදිය මත්ස්‍ය විශේෂ 80 අතුරින් විශේෂ 38ක් ම කන්නෙලියෙන් වාර්තා වේ. බුලත් හපයා, ලේ තිත්තයා, තල්කොස්සා, වැලි ගොව්වා, ගල්පාඩි, හීත මස්සා වැනි දුර්ලභ මත්ස්‍ය විශේෂ ප්‍රධාන වේ.

 

කන්නෙලියේ අතීතය වලගම්බා රජ සමය දක්වාම දිවයයි. විජයබාහු රජතුමා හා සොලීන් අතර මෙම ප්‍රදේශවල පැවති සටන් පිලිබඳව ජනප්‍රවාදයේ සඳහන්වේ. කන්නෙලිය යන්න කන්‍ය එලිය යන්නෙන් බිඳී ආ බව ඇතැම් අය විශ්වාස කරයි. වලගම්ගම්බා රජු මෙම ප්‍රදේශ ආශ්‍රිතව සැඟවී සිටින කාලයේ කුසගින්නේ සිටි කාන්තාවකට තම බත්පත ලබා දී “කන්න ලිය” යැයි පැවසූ ස්ථානය කන්නෙලිය වූ බවට තවත් මතයක් පවතී රක්ෂිතයක් මෙන්නම කන්නෙලිය ආගමික අතින් ද වැදගත්කමක් උසුලයි. කන්නෙලිය රක්ෂිත සීමාව තුළ ආරණ්‍ය සේනාසන කිහිපයක් පිහිටා ඇත. නුගගල ආරණ්‍ය, නාගල ආරණ්‍ය, රජවංගල ආරණ්‍ය ඒ අතරින් ප්‍රධානවේ. මින් නුගගල ආරණ්‍ය සේනාසනය ඉදිකොට ඇත්තේ විශාල ගල්ලෙනක් තුළය. මෙම ගල්ලෙන මත විශාල නුගගසක් තිබීම නිසා නුගගල ලෙස හඳුන්වයි.

 

කන්නෙලිය රක්ෂිතයේ ඇති සුවිශේෂි ලක්ෂණය වන්නේ එහි පාරිසරික සංචරණය සඳහා අවශ්‍ය පහසුකම් ලබා දීමයි. මෙම වනාන්තරයේ ජෛව විවිධත්වයේ සුවිශේෂීත්වය නිසා ම 2002 වසරේ සිට දේශිය හා විදේශිය සංචාරකයන් වෙනුවෙන් කන්නෙලියෙහි පිවිසුම් දොරටුවක් නිර්මාණය කොට තිබේ. එමෙන්ම පරිසරය හා ජෛව විවිධත්වය පිළිබඳව අධ්‍යනය කිරීමට අවශ්‍ය පහසුකම් හා සුදුසු වටපිටාවක් ද මෙහි පවතී. මේ නිසාම පරිසරවේදීහු ,විද්‍යාඥයෝ පර්යේෂකයෝ ,පාසල් හා විශ්වවිද්‍යාල සිසුහු, ඡායාරූප ශිල්පීහු මෙන්ම සාමාන්‍ය ජනතාව ද නිරන්තරයෙන් ම කන්නෙලිය වනපෙත වෙත පැමිණීමට පුරුදුවී සිටිති.


කන්නෙලියට පැමිණෙන පරිසර ලොලීන් වෙනුවෙන් අවශ්‍ය සියලු පහසුකම් වනසංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සිදුකරයි. වනාන්තරයට පැමිණෙන්නන් වෙනුවෙන් අවශ්‍ය පුහුණු මාර්ගෝපදේශකයින් වනාන්තරයේ විවිධ ස්ථානවල නිරීක්ෂණ අට්ටාල සහ ගිමන් හැරීමේ ස්ථාන තොරතුරු මධ්‍යස්ථානය ප්‍රවේශපත්‍ර අලෙවි කරන කාර්යාලය, සම්මන්ත්‍රණ ශාලාවකින් සහ පිටත හිඳගෙන විවේක ගැනීමට සැකසුණු ස්ථානවලින් සමන්විත වූ සංරක්ෂණ මධ්‍යස්ථානය සහ තොරතුරු සහ මුද්‍රිත ද්‍රව්‍ය මිලදීගත හැකි අලෙවිහල් ආදී සියලු පහසුකම් දෙපාර්තමේන්තුව මගින් සපයා ඇත. එමෙන්ම ඉතාමත් අඩු මුදලකට රාත්‍රී කාලයේ නැවතීම සදහා සුවපහසු කාමර පහසුකම් දෙපාර්තමේන්තුව මගින් සංචාරකයින්ට සපයා දී තිබේ. කෑමට අවශ්‍යකරන ද්‍රව්‍ය පිටතින් රැගෙන පැමිණියහොත් කෑම සකසා දීමට මෙහි අරක්කැමියෝ සූදානමින් සිටිති.

 

කන්නෙලිය රක්ෂිතය නැරඹීමට යන සංචාරකයෙකුට දෙපාර්තමේන්තුව මගින් ලබා දෙන මගපෙන්වන්නෙකු සහ ඇතුළුවීමට ප්‍රවේශපත්‍ර ලබා ගැනීම අනිවාර්ය වේ. මගපෙන්වන්නෙකු නොමැතිව වනයට ඇතුළුවීමට කිසිසේත්ම අවසර ලබා නො දේ.

 

වනය නැරඹීමට පැමිණෙන්නන් වෙනුවෙන් වනාන්තරය තුළ වැදගත් ස්ථාන ආවරණය වන පරිදි මංපෙත් (trails) 6ක් සකසා ඇත

•ගුහාව මංපෙත - කි.මී.1.5 ගතවන කාලය පැය 01

•අනගිමල ඇල්ල මංපෙත -කි.මී. 2.3 ගතවන කාලය පැය 03

•යෝධ පුස්වැල මංපෙත - කි.මී.2.3 ගතවන කාලය පැය 03

•යෝධ නවද ගස මංපෙත -කි.මී.2.3 ගතවන කාලය පැය 03

•නාරංගස් ඇල්ල මංපෙත -කි.මී.5.2 ගතවන කාලය පැය 06

•කබ්බලේ කන්ද මංපෙත -කි.මී. 5.5 ගතවන කාලය පැය06

 

මෙම මංපෙත් ආවරණය කරමින් පහසුවෙන් වනය නැරඹීම සඳහා සංචරණ සැලසුම් (tour plan) 3ක් සකසා ඇත

 

•ගුහාව මංපෙත , අනගිමල ඇල්ල මාර්ගය - ගතවන කාලය පැය 03යි.

•යෝධ නවඳගස නාරංගස් ඇල්ල මාර්ගය - ගතවන කාලය පැය 04යි.

•කබ්බලේ කන්ද මාර්ගය නැවත පැමිණීමේ දී අනගිමල ඇල්ල මාර්ගයේ පැමිණිය හැකිය. - ගතවන කාලය පැය 06යි.

 

වනය නැරඹීමට පැමිණෙන සංචාරකයින් මෙම සැලසුම්වලින් කැමති සැලසුමක් තෝරාගෙන සංචාරය කළ හැකිය. සංචාරය කිරීමේ දී මෙහි ඇති මංපෙත් 6 ම නැරඹීමට නම් දින දෙකක් ගතවේ. කබ්බලේ කන්ද මංපෙතෙහි සමහර ස්ථානවල දී කඳු නැගීමට ද හැකිවන වන අතර අනිත් මංපෙත්වල දී සකස් කළ මාර්ගයේ පහසුවෙන් ඇවිද යා හැකිය. මෙම සමහර මංපෙත් සඳහා අතීතයේ දැව කැපීම සඳහා සකස්කළ තාරයෙදූ මාර්ග ද භාවිතා කරයි. එවැනි ස්ථානවල ගමන ඉතාම පහසුය. සියලුම මංපෙත් පයින් ගමන් කළයුතු අතර කිසිදු වාහනයක් ඇතුළු කිරීමට ද අවසර ලබා නො දේ.

 

මෙම වන පියස නැරඹීමට පැමිණෙන්නන් තරයේ මතක තබා ගත යුතු කරුණු කිහිපයක් ද පවතී. සංචාරය අතරතුර කිසිදු දියඇල්ලකට හෝ ජල දහරාවකට බැසීම හෝ ස්නානය තහනම් වන අතර සංචාරය අවසානයේ සංරක්ෂණ මධ්‍යස්ථානයට මදක් ඔබ්බෙන් පිහිටි පිරිසිදු ස්වභාවික ජල තටාකයෙන් නිදහසේ නාගැනීමට අවස්ථාව සලසා තිබේ. සංචාරය සඳහා කිසිදු ආකාරයක මත්ද්‍රව්‍ය, දුම්වැටි හෝ සංගීත භාණ්ඩ රැගෙන ඒම ද සපුරා තහනම් ය. සංචාරකයන් රැගෙන පැමිණෙන ගමන්මලු කාර්යාලයට බාරදී අවශ්‍යම කරන දේවල් පමණක් රැගෙන යාමට අවසර තිබේ. ආහාර ද්‍රව්‍ය ගෙන යා හැකි වුව ද පොලිතින් රැගෙන යාමට අවසර නැත. කිසිදු ආකාරයක ඉවතලන ද්‍රව්‍යයන් පරිසරයට බැහැර කිරීම ද සපුරා තහනම් ය. වනයෙන් කිසිම දෙයක් රැගෙන ඒමට ද අවසර නැත. රැගෙන ඒමට අවසර ඇත්තේ ඡායාරූප පමණි. කිසිවක් තබා ඒමට ද අවසර නැත. තබා ඒමට අවසර ඇත්තේ පියසටහන් පමණි. මෙම උපදෙස් අනුගමනය කරන්නේ නම් කාලයකින් ලැබෙන සුන්දර අත්දැකීමක් විඳ ගැනීමේ භාග්‍ය ඔබටත් උදාවනු ඇත.

 

•වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ශ්‍රීලංකා UN REDD වැඩසටහන මගින් මාධ්‍යවේදීන් වෙනුවෙන් කන්නෙලිය රක්ෂිත වනාන්තරයේ පැවැත්වුනු ක්ෂේත්‍ර චාරිකාවක් ඇසුරින් සැකසුනි. එය සංවිධානය කළ ශ්‍රීලංකා UN REDD වැඩසටහනට විශේෂ ස්තුතියක් හිමිවේ.

 

පළාත - දකුණු පලාත

දිස්ත්‍රික්කය - ගාල්ල

 

ගමන් මාර්ගය - කන්නෙලිය වන පිවිසුමට කෝරලේගම - කන්නෙලිය මාර්ගය ඔස්සේ ලඟාවිය හැකිය. කෝරලේගම - කන්නෙලිය මාර්ගය, ගාල්ල උඩුගම තවලම හරහා නෙළුව ප්‍රධාන මාර්ගයට ඔබ්බෙන් වූ රථ වාහන ගමන් කළ හැකි කුඩා මාර්ගයකි. කොළඹ සිට කළුතර හෝ හොරණ හරහා මතුගමට පැමිණ මීගහතැන්න නෙළුව තවලම හිනිදුම හරහා කෝරලේගමට පැමිණිය හැකිය. නැතිනම් මීගහතැන්න පිටිගල මාර්ගයේ බොරළුහේන හරහා තවලම මාර්ගයේ පැමිණ හිනිඳුම හරහා ද පැමිණිය හැකිය. ගාල්ල උඩුගම හරහා පැමිනීම මෙන්ම දක්ෂිණ ලංකා අධිවේගී මාර්ගයේ බද්දේගම පිවිසුම් මග හරහා උඩුගමට පැමිණීමෙන්ද පැමිණිය හැකිය

 

පිහිටීම - ගාල්ල දිස්ත්‍රික්කයේ තවලම ප්‍රාදේශීයලේකම් කොට්ඨාසයේ පිහිටා ඇත. කන්නෙලිය දෙදියගල නාකියාදෙණිය සංකීර්ණයට අයත් ප්‍රධානම වනාන්තරයයි.

 

Post a Comment

Hi! Thank You For Visit Our Web site

Previous Post Next Post

Contact Form