දෙහි වලින් හදාගන්න පුළුවන් රසවත්ම බීම වර්ග 7ක්
බඩේ අමාරුවක් ආවත්, තිබහක් ආවත් අපිට එක පාරටම මතක් වෙන දෙයක් තමා දෙහි. දෙහි ඒ තරම්ම අපේ සාමාන්‍ය ජීවිතේට ළඟයි. එදිනෙදා ජීවිතයේ බහුලවම පාවිච්චි කරන දෙහි වලින් හදන ස්පෙශල් ඩ්‍රින්ක්ස් රෙසිපි ටිකක් තමා අද ගෙනාවේ. අපි නිකන් හදලා බොන දෙහි බීම වගේද බලන්න මේවා. බොහොම ලේසියෙන් හදාගන්නත් පුළුවන්. ගෙදර වැඩිය දේවල් නැති වෙලාවක එන අමුත්තෙක්ට වුණත් ටක් ගාලා හදල දෙන්න පුළුවන්. පොඩ්ඩක් සැරට බීම බොන්න කැමති අයට කොක්ටේල් රෙසිපි දෙකකුත් තියෙනව ඔන්න.
1. Lime Mojito
අවශ්‍ය ද්‍රව්‍ය
- මිංචි කොළ ස්වල්පයක්
- ලුණු ස්වල්පයක්
- දෙහි ගෙඩි 2ක්
- සීනි තේ හැඳි 2
- සෝඩා වතුර
- ග්ලාස් එකට ලුණු ටිකක් දාලා දෙහි ගෙඩි 2ක් පොඩියක කපලා දාගන්න. මින්චි ටික කඩලා දාගන්න.
- ඊළඟට සීනි ටික දාගන්න. මේකට සෝඩා වතුර දාලා කලවම් කරගන්න. සීනි දිය වුණාම අයිස් කැට ටිකක් කුඩු කරලා උඩින් දාගන්න.
2. Limeade
අවශ්‍ය ද්‍රව්‍ය
- දෙහි ගෙඩි 3ක යුෂ
- ගාගත් දෙහි ලෙලි තේ හැඳි 1/2
- වතුර හෝ ස්පාක්ලින් වෝටර් කෝප්ප 2
- සීනි මේස හැඳි 2
- ලුණු පින්ච් එකක්
- මින්චි කොළ කීපයක්
- දෙහි යුෂ මිරිකලා කප් එකකට දාගන්න. මේකට වතුර දාලා සීනි හා ලුණු දාලා දිය කරගන්න.
- ග්ලාස් එකකට අයිස්කැට දාලා හදාගත්තු ඩ්‍රින්ක් එක දාගන්න. මින්චි කොළ හා දෙහි ලෙලි දාලා කලවම් කරගන්න.
3. Ginger Lemon Drink
අවශ්‍ය ද්‍රව්‍ය
- ලෙමන් ගෙඩි 2ක යුෂ
- ඉඟුරු කෑල්ලක්
- සීනි මේස හැඳි 2
- වතුර කෝප්ප 1
- මේ සියල්ලම දාලා හොඳට බ්ලෙන්ඩ් කරගන්න.
- පෙරලා ග්ලාස් එකකට දාලා අයිස්කැට දාගන්න.
4. Kulukki Sarbath
අවශ්‍ය ද්‍රව්‍ය
- දෙහි ගෙඩි 2
- ලුණු පින්ච් එකක්
- කසකසා ඇට තේහැඳි 2
- මින්චි කොළ ස්වල්පයක්
- අයිස්කැට
- වතුර
- අමුමිරිස් කරල් 1
- කසකසා ඇට වලට වතුර ටිකක් දාලා පෙඟෙන්න තියන්න. දෙහි ගෙඩියක් පෙති කපාගන්න. අමුමිරිස් දිගට පලාගන්න.
- ග්ලාස් එකකට දෙහි පෙති දාලා ලුණු ටිකක් දාගන්න. මේකට සීනි ටිකත් දාලා දෙහි ගෙඩියක යුෂ මිරිකගන්න. ඊළඟට කසකසා ඇට දාලා අමුමිරිස් කරල දාගන්න. උඩින් මින්චි කොළ ටික දාලා අයිස්කැට එකතුකරන්න.
- දැන් ග්ලාස් එක පිරෙන්න වතුර දාලා හොඳට වහලා හොලවගන්න. දැන් රස කරකර බොන්නයි තියෙන්නේ.
5. Lime Soda
අවශ්‍ය ද්‍රව්‍ය
- ලෙමන් යුෂ මේසහැඳි 2
- සීනි මේස හැඳි 4
- සෝඩා කෝප්ප 1
- ලුණු පින්ච් එකක්
- අයිස් කියුබ්
- දෙහි පෙති කිහිපයක්
- සීනි වලට වතුර කෝප්ප් 1/2 දාලා දියකරගන්න.
- ග්ලාස් එකක් අරගෙන ලෙමන් යුෂ ටික දාගන්න. ලුණු එකතු කරන්න.
- සාදාගත් සීනි සිරප් එක දාගන්න. මේකට ලෙමන් පෙති ටික දාලා අයිස්කැට එකතු කරන්න. හොඳට කලවම් කරලා සෝඩා එකතු කරන්න.
6. Gin Gimlet
අවශ්‍ය ද්‍රව්‍ය
- ජින් මේස හැඳි 4
- දෙහි යුෂ මේස හැඳි 1
- සීනි සිරප් මේස හැඳි 1
- සෝඩා වතුර
- ලෙමන් පෙති 2-3
- ජින් වලට දෙහි යුෂ හා සීනි සිරප් දාලා අයිස්කැට දාලා ග්ලාස් එක වහලා වේගයෙන් හොලවන්න.
- ඊළඟට මේකට සෝඩා එකතුකරන්න. උඩින් ලෙමන් පෙති දාලා ගානිෂ් කරගන්න.
7. Dark and Stormy Cocktail
අවශ්‍ය ද්‍රව්‍ය
- ජින්ජර් බියර් කෝප්ප 1/2
- බ්ලැක් රම් මේස හැඳි 4
- දෙහි කෑලි 2
- අයිස් කැට
- ග්ලාස් එකකට ජින්ජර් බියර් ටික දාලා අයිස්කැට දාගන්න.
- මේකට රම් එකතු කරලා දෙහි යුෂ මිරිකගන්න. හැන්දකින් කලවම් කරගන්න.