බණකට දානයකට පිරිතකට වඩින භික්ෂුන් වහන්සේ ගෙන යන වටාපත අපට හොඳට හුරුපුරුදු යි. පූජා භාණ්ඩ කඩවල අලෙවියට තබා ඇති විවිධ මෝස්තතරයේ වටාපත් අප දකිනවා. මෙහි විශේෂත්වය තමයි ලෝකය කෙතරම් නවිකරණය වුණත් වටාපත තල් කොළයෙන් ම සකස් කර ගත යුතු වීම. රටේ සිවු දෙස ම  වැඩ වාසය කරන භික්ෂුන් වහන්සේ  පරිහරණයට වටාපත නිමැවෙන්නේ වයඹ පළාතේ එකම ගමකින්. ඒ ගම ගැන ඔබට විස්තර කියන්නයි මේ සූදානම.

තල මලක් පිපී ඇති අයුරු- Dinamina.lk

ගලතර ගමට යන විදිහ

නාරම්මල අලව්ව මාර්ගයේ පඹදෙණිය නගරයේ සිට කිලෝමීටර් දෙකක් පමණ ගියවිට මෙම ඓතිහාසික සුන්දර ග්‍රාමය වන ගලතර පිහිටා තිබෙනවා. පඹදෙණිය පසු කර පැමිණ ටික දුරක් ගමන් කළ පසු නාහගකන්ද කියන ගම හමුවෙනවා. ඒ ගමට අල්ලපු ගම තමයි ගලතර කියන්නේ.   

මෙය අයිති දඹදෙණිය මැතිවරණ කොට්ටාසයට යි. එය පුරාණ බෙදීම් අනුව සත්කෝරළයට අයත්. ගමේ බොහෝ තැන්වල තලගස් දැක ගත හැකි යි. ගලතර ගමේ  බොහෝ දෙනකුගේ ප්‍ර‍ධාන ජිවනෝපාය වී ඇත්තේ වටාපත් සැකසීම යි. හැම නිවසක ම වගේ වටාපත් තැනීම සිදුවෙනවා. ගලතරයේ තලගස්වලින් සමන්විත පුරාණ තල උයනක් ද පිහිටා තිබෙනවා.

2 වටාපත් සඳහා කැපූ තලගොබයක්- facebook

තල ගස ගැන ජනප්‍රවාද

තාල වර්ගයට අයත් ශාකයක් වන තල ගස තෙත් කලාපයේ වැඩෙන අතර සත් කෝරළය,සතර කෝරළය හා තුන් කෝරළයේ එය බහුල යි. තව්තිසා දෙව් ලොවට අධිපති සක් දෙවියන් මිනිස් ලොව ලේඛන අවශ්‍යතාව දිවැසින් දැක ස්වකීය නදුන් උයනේ ඇති තල ගස්වලින් ඇට කිහිපයක් ගෙන හත්කෝරළයේ මැද පිහිටි ගමක් වන ගලතරය ප්‍රදේශයට දැමූ බවත් ඒ අනුව තලගස් හැදී ව්‍යාප්ත වූ බවත් ජනප්‍රවාදවල සඳහන් වෙනවා.

විවිධ අවශ්‍යතාවලට භාවිත කරන්නේ තල ගසේ ගොබය යි.  තල ගොබයේ පිටතින් ම ඇති දිගු ගොක් කොළ යොදා ගන්නේ ජන්ම කේන්ද්‍ර පත් ලිවීමට යි.  මැද ගොක් කොළ බණ පොත් වැනි එකට බැඳ තබන පුස්කොළ පොත් ලිවීමට භාවිත කරනවා. ගොබයේ අග කොටස් වටාපත් හා වියන් පත් සෑදීමට යොදා  ගැනීම සිදුවෙනවා. වටාපත් නිර්මාණය  කරන  තලගොබයට කියන්නේ හිරිඅත්ත කියායි.

තල ගස් සහිත සිත්තමක් -wikipedia.org

ගලතර තල උයන

වටාපත් සඳහා අවශ්‍ය ප්‍රධාන අමුද්‍රව්‍ය වන තල්ගොබ ලබා ගන්නේ තල ගසින්. ගලතර පුරාණයේ පටන් තල ගසින් පිරි උයනක් පිහිටි බවත් ජනප්‍රවාදවල සඳහන් වෙනවා. ගැමියන් අතර පවතින විශ්වාසයක් වන්නේ වළගම්බා රජ්ජුරුවන්ගේ කාලේ මාත‍ලේ අළු විහාරේ පැවැත්වූ ත්‍රිපිටකය ලේඛගත කිරීමේ කටයුත්තෙ දී ඊට අවශ්‍ය තල කොළ ගෙන ගියේ ගලතරින් බව යි.

මේ සඳහා රාජානුග්‍රහය ද නො අඩුව ලැබි තිබෙන බව ජනප්‍රවාද පවසන කරුණක්. රජය සතු ඉඩමක “මැඩිල්ල” නම් රාජකීය තල උයනක් පිහිටුවා තිබෙනවා. අක්කර 50ක පැතිරුණු එය අදත් දක්නට ලැබෙනවා. පුරාණයේ එයට වඩා වැඩි බිමක තල උයන පැතිර තිබෙන්නට ඇති.  තල ගහ මඩුව නමින් මේ ස්ථානය ප්‍රසිද්ධ යි. ඉංග්‍රීසි කාලේ  මුල් ම ලංකා සිතියම මිනින්දෝරුවන් මැනීමේ දී එය රජය සතු ඉඩමක් වශයෙන් වෙන්කර තිබෙනවා.

තල උයන ගැනත්, වටාපත් නිර්මාණය ගැනත් ජන කවි රාශියක් අසන්නට ලැබෙනවා. මේ එයින් එක් ජනකවියක්:

ලියුම ද ලියලා දේසෙට ඇරලා කත් බැඳි තල ඇට ගෙන්නෙව්වේ

වළවල් කපලා පෝර දමාලා පෙළින් පෙළට ඇට     සිටවෙව්වේ

තල අතු හිරි අතු කුමාර තල අතු ගෙනියන්නට වැව් තල උයනේ

දෙසිය දෙකක් තල මල් පිපුණා කිව් නැගෙනහිරින් ගලතර උයනේ

තල උයනට ආසන්නව විශාල ගල්තලාවක් පිහිටා තිබෙනවා. ඒකට ගමේ අය කියන්නේ තලපත් ගල කියල යි. අනාදිමත් කාලයක පටන් අද දක්වාම වටාපත් තැනීමට තල කොළ තම්බා ගැනීමෙන් පසු අව්වේ වියළා ගැනීමට භාවිත කර ඇත්තේ මේ ගල්පර්වතයයි.  

වැලිවිට සරණංකර නාහිමියක්ට වටාපත පිරිනනමන කීර්ති ශ්‍රී රාජසිංහ රජු- කැලණි විහාරය - facebook

වටාපත් භාවිතය

විජිනිපත, අවාන, තල්අත්ත කියලත් කියන්නේ වටාපතට ම තමයි. බුද්ධ කාලයෙහි බෞද්ධ භික්ෂූන් පමණක් නොව අන්‍යාගමික පූජ්‍ය පූජකවරුන් ද අව්වැසිවලින් බේරීම සඳහා තල්කොළවලින් සාදා ගත් ආවරණ භාවිත කර තිබෙනවා. වටාපත භික්ෂූන් වහන්සේගේ භාවිතයට පැමිණ ඇත්තේ  ධර්ම දේශනා කරන විට මුඛාවරණයක් විදිහට යි.  පවන් සැලීමට ද උපයෝගී වන හෙයින් විජිනිපත යන නාමය ද එයට භාවිත කරනවා.

විජිනපත භික්ෂුන් අතර භාවිතයට පැමිණියේ මෙහෙමයි: කැවුමක් වැනි මුහුණක් ඇති භික්ෂුවක් ධර්ම දේශනා කරන විට මුඛයේ ඇතිවන විකෘති ස්වභාවය නිසා බණ අසන්නන් ඒ දෙස බලන්නට වුණා. මේ නිසා බණ ඇසීමට වඩා විකෘති මුඛය කෙරෙහි ශ්‍රාවකයන්ගේ සිත යොමු ව තිබෙනවා.  ඒ නිමිතිකොට ගෙන ධර්ම දේශනා කරන විට මුඛාවරණයට විජිනිපතක් භාවිතයට බුදුන් වහන්සේ අනුදැන වදාරා තිබෙනවා.

වටාපත් තැනීමට කැපූ තල ගොබ- සාරභූමී facebook page

වටාපත් තනන්නේ මෙහෙමයි

වටාපත් තැනීමේදී මුලින්ම කරන්නෙ තල ගසට නැග අඩි එකහමාරක් පමණ දිගට කුඩා තල ගොබ කපා ගැනීම යි. කපාගෙන එන සුදු පැහැති තලගොබ දිග හැර එකපිට එක මත තබා බිලිං කොළ, කැප්පිටිය කොළ, ගස් ලබු කොළ ආදිය සමඟ ලොකු හැලියක දමා තැම්බීම කළ යුතුයි. තැම්බිම සිදුකරන්නේ  ලිපක් බැඳ දර දමමින්.

මේ ලොකු මුට්ටියට ගමේ කියන්නේ තල කල්දේරම කියල යි. දවසක් පමණ මේ ආකාරයට තම්බලා තලපත් ගල මත දිග හැරලා වියළීමට තබනවා.  තල කොළ දිග ඇරලා ගල්කැට තියලා තමයි වියළීම සිදුකරන්නේ. නැතිනම් තල් කොළ හැකිලීම සිදුවෙනවා. විවිධ කොළ වර්ග දමලා තම්බන්නෙ තල කොළේ තියෙන කහට ඉවත් කරලා එම කොළය සුදු පැහැවීමට යි.  

 වටාපත් ගමේ කාන්තාවන්- Silumina.lk

වේලපු තල ගොබේ දිග හැර වටාපත් අච්චුවකට අනුව කපා ගැනීම සිදුවෙනවා. වටාපතේ හැඩේට කපපු තල අත්ත වටේ ම තල ඉරටු තියලා මසා ගැනීමයි ඊළඟ කාර්යය වන්නේ.
කලකට පෙරදී තල ඉරටුව පලලා සායම් කරලා තල කොළවලින් බෝඩරය තබා නූල්වලින් මැසීම සිදුවුවද  දැන් තල ඉරටුවට වූල් ඔතා මසා ගැනීම සිදුවන්නේ වඩාත් අලංකාර පෙනුමක් ලබා දීමට යි. 

 වටාපත් මිටි- සාරභූමී facebook page

වටාපතේ මිට තැනීම සඳහා යොදා ගන්නේ ඇල්ස්ටෝනියා, තේක්ක හා හල්මිල්ල වැනි ලී වර්ග යි. ඒවා මැෂිමෙන් ලියවා  මැද ‍පොලිෂ් කර තල කොළවලින් හැදු වටාපතට සවිකර ගැනීම සිදුකෙරනවා. මේ නිර්මාණ  ඔවුන් කරන්නේ පාරම්පරිකව ලැබුණු පළපුරුද්ද අනුව ලොකු ගෞරවයකින්.

රේන්ද අත්ත, නෝමල් රිබන් අත්ත, ස්ප්‍රේ අත්ත ආදී වශයෙන් ගලතරයේ ගැමියන් විවිධ වටාපත් හැඳින්වීමට නම් කිහිපයක් භාවිත කරනවා.

 ගල මත තැනූ ගලේ ගෙදර- Silumina.lk

ගලේ ගෙදර

ගමේ පිහිටි පාරම්පරික අයුරින් තවමත් තිබෙන පුරාණ නිවසක් තමයි ගලේ ගෙදර. පුරාණයේ සිට තල්කොළ කර්මාන්තයේ යෙදුණු නිවැසියන් සිටි එම නිවස සෙවිලිකර තිබෙන්නෙත් තල් කොළවලින්.

වරිච්චි බිත්ති, ගෙපිල, මාගල් ආන, වසර ගණනාවක් පැරණි බිත්තියේ ගසා ඇති නැකැත්පත්‍ර එහි දී දැකගත හැකි යි. ගමේ තිබෙන එකම වී බිස්ස පිහිටා තිබෙන්නෙත් ගලේ ගෙදර යි. ගලේ ගෙදර යන නම ලැබී ඇත්තේ නිවස  ගල්තලාව උඩ තනා ඇති නිසා යි. නිවස තනා ඇත්තේ එක්දාස් අටසිය තිස් ගණන්වල බවයි පැවසෙන්නේ.

 අලෙවියට තැබූ වටාපත්- facebook

නිසි මිලක් නැතිවීම ගැටලුවක්

ජාතික ශිල්ප සභාවට අනුබද්ධිත වටාපත් පුහුණූ මධ්‍යස්ථානයක් ද  ගලතරය ගමේ පිහිටුවා ඇති අතර ගමේ සමහර කාන්තාවන් මෙහි දී වටාපත් නිපදවීම සිදුකරනවා. ආධුනිකයන් සදහා අවශ්‍ය ශිල්පීය පුහුණුව ද මෙහිදී ලබාදෙනවා.

වටාපත්වලට අමතර ව ගලතර ගමේ නිර්මාණ ශිල්පීන් සේසත්, අවාන්, පැදුරු, මාගල්, මලු, බෑග්, හැඳි ආන, ටේබල් මැට්, මේස සැරසිලි, කේක් පෙට්ටි, ලාම්පු අවරණ හා වෙසක්පත් ද නිර්මාණය කිරීමට දක්ෂ යි. මේවා ඉතා අලංකාර මෙන් ම සියුම් අයුරින් නිපදවා තිබෙනවා.   

ඔවුන්ගේ නිර්මාණවලට වෙළෙඳපොළක් සොයා ගැනීමේ ගැටලුව අද වනවිට වඩාත් බරපතල වෙලා. අමුද්‍රව්‍යවල මිල ඉහළ ගියත් තම නිර්මාණවලට ලැබෙන මිල ඉහළ ගොස් නැති බව යි ගලතර වැසියන් පවසන්නේ. වෙළෙඳසල්වල ඉහළ මිල ගණන්වලට අලෙවි වන වටාපත්, සේසත් ආදිය ඔවුන්ගෙන් ලබාගන්නේ අඩු මිලකට යි.

 වැඩ දැමූ වටාපත්- facebook

සංචාරක කර්මාන්තයේ බිඳ වැටීමත් මේ නිර්මාණවල ඉල්ලුම අඩුවීමට බලපා තිබෙනවා. ඔවුන් පවසන්නේ ජන කලා කේන්ද්‍රය සහ ලක්සල වැනි ආයතන සාධාරණ මිලකට තම නිර්මාණ මිල දී ගන්නේ නම් එය තම වෘත්තියට  විශාල සහයෝගයක් බව යි.

 රජයෙන් නිසි රැකවරණයක් වටාපත් කර්මාන්තකරුවන්ට හිමි විය යුතු බවත් කුඩා කර්මාන්ත අමාත්‍යාංශයේ අවධානය මේ ශිල්පීන්ට යොමු විය යුතු බවත්  ඔවුන් පවසනවා.  එසේ නොවුණහොත්  මේ පෞරාණික කර්මාන්තයට කණ කොකා හඬන බව ගැමියන් පවසන්නේ දුක්බරව යි.