Today Travelling :- 2022.02.21
වියට්නාමයේ සුන්දර සංචාරක ඉසව් 5ක් නරඹමු
වියට්නාමය ගිනිකොනදිග ආසියා කලාපයට අයත් රාජ්‍යයක්. වසර දහස් ගණනක් පැරණි ඉතිහාසයක් ඇති රාජ්‍යයක් වන මෙය රාජ වංශ ගණනාවක් යටතේ පාලනය වුණා. එම රජවරුන් අතින් ඉදිවුණු පෞරාණික ගොඩනැගිලි වියට්නාමය තුළ අදටත් ඉතිරිව තිබෙනවා. සොබාදහමේ මැදිහත්වීමෙන් නිර්මාණය වුණු අපූරු ස්ථාන රැසක් ද වියට්නාමය තුළ පිහිටා තිබෙනවා.
එම ස්ථානවල සුන්දරත්වය විඳ ගැනීම සඳහා දෙස් විදෙස් සංචාරකයන් නිතර ම පැමිණෙනවා. මෙම ලිපියෙන් ඔබ වෙත ඉදිරිපත් කරන්නේ වියට්නාමයට පැමිණෙන සංචාරකයන් අනිවාර්යෙන් ම නරඹන ඉතාමත් සුන්දර සංචාරක ඉසව් 5ක් පිළිබඳව යි.
1). හැලෝන් බොක්ක
වියට්නාමයේ ක්වෑන් නින් ප්‍රදේශයේ පිහිටා තිබෙන හැලෝන් බොක්ක සංචාරකයන් අතර වඩාත් ජනප්‍රිය ස්ථානයක්. මෙම ප්‍රදේශයේ කුඩා හුණුගල් දූපත් 1600ක් පමණ පිහිටා තිබෙනවා. වසර දහස් ගණනක් පුරා සිදුවුණු දේශගුණික විපර්යාසවල ප්‍රතිඵලයක් වශයෙන් ඒවා නිර්මාණය වන්නට ඇති බව භූ විද්‍යාඥයන්ගේ අනුමානය යි. හැලෝන් බොක්ක තුළ පිහිටා තිබෙන හුණුගල් දූපත්වලින් ඈත අතීතයේ දී මිහිපිට ජීවත් වුණු ඇතැම් මුහුදු ජීවීන්ගේ කොටස් ද හමු ව තිබෙනවා. එම දූපත්වලින් ආදි මානවයන් භාවිත කළ විවිධ මෙවලම් ද හමු ව තිබෙනවා. එනිසා හැලෝන් බොක්ක ඓතිහාසික වශයෙන් වැදගත් වන ස්ථානයක්.
හැලෝන් බොක්ක ආශ්‍රිත ප්‍රදේශයේ ගුහා විශාල ප්‍රමාණයක් දක්නට ලැබෙනවා. ඒවා අතුරින් බෝ හොන් දූපතේ පිහිටා තිබෙන හෑන්ග් සංග් සොට් නම් ගුහාව විශේෂ යි. 1901 දී ප්‍රංශ ජාතිකයන් සොයා ගත් එම ගුහාව විස්මයේ ගුහාව ලෙසින් හඳුන්වනවා. මෙම සුන්දර සංචාරක පුරවරයට පැමිණෙන උදවිය බෝට්ටු සවාරිවල නිරතවීමට වැඩි කැමැත්තක් දක්වනවා.
අලංකාර හුණුගල් දූපත් ආශ්‍රිත සංචාරය කිරීම ඔවුන්ගේ සිත් ගන්නා තවත් අංගයක්. ලොව වඩාත් සුන්දර ස්වභාවික නිර්මාණවලින් එකක් වන මෙය ඉහළ වටිනාකමක් ඇති ස්ථානයක්. එය තේරුම් ගත් යුනෙස්කෝ සංවිධානය 1994 දී මෙය ස්වභාවික ලෝක උරුමයක් ලෙසින් නම් කළා. ඒ වාගේම New 7 Wonders පදනම 2012 දී ප්‍රකාශයට පත් කළ ස්වභාවික ලෝක උරුමයන් අතරට ද මෙය අයත් වුණා.
2). මයි සොන් විහාර සංකීර්ණය
වියට්නාමයේ ක්වාන්ග් නාම් පළාතට අයත් මයි සොන් ප්‍රදේශයේ සියවස් ගණනාවක් පැරණි හින්දු ආගමික සිද්ධස්ථාන ඇතුළත් විහාර සංකීර්ණයක් පිහිටා තිබෙනවා. ක්‍රිස්තු වර්ෂ 4 වන සියවසේ දී ඉදිවුණු එම විහාර සංකීර්ණය ක්‍රිස්තු වර්ෂ 13 වන සියවසේ දී පරිහානියට පත්වුණා. සියවස් ගණනාවක් අභාවයට ගොස් මෙම විහාර සංකීර්ණය 1898දී යළි සොයා ගත්තා.
ඒ ප්‍රංශ ජාතික කැමිල් මයිකල් නම් ගවේෂකයා යි. ඊට වසරකට පසු ව ප්‍රංශයේ EFEO විද්වත් සමාජයේ සාමාජිකයන් එකතු වී මයි සොන් විහාර සංකීර්ණයේ ශිලා ලේඛන අධ්‍යයනය කරන්නට පටන් ගත්තා. ඉන් අනතුරු ව ඔවුන් මයි සොන් විහාරය පිළිබඳ ඓතිහාසික තොරතුරු ප්‍රසිද්ධියට පත් කළා. පසුව ප්‍රංශය, ජර්මනිය, පෝලන්තය යන රටවල්වල අනුග්‍රහයෙන් මෙම විහාර සංකීර්ණය ප්‍රතිසංස්කරණය කළා.
ගඩොල් හෝ වැලිගල් කුට්ටිවලින් ඉදි කර ඇතැයි සැලකෙන විහාර 20ක් මෙහි දක්නට ලැබෙනවා. ක්‍රිස්තු වර්ෂ 380 සිට 413 දක්වා රජකම් කළ භද්‍රවර්මන් රජතුමා ශිව දෙවියන්ට වන්දනාමාන කිරීම සඳහා ඉදි කළ ශිව ලිංගයක් සහිත ශාලාව මෙහි තිබෙන පැරණිත ම ගොඩනැඟිල්ල යි. සම්බුවවර්මන්, වික්‍රාන්තවර්මන් වැනි රජවරු අතින් ඉදිවුණු ආගමික ගොඩනැඟිලි ද මෙහි දක්නට ලැබෙනවා.
1955-1975 කාලයේ පැවති වියට්නාම් යුද්ධයෙන් මෙම විහාර සංකීර්ණයේ ඇතැම් ගොඩනැඟිලි විනාශයට පත්වුණා. විනාශයට පත්වුණු ගොඩනැගිලි පසුව ප්‍රතිසංස්කරණය කළා. මයි සොන් විහාර සංකීර්ණය ඓතිහාසික වශයෙන් වැදගත් ස්ථානයක්. එනිසා යුනෙස්කෝ සංවිධානය 1999 දී මෙය ලෝක උරුමයක් වශයෙන් ප්‍රකාශයට පත් කළා.
3). ඩෙටියන් දිය ඇල්ල
චීන-වියට්නාම දේශ සීමාව හරහා වැටී ඇති ඩෙටියන් දිය ඇල්ල වියට්නාමයට පැමිණෙන බොහෝ සංචාරකයන් අනිවාර්යයෙන් ම නරඹන ස්ථානයක්. බෑන් ජියොක් ලෙසින් ද හඳුන්වන මෙම දිය ඇල්ල ගුයිචුන් ගංගාවෙන් නිර්මාණය වෙනවා. මීටර් 200ක් පළල, මීටර් 70ක් උස මෙම දිය ඇල්ල ප්‍රධාන කොටස් 3කින් යුක්ත යි.
ඒවා ඉහළ කොටස, බෑවුම් කොටස සහ පහළ කොටස ලෙසින් හඳුන්වනවා. එලෙස පහළට කඩා වැටෙන ජල කඳ දිය ඇල්ල පාමුල පිහිටා ඇති විශාල ජල තටාකයකට එකතු වෙනවා. එම ජල තටාකයේ සිට මෙම දිය ඇල්ල හොඳින් නරඹන්නට පුළුවන්.
උණ බම්බුවලින් සෑදූ ඔරුවල නැගුණු සංචාරකයන් මෙම දිය ඇල්ල සමීපයට පැමිණ හොඳින් විනෝද වන ආකාරය සුලබ දර්ශනයක්. දිය ඇල්ල පාමුල තිබෙන අපූරු ජල තටාකයෙන් දිය නෑමට ද බොහෝ දෙනෙක් කැමැත්තක් දක්වනවා. අප්‍රේල් සිට නොවැම්බර් දක්වා කාලයේ දී මෙම ප්‍රදේශයට සැලකිය යුතු තරම් වර්ෂාවක් පතිත වෙනවා. එනිසා ඩෙටියන් ඇල්ලේ සුන්දරත්වය තවත් වැඩි වෙනවා.
එම කාලයට මෙම ඇල්ල නැරඹීම සඳහා වැඩි සංචාරකයන් ප්‍රමාණයක් පැමිණෙනවා. මෙම ස්ථානයට ඇතුළුවීම සඳහා වැඩිහිටි සංචාරකයකුගෙන් යුවාන් 80ක මුදලක් අය කරනවා. ඒ වාගේම සෙන්ටිමීටර් 120-140 අතර උසකින් යුත් දරුවන්ගෙන් යුවාන් 50ක මුදලක් අය කරනවා. උසින් සෙන්ටිමීටර් 120ට අඩු දරුවන්ට මෙම දිය ඇල්ල මුදල් ගෙවීමකින් තොරව නැරඹීමේ අවස්ථාව හිමිව තිබෙනවා.
4). කුචී උමං පද්ධතිය
1955-1975 කාලය තුළ අමෙරිකා - වියට්නාම යුද්ධය පැවති බව මෙම ලිපියේ ඉහත දී සඳහන් කළා. එම යුද්ධයේ දී වියට්නාම හමුදා සහ අමෙරිකානු හමුදා අතර දරුණු සටන් පැවතුණා. එදා වියට්නාම් හමුදාවලට සහ සාමාන්‍ය වැසියන්ට ආරක්ෂාව සැපයීම සඳහා කුචී උමං පද්ධතිය නිර්මාණය වුණා. 1946-1954 කාලය තුළ ප්‍රංශය සහ වියට්නාමය අතර යුද්ධයක් පැවතුණා. එම යුගයේ දී වියට්කොං ගරිල්ලන් මෙම උමං පද්ධතියේ වැඩ ආරම්භ කළා.
දශකයකට අධික කාලයක් පුරා එහි ඉදිකිරීම් සිදු වුණා. අවසානයේ දී කිලෝමීටර් 250ක දිගකින් යුත් දැවැන්ත උමං පද්ධතියක් නිර්මාණය කිරීමට වියට්කොං ගරිල්ලන්ට හැකි වුණා. මෙම උමං පද්ධතියේ එක් කෙළවරක් සයිගොං ගංගාව දක්වා විහි දී තිබෙනවා. එය හදිසි අවස්ථාවක දී ආරක්ෂිත ව උමං පද්ධතියෙන් ඉවත් වීමට අනුගමනය කළ පියවරක්. මෙම උමං පද්ධතිය ඉදිකිරීමේ දී යන්ත්‍රෝපකරණ භාවිත නොකිරීම සුවිශේෂී සිදුවීමක්.
කුචි උමං පද්ධතිය කිලෝමීටර් 250 කට වැඩි දුරක් පොළොව යටින් විහිදී තිබෙනවා. ඒ අතරෙහි විවේකාගාර, සංගීත කාමර, අවිහල්, අවි සහ මරඋගුල් නිෂ්පාදනාගාර, බඩු ගබඩා, රැස්‌වීම්ශාලා, රෝහල් සහ මුළුතැන්ගෙවල් ආදී යුද සැපයුම් සහ සටන්කරුවන්ගේ සුබසාධනය සැලසූ සියලු දේ, එනම්, අමෙරිකානු හමුදාව සමඟ රහසේ සටන් වැදීමට අවශ්‍ය හැම දෙයක්ම මේ තුළ තිබුණා.
මෙම උමං පද්ධතියට ඇතුළුවීම සඳහා කුඩා දොරවල් කිහිපයක් තිබෙනවා. එම දොරවල්වලට උඩින් කොළ රොඩු සහ වියළි තණකොළ අතුරා තිබෙනවා. එනිසා එම උමං දොරවල් එක් වර ම හඳුනාගන්නට බැහැ. උමං කටවල් ආශ්‍රිත වටපිටාවේ එකල ස්වභාවික උගුල් අටවා තිබුණු බව පැවසෙනවා. උමං මාර්ගය ඇතුළත පහසුවෙන් ඇවිදගෙන යන්නට බැහැ.
එහි සමහර තැන් උසින් ඉතාමත් අඩුවීම එයට හේතුව යි. උමගට වාතාශ්‍රය ලබාගැනීම සඳහා කුඩා කවුළු ඉදි කර තිබෙනවා. විශ වායු ප්‍රහාරයකට පවා ඔරොත්තු දෙන ආකාරය මෙම උමග ස්ථර 3කට අනුව නිර්මාණය කර තිබීම විශේෂත්වයක්.
1966 දී 8000ක අමෙරිකානු භට පිරිසක් මෙම ප්‍රදේශය ආශ්‍රිත ව මෙහෙයුමක් සිදුකළා. එදා වියට්කොන් ගරිල්ලන් සහ සාමාන්‍ය වැසියන් කුචී උමගේ සැඟවී සිය ජීවිත බේරා ගත්තා. පසු යුගයක වියට්නාම් රජය මෙම උමග සංරක්ෂණය කළා. එහි දී ඔවුන් කිලෝමීටර් 121ක දුරක් සංරක්ෂණය කළත් සංචාරකයන් සඳහා විවෘත වී ඇත්තේ කිලෝමීටර් 20ක දුරක් පමණ යි.
5). පොංග් නා-කේ බෑංග් ජාතික උද්‍යානය
පොංග් නා-කේ බෑංග් ජාතික උද්‍යානය වියට්නාමයේ ක්වාංග් බින් පළාතේ ඇනාමයිට් කඳුවැටිය ආශ්‍රිත ප්‍රදේශයේ පිහිටා තිබෙනවා. 1991 දී හෝ ඛාන් දේශීය සංචාරකයෙක් මෙම ප්‍රදේශයෙන් වසර මිලියන ගණනක් පැරණි ගුහා පද්ධතියක් සොයා ගත්තා. එනිසා මෙම ප්‍රදේශය කාගේත් අවධානයට ලක් වුණා. ඉන් වසර 10කට පසුව එනම් 2001 දී හෙක්ටයාර 85,754ක භූමි ප්‍රදේශයක් සහිත පොංග් නා-කේ බෑංග් ජාතික උද්‍යානය බිහි වුණා. මෙහි දක්නට ලැබෙන ගුහාවල වසර මිලියන 400-500ක් තරම් පැරණි ආසියාවේ පැරණිත ම කාර්ට්ස් පද්ධතිය පිහිටා තිබෙනවා.
මෙම ගුහා පද්ධතියේ විශාලත ම ගුහාව වන සොන් ඩූන්ග් කිලෝමීටර් 5ක දිගකින් යුක්ත යි. ගුහාවලට අමතර ව අලංකාර විල් සහ කඳු ජාතික උද්‍යානය තුළ දී දැකගන්නට පුළුවන්. මෙය නැරඹීම සඳහා වඩාත් සුදුසු වන්නේ මාර්තු-මැයි අතර කාලයක්. එම කාලයේ දී ජාතික උද්‍යානය ආශ්‍රිත ව වඩාත් සෞම්‍ය දේශගුණයක් පවතිනවා. පොංග් නා-කේ ජාතික උද්‍යානයේ ඇති වැදගත්කම පිළිබඳව සලකා බැලූ යුනෙස්කෝ සංවිධානය 2003 දී එය ලෝක උරුමයක් ලෙසින් ප්‍රකාශයට පත් කළා.