යාපනේ නගර සීමාවේ ඉදන් A 9 පාර දිහාවට යන්න තියන හොඳ ම කෙටි පාර තමා චෙම්මනී පාර. කෙළින් ම ඔය පාරෙන් ගියොත් වැටෙන්නේ චාවකච්චේරි නගර සීමාවට.
නල්ලූර් කෝවිල පහුකරගෙන පේදුරුතුඩුව පැත්තට යනකොට දකුණු පැත්තට වෙන්න, ගාම්භීරව ඉන්න සංකිලි රජතුමාගේ පිළිමයක් හම්බ වෙනවා.සංකිලි කියන්නේ යාපනය රාජධානිය පාලනය කළ රජ කෙනෙක්. චෙම්මනී පාර පටන් ගන්නේ එතනින්. තල් ගස් අතරින් ඉස්සරහට යද්දී A 9 පාර ළඟදි , මහා විශාලෙට ඉදිකරපු තොරණ් රාජයෙක් එක්ක චෙම්මනී පිවිසුම් ද්වාරය පේනවා.
වසර ගාණක් ආපස්සට හැරිලා බැලුවොත් නම් ඉතින් මේ චෙම්මනී පාර ගැන රස කතා නෑ. අපේ දෙමළ කවියෝ ඒ ගැන හරි හරියට කවි ලියා තියෙනවා. මේ චෙම්මනි පාර දෙපැත්තේ තල් ගස් මුරකාවල් ලාගෙන පේළියට ඉන්නේ වැළලී ගිය අඳුරු අතීතයේ බිහිසුණු කතා රැසක් මතකයේ දරාගෙන.
යාපනේට ඉතින් කවදත් හොඳට ම කාස්ටක අව්ව. වැහි පොද එන්නේ එහෙන් මෙහෙන් වගේ. මන්දාරමත් එක්ක වැටෙන මේ පොද වැස්ස අර ඉරි තැලුණු මහ පොළොව කොහොම එක්තැන් කරන්නද මන්දා.
ජූලි මාසෙ ආඩිකූල්
මේ පටන් ගන්නේ නිරිත දිග මෝසම් සුළඟ සමඟ එන වර්ෂා කාලය. ඒ නිසා මුහුද පැත්තෙන් හමා එන හුළඟත් හරිම සැරයි.
ලංකාවේ කෘෂිකර්මාන්තය මෝසම් වර්ෂා සමඟ යා වෙන්නක්. ඒ යල කන්නය සහ මහ කන්නය විදියට.
මෙහෙ කියන විදියට හිරු පොළොවට ළං වී ගමන් කරන කාල සීමාව "යල කන්නය ". ඉතිරි කාල සීමාව "මහ කන්නය". ඊසාන දිග මෝසම් වර්ෂාව ලැබෙන්නේ මහ කන්නයට අයත් වන දෙසැම්බර් සිට පෙබරවාරි කාල සීමාවේ. නිරිත දිග මෝසම් වර්ෂාව නම් අප්‍රේල් සිට අගෝස්තු කාල සීමාවේ. මේ අධික වර්ෂාවෙන් කුඹුරු ඉඩම් අස්වද්දා ලබා ගන්නා අග්‍රපලය යොදාගෙන හින්දු බැතිමතුන් ජනවාරි මාසයේ "තෛපෝන්ගල් " සමරනවා.
ජූලි මාසේ අගභාගය, "ජූලි" මස දෙමළ බසින් "ආඩි". මේ මාසය ආරම්භයේ රස බලන්න පුළුවන් අවේණික ආහාර වට්ටෝරුව තමා " ආඩිකූල්". "ඕඩියල් කුල් " කියන්නේ සරලව මුහුදු මාළු සුප් එකක් වගේ දෙයක් කියමුකො.
මුහුදු මාළු, කකුළුවන්, ඉස්සන් , දැල්ලන්, මෑ කරල්, ඕඩියල් පිටි (තල් පිටි), කුළුබඩු වර්ග එකතු කරලා හදපු "ඕඩියල්කූල්" වල රස මේ මොහොතේත් මගේ රස නහර පුරාවට දැනෙනවා වගේ. මේක ජූලි මාසයේ සැකසෙන ආහාරයක්. දෙමළ දින දර්ශනයේ ජූලි පළමු දිනය හැඳින්වෙන්නේ ‘ආඩි’ ලෙසයි. එය දළ වශයෙන් ගෝලීය දින දර්ශනයේ ජූලි 15 ට අනුරූපයි. ‘ආඩි පිරප්පු’ හෙවත් ආඩි මාසයේ උපත යනුවෙන් හැඳින්වෙන මෙම දිනයේ යාපනයේ හින්දු බැතිමතුන් සාමාන්‍යයෙන් උදා කිසට ‘ආඩි කූල්’ නමින් විශේෂ කෑමක් පිළියෙළ කරනවා.
ආඩි කූල් පිළියෙළ කරන්න සහල් පිටි (අරිසි මා) උණු ජලය සමඟ මිශ්‍ර කර හොඳින් පදම් කර කුඩා බෝල සකසා වාෂ්පයෙන් තම්බා ගන්න ඕන. නැවුම් මැටි වළඳකට පොල් කිරි එක් කර හැඳිගාන අතර "පනම් කට්ටි " නැත්නම් තල් හකුරු එක්කර, හාල් පිටිත් ,මුං ඇටත් එක්කර ද්‍රාවණය උකු කරගෙන තමා අර කුඩා බෝල එකතු කරන්නේ.මේකේ රස හොඳට ම ඉස්මතු වෙන්න නැවුම් පොල් කැබලි එකතු කරන්න පුළුවන්. කටට රස දැනෙන්නේ අන්න එතකොටයි.
ඌෂ්ණත්වය පාලනයට හොඳ ම පානය ආඩිකූල්
වර්ෂය අවසන් වෙද්දී අස්වැන්නෙන් සකසාගත් සහල් හිඟ කාලය උදාවෙනවා.ඒ නිසා වෙනත් අනුභෝග වන ධාන්‍ය ආදිය ආහරවලට එකතු කර ගත යුතු වෙනවා. එය සංකේතවත් කරන්නේ මේ "ආඩි පිරප්පු " පූජාවත් සමඟ. තවත් අයෙකු දරන මතය අනුව මේ ඇරඹෙන්නේ සූර්යයා රශ්මි විහිදුවාලන බොහෝ ඌෂ්ණ අධික සමය. මේ සමයේ ශරීර ඌෂ්ණත්වය පාලනය කිරීමට හොඳ ම පානය ආඩිකූල්.
අර්ධද්වීපයේ එක යායට උසට වැවුණු තල් ගසුත් අහස දිහා බලාගෙන ඉන්නේ , කවදා මහ වැස්සක් වැටෙයිද කියන බලාපොරොත්තුවෙන්.
චෙම්මනි පාර දෙපැත්තේ යායට පීදී කිරිවැදුණු ගොයම ගොවියාට අස්වනු දන්දී ඉපනැලි වෙලා. මේ කුඹුරු යායවල් දැන් ගව රංචු දිගෙලි කරන්න කියාපු තැන්.
මෙහෙ කුඹුරු වැඩ ගොඩක් ම වෙන්නේ ලොකු යකඩ ගොඩවල් එක්ක පොර බදන ගමන්.මොකද පේන නොපෙනෙන මානයේ තියෙන්නෙ කුඹුරු.ඒ අස්සෙ ම කුඹුරුවල එකෙළ මෙකෙළ වෙමින් උලාකන ගව රංචුවලත්, එළු රංචුවලත් අඩුවක් නම් නෑ.
උෂ්ණෙ යන්න නොන්ගු බොන්න
පාර දෙපැත්තේ දිය අගල් නැතුවා ම නොවෙයි. වැහි කාලෙට ඒවා හොඳට ම වතුර පිරිලා වුණත් දැන්නම් ලොකුවට වතුර නෑ. නාවට්කුලි පාලම පහුවෙද්දි වතුර පිරුණු දිය අගල් දකින්න පුළුවන්.
දන්නවද තවත් දෙයක්? බටහිර අහසේ ගිලෙන ඉර බලන්න කියාපු තැන තමා මේ චෙම්මනී පාර. අහස් කුසේ වර්ණ රටා බලන්න හරි අපූරුයි.
උතුරු අර්ධද්වීපයට හොදටම ඉර මුදුන් වෙලා. මහ පොළොව ගිනිබත් කරන්න තරම් කාස්ටක අව්වක්.මේ දවස්වල අව්වේ තරම හරියට ම දැනගන්න ඕන නම් මෝටර් සයිකලයක් පැදගෙන පාරක් දිගේ ඈතට යන්න ඕන.
මෝටර් සයිකලය පදවන මට පාර පුරාවට වතුර පෙනෙනවා.
හිරු දෙවියන්ගේ මායාව
"මහ වැස්සකුත් නැතුව,කිසිම ජල මූලාශ්‍රයක් පේන තෙක් මානයේ නැතුව පාරට වතුර ගලන්නේ කොහොමද? " ඉස්සරහට යන්න යන්නම අර කිව්ව වතුර නැතිවෙනවා. හරියට මැජික් එකක් වගෙයි.
මට ම උත්තරේ ඉබේ ම හමුවෙනවා. ඒ තමා "මිරිඟුව". හිරු දෙවියන්ගේ මායාවක තරම කොහොමද?
නොදැනුම්වත්ව ම මෝටර් සයිකලය හරවන්න සිග්නල් එකත් දාලා. ඔන්න රථය පාර අයිනේ නැවැත්තුවා, නොන්ගු බොන්න.
"එවලව්?" ( ගාණ කීයද? )
"අම්පතු ! " එකක් පනහයි ලු.
ගෙන්දගම් පොළොවේ ඕන දෙයක් විකිණෙන සමයක මේ තල් අරණේ තල් ගෙඩියට පවා මිලක් නියම වීම අරුමයක්ද?
යාපනය අර්ධද්වීපය තල්ගස්වල නිජ බිම. මේ බිමේ අස්සක් මුල්ලක් නෑර කටෝර මහ පොළොව දරාගෙන ඉන්න තල්ගස්වලින් ලැබෙන නොන්ගු, අපේ පළාත්වල කුරුම්බා හා සමානයි. කොටින්ම මේවා " තල් කුරුම්බා " කියා හඳුන්වන්න පුළුවන්.
යාපනේ පැත්තේ ළඟදි දවසක ආව කෙනෙක් නම්, පාර අයිනේ මේ තල් කුරුම්බා ඉති තියාගෙන ඉන්න උදවිය දැකලා ඇති.මේකත් අවුරුද්දේ හැම කාලෙකම හැදෙන්නේ නෑ. හැදෙන්නේ අවුරුද්දට ම දින කීපයයි. ඒ අප්‍රේල් අග මැයි මාසේ මුල වගේ.
තල් කුරුම්බා ගෙඩියේ දියරමය ලොඳ සහිත කාමර තුනක් තියනවා. ඇඟේ ඌෂ්ණේ මකා ගන්න කියාපු පානය.
රසේ කොහොම වෙතත් කඳේ කටු නිසා ගහේ නඟින එකනම් එතරම් සුන්දර නෑ. ඒ නිසාම අපේ පැතිවල කුරුම්බා, තැඹිලි වෙළඳාම වගේ ලොකු නොන්ගු වෙළඳාමක් මෙහේ නෑ. ගහේම පැහිලා ඉදිලා වැටිලා යනවා.
මේ පානයේ කැල්සියම්, පොස්පරස්, සින්ක්, විටමින් බී , සී , අනෙකුත් ඛනිජ , ස්වාභාවික සීනි වැනි පෝෂ්‍යපදාර්ථ පිරී තියනවා.
මේ රසවත් ගිම්හාන පානය කැලරි වටිනාකමෙන් ඉතා අඩු බැවින් දියවැඩියා රෝගීන්ට කදිමයි.සමට සහ ආමාශයට බෙහෙවින් යහපත් කියලා තමා අහන්න ලැබුණේ.
නොන්ගුවලින් හදන ආහාර වට්ටෝරුත් කීපයක් තියෙනවා.ඒ නොන්ගු පාල්(කිරි), නොන්ගු පානය වගේ බීම වර්ග. ඊට අමතර ඕඩියල් පිටි නැත්තම් තල් පිටි මිශ්‍ර කරලා හදාගන්න "තල් කැවුම් " "තල් බීම " , "ඕඩියල් කුල් " කියන මුහුදු මාළු සුප් වගේ තල් ගහෙන් හදාගන්න කෑම වර්ග මෙහේ හරිම ජනප්‍රියයි.
අද වගේ කාලෙක සුපර් මාර්කට් එකකට ගිහින් ගන්න රසායනික ද්‍රව්‍ය මුසු කළ බීම වගේද මේ බීම වර්ග? ප්ලාස්ටික් කාඩ්බෝඩ් අසුරන නැතු ව ස්වාභාවික ව ගහෙන් නෙළාගෙන වෙළඳාම් කරන අපේම දේ. එදා වේල වෙනුවෙන් පොර බදින අපේ පොඩි මිනිහාගේ දේ. සිය රට දේ සිරි සැප දේ !
තල් ගහ කියද්දී මතක් වෙන තව දෙයක් තමා "කොට්ට කිලන්ගු" (பனம் கிழங்கு) "ඔඩියල් "එහෙමත් නැත්නම් තල් අලවල රස තමා මේ. "කොට්ට" නම් බීජ. "කිලන්ගු" නම් අල.
උඩිනුත් රස යටිනුත් රස
ශුෂ්ක භුමියේ කහවන් රත්තරන්,ඔඩියල්. මිහිරි උක් තීරුවකට සමාන තරමක් ආකර්ෂණීය පෙනුමක් ඇති අහාරයක්.පොළව යට හැදෙන අලයක්.
තිරුණවේලි ජන්සන් ( Tirunelveli Junction ) පැත්තේ, ජැෆ්නා ෆෝට් පැත්තේ රවුම් ගහපු ඕන කෙනකුට නැවුම් කහ-සුදු සැරයටි වැනි කොට්ට කිලන්ගු අහුරක් ගන්න අමතක වෙන්නේ නෑ. නෙල්ලි කෝඩියල්, පන්නතු (pannatu) අර්ධද්වීපයට ආවේණික වූ තවත් අරුම පුදුම කෑම බීම වර්ග.
තැන තැන තල් ගස් සිටුවීම ඉපැරැණි සිරිතක්
උණුසුම් අර්ධද්වීපයේ තැන තැන තල් ගස් සිටුවීම ඉපැරැණි සිරිතක්. නියමිත වේලාවට මහ පොළව උඩු යටිකුරු කරලා නිස්සාරණය කරන අල, කූඩයට ගොඩ ගැසූ විට අලංකාර ලී වැනි ඔඩියල්.
ඔඩියල් සාමාන්‍යයෙන් අනුභව කරන්නේ වියළි විදිහට. වේලකට පැය ගණනක් හපන්න පුළුවන්. කම්මැලිකම යන්න හප හපා ඉන්නත් පුළුවන් හරියට වෙළඳ පොළේ ඇති කුඩා චිප්ස්, බිස්කට් වගේ. තම්බලා සරල ව ආහාරයට ගන්නත් පුළුවන්. කහ ටිකක් ලුණු ස්වල්පයක් දැමූ විට එය මෘදු, ඉස්ම සහිත කෑමක්.
යාපනයේ රසවත් අනන්‍යතාව පෝෂණය කරන ඔඩියල් කූල් සහ පිට්ටු ,පාම් පොෂා විදිහටත් දකින්න පුළුවන්.
කොට්ට කිලන්ගු ඔසු ගූණය
මේ කොට්ට කිලන්ගුවල ඖෂධීය ගුණ කිහිපයක්:
කොට්ට කිලන්ගු දියවැඩියාව පාලනය කරන ඔසුවක්. කෑම දිරවීමත් ක්‍රමවත් කරනවා. කෙඳි සහිතයි.ප්‍රමාණවත් ප්‍රෝටීන අඩංගුයි. පරිවෘත්තීය වේගවත් කරනවා.
* නිර්මාංශික සහ සත්ත්ව ආහාරවලින් තොර අය සඳහා ඉතා ඉහළින් නිර්දේශ කෙරෙන ඉහළ පෝෂ්‍යදායී අන්තර්ගතයක්.
* රතු රුධිර සෛලවල නිසි යකඩ ප්‍රමාණයක් සහ තඹ, ප්‍රමාණයක් පවත්වා ගනිමින් ශරීරයේ රුධිර සංසරණය වැඩි දියුණු කළ හැකි ආහාරයක්.
* පෝෂ්‍ය පදාර්ථ ඉතා ඉහළ නමුත් කැලරි ඉතා අඩු නිසා ආහාර වේලට පහසුවෙන් එක් කරගත හැකියි. අපි යමක් කෑමට සූදානම් බව අපේ මනසට පවසන කුසගිනි හෝමෝනය (hungry hormone) වන ග්‍රෙලින් (ghrelin) මුදා හැරීම වළක්වා ගැනීම ද ඉන් සිදු කරනවා.
* ඔමේගා -3 (omega -3)මේද අම්ලවල ප්‍රභවයක් .කොලෙස්ටරෝල් අඩංගුයි ඒත් ඒවා “හොඳ” කොලෙස්ටරෝල් වන (HDL කොලෙස්ටරෝල්). රුධිර නාළවල හා ධමනි වල ඇති හානිකර කොලෙස්ටරෝල් ප්‍රමාණය අඩු කළ හැකි කදිම ඔසුවක්.
* ළදරු සෞඛ්‍යය හා සම්බන්ධ ස්නායුක නළ දෝෂ (neural tube defects) යනු බී විටමින් සංකීර්ණයේ සාමාජිකයකු වන ෆෝලේට් ඌණතාවේ වඩාත් පොදු අතුරු ආබාධයක්.සැලකිය යුතු ෆෝලේට් ප්‍රමාණයක් කොට්ට කිලන්ගුවල අන්තර්ගත වෙනවා.
* විටමින්-සී (vitamin C) අන්තර්ගත නිසා ශරීරයේ සුදු රුධිරාණුවලට ආසාදන හා රෝගවලට එරෙහි ව සටන් කිරීමට ප්‍රබල උත්තේජකයක්. (Antioxidant activity).
ඔබේ ආහාර වේලට එක් කර ගත යුතු හොඳ පිළිකා නාශක තේරීමක්. විටමින් සී, විටමින් ඒ මෙන්ම ඇමයිනෝ අම්ල සහ ප්‍රෝටීන (විශාල එන්සයිම ද ඇතුළු ව) ශරීරයේ නිදහස් රැඩිකල් අන්තර්ගතයට බලපෑම් කළ හැකියි.
ඔබේ ඊළඟ යාපන සවාරියේ දී චෙම්මනි පාර අමතක නොකරන්න මතක තබා ගන්න. එහි සිට ඉර ගිලෙනු නරඹමින් නෙත පිනවන අතරතුර කොට්ට කිලන්ගු රසයක් දිව අග තිබුණොත් යාපනයේ සුන්දරත්වයත් යාපනයේ රසයත් ජීවමාන වනවා ඇති.