“මානව අයිතිවාසිකම්” කාලයක් පුරාවට යුරෝපීය දාර්ශනිකයන්ගේ ලියැවිලි වලට පමණක් සීමා වෙලා තිබුණු මානව අයිතිවාසිකම් දැන් දේශ සීමා පවා අතික්‍රමණය කරමින් ලෝකය පුරාම පැතිරිලා තියෙනවා. ලෝකයේ ප්‍රධාන ආගම් හැම එකක් තුලම යම් මට්ටමකට හරි මානව අයිතිවාසිකම් ගැන අවධානයක් යොමු කරලා තියෙන බව දකින්න පුළුවන්. විශේෂයෙන්ම සදාචාරයේ සහ හොඳ ක්‍රියාකාරකම්වල පැවැත්ම නරක දේට වඩා වැඩියි කියන කාරණාව ඕනෑම ආගමක පිළිගැනෙනවා.
නූතන ලෝකයේ මානව අයිතිවාසිකම්වලින් “මිනිසුන්ට සිය මානවගරුත්වය රැක ගැනීමට නැතිවම බැරි අයිතිවාසිකම්” ගැන හැඟවෙනවා කියලා පුළුල්ව හිතන්න පුළුවන්. මානව අයිතිවාසිකම් ගැන ප්‍රබලම ලියැවිල්ල බිහි වුණේ 1948 අවුරුද්දේ ප්‍රංශයේ “පැලේ දු ෂේයූ” වලදීයි. (Palais de Chaillot, ප්‍රංශ භාෂාවේ සමහර උච්චාරණයන් අකුරු යෙදීමට වඩා බොහොම අමුතුයි) 1948 දෙසැම්බර් 10 වැනිදා පැවැත්වුණු එක්සත් ජාතීන්ගේ ප්‍රධාන සමුළුවේදී පිළිගනු ලැබූ මේ “විශ්වීය මානව අයිතිවාසිකම් ප්‍රඥප්තිය” (Universal Declaration of Human Rights – UDHR) කියන විශ්වීය ලියැවිල්ල තමයි අදටත් ලෝකය පුරාම පිළිගැනෙන්නේ.
මානව අයිතිවාසිකම් සහ මූලික අයිතිවාසිකම් අතර වෙනස්කම්
“මානව අයිතිවාසිකම්” කියන්නේ ගෝලීයව පිළිගත් කාරණා සමුදායක්. මේ ගැන පොත්පත් බොහොමයක් ලියැවිලා තියෙනවා වගේම ලෝකයේ විවිධාකාර ජනසමාජ හැම එකකටම ගැළපෙන විදිහට මේ කරුණු සකස් කරගන්නේ කොහොමද කියන එක ගැන විශේෂඥයන් අතර මතභේද ගණනාවක්ම දකින්න ලැබෙනවා.
කොහොම වුණත් “මූලික අයිතිවාසිකම්” කියන දේ හැමවිටම වගේ අදාළ රටට හරි ප්‍රදේශයට හරි ආවේණික කාරණා අනුව සකස් කරගත්තු කරුණු පද්ධතියක්. වෙනත් විදිහකින් කිව්වොත් ලෝකයම පිළිගත්තු මානව අයිතිවාසිකම් පද්ධතිය තුළින් යම් රටක් තමන්ට ගැළපෙනවා කියලා තෝරා ගත්තු කරුණු ටික මූලික අයිතිවාසිකම් කියලා හිතන්න පුළුවන්. ඕනෑම රටක පාලකයන් අදාළ රටේ ව්‍යවස්ථාව තුළින් තමන්ගේ පුරවැසියන්ට මේ මූලික අයිතිවාසිකම් අත්විඳින්න සුදුසු වාතාවරණයක් සකසන්න බැඳී සිටිනවා.
ශ්‍රී ලංකාවේ පුරවැසියන්ට හිමි මූලික අයිතිවාසිකම්: මොනවාද, කාටද සහ මොකටද?
ශ්‍රී ලංකාවේ පුරවැසියන්ට හිමි වන මූලික අයිතිවාසිකම් 1978 අවුරුද්දේ සම්මත වුණු අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ පැහැදිළිව දක්වා තිබෙනවා. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 1978 ව්‍යවස්ථාවේ පූර්විකාවේ ඒ සම්බන්ධව දැක්වෙන්නේ මේ වගේ දෙයක්.
“…ශ්‍රී ලංකාවාසී ජනතාවෙග් මතු පරම්පරා වලද ධර්මිෂ්ට නිවහල් සමාජයක් බිහි කිරීමෙහි ලා සහ සුරක්ෂිත කිරීමෙහි ලා ඒ පරම්පරා විසින් දරන්නාවූ ප්‍රයත්නයේදී සහාය වීමට පැමිණෙන සකල ලෝකවාසීන්ගේද අභිමානය සහ සමෘද්ධිය සහතික කෙරන අස්පර්ශනීය උරුමයක් ලෙස නිදහස, සමානාත්මතාව, යුක්තිය, මූලික මානව අයිතිවාසිකම් හා අධිකරණයේ ස්වාධිනත්වය සකල ජනතාවට සහතික කරන්නාවූත් ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයක් බවට ශ්‍රී ලංකාව පත්කිරීම සඳහා…”
ව්‍යවස්ථාවේ 4(ඈ) වගන්තියේ මේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම ගැන මේ විදිහට දැක්වෙනවා.
“ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් ප‍්‍රකාශ කොට පිළිගනු ලබන මූලික අයිතිවාසිකම් සියලූ පාලන ආයතන විසින් ගරු කරනු ලැබිය යුත්තේය; ආරක්ෂා කරනු ලැබිය යුත්තේය; වර්ධනය කරනු ලැබිය යුත්තේය. තවද, ඒ මූලික අයිතිවාසිකම් මෙහි මින්මතු විධිවිධාන සලස්වා ඇති ආකාරයට සහ ප‍්‍රමාණයට මිස සංක්ෂිප්ත කිරීම, සීමා කිරීම හෝ අහිමි කිරීම නොකළ යුත්තේය.”
සරලව විස්තර කරනවා නම් පොදුජන සේවයේ යෙදෙන පොලිස් නිලධාරියාගේ සිට සංස්ථා දක්වා සියලු පුද්ගලයන් සහ ආයතන (ඇමතිවරුන්ද ඇතුළුව) මේ අයිතිවාසිකම් ආරක්ෂා කළ යුතුයි. එසේ නොකිරීම නීතියෙන් දඬුවම් කළ හැකි වරදක් විදිහට සැලකෙනවා.
මෙතැනදී සිහියට ගන්න අවශ්‍ය කාරණාවක් තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව කෙනෙකුගේ පුරවැසිභාවය (සහ “නීතිමය පුද්ගලභාවය”) මත “පුද්ගලයන්” සහ “පුරවැසියන්” කියලා කොටස් දෙකක් යටතේ නීතිය ක්‍රියාත්මක වෙන බව. පුරවැසියන් හට “පුද්ගලයන්”ට වඩා වැඩි මූලික අයිතිවාසිකම් ප්‍රමාණයක් හිමි වෙනවා. මේ ලිපිය කියවන වැඩි දෙනාගේ තේරුම් ගැනීමේ පහසුව වෙනුවෙන් සරලව කරුණු ඉදිරිපත් කරන්න අවශ්‍ය නිසා මේ ලිපියේදී කතා කෙරෙන්නේ පුරවැසියන්ගේ අයිතිවාසිකම් ගැන විතරයි.
මීට අමතරව සිවිල් සහ දේශපාලනික අයිතිවාසිකම් පිළිබඳව අන්තර්ජාතික ප්‍රඥප්තියේ (International Covenant on Civil and Political Rights – ICCPR) 2007 අවුරුද්දේ 56 වන පනතත් ශ්‍රී ලංකාවේ ඕනෑම පුද්ගලයෙක් වෙනුවෙන් පිරිනැමෙන අයිතිවාසිකම් ගැන වැදගත් ලියැවිල්ලක්. මේ පනත ශ්‍රී ලංකාවේ නීතිමය වශයෙන් පිළිගැනීමට ලක් වෙන්නේ වෙනත් රටවල පුද්ගලයන්ගේ අයිතිවාසිකම් ගැනත් මීට වඩා සැළකිලිමත් විය යුතුයි කියලා අන්තර්ජාතික ප්‍රජාව කරන ඉල්ලීමට එකඟ වීමක් විදිහටයි. ඒ වගේම තවත් අයිතිවාසිකම් ලබා දෙන නීති, කෙටුම්පත් සහ නීතිමය ලියැවිලි ගණනාවක්ම බිහි වෙලා තියෙනවා. මේ අතරින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පිළිගැනෙන අයිතිවාසිකම් ගැන විස්තර සාරාංශ වශයෙන් පහත දැක්වෙනවා.
පුරවැසියන් සතු අයිතිවාසිකම් 14
1. සිතීමේ නිදහස, හෘදය සාක්ෂියේ නිදහස සහ ආගමික නිදහස
“සෑම තැනැත්තකුටම තමන් අභිමත ආගමක් ඇදහීමේ හෝ වැළඳ ගැනීමේ නිදහසද, ලබ්ධියක් හෝ විශ්වාසයක් දැරීමේ හෝ පිළිගැනීමේ නිදහසද ඇතුළුව සිතීමේ නිදහසට, හෘදය සාක්ෂියේ නිදහසට සහ ආගමික නිදහසට හිමිකම් ඇත්තේය.”
ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාවේ 10 වැනි වගන්තියට අනුව ඕනෑම පුද්ගලයෙක්ට තමන්ගේ කැමැත්ත අනුව ඕනෑම ආගමක් / විශ්වාසයක් දැරීමේ සහ ඇදහීමේ නිදහස හිමි වෙනවා. හෘද සාක්ෂියේ නිදහස තුළින් ඕනෑම පුද්ගලයෙකුට තමන්ට කැමති ඕනෑම දෙයක් සිතීමේ සහ ඕනෑම දෙයක්, ඕනෑම ආගමක් හෝ සදාචාරාත්මක කාරණාවක් ගැන තමන් කැමති මතයක් දැරීමේ අයිතියත් හිමිවෙනවා.
කොහොම වුණත් කෙනෙක් තවත් ආගමකට හැරවීම ගැන සහ ආගමක් ප්‍රචාරය කිරීම වගේ කාරණා වලදී යම් මතභේදයක් මතු වෙන අවස්ථා දකින්න පුළුවන්. ශ්‍රේෂ්ඨාධිකරණයේ නිර්වචනයක් ඇසුරෙන් ප්‍රකාශයට පත් කෙරුණු “ක්‍රිස්තියානු සහනයේ දොරටුව යාඥා මධ්‍යස්ථානය (සංස්ථාකරණය)” කියන පනත මගින් ව්‍යවස්ථාවේ 10 වැනි වගන්තිය යටතේ ආගමක් ප්‍රචාරය කිරීමේ නිදහස තහවුරු නොකෙරෙන බව (ඉන්දියාවේ වගේ) සඳහන් වෙනවා.
එනිසා කෙනෙක්ට තවත් ආගමක් වැළඳ ගන්න කියලා සන්තෝසම් ලබා දීම, දිරිමත් කිරීම සහ අනවශ්‍ය බලපෑම් කිරීම වගේ දේවල් සිදු කරන්න අයිතියක් රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින් කිසිම කෙනෙකුට ලබාදී නැහැ. කොහොම වුණත් මේ කාරණාව ගැන ඉදිරිපත් කෙරුණු නඩු ගණනාවක් තවමත් ශ්‍රේෂ්ඨාධිකරණය තුළ විභාග වෙන නිසා සමහර විට ශ්‍රේෂ්ඨාධිකරණ මතය සංශෝධනය වෙන්නත් ඉඩක් තියෙනවා. විශේෂයෙන්ම 14 (ඉ) වගන්තියෙන් ඕනෑම පුද්ගලයෙකුට “පෞද්ගලිකව තම ආගම, ලබ්ධිය හෝ විශ්වාසය ඇදහීමෙන්, පිළිපැදීමෙන්, ප‍්‍රගුණ කිරීමෙන් සහ ඉගැන්වීමෙන් ප‍්‍රකාශ කිරීමේ නිදහස” ලබා දෙන නිසා මේ කාරණාව ගැන යම් මතභේදයක් දකින්න පුළුවන්.
2. වධ හිංසාවලින් නිදහස
“කිසිම තැනැත්තකු වධ හිංසාවලට හෝ කෲර, අමානුෂික හෝ අවමන් සහගත සැලකිල්ලකට නැතහොත් දඬුවමකට යටත් නොකළ යුත්තේය.”
මේ වගන්තිය බොහෝ විට වැදගත් වෙන්නේ යම් කෙනෙක් පොලීසිය ඇතුළු නීතිය රකින නිලධාරීන් අතින් වධ හිංසාවකට / කෲරත්වයකට ලක් වෙන අවස්ථාවලදීයි. යම් පුද්ගලයෙක් අත්අඩංගුවට ගැනීම, උද්ඝෝෂණයක් විසුරුවා හැරීම වගේ දෙයක් සඳහා අනවශ්‍ය හෝ අවශ්‍යතාව ඉක්මවා යන මට්ටමේ බලයක් භාවිත කිරීමෙන් මේ අයිතිවාසිකම උල්ලංඝනය වෙන්න පුළුවන්. කෙනෙක් සතු මූලික අයිතිවාසිකමක් අහිමි කිරීම සම්පූර්ණයෙන්ම තහනම් ක්‍රියාවක්.
කොහොම වුණත් ප්‍රායෝගිකව සලකනවිට බොහෝ අවස්ථාවල මේ අයිතිවාසිකම උල්ලංඝනය වුණු බව තහවුරු කරන එක අපහසු වෙන්න පුළුවන්. පැහැදිලිව හිංසාවට ලක්වුණු බව තහවුරු කරන්න පුළුවන් තුවාල හෝ කැළැල් වගේ දේවල් ඉතිරි නොවෙන විදිහේ වධහිංසා ලබා දෙන ක්‍රම පවතින නිසා පොලිස් නිලධාරීන් මේ නීතියෙන් රිංගා යමින් කටයුතු කරන බව බොහෝ වෙලාවට අහන්න ලැබෙනවා. කොහොම වුණත් කෙනෙක් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සිදු නොවුණු බවට සහ එම පුද්ගලයා විසින්ම හරි, වෙනත් කෙනෙක් විසින් හරි සිදු නොකළ බවට සාක්ෂි පවතින තුවාල, තැලීම් සහ කැළැල් බන්ධනාගාරගතව ඉන්නා කාලය තුළදී හරි, පොලිස් භාරයේ ඉන්නා අවස්ථාවේ හරි වධහිංසාවන්ට ලක් වුණු බවට ප්‍රබල සාක්ෂියක් විදිහට නීතියෙන් පිළිගැනෙනවා. ඕනෑම අවස්ථාවක සුදුසු “අවම බලය” භාවිත කිරීම පොලිස් නිලධාරියෙක් සතු වගකීමක්. කෙනෙක් අත්අඩංගුවට ගනිද්දී අවශ්‍යතාව ඉක්මවා බලය පාවිච්චි කරන එක අදාළ පුද්ගලයා සතු මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් විදිහට සැලකෙනවා.
ඒ වගේම මේ වගන්තිය කෙනෙකුට තවත් කෙනෙකුගෙන් හෝ ආයතනයකින් ලිංගික හිංසා හෝ මානසික වධ හිංසා සිදු වෙන අවස්ථාවන් වලදීත් නීතිය ක්‍රියාත්මක කරන්න දායක වෙනවා.
3. සර්ව සාධාරණත්වයේ අයිතිවාසිකම
1. නීතිය පසිඳලීම සහ ක‍්‍රියාත්මක කිරීම ද, නීතියේ රැකවරණය ද, සර්ව සාධාරණ විය යුත්තේ ය.
2. කිසිම පුරවැසියකු වර්ගය, ආගම, භාෂාව, කුලය, ස්ත්‍රී පුරුෂ භේදය, දේශපාලන මතය හෝ උපන් ස්ථානය යන හේතු මත හෝ ඉන් කවර වූ හේතුවක් මත හෝ වෙනස්කමකට හෝ විශේෂයකට හෝ භාජන නොවිය යුත්තේ ය.
අපේ ව්‍යවස්ථාවේ දකින්නට ලැබෙන ප්‍රධානතම අදහසක් වන සර්ව සාධාරණත්වයේ අයිතිවාසිකම පිළිබඳ වගන්තියට විශාල වපසරියකට අයත් කාරණා අයත් වෙනවා. සරලව කිව්වොත් ඕනෑම කෙනෙකුට නීතිය ඉදිරියේදී සමාන සැලකිල්ලක් ලබාදෙන බවත්, කිසිම පුද්ගලයෙකුට එහි සඳහන් කාරණා හේතුවෙන් අඩු හෝ වැඩි සැලකිල්ලක් ලබාදීම තහනම් වන බවත් තමයි මෙයින් දැක්වෙන්නේ. කොහොම නමුත් සමහර පුද්ගලයන්ට තනතුර මත සුවිශේෂී අවස්ථා හිමිවෙනවා.
ජනාධිපතිවරයාට එරෙහිව නඩු පවරන්න බැරි වීම, පාර්ලිමේන්තු මන්ත්‍රීන්ට හිමි වරප්‍රසාද සහ නීති නිලධාරීන්ට අදාළ ඇතැම් කාරණා වගේ දේවල් උදාහරණ විදිහට දක්වන්න පුළුවන්.
මේ වගන්තිය මගින් සාමාන්‍ය සමාජ පරිසරය තුළ සුදුසුකම් මත සැමට සමාන අවස්ථාවක් හිමි වීම වගේ දේවලුත් ඇතුලත් වෙනවා. රජයේ දෙපාර්තමේන්තුවල උසස් වීම් ලබා ගැනීම, රජයේ පාසල් වලට ඇතුළත් වීම, විභාග වලදී සාධාරණත්වය වගේ කාරණා වලදී සියලු දෙනාට සමාන සැලකිල්ලක් හිමිවිය යුතුයි.
නිග්‍රහ ලැබීමෙන් වැලකීමට තියෙන අයිතිවාසිකම
කෙනෙකුට කිසිම හේතුවක් මත නිග්‍රහ ලැබීමෙන් වැළකීමට තියෙන අයිතිවාසිකමත් මෙහි සඳහන් තවත් ඉතා වැදගත් කරුණක්. විශේෂයෙන්ම ජාතික සංහිඳියාව ළඟා කරගන්න ගන්නා උත්සාහයේදී මේ කාරණාව බොහොම වැදගත් වෙනවා. ඇතැම් අවස්ථාවලදී රජයට පිළිගත හැකි හේතු මත විවිධ පුද්ගලයන්ට විශේෂ වරප්‍රසාද හෝ සැලකිල්ලක් හිමි වෙන ආකාරයට කටයුතු යොදන්න හැකියාව තියෙනවා. නමුත් මේ ඕනෑම අවස්ථාවකදී අදාළ විශේෂ වරප්‍රසාද හිමි පිරිස තීරණය කරන්නට පිළිගත හැකි, තාර්කික පදනමක් තිබීම අත්‍යාවශ්‍යයි. පැහැදිලි හේතු කාරණා මත විශේෂ වරප්‍රසාද හිමි විය යුතු කාණ්ඩය නිර්ණය කිරීමත්, ඊට අයත් නොවන කොටසෙන් ඔවුන් වෙන් කර දැක්විය හැකි තාර්කික පදනමක් පැවතීමත් මේ වගේ අවස්ථාවක තහවුරු කළ යුතුයි. සරල උදාහරණයක් ගත්තොත් ශාරීරික ආබාධ තියෙන කෙනෙකුට රැකියා ස්ථානයකදී අනෙක් අයට වඩා වෙනස් නීති පවතින්න පුළුවන්. නමුත් මේවා සාධාරණ සහ තාර්කික ඒවා විය යුතුයි. (උදා : රියදුරු රැකියාවක් කරන කෙනෙකුට අත් දෙක හැසිරවීමට හැකියාව අවශ්‍යයි.)
මේ වගන්තිය මගින් වැඩිපුරම ඉලක්ක කෙරෙන්නේ ආගම, ජාතිය, භාෂාව, කුලය, ස්ත්‍රී පුරුෂ බව හෝ වෙනත් අතාර්කික කාරණා මත වෙළඳසැලකට, පොදු අවන්හලකට, නවාතැන්පොලකට, පොදු විනෝද ස්ථානයකට හෝ ඔහුගේ / ඇයගේ ආගමට අයත් වන්දනා ස්ථානයකට ඇතුළු වීමේදී නිග්‍රහ කෙරෙන අවස්ථා ගැනයි.
කොහොම නමුත් මේ කාරණාවන්ට පටහැනි නොවන විදිහට කාන්තාවන්ට, කුඩා ළමුන්ට හෝ ආබාධිත පුද්ගලයන්ට සුවිශේෂී වන සාධාරණ නීති නිර්මාණය කරන්නත් අවස්ථාව තියෙන බව මතක තබා ගත යුතුයි.
4. අත්තනෝමතිකව සිරභාරයට ගැනීමෙන්, රඳවා තබා ගැනීමෙන් සහ දඬුවම් කිරීමෙන් නිදහස සහ අතීතයට බලපාන දණ්ඩන නීති පැනවීම තහනම් කිරීම
දණ්ඩ නීති සංග්‍රහය (විශේෂ විධිවිධාන) පනතේ 2013 අංක 2 දරන පරිච්ඡේදයට ඇතුළත් වගන්ති අනුව (යළි දීර්ඝ නොකෙරුණොත් 2017 පෙබරවාරි 2 දක්වා බල පැවැත්වෙන) යම් පුද්ගලයෙක් වරෙන්තු රහිතව අත්අඩංගුවට ගෙන හෝ වෙනත් ආකාරයට රඳවාගෙන මහේස්ත්‍රාත්වරයෙක් වෙත ඉදිරිපත් නොකර තබා ගන්න පුළුවන් උපරිම කාලය පැය 24ක් පමණයි. නමුත් යම් බරපතල වැරදිකරුවෙක් වෙනුවෙන් ඔහු / ඇය රඳවා තබා ගැනීම පර්යේෂණ සඳහා අවශ්‍ය වන අවස්ථාවක ඒ බවට නියෝජ්‍ය පොලිස් අධිකාරීවරයෙකුගෙන් ලැබෙන සහතිකයක් යටතේ වරෙන්තු රහිතව අතිරේක පැය 24ක කාලයක් රඳවා තබා ගන්නත් අවසර ලබා දෙන්න මහේස්ත්‍රාත්වරයාට හැකියාව තියෙනවා. 2017 අවුරුද්දේ පෙබරවාරි 2 වැනිදාගෙන් පසුව යළි දීර්ඝ නොකෙරුණොත් හරි, දණ්ඩ නීති සංග්‍රහය යටතේ කලින් සිදු වුණා වගේ අතිරේක විධිවිධාන පැනවුණේ නැතිනම් හරි මේ තත්වය නැවතත් උපරිම පැය 24ක් බවට පත් වේවි.
නමුත් ඇතැම් ඉතා බරපතල වැරදි සිදු කළ අවස්ථා වලදී ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මහේස්ත්‍රාත්වරයෙකුට ඉදිරිපත් කිරීමෙන් තොරව පැය 72ක කාලයක් දක්වා රඳවා තබා ගන්නත් හැකියාව තියෙනවා.
මේ නීතිමය රාමුවෙන් පිටත සිදු කෙරෙන ඕනෑම අත්අඩංගුවට ගැනීමක් හෝ රඳවා තබා ගැනීමක් අදාළ පුද්ගලයා සතු “අත්තනෝමතිකව සිරභාරයට ගැනීමෙන් හා රඳවා තබා ගැනීමෙන් වැළකීමේ මූලික අයිතිවාසිකම” උල්ලංඝනය වීමක් විදිහටයි සැලකෙන්නේ. ඇතැම් අවස්ථා වල මේ විදිහට රඳවා තබා ගැනීම පුද්ගලයෙකු සතු යාමේ ඒමේ නිදහස උල්ලංඝනයක් විදිහටත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අර්ථකථනය කරලා තියෙනවා. ඒ නිසා පොලිස් නිලධාරියෙක් යම් පුද්ගලයෙකුට තමන් සමග පොලිස් ස්ථානයට යා යුතු බවට “පැහැර හැරිය නොහැකි නියෝගයක්” සිදු කරනවා නම් (ඒ කියන්නේ පොලිස් ස්ථානයට යනවා හැර වෙනත් විකල්පයක් නොමැති ආකාරයේ නියෝගයක්) එතැන් සිට ඔහුව / ඇයව අදාළ පොලිස් නිලධාරියා විසින් අත්අඩංගුවට ගැනුණු බව සැලකෙනවා. කලින් සඳහන් කරපු කාල සීමාවන් ආරම්භ වෙන්නේ ඒ මොහොතේ ඉඳලයි.
නීතිය ඉදිරියේ වරදක් සිදු කර ඇති බවට “සාධාරණ සැකයක්”
පොලිස් නිලධාරියෙකුට යම් පුද්ගලයෙකු අත්අඩංගුවට ගන්න පුළුවන් වෙන්නේ ඔහු / ඇය නීතිය ඉදිරියේ වරදක් සිදු කර ඇති බවට “සාධාරණ සැකයක්” ඇති වන අවස්ථාවක පමණයි. මේ නිසා අසාධාරණ විදිහට අත්අඩංගුවට ගැනීමේදීත් මේ අයිතිවාසිකම උල්ලංඝනය වෙනවා. ඒ නිසාම කෙනෙකු අත්අඩංගුවට ගන්නා ඕනෑම අවස්ථාවක ඒ සඳහා වන හේතුව අදාළ පුද්ගලයාට දැනුම් දීමත් පොලිස් නිලධාරියෙකු අනිවාර්යයෙන්ම සිදුකළ යුතුයි.
ඒ වගේම නීතියෙන් වරදකරුවෙකු බවට පත් වන තුරු තමන් නිවැරදිකරු බවට වන පූර්ව නිගමනයක් යටතේ කටයුතු කිරීමටත්, සාධාරණ නඩු විභාගයකට මුහුණ දීමටත් අයිතිය මේ වගන්තිය යටතේ ඕනෑම පුද්ගලයෙකුට හිමි වෙනවා.
මේ වගන්තියේ අවසාන කොටස වෙන්නේ අතීතයට බලපාන පරිදි දණ්ඩ නීති පැනවීමෙන් වැළකීමේ නිදහසයි. මේකේ අදහස යම් කෙනෙක් අදාළ මොහොත වන විට නීතිගත නොකළ යම් කාරණාවක් (නීතියෙන් වරදක් බවට සඳහන් නොවන ඕනෑම ක්‍රියාවක් නීති විරෝධී නොවන ක්‍රියාවක් කියලා සැලකෙනවා) සිදු කිරීම වෙනුවෙන් එය වරදක් බවට පසුව නීති පනවා අදාළ පුද්ගලයාට නීතිය පිහිටුවන්නට කලින් සිදු කළ එම වැරැද්ද සඳහා දඬුවම් කරන්නට හැකියාවක් නැති බවයි.
5. භාෂණයේ නිදහස
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 (1) වගන්තිය මගින් ඕනෑම පුරවැසියෙකුට භාෂණයේ, නැතිනම් කතා කිරීමේ / අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය හිමි වෙනවා. තමන්ගේ අදහස් ලියා හෝ වෙනත් ආකාරයකින් ප්‍රකාශයට පත් කිරීමත් මේකට ඇතුළත්. භාෂණයේ නිදහස කියන දේ මූලික හරය වෙන්නේ යම් කෙනෙකුට හෝ පිරිසකට මතයක් පළ කරන්නට ඇති හැකියාව සහ සන්නිවේදනයට තියෙන නිදහස වළක්වන්නට තවත් කිසිම කෙනෙකුට බලයක් නැහැ කියන එකයි. මේ තුලින් පොදු රැස්වීම් පවත්වන්න, කතා පවත්වන්න, රඟ දැක්වීම්, වේදිකා නාට්‍ය, ඡායාරූප ගැනීම්, ගායනා ආදිය සිදු කරන්න වගේම සමාජ ජාලා තුළ තමන්ගේ මතය ප්‍රකාශ කරන්නත් ඕනෑම කෙනෙකුට අයිතිවාසිකම් ඇති බව තහවුරු කෙරෙනවා.
කොහොම නමුත් වැදගත්ම කාරණාව වෙන්නේ මේ සියලුම කාරණා අනිත් අයගේ අයිතිවාසිකම් සුරැකෙන ආකාරයෙන් සිදුකළයුතුයි කියන එක. මේ නිසා තවත් කෙනෙකුට නිග්‍රහ කිරීම, පෞද්ගලිකත්වය උල්ලංඝනය කිරීම වගේ දේවල් කරන්න බැහැ. ඒ වගේම රහස් සුරැකීමට අදාළ නීති වගේ දේවල් වලිනුත් මේ අයිතිවාසිකම පමණ ඉක්මවා භාවිත කරන එකට විවිධ සීමා පැනවෙනවා.
6. සාමකාමීව රැස්වීමේ නිදහස
14 වන වගන්තිය යටතේම තියෙන තවත් වැදගත් අයිතිවාසිකමක් විදිහට සමාගමයේ නිදහස හඳුන්වන්න පුළුවන්. මේ තුළින් ඕනෑම පුරවැසියෙකුට පොදු රැස්වීමකට සහභාගී වීමට, පාගමනකට/පෙළපාලියකට සහභාගී වීමට අයිතිවාසිකමක් හිමි වෙනවා. මේ අයිතිය සහ භාෂණයේ නිදහස එකට එකතු වුණාම දේශපාලනික රැස්වීම් / රැළි ආදිය පවත්වන්න, උද්ඝෝෂණ පවත්වන්න වගේ දේවල් සඳහා නිදහස කාටත් හිමි වෙනවා. නමුත් මේ සියලු කාරණා සාමකාමීව වගේම නීතිමය සීමා හෝ වෙනත් පුද්ගලයන්ගේ නිදහස උල්ලංඝනය නොවන ආකාරයටයි සිදු කළ යුත්තේ.
7. සමාගමයේ නිදහස
සමාගමයේ නිදහස තහවුරු කිරීම තුළින් සියලුම පුරවැසියන්ට තමන් කැමති සමාගමකට, සමිතියකට, දේශපාලන පක්ෂයකට හෝ සංවිධානයකට බැඳීමේ සහ එහි කටයුතු කිරීමේ නිදහස හිමි වෙනවා. (රොටරැක්ට් වගේ සංගම්, සුභසාධන සමිති වගේ) මේ නිදහස හිමිකර දීම මගින් “එකමුතුභාවය”, “පිරිසක් ලෙස බලවත් වීම” වගේ සංකල්ප බල ගැන්වෙනවා. රාජ්‍ය වැඩකටයුතුවලදී සහ නීති කෙටුම්පත් සැකසීම වගේ කරුණු වලදී මේ අයිතිවාසිකම සුරක්ෂිත කිරීමට විශාල වගකීමක් පැවරෙනවා.
කොහොම වුණත් ඇතැම් අවස්ථාවලදී මේ නිදහස සීමා කරන්න සිදු වෙන අවස්ථාවනුත් දකින්න පුළුවන්. විශේෂයෙන්ම ආගමික සහ වාර්ගික සංහිඳියාව ආරක්ෂා කිරීමට ගැටළු මතු වෙන අවස්ථාවලදී සහ ජාතික ආර්ථිකයට බලපෑම් එල්ල වන අවස්ථා වලදී මේ විදිහට සමාගමයේ නිදහස සීමා කෙරෙනවා. (ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 15-4 වන වගන්තිය යටතේ) ඒ නිසා ආගමික අන්තවාදී සංවිධාන වලට සමාගමයේ නිදහස හිමි වෙන්නේ නැහැ.
8. වෘත්තීය සමිති පිහිටුවීමේ සහ වෘත්තීය සමිතිවලට බැඳීමේ නිදහස
වැඩකරන ජනතාවට වඩාත් වැදගත් අයිතිවාසිකමක් වන වෘත්තීය සමිතින් වල කටයුතු කිරීමේ නිදහස ඔවුන්ට රැකියාව තුලදී තම අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීමට මහඟු පිටුවහලක්. වෘත්තීය සමිතියක සාමාජිකයෙක් වීම නිසාම පාලනාධිකාරිය ඒ පුද්ගලයාව අගතියට ලක් කරනවා නම් එයින් ඔහුගේ / ඇයගේ මූලික අයිතිවාසිකමක් උල්ලංඝනය වෙනවා. ඒ නිසා එවැනි අවස්ථාවකදී නීතියේ පිහිට පතන්න පුළුවන්.
9. ස්වකීය සංස්කෘතිය භුක්ති විඳීමේ, වැඩි දියුණු කිරීමේ සහ ස්වකීය භාෂාව භාවිත කිරීමේ නිදහස
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 (ඊ) වගන්තිය යටතේ ඕනෑම පුරවැසියෙකුට “එකලාව හෝ අන් අය හා සමග හෝ ස්වකීය සංස්කෘතිය භුක්ති විඳීමේ හා වැඩි දියුණු කිරීමේ නිදහස සහ ස්වකීය භාෂාව භාවිත කිරීමේ නිදහස” සුරක්ෂිත කර තිබෙනවා. ශ්රී ලංකාව වගේ බහු සංස්කෘතික රටක රජය සියලු පුරවැසියන්ට තමාගේ භාෂාව භාවිතයේ සහ තම සංස්කෘතිය භුක්ති විඳීමේ නිදහස ප්‍රවර්ධනය වන විදිහට සහ වැඩිදියුණු වෙන විදිහට කටයුතු කරන එක ඉතා වැදගත්. මේ තුළින් ඕනෑම පුරවැසියෙකුට තමන් අයත් සංස්කෘතික උරුමය භුක්තිවිඳීම සහ වැඩිදියුණු කිරීමටත්, සංස්කෘතික උත්සව/සැණකෙළි ආදියට සහභාගී වීමටත් අයිතිය හිමි වෙනවා.
ඒ වගේම ඕනෑම කෙනෙකුට තමන් කැමති භාෂාවක් භාවිත කරන්නටත් අවසර තියෙනවා. කොහොම වුණත් තමන් භාවිත කරන භාෂාවෙන් අධ්‍යාපනය ලබන්න තියෙන අයිතිවාසිකම මේ යටතේ හිමි වෙන්නේ නැහැ. ශ්‍රී ලංකාවේ රාජ්‍ය භාෂාවන් වන සිංහල සහ දෙමළ යන භාෂා වලින් අධ්‍යාපනය ලැබීමේ නිදහස 21 වන පරිච්ඡේදයේ 1 වන වගන්තිය යටතේ වෙනමම අයිතිවාසිකමක් විදිහට හිමි කර දීලා තියෙනවා. නමුත් එය මූලික අයිතිවාසිකම් යටතට ගැනෙන්නේ නැහැ.
10. නීත්‍යානුකූල රැකියාවක, වෘත්තියක, කර්මාන්තයක, වෙළඳ ව්‍යාපාරයක හෝ ව්‍යවසායක නියුක්ත වීමේ නිදහස
14 (උ) වගන්තිය යටතේ ඕනෑම ශ්‍රී ලාංකික පුරවැසියෙකුට “එකලාව හෝ අන් අය හා සමග යම් නීත්‍යානුකූල රැකියාවක, වෘත්තියක, කර්මාන්තයක, වෙළඳ ව්‍යාපාරයක හෝ ව්‍යවසායක නියුක්ත වීමේ නිදහස” හිමි වෙනවා. (එකලාව කියන්නේ තමන් විසින්ම / තනිවම කියන එකයි) මේ අයිතිවාසිකම හිමි කර දීමේ මූලිකම පරමාර්ථය වෙන්නේ රටේ ඕනෑම පුද්ගලයෙකුට බාධාවකින් තොරව නීත්‍යානුකූල රැකියාවක නියැලෙන්න සහ ව්‍යාපාරයක යෙදෙන්න ඉඩකඩ ලබාදීමයි. එමගින් සියලු සේවකයන්ගේ අයිතීන් සුරක්ෂිත කිරීමටත් සදාචාරයන්ට සහ මානව ධර්මයන්ට පටහැනි නොවන, නීති හෝ අනෙක් අයගේ අයිතිවාසිකම් උල්ලංඝනය නොවන ඕනෑම වෘත්තියක් සුදුසුකම් සහිත සියලු දෙනා වෙනුවෙන් විවෘතව පවත්වා ගැනීම රජයේ වගකීමක් බව ගම්‍ය වනවා. කොහොම නමුත් ඇතැම් අවස්ථාවල සමහර රැකියා සහ ව්‍යාපාර සිදු කිරීමට සාධාරණ, තාර්කික හේතු යටතේ විවිධ සීමා පැනවීමටත්, ඊට අවශ්‍ය නීති සකස් කිරීමටත් නීතියෙන් ඉඩ සලසා තිබෙනවා.
11. ශ්රී ලංකාව තුළ යාම් ඊම් නිදහස, අභිමත ස්ථානයක වාසය කිරීමේ නිදහස සහ ශ‍්‍රී ලංකාවට පෙරළා පැමිණීමේ නිදහස
ගමනාගමනයේ නිදහස ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව තුලින් සියලු ශ්‍රී ලාංකික පුරවැසියන්ට හිමි වෙනවා. කොහොම නමුත් ජාතික ආරක්ෂාව, පොදු විනය වගේ කාරණා වලට යටත්ව තමයි මේ අයිතිවාසිකම හිමි වෙන්නේ. නමුත් මේ වගේ විශේෂ හේතූන් මත සීමා පනවලා නැති ඕනෑම ප්‍රදේශයකට ගමන් කරන්න, පොදු ස්ථාන වල සංචාරයේ යෙදෙන්න වගේම වාසයට සුදුසු ඕනෑම ස්ථානයක පදිංචි වෙන්නත් නිදහස කාටත් හිමි වෙනවා.
ශ්‍රී ලංකාවෙන් වෙනත් රටකට ගමන් කරද්දී අදාළ රටේ අවසරය (වීසා මාර්ගයෙන්) මත පිටත් වෙලා යන්න ඉඩකඩ ලැබුණත් ශ්‍රී ලාංකිකයන්ට වෙනත් රටකට යන්න අවසර ලබා දෙන මූලික අයිතිවාසිකමක් නැහැ. මේ නිසා විවිධ හේතු මත එයට සීමා පනවන්න අවසර තියෙනවා. මේ හේතුවෙන් ශ්‍රී ලාංකික පුරවැසියෙකුට ගමන් බලපත්‍රයක් ලබා ගන්න මූලික අයිතිවාසිකමක් හිමි වෙලා නැහැ. (ඇමරිකාවේ නම් ඕනෑම පුරවැසියෙකුට “පාස්පෝට් එකක්” ලබා ගන්න මූලික අයිතිවාසිකමක් තියෙනවා) නමුත් සුවිශේෂීම අවස්ථා කිහිපයකදී හැරුණු විට විදේශයකට ගිය ශ්‍රී ලාංකික පුරවැසියෙකුට නැවත ශ්‍රී ලංකාවට පැමිණෙන්න සම්පූර්ණ නිදහස තියෙනවා.
12. තොරතුරු වෙත ප්‍රවේශ වීමේ අයිතිවාසිකම
මේක මෑතකදී සිදු වුණු 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් 1978 ව්‍යවස්ථාවට අලුතෙන් එකතු වුණු කාරණාවක්. බොහෝ දුරට පහසුවෙන්ම තේරුම් ගන්න පුළුවන් වගන්තියක් කිව්වත් වරදක් නැහැ. නමුත් මේ වගන්තිය බලාත්මක කරන්න පුළුවන් වෙන්නේ ඒ සඳහා අවශ්‍ය නීතිමය රාමුව යටතේ විතරක් නිසා තවමත් ප්‍රායෝගිකව ගත්තාම මේ වගන්තිය අක්‍රීයවයි පවතින්නේ. ලබන අවුරුද්දේ මුල් කාලය වන විට මේකට අදාළ නීතිමය රාමුව සකස් කරලා අවසන් කරන්න කටයුතු සැලසිලා තිබුණත් බොහෝ විට පරිපාලන ගැටළු නිසා සම්පූර්ණයෙන්ම ක්‍රියාකාරී තත්වයට එන්න තවත් කල්යන්න ඉඩ තිබෙනවා. කොහොම නමුත් මෙය නිවැරදිව ක්‍රියාත්මක වෙනවා නම් ඕනෑම පුරවැසියෙකුට රටේ පරිපාලන ආයතන සහ නිලධාරීන් ගණනාවක් සතු තොරතුරු විශේෂ හේතුවක් ඉදිරිපත් නොකර ලබාගන්නට අවසර ලැබෙන්න නියමිතයි. ඒ වගේ තොරතුරු ලබා දීමෙන් වළකින්න අවසර තියෙන්නේ පහත කාරණාවන්ට තර්ජනයක් එල්ල වන අවස්ථාවක විතරක් බව ව්‍යවස්ථාවේ මේ විදිහට දක්වලා තියෙනවා.
“ජාතික ආරක්ෂාව, භෞමික අඛණ්ඩතාව හෝ මහජන ආරක්ෂාව තහවුරු කිරීම පිණිස ද, විෂමාචාර හෝ අපරාධ වැළැක්වීම පිණිස ද, සෞඛ්‍යය හෝ සදාචාරය ආරක්‍ෂා කිරීම පිණිසද, අන් අයගේ කීර්තිය හෝ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම පිණිසද, පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීම පිණිසද, අධිකරණයට අපහාස කිරීම වැළැක්වීම පිණිසද, පාර්ලිමේන්තු වරප්රසාද ආරක්ෂා කිරීම සම්බන්ධයෙන්ද විශ්වාසය මත දැනුම් දෙන ලද තොරතුරු හෙළිදරව් කිරීම වැළැක්වීම පිණිසද හෝ, අධිකරණයේ අධිකාරී බලය හා අපක්‍ෂපාතීත්වය පවත්වාගෙන යාම පිණිසද, ප්රජාතන්ත්රවාදී සමාජයකට අවශ්‍ය වන්නා වූ නීතියෙන් නියම කරනු ලැබිය හැකි සීමා කිරීම් හැර වෙනත් කවර හෝ සීමාකිරීමක් මේ ව්‍යවස්ථාවෙන් ප‍්‍රකාශ කොට පිළිගෙන ඇති අයිතිවාසිකම මත නොපැනවිය යුත්තේ ය”
13. නීතීඥ සහය ලබා ගැනීමට ඇති අයිතිය
ඕනෑම පුරවැසියෙකුට උසාවියකදී හෝ අධිකරණයකදී තමා විසින්ම හෝ නීතීඥයෙක් මාර්ගයෙන් පෙනීසිටීමට අයිතියක් තිබෙනවා. ඒ වගේම ඕනෑම අයෙකුට තමන් අත්අඩංගුවට පත්වූ වහාම නීතීඥයෙකුගේ සේවය ලබා ගැනීමට ඉල්ලුම් කරන්නත් 2012 දී පොලිස් ආඥා පනතට එකතු කෙරුණු “නීතීඥවරයෙකු පොලිස් ස්ථානයකදී පෙනී සිටීම” කියන කොටස යටතේ නිදහස ලබාදී තියෙනවා. මේ නීති යටතේ ඕනෑම කෙනෙකුට පොලිස් ස්ථානයක පෙනී සිටින අවස්ථාවක තමන්ව නියෝජනය කිරීම සඳහා නීතිඥවරයෙකු සමග පැමිණෙන්නට අවසරය තිබෙනවා. ඒ සඳහා අවශ්‍ය ඉඩකඩ සැලසීමට අදාළ පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා කටයුතු සැලසිය යුතුයි.
ඒ නිසා ඕනෑම වෙලාවක තමන්ගේ නීතිඥයාගේ සේවාව ලබා ගැනීමට සියලුම පුරවැසියන්ට අයිතිවාසිකම් හිමිවෙනවා. මේකට අත්අඩංගුවට ගත් මොහොතේ ඉඳලා රඳවා ගන්නා සම්පූර්ණ කාලයම ඇතුලත්. කොහොම නමුත් නීතිය අවභාවිත කරන්න තියෙන ප්‍රවණතාව නිසා අත්අඩංගුවට ගත් පුද්ගලයාගෙන් ප්‍රකාශයක් ලබා ගන්නා තුරු නීතීඥයෙක් හමු වෙන්න අවසර නොදිය යුතු බවටත් යෝජනාවක් ඉදිරිපත් වෙලා තියෙන බව සැලකිල්ලට ගත යුතුයි. ඒත් දැනට ඔබට ඕනෑම අවස්ථාවක නීතීඥ සහය පතන්න සම්පූර්ණ අවසරය තිබෙනවා.
14. රාජ්‍ය අධ්‍යාපනය ලැබීමේ සහ වෙනත් රාජ්‍ය දේපළ පරිහරණයේ නිදහස
මූලික අයිතිවාසිකමක් විදිහට විශේෂයෙන්ම දක්වලා නැති වුණත් අපි මේ ලිපියේ මුලින්ම කතා කරපු විදිහටම “සිවිල් සහ දේශපාලනික අයිතිවාසිකම් පිළිබඳව අන්තර්ජාතික ප්‍රඥප්තියේ (International Covenant on Civil and Political Rights – ICCPR) 2007 අවුරුද්දේ 56 වන පනත” ශ්‍රී ලංකාව පිළිගෙන තිබෙන නිසා ඕනෑම පුරවැසියකුට “රජයෙන් ලබා දෙන පොදු සේවා භාවිත කිරීමේ අයිතිවාසිකම” හිමි වෙනවා. රාජ්‍ය අධ්‍යාපනයත් එවැනි සේවාවක් ගණයට වැටෙන නිසා රාජ්‍ය අධ්‍යාපනය ලැබීමේ නිදහසත් අයිතිවාසිකමක් විදිහට සළකන්න පුළුවන්. විශේෂයෙන්ම ප්‍රාථමික සහ ද්වීතියික අධ්‍යාපනය රජයේ පාසලකින් ලබා ගැනීමට සියලු දෙනාට අවසර හිමිවෙනවා. වෙනත් පොදු සේවා වන ජලය, විදුලිය වගේ දේවලුත් මේකට අයත්.
මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන අවස්ථා සහ ගත හැකි පියවර
අපි මෙතෙක් කතා කරපු ඕනෑම මූලික අයිතිවාසිකමක් විධායක හෝ පරිපාලන නිලධාරියෙක් මාර්ගයෙන්, වෙනත් රාජ්‍ය කොටස්කරුවෙක් මාර්ගයෙන් (පොලිස් නිලධාරියෙක්, ඇමතිවරයෙක්, රාජ්‍ය නිලධාරියෙක්, රාජ්‍ය ආයතනයක් වගේ) උල්ලංඝනය වෙනවා නම් එයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය තුළ නඩු පවරන්නට ඕනෑම පුරවැසියෙකුට නීතිමය නිදහස තිබෙනවා.
නමුත් තමන්ගේ නඩුව ගොනු කිරීම අදාළ අයිතිවාසිකම උල්ලංඝනය වීමෙන් මාසයක් තුලදී සිදුකළ යුතුයි. මේ මාසයක් ඇතුළත නඩුව ගොනුකළ යුතුයි කියන නීතිය බල නොපවත්වන්නේ මාසයක් ඇතුළත උසාවියට ඉදිරිපත් වීමට අපොහොසත් වන ආකාරයේ නොවැළැක්විය හැකි හේතුවක් තියෙනවා නම් පමණයි. (බරපතල අසනීපයක් හෝ රඳවා තබා ගැනීමක් වගේ) මේ වගේ අවස්ථාවක සාධාරණ සහ සුදුසු යැයි දැනෙන ආකාරයේ සහනයක් සැලසීමට හෝ ඊට අදාළ නියෝගයක් නිකුත් කිරීමට අධිකරණයට බලය තියෙනවා. මෙය බොහොම ප්‍රබල බලතලයක් බව හිතන්න පුළුවන්.
ඒ වගේම ඕනෑම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් හෝ අවහිර කිරීමක් පිළිබඳව පැමිණිල්ලක් ශ්‍රී ලංකා මානව අයිතිවාසිකම් කොමිෂන් සභාවට ඉදිරිපත් කරලා අදාළ කාරණාව ගැන පරීක්ෂණයක් සහ තීරණයක් ලබා ගැනීමේ අයිතියත් ඕනෑම පුරවැසියෙකුට නිදහස තිබෙනවා. කොහොම නමුත් මානව හිමිකම් කොමිෂන් සභාවේ තීරණය නීතිමය වශයෙන් සෘජුවම බලපවත්වන්නේ නම් නැහැ.
ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් නඩුවක්
මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිලි කරන එකේ තියෙන ප්‍රධානම වාසිය එමගින් “ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් නඩුවක් මාසයක් ඇතුළත ගොනු කළ යුතුයි” කියන කාරණාවට යම් නිදහසක් ලබාගන්න ඉඩක් ලැබෙන එකයි. අදාළ හිරිහැරය සිදුවෙලා මාසයක් ඇතුලත කොමිෂන් සභාවට පැමිණිලි කරලා තිබුණොත් ශ්‍රේෂ්ඨාධිකරණ නඩුව ගොනු කරන්නට යම් අතිරේක කාලයක් ඉල්ලුම් කිරීමට හැකියාව හිමිවනවා. අනිත් කාරණාව තමයි ප්‍රායෝගික වශයෙන් මානව හිමිකම් කොමිෂන් සභාවේ පැමිණිල්ලක් ගොනු කරන එක ඉක්මණින් සහ අඩු වියදමකින් කරන්න පුළුවන් වීම.
මේ කාලයේ මානව අයිතිවාසිකම් කියන මාතෘකාව ලෝකය පුරාම කතා බහට ලක් වෙනවා. ඕනෑම පුරවැසියෙකුගේත්, ජන සමාජයකත් සමාජ-දේශපාලනික මනා පැවැත්මට මානව අයිතිවාසිකම් ගැන හොඳ දැනුමක් තිබීමත්, අන් අයගේ අයිතීන්ට ගරු කිරීමත් විශාල පිටුවහලක් විදිහට හඳුනා ගන්න පුළුවන්. මේ වගේ ලිපියකින් උත්සාහ කරන්නෙත් එවැනි තත්වයක් ඇති කිරීමට පුංචි හරි පෙළඹවීමක් සපයන්නයි.
සමහරවිට ඔබ නොහිතන දේවල් වලින් ඔබේ අයිතීන් උල්ලංඝනය වෙනවා වගේම ඔබේ ඇතැම් ක්‍රියාකලාපයන් නිසා තවත් කෙනෙකුගේ අයිතීන්ට බාධාවක් ඇති වෙනවා වෙන්නත් පුළුවන්. මේ නිසා තමන්ගේ අයිතීන් දිනා ගන්න අතරම අනිත් අයගේ අයිතිවාසිකම් වලට බාධා නොකරන, සමාජයට ධනාත්මකව දායක වෙන පුද්ගලයෙක් බවට පත්වෙන්න ඔබත් සිතට ගන්න. අපේ රට අපි කාටත් සතුටින් ජීවත් විය හැකි තැනක් බවට පත් කරගන්නට ඒක ඉවහල් වේවි.