Today Travelling :- 2022.04.08
සොඳුරු ලංකා පටුන ගැන නොදන්නා වගතුග
ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ පිහිටි මුහුදේ ඈතට පෙනෙන සේ පර්වතයක් මත ඉදි කළ පුරාණ දාගබක් සහිත ලංකාපටුන කොටි ත්‍රස්තවාදී කඳවුරක් ව කලක් පැවති ස්ථානයක්. කොටින්ගේ පරාජයෙන් ටික කලකට පසුව එහි කුඩා දාගබක් ඉදි කෙරුණු අතර විහාරය මෑතක සිට වන්දනාකරුවන් අතර ප්‍රකට ස්ථානයක් බවට පත්ව තිබෙනවා.
දළදා වහන්සේ රැගෙන දන්ත කුමරු සහ හේමමාලා කුමරිය මෙරටට ගොඩබැස්ස ස්ථානය ලෙස සැලකෙන ලංකා පටුනේ ඉතිහාසය පිරික්සා බලමු.
පිහිටීම
නැගෙනහිර පළාතේ සේරුනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ උප්පුරාල් ග්‍රාම නිලධාරි වසමේ තමයි ලංකා පටුන විහාරය පිහිටා තිබෙන්නේ. එය දෙමළ බසින් හඳුන්වන්නේ ඉලක්කතුරේ නමින්. මහවැලි ගඟේ අග කොටසේ ප්‍රධාන ශාඛාවක් වන වේරුගල් ආර මුහුදට පිවිසීමට කිලෝ මීටර් තුනකට පමණ පෙර තවත් ශාඛාවක් සෑදී උතුරට ගලා ගොස් උල්ලක්කලිය කළපුවට පිවිසෙනවා.
එහි මුවදොර තමයි සුන්දර ලංකාපටුන පිහිටා ඇත්තේ. මෙහි පුරාණ වරායක් පැවති බව පැවසෙනවා. මේ වරායෙන් රට තුළට පිවිසීමට ද පුළුවන. වරායෙන් පිවිස වේරුගල් ආරුවේ ශාඛාව දිගේ වේරුගල් ආරුවට පිවිස එමඟින් මහවැලි ගංගාවට පිවිස පහසුවෙන් එකල මහියංගනය තෙක් ළඟාවීමට හැකියාව ලැබෙන්නට ඇති.
විහාර බිම
මේ විහාරය මුහුදට මායිම් ව උස් කඳුගැටයක් වැනි පර්වත සහිත බිම්කඩක ඉදි කර තිබෙනවා. කොළඹ සිට කිලෝ මීටර් 300 ක් පමණ දුරින් පිහිටා ඇති මෙම ඓතිහාසික පුද බිමට පොදු ප්‍රවාහන සේවයෙන් පැමිණෙනවා නම් සේරුවිල බස් රථයකින විත් අරිප්පු හන්දියෙන් බැස ලංකා පටුන දක්වා දිවෙන බස් රථයකින් ළඟාවිය හැකියි. සේරුවිල නවෝදයේ ආදි කර්තෘන් ලෙස සලකන දඹගස්ආරේ ශ්‍රී සුමේධංකර මහ නා හිමියන් 1940 වර්ෂයේ දී පමණ මෙම පුද බිම සොයා ගෙන ඇති බව පැවසෙනවා.
පසුකාලීන ව ඉදිකළ විහාරයට සමුද්‍රිරි විහාරය යන නම ලබා දී තිබෙනවා. 1984න් පසු මේ පෙදෙස කොටි ත්‍රස්තවාදී පාලනයට නතුව පැවති බැවින් කිසිවකුට ලංකාපටුනට පැමිණීමට අවස්ථාව ලැබුණේ නැහැ. කොටින් පරාජය කිරීමෙන් පසුව සේරුවිල සරණකිත්ති නා හිමියන් මෙහි සංඝාවාස ඉදිකර භික්ෂුන්ට වාසය කිරීමට සුදුසු පරිසරයක් ඇති කළ අතර ඉන්පසු මේ විහාරය නිදහසේ වැඳ පුදා ගන්නට කාටත් අවස්ථාව උදා වෙලා තිබෙනවා.
ඉතිහාසය
ක්‍රිස්තු පූර්ව තුන්වන සියවසේ දී මහින්දාගමනයක් සමඟ ඇතිවූ බෞද්ධ ප්‍රබෝධය නැඟෙනහිර පළාතටත් බලපා තිබෙනවා. තිරියාය, සේරුවිල, ඉච්චලන්පත්තු, නච්චියාරමලෙයි ආදී ස්ථාන කිහිපයක ම ඇති බ්‍රාහ්මී ශිලා ලිපි පැහැදිලි කරන්නේ එවකට මේ පෙදෙසේ බෞද්ධාගම පැතිරි පැවති බව යි. ඒ අතරින් ලංකා පටුන ද එක් බෞද්ධ විහාරයක් වන්නට ඇති බව නිසැක යි.
උදේනි රජුගේ පුත් දන්ත කුමරු සහ ගුහසීව රජ දියණිය හේමමාලා කුමරිය නැවක නැඟී ලංකාවට පැමිණියේ දන්ත ධාතුව සඟවාගෙන යි. කළිඟු රටේ දළදා වහන්සේ ලබා ගැනීමට ඇති වූ යුද වාතාවරණය හමුවේ ගුහසීව රජු තම දියණිය හා බෑණනුවන් අත දළදා වහන්සේ ලක්දිවට වැඩම වන්නට කටයුතු කරන්නේ ක්‍රිස්තු වර්ෂ 310 දී යි. දාඨා වංශය, දළදා සිරිත සහ මහාවංශය ආදී ග්‍රන්ථවල මෙම සිද්ධිය සඳහන් වෙනවා. මහාවංශය සඳහන් කරන්නේ ඔවුන් දෙදෙනා ලංකාවට ගොඩ බැස්සේ එවකට ප්‍රකට නැව් තොටක් වුණු ලංකා පටුනෙන් බව යි.
තාම්‍රලිප්තයෙන් නැව් නැඟී ලක්දිව බලා ගමන් ඇරඹූ ඔවුන් මහ සයුරේ දී මුහුණ දුන් චණ්ඩ මාරුතය නිසා අපමණ දුක් ගැහැට විඳි බවත් දළදා වහන්සේ පෑ විස්මිත පෙළහර දැක සියලූ උවදුරින් මිදී ලංකා පට්ටනයට ගොඩ බැස්ස බවත් මහාවංශය සඳහන් කරනවා. ලංක පටුනේ පර්වතය මත එවකට තිබී ඇත්තේ දේවාලයක්. එහි සිටි එක්තරා බමුණකුගෙන් මඟතොට විමසා දැන දළදාව රැගෙන අනුරපුර ආසන්නයේ මේඝගිරි නම් විහාරයට පැමිණ පසුව අනුරාධපුර අගනගරයට ගොස් තිබෙනවා. එවකට ලංකාවේ රජු ලෙස සිටියේ මහසෙන් රජුගේ පුත් සිරිමේඝවර්ණ රජු යි.
ලංකා පටුනේ දේවාලය පසු කාලයේ දී බෞද්ධ විහාරයක් බවට පත්වූ බව එහි දක්නට ලැබෙන පැරණි නටබුන්වලින් පැහැදිලි වෙනවා. කෙසේ වුවත් මේ ස්ථානයේ මේ දක්වා විධිමත් පුරාවිද්‍යා ගවේෂණයක් සිදුකර නැහැ.
පැරණි වරායක සාධක ද සොයා ගෙන නැහැ. නමුත් පුරාණ විහාරයක් පැවති බවට විනාශ වී ගිය නටබුන් සාක්ෂි දරනවා. එම නටබුන් අක්කර 20ක පමණ බිමක පැතිර තිබෙනවා.
දාගබ
ගල් පර්වතය මත තිබූ ඉපැරණි දාග බේ ඉතිරිව ඇත්තේ පේසාවක් පමණ යි. ඉතිරි කොටස් නිදන් හොරුන් විනාශ කරලා. එම පේසාවේ කපරාරුව සඳහා භාවිත කළ බදාම කොටස් සහිත බොරදම අදටත් ඉතා හොඳින් ආරක්ෂා වී තිබෙනවා. දාගබේ ගර්භය නිදන් හොරුන් විනාශ කර ඇති අතර ගඩොලින් නිම කළ ගර්භ පාත්‍රයේ, කුටීර තුනක් කැණීමෙන් පසු සොයාගෙන තිබෙනවා. ඉතිරි සියලු කුටීර විනාශ වි ගොසින්. මෙහි ද වෙනත් දාගබ් මෙන් කුටීර නවයක් පවතින්නට ඇති බවට අනුමාන කර තිබෙනවා.
ඉපැරණි දාගබේ පේසාව කපරාරු කිරීම සඳහා භාවිත කර ඇත්තේ අනුරාධපුර යුගයට අයත් ඉදිකිරීම් තාක්ෂණය බව පැහැදිලි යි. පුරාවිද්‍යා කැණීමෙන් පසු දාගබේ පහත බොරදම් කොටස පමණක් සංරක්ෂණය කර තිබෙනවා. පියගැට පෙළ තරණය කිරීමෙන් බැතිමතුන්ට දාගබ පිහිටි පර්වතය මතට පැමිණිය හැකි යි. පව්ව මතට මහ සමුදුරේ අලංකාර දර්ශනයක් ද දැකගත හැකි යි. සේරුවිල දාගබ ද ගොඩබිම දෙසින් මෙම ස්ථානයට පේනවා.
පර්වත මුදුනේ පැරණි දාගබ පැවති ස්ථානයේ මෑතක දී ඉදි කළ ආරුක්කු මත ඇති කුඩා චෛත්‍යය නම් මෙහි පෞරාණිකත්වයට ගැළපෙන බවක් පේන්නේ නැහැ. සෑ මළුවට නුදුරින් මෑතක දී ඉදිකළ පිළිම ගෙයක් සහ හිටි බුදු පිළිමයක් ද පිහිටා තිබෙනවා.
කටාරම් සහිත ලෙන
දාගබ පිහිටි ගල්පර්වතයට පහළින් භාවනානුයෝගී භික්ෂූන් සිටි බව පෙනෙන කටාරම් කෙටූ ලෙනක් දකින්න ලැබෙනවා. ලෙන අඩි හතරක් පමණ පළලින් ද අඩි 20ක් පමණ ගැඹුරකින් ද යුක්තයි.
මෙහි පැවති විහාරයේ වැඩවිසූ භික්ෂූන්ගේ ප්‍රයෝජනයට ඉදිකළ පොකුණක් පර්වතය පාමුල බිමේ පිහිටා තිබෙනවා. පොකුණ දිගින් අඩි 188ක් ද, පළලින් අඩි 76ක් ද වෙනවා. මුහුදට නුදුරින් පිහිටි පොකුණේ ජලය පිට කිරීමට පිටවානක් ද එයට සම්බන්ධ ප්‍රාකාරයක් ද තනා තිබෙනවා. පොකුණු ඉවුර පනා බැමි මඟින් ශක්තිමත් කර තිබෙනවා.
මේ විහාර බිමට කලකට පෙර පැමිණි එල්ලාවල මේධානන්ද නාහිමියන් මෙසේ සඳහන් කර තිබෙනවා:
මෙහි උසම තැන එකල ගඩොළු ගොඩැල්ලකි. එය වට අඩි 70 ක් පමණ හා උස අඩි 8 ක් පමණ විය. ගොඩැල්ල හාර එහි වස්තු පැහැරගෙන ඇති බැවින් එහි ගඩොළු සෑම තැනම විසිරී ඇත. එසේම ගරා වැටුණ ගොඩනැගිළිවල ගල්කණු, උළු, ගඩොල් හා කඳුගැටයේ තැන තැන දක්නට ලැබෙයි. කාවන්තිස්ස රජතුමා සේරුවිල මංගල මහා සෑය කරවීමෙන් පසුව ඒ අවට නොයෙක් බෞද්ධ ආරාම ඇති කරවීය. විශේෂයෙන්ම වරායවල් ආශ්‍රිතව ඇති පර්වතවල ආරාම ඇතිකරවීම පිළිඹඳව පෙර රජවරු විශේෂයෙන් ම උත්සුක විය. වලවේ මුව දොර ගොඩපවත විහාරය, කිරිඳිඔය මුවදොර විහාරය, හැඩඔය මුවදොර මණිනාග පබ්බත විහාරය, ත්‍රිකුණාමලයේ ගෝකන්න විහාරය, පොතුවිල මුහුදු මහාවිහාරය, කුච්ච්වේලියේ පිච්චමල් විහාරය, ගල්වරාය ආශ්‍රිත තිරියාය විහාරය, දඹකොලපටුන විහාරය, මන්නාරම් විහාරය, මගන විහාරය වැනි වරායන් ආශ්‍රිතව දක්නට ලැබෙන විහාර වලින් මෙය මනාවට පැහැදිලි වෙයි.
මුහුදේ යාත්‍රා කරන්නන්ටද මේ ස්ථාන වල වූ ස්ථූප දර්ශනය වූවාට සැක නැත. මේ අනුව කාවන්තිස්ස රජතුමා ක්‍රි. පූ. 2 වන සියවසේදී ලංකාපටුන වරාය අසබඩ මෙම කඳු ගැටය මත ස්ථූපයක් ඉදිකොට බෞද්ධ ආරාමයක් ඉදිකළේය. ඔහුගේ ආගමික කාර්‍යයන් අතර සමුද්‍රගිරි විහාරය කරවීමද එකකි. ලංකාපටුන විහාරය සමුද්‍රගිරි විහාරය නමින් හඳුන්වයි. මෙම නාමය මෙම ස්ථානයට හැම අතින්ම ගැලපේ. මෙහි ගඩොළු ඉතා පැරණි යුගයට අයත් වෙයි. ලංකාපටුනේ නටබුන් අසල සිට බටහිර අතට ගල්පර්වත රැසක් ඇසුරුකරගෙන ලෙන් පෙළක්ම පිහිටයි. මේ ලෙන්වල කටාරම් කොටවා ලෙන් ලිපි පිහිටුවා ඇත. මේ ලිපිවලින් දැක්වෙන්නේ එම ලෙන් සංඝයාවහන්සේලාට පූජාකොට ඇති බවයි. මෙම ලෙන් ලිපි ක්‍රි.පූ. 2 වන සියවසට අයත් වෙයි. මහතිශ, මඣිම, දෙවි, ශවිනි, තිශ, නග, මහචිත යන අය මෙහි දායකයන් ලෙස පෙනී සිට ඇත. -නැගෙනහිර පළාත හා උතුරු පළාතේ සිංහල බෞද්ධ උරුමය - එල්ලාවල මේධානන්ද හිමි)