කාලෙකට ඉස්සර වන අලි නැරඹීමට වනෝද්‍යානවලට යාමට සොබා රසිකයන්ට සිදුවුණා. ඒ, වන අලි හිටියේ මහ වනාන්තරවල නිස යි. පසුගිය කාලේ වනාන්තර විනාශයත් සමඟ සිදුවූ විපර්යාස කිහිපයක් නම් වන අලින් වනාන්තර අතහැර මහ පාරට පැමිණීම යි.
වන අලි පිරිසක් කුණු කෑමට වනාන්තර ආශ්‍රිත ප්‍රදේශවල නාගරික කුණු කඳු අසලට එන්නත් හුරු වුණා. තවත් අලින් පිරිසක් වනාන්තර මැදින් යන මහා මාර්ගවලට පිවිස වාහනවලින් කෑම ඉල්ලන්නට හුරුවුණා. මේ වන සතුන් හිටි ගමන් ප්‍රචණ්ඩ වී කලබලකාරී වන අන්දමත් දැක ගන්නට පුළුවන්.
කම්මැලි වුණු අලි
අලියා යනු සංචරණය ටම පුරුදු වූ සතෙක්. ඌට දිනකට කිලෝ ග්‍රෑම් 150- 200ක් වත් ආහාර අවශ් යයි. මේ අවශ්‍යතාව සහ ජලය ලබා ගැනීමට වන අලියා දිනකට කිලෝ මීටර් 20කට වඩා ඇවිදිනවා. දිනකට ජලය ලීටර් 80-160ක් පමණ උන්ට අවශ්‍ය වෙනවා. මෑත අතීතයේ පටන් මිනිසාගෙන් ආහාර ඉල්ලන් කෑමට හුරුවී ඇති සමහර අලින් කම්මැලි ජීවිතයකට හුරුවී තම සුපුරුදු චර්යා රටාවෙන් පිට පැන ඇති බව පෙනෙන කරුණක්.
එය ඔවුන්ගේ පැවැත්මට අහිතකර බව සත්ව විද්‍යාඥ මතය යි. මනුෂ්‍ය ආහාර සතුන්ගේ සෞඛ්‍යට යෝග්‍ය නොවන අතර ඒවා උන්ගේ පැවැත්මට අනවශ්‍ය යි. සෑම සතකුට ම ඔවුන්ට ආවේණික ආහාර රටාවක් තිබෙනවා. මිනිස් ආහාර නිසා එම සතුන් විවිධ රෝගාබාධවලට ගොදුරු වීමටත්, පෝෂණ ගැටලු ඇතිවීමටත් බලපානවා.
ආගමික ස්ථාන සහ මහා මාර්ග අසල සැරිසරන අලි ඇතුන්ට ආහාර ලබා දීම ඔවුන්ගේ හැසිරීම් රටාවට බලපාන බව පරිසරවේදී නයනක රන්වැල්ල පවසනවා. විශේෂයෙන් මිනිසුන් ලබා දෙන ආහාර තනියෙන් භුක්ති විදීම සඳහා ඔවුනොවුන් අතර තරගයක් ඇති වීමේ ස්වභාවයක් දක්නට ඇති බව ඔහුගේ අදහසයි.
"සිතුල්පව්ව් ආශ්‍රිතව සිටි නන්දිමිත්‍ර කියන ඇතා ඒ ප්‍රදේශයේ වෙසෙන අනෙක් ඇතුන්ට මාරාන්තික ප්‍රහාර ගණනාවක් එල්ල කර තිබෙනවා. ඒ වගේම යාල වනෝද්‍යානයේ ඉන්න ගැමුණු කියන ඇතා අනෙක් සතුන්ට ප්‍රචණ්ඩකාරී ස්වභාවයක් පෙන්නුම් කරන්න පටන් අරන් තිබෙනවා. මේක කෘත්‍රිම තත්ත්ව යටතේ ඇති කරපු දෙයක්" ඔහු බීබීසී පුවත් සේවයට පවසා තිබුණා.
අලි ඇතුන්ට ආහාර ලබා දීම සතුන්ගේ ආරක්ෂාවට වඩා මිනිසුන්ගේ ආරක්ෂාවට තර්ජනයක් විය හැකි බවත් එය නීතියෙන් තහනම් කළ යුතු බවත් පශු වෛද්‍ය නන්දන අතපත්තු කලකට පෙර බීබීසී පුවත් සේවයට පවසා සිටියා. වනජීවි නිලධාරින් පවසන්නේ ද අලින්ට ආහාර දීම නොකළ යුතු වැරදි ක්‍රියාවක් බව යි.
මේ ඉල්ලන් කන එවැනි අලි කිහිප දෙනෙක් ගැන සොයාබැලීමක්.
හබරණ ඉල්ලන් කන්නා
දඹුල්ල හබරණ පොළොන්නරුව ප්‍රධාන මාර්ගයේ දෙපස වනයේ කලක පටන් ම වන අලි දැකගත හැකි වුණා. හබරණ රක්ෂිතයේ ජීවත් වන මේ අලින් පාර අද්දර තණබිම්වල ආහාර ගනිමින් සිටීම සාමාන්‍ය චර්යාවක් වුණා. වාහන නවත්වා මේ අලින් බැලීමටත් සමහරුන් පෙලැඹී සිටියා. උන් ප්‍රධාන මාර්ගයට පැමිණියේ නැහැ.
පසුගිය සති කිහිපයේ වාර්තා වුණේ මේ පාරේ දිගම්පතහ ප්‍රදේශයේ වන අලියකු පැය විසිහතර පුරා ප්‍රධාන මාර්ගයට පිවිස යන එන වාහනවලින් ලබාදෙන ආහාර ගැනීමට පුරුදු වී සිටින බව යි. මේ නිසා අලි මිනිස් ගැටුමක් ඇතිවී විශාල අනතුරක් ඉදිරියේ දී සිදු විය හැකි බව එම මාර්ගයේ ගමන් ගන්නා වාහන හිමියන් පවසනවා.
2021 අවසන් කාලයේ සිට මෙම වන අලියාට වාහනවල ගමන් කරන පිරිස් විවිධ ආහාර ගෙනැවිත් ලබා දීම විනෝදාංශයක් ලෙස කරනවා. මෙම අලියාට පලතුරු සහ එළවළු වර්ග මහා මාර්ගයේ දමා යාමට ද සමහරුන් පෙලැඹී සිටිනවා. වන අලියා ද වාහන නැවතූ විගස වාහනය අසලට ගමන් කිරීමට පුරුදු වී සිටිනවා. ආහාර නොදෙන වාහන පසුපස ගමන් කර ආහාර ඉල්ලීමටත් අලියා මේ වනවිට හුරු වී තිබෙනවා. මේ නිසා ඌට 'ඉල්ලන් කන්නා' යන නම භාවිත කිරීම දැකගත හැකියි.
සමහර ලොරි රථ රියැදුරන් මෙන් ම දිනපතා මෙම මාර්ගය භාවිත කරන බොහෝ දෙනා කුමන හෝ ආහාරයක් ෂොපිං බෑග්වල දමාගෙන විත් අලියා ආසන්නයට ම පැමිණ එම ආහාර ලබා දී ආහාර රැගෙන එන පොලිතීන් බෑගය ද වනයට වීසි කර ගමන් කිරීම සාමාන්‍ය රටාවක් වෙලා.
ඉල්ලන් කන්නාට බඩඉරිඟු, අඹ, අන්නාසි ආදී දේවල් ගෙනැවිත් තැන තැන දමා යෑමත් දැකගත හැකි යි. මෙම මාර්ගයේ දිවා රාත්‍රී විශාල වාහන සංඛ්‍යාවක් ගමන් කරනවා. සමහර අවස්ථාවලදී කෝපයට පත් අලියා වාහනවලට පහර දීමට පවා උත්සාහ කළ බව වාර්තා වෙනවා. පසුගිය වසරේ ජනවාරි මාසයේ හබරණ පාරේ ඉනාමළුවේ දී කැබ් රථයකටත් වන අලි ප්‍රහාරයක් එල්ල වුණා.
බුත්තල බැරියර් අලි
බුත්තල සිට කතරගම දක්වා ඇදී යන මාර්ගය යාල වනෝද්‍යානය මැදින් ඇදී යන්නේ. මේ පාරේ වර්ෂ 2016 ආසන්න කාලයේ වාහනවලින් කෑම ඉල්ලීමට හුරුවුණු අලින් දෙදෙනෙක් සිටියා. මේ අලින් නිසා වාහනවලට බාධා එල්ල වූ අතර මේ නිසා පොලිසියට මාර්ග බාධක පවා දැමීමට සිදු ව තිබුණා. මේ නිසා ම ඒ අලින්ට බැරියර් අලි, හිඟන අලි යන නම් පටබැඳ තිබුණා.
උදෑසන හයේ සිට රාත්‍රී හය හත දක්වා මහ පාරේ මේ අලින් හැසිරී තිබෙනවා. මහ පාර බදු ගත් මේ අලින් දෙදෙනා චණ්ඩින් බව ද කියවුණා. කතරගම ගොස් එන වාහනවල ඇති පලතුරු සුවඳට ඉව අල්ලමින් පාරට පිවිස සිටි මේ අලින්ට පලතුරු ලබාදී විනෝදයක් ලැබීමට වන්දනාකරුවන් පුරුදු වී සිටියා. කලින් කල පාරට පැමිණ වාහනවලින් ආහාර ඉල්ලන අලින් ගැන මේ පාරෙන් අසන්නට ලැබෙනවා. පසුගිය 2021 දෙසැම්බරයේ ද එවැනි අලින් කිහිප දෙනෙක් මේ මාර්ගය දෙපස හැසිරෙමින් වාහනවලට බාධා කරමින් ආහාර ඉල්ලීමට පුරුදුවී සිටින බව වාර්තා වුණා.
රථවාහන අසලට ම පැමිණ සිටින අලින් කෝපයට පත් අවස්ථාවල රථ වාහන රැසකට ම පහර දී ඇති බව පොලිසිය සඳහන් කරනවා. අලින් කෑමට යමක් දෙනතුරු වාහන වටකරගෙන පාරෙන් ඉවත් නොවී සිටීමට හුරුවී ඇති අතර මේ නිසා සමහර වාහනවලට බොහෝ වේලා නවත්වාගෙන සිටීමටත් සිදු වුණා.
එවැනි ආකාරයේ ආහාර ලබාදීම් වනඅලි නිරන්තරයෙන් සැරිසරන මෙම මාර්ගයේ සිදු නොකරන ලෙසට වනජීවි නිලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
මීට දශක දෙකකට පෙරදී නම් උඩවලවේ අලින් නරඹන්නට උඩවලව වනෝද්‍යානයේ සංචාරය කළ යුතු වුණා. අලින් ඉඳහිට උඩවලවේ ජලාශය අද්දරත් දැකගත හැකි වුණා. මෑත අතීයේ සිට වනෝද්‍යානය තුළ තණ බුදිමින් සිටි අලි ඇතුන්ගේ චර්යාවන් වෙනස් වෙලා. මේ නිසා උඩවලවේ අලින් බලන්න නම් වනෝද්‍යානය තුළටම යාම අනවශ්‍ය වෙලා. වනෝද්‍යානය අද්දරින් ගමන් ගන්නා තණමල්විල මාර්ගයේ විදුලි වැට අසල සිට පාරට හොඬවැල දික්කරනා අලි නිතරම දැකගත හැකියි.
මේ අලින්ට පලතුරු දීමට ශ්‍රී ලාංකිකයන් වගේම විදෙස් සංචාරකයන් පවා හුරුවෙලා. ඒ විතරක් නොවේ. අලියා සමඟ සෙල්ෆි ගන්නට ගොස් අමාරුවේ වැටුණු අවස්ථා ගැනත් පසුගිය කාලේ වාර්තා වුණා. අලින්ට ලබාදීමට කොමඩු, වට්ටක්කා, කෙසෙල් අලෙවි කරන කුඩා කඩපිල් පවා ඒ අසල බිහි වී තිබුණු බව අසන්නට ලැබුණා. මේ නිසා අලුත් තණකොළ, බෙරු, ගස්‌වල අල, කොළ ඇවිද සොයා ආහාරයට ගත් අලින් කෙසෙල්, කොමඩු වට්‌ටක්‌කා වගේ අලුත් රස සොයයාමට පෙලඹිලා. මේ අලින්ට 'හිඟන අලි' කියා නමක් ද පටබැඳී තිබෙනවා.
වර්ෂ 2014 දී වාර්තා වුණේ උඩවලව විදුලි වැට අසල සිටි වල් අලියකුට කෑම දී හොඬය අතගෑමට ගිය සංචාරක යුරෝපා කාන්තාවක් අලියාගේ ප්‍රහාරයෙන් බරපතල තුවාල ලබා රෝහල් ගත කළ බව යි.
රැස්ව සිටි පිරිසගේ අනතුරු ඇඟවීම් නොතකා ඇය අලියා ළඟට ගිය බවත්, ඇය අලියාට පෑගී ඇති බවත් පොලීසිය සඳහන් කර තිබුණා.
සිතුල්පව්ව අලි
කතරගමට නුදුරින් යාල වන මැද පිහිටි සිතුල්පව්ව විහාර බිම වන අලින්ගේ නිජබිමක තිබෙන රජමහා විහාරයක්. ඒ අවට වනයේ ජීවත්වන අලියෙක් මුලින් ම විහාරයට පැමිණ භික්ෂුන් වහන්සේගෙන් පලතුරු ඉල්ලා කෑමට පුරුදු වී සිටි බව අසන්නට ලැබුණා. පසුව විශාල අලිඇතුන් ප්‍රමාණයක් අද වෙද්දී වන්දනාවේ පැමිණෙන අයගෙන් යැපෙන, 'හිඟන අලි' තත්ත්වයට පත්ව තිබෙනවා. ඒ අතරින් නන්දිමිත්‍ර නම් දළ ඇතා වන්දනාකරුවන්ට විශාල හිරිහැරයක් ලෙස හැසිරෙන බව 2019 දී අසන්නට ලැබුණා.
ඒ වසරේ දෙසැම්බරයේ දී අසන්නට ලැබුණේ වන්දනා බස් රථයක දොරෙන් හොඬය සහ දළ දෙක දැමූ ඇතා ආහාර දෙන තුරු එක ඉරියව්වෙන් ම දිගු කාලයක් සිටිමින් බස් රථයේ මගින් දැඩි බියගැන් වූ බව යි. රියදුරු සහ මගීන් බස්රථය තුළ තිබු විවිධ ආහාර වර්ග ඇතාට ලබා දී දැඩි පරිශ්‍රමයක් දරා එම ස්ථානයෙන් සිතුල්පව්ව වෙත ගමන් කර තිබුණා. වර්ෂ 2017 දීත් සිතුල්පව්ව රාජමහා විහාරය වැඳපුදා ගැනීම සඳහා එන බැතිමතුන්ගෙන් ආහාර කප්පම් ගන්නා ඇතකු දඹුල්ල වැඩබලන මහේස්ත්‍රාත්වරයාගේ වාහනයට පවා ආහාර ඉල්ලා හානි කර තිබුණා.
වන සතුන් මිනිස් ඇසුරට මෙසේ හුරුවීම නිසා උන්ට ලොකු හානියක් සිදුවන අතර ඕනෑම මොහොතක මිනිසාත් අනතුරට ලක්වීමට ඉඩ තිබෙනවා. සෝමාවතිය දාගන්බ අවටත් වන්දනාකාරුවන්ගෙන් ආහාර ගැනීමට හුරුවූ අලි මෙම ලියුම්කරුට දැකගන්නට ලැබුණා. වනගත සතුන් මිනිසා මත යැපීමට හුරුවීම උන්ගේ වර්ගයාගේ පැවැත්මට විශාල හානියක්. එය උන්ට සතුටින් ආහාර ලබාදෙන මිනිසුන්ටත් විශාල අවදානමක්.