අටකාමා මමියේ අභිරහස 💀👽




අටකාමා මමියේ අභිරහස 💀👽


එය 2003 වසරයි. චිලී රාජ්‍යයේ අටකාමා (Atacama Desert) කාන්තාරයට ආසන්න නගරබද ප්‍රදේශයක් වන ලා නෝරියා හි (La Noria) දේවස්ථානයක් අසලින්, මුනෝස් (Munoz) නමැති නිධන් සොයන්නෙකුට හමු වූ විකෘති හැඩැති මමියක් බොහෝ දෙනාගේ අවධානය දිනා ගැනීමට සමත් වූයේ එහි තිබූ සුවිශේෂී ලක්ෂණ නිසාය. එය හමු වන අවස්ථාවේ සුදු රෙද්දකින් ඔතා, දම් පැහැති පීත්ත පටියකින් බැඳ, හම් බෑගයක් තුළ බහා තිබුණි. ගිලුණු ඇස්, අසාමාන්‍ය ලෙස කුඩා, අඟල් සයක් පමණ වූ සිරුර, නොවැඩුණු හනු, සහ දිගැටි හැඩයේ හිසක් සහිත වූ එහි සැබැවින්ම තිබුණේ පෘථිවි ජීවියෙකුගේ හැඩයක් නොවේ. අටකාමා කාන්තාරයෙන් හමු වූ නිසා "අටා" යන නම පට බැඳුනු මෙම මමිය, ඇතැමුන් විසින් හඳුන්වනු ලැබුවේ පිටසක්වල ජීවියෙකුගේ සිරුරක් ලෙසයි. කාන්තාරයේ පවතින වියළි තත්ව නිසා ස්වභාවිකවම සංරක්ෂණය වී තිබූ මෙය, ප්‍රථමයෙන්ම වසර දහස් ගණනක් පැරණි යැයි අනුමාන කෙරුණද, පසුව සිදු කළ කාල නිර්ණයන් වලදී හෙළි වූයේ, වසර හතලිහක් පමණක් පැරණි සිරුරක් බවයි. එමෙන්ම "අටා" මිය යන අවස්ථාවේ වයස අවුරුදු 6-8 ත් අතර වූ බව එහි වූ අස්ථි සාක්ෂි සැපයීය. මෙහි අන්තර්ගත වූයේ ඉළ ඇට යුගල 10ක් පමණි (සාමාන්‍ය මිනිස් සිරුරේ ඉළ ඇට යුගල් 12කි). මෙනිසා මෙම මමිය පිළිබඳව විවිධාකාරයේ අදහස් හා මත පල විය.

මෑත කාලයේ දී (2018) මෙහි ඇට මිදුළු වල තිබී නිස්සාරණය කරගත් ඩී.එන්.ඒ (DNA) අනුසාරයෙන් සිදු කළ පරීක්ෂණ වලින් මෙය පිටසක්වල ජීවියෙකුගේය යන මතය බැහැර කරන ලද අතර, විද්‍යාඥයන්ගේ මතය වූයේ මෙය අසාමාන්‍ය ලෙස විකෘති ගණනාවකට බඳුන් වූ, මානව ස්ත්‍රී දේහයක් බවයි. පළමුව සිදු කළ පරීක්ෂණ වලදී මානව DNA හා සමඟ ගැලපීම 92%ක් පමණ වුවද, පසුව කළ පරීක්ෂණය වලදී එය 98%ක් පමණ දක්වා වැඩි විය. අස්ථි වල වූ විකෘති තත්ව නිසා වයස අවුරුදු 6-8 ත් අතර වූ සිරුරකට සමාන ලක්ෂණ පෙන්වූවද, සැබැවින්ම ඇය මිය යන විට පසු වී ඇත්තේ කළල අවධියේය. මමිය හමු වූ ප්‍රදේශයේ අත හැර දැමූ නයිට්‍රේට් පතල් පැවති අතර, ඇතැම්විට නයිට්‍රේට වලට නිරාවරණය වීම නිසා මෙම විකෘති තත්ව ඇති වූවා විය හැකිය. විද්‍යාඥයන් පවසන අන්දමට අනාගතයේදී, විවිධ ජාන විකෘති නිසා පීඩාවට පත්ව සිටින රෝගීන්ට ප්‍රතිකාර කිරීමට මෙම මමිය අධ්‍යයනය කිරීමෙන් ලබන දැනුම උපකාරී වනු ඇත.


© Harshana Miyuranga Upulwehera - හර්ෂණ මියුරංග උපුල්වෙහෙර | 25.07.2021

 

Post a Comment

Hi! Thank You For Visit Our Web site

Previous Post Next Post

Contact Form