ලෝකය මවිත කළ හොලිවුඩ් තරු මරණ
අපි හැමෝටම කවදාහරි අපි ආදරේ කරන අයගෙන් වෙන් වෙන්න සිද්ද වෙනවා. ඒක ඉතින් කාටවත් වළක්වන්න පුළුවන් දෙයක් නෙමෙයි. මොන තරාතිරමක හිටියත්, කොච්චර මුදල් හදල් යාන වාහන තිබුණත්, ලෝකේ කොහේ හිටියත් ඒ ඇත්තට හැමෝටම මුහුණ දෙන්න වෙනවා. ඒ වුණාට ලෝකේ සමහර අය හිටියා ඒ අය තමන්ගේ අවසන් ගමන් ගියේ ලෝකයේම අවධානය තමන් වෙත නතු කරගෙන, ලෝකයම අඬවලා. විශේෂයෙන් ඔය පහළින් සඳහන් කරලා තියෙන හොලිවුඩයේ අති ප්‍රසිද්ධ තරු මුළු ලෝකයේම තිගැස්මක් ඇති කරලා තමයි තමන්ගේ අවසන් ගමන් ගියේ.
1. පෝල් වෝකර්
මේ මාසේ 30 වෙනිදට පොල් වෝකර් ලෝකයෙන් සමු අරන් අවුරුදු 8ක් සම්පූර්ණ වෙනවා. පොල් වෝකර්ගේ මරණය මුළු මහත් ලෝකයේම වගේම ලංකාවේ හැමදෙනා අතරෙත් ලොකු කතාබහක් ඇති කරපු, ඒ වගේම බොහොම දෙනෙක් කණගාටු වුණු සිද්ධියක් බවට පත් වුණා. පෝල් ඔහුගේ පුණ්‍යායතනයක වැඩසටහනක් අවසන් කරලා නැවත පැමිණෙමින් සිටියදී තමන් විසින් පැදවූ Porsche Carrera GT වර්ගයේ මෝටර් රථය කොන්ක්‍රීට් කණුවක සහ ගසක ගැටීමෙන් මරණයට පත් වුණා. පෝල් ගේ මරණය කාටත් දුකක් වුණේ ඔහු විසින් රඟපෑ චිත්‍රපට වල චරිත සියල්ලන්ගේ ආදරයට පාත්රවීම නිසා කියල කියන්න පුළුවන්. විශේෂයෙන් ඔහු විසින් රංගනයෙන් දායක වුණු The Fast and the Furious චිත්‍රපට මාලාවේ බ්‍රයන් ගේ චරිතය ප්‍රේක්ෂකයින්ගේ ඉමහත් ආදරයට පාත්‍ර වුණා. ඉතින් අවුරුදු හතළිහක් වගේ අඩු වයසකින් පෝල්ට තමන්ගේ අවසන් ගමන් යන්න සිද්ධ වුණා. ඒ මුළු ලෝකයම කණගාටුවට පත් කරමින්.
2. රොබින් විලියම්ස්
Night at the Museum, Jumanji, Good Will Hunting වගේ චිත්‍රපට වල රංගනයෙන් කාගේත් ආකර්ෂණය දිනාගත් දක්ෂ රංගන ශිල්පියෙක් තමයි රොබින් විලියම්ස් කියන්නෙ. ඔහු විශේෂයෙන් හාස්‍යෝත්පාදක නළුවෙක් විදිහට තමයි ප්‍රසිද්ධ. ඔහු විසින්ම නිෂ්පාදන කරපු වැඩසටහන් විශාල ප්‍රමාණයක් රූපවාහිනී වැඩසටහන් ලෙස විකාශය වුණා. තමන්ගේ රංගන ප්‍රතිභාව නිසාම Hollywood Walk of Fame තුළ තමන්ගේ නම සඳහන් කරගැනීමට තරම් රොබින් වාසනාවන්ත වුණා. ඔහුගේ මරණය සිද්ධ වෙන්නෙ 2014 වර්ෂයේදී. ඔහු ගෙල වැල ලා ගෙන තමන්ගේ නිවස තුළ මරණයට පත් වෙනවා.
3. මයිකල් ජැක්සන්
මයිකල් ජැක්සන් කියන නම අහලා නැති කෙනෙක් මේ ලිපිය කියවන්න විදිහක් නෑ. මොකද දශක හතරකට වැඩි කාලයක් ජැක්සන් තමන්ගේ අතිමහත් ජනප්‍රියත්වය නිසා ලෝකය පුරා ප්‍රසිද්ධියක් අත්පත් කරගත්තු චරිතයක්. ඒ නිසාම ඔහුට “ King of Pop” විදිහටත් නමක් පටබැඳුණා. ඔහුගේ අතිශය සුඛෝපභෝගී ජීවන රටාව නිසා ඔහු තව තවත් ජනප්‍රියත්වයට පත් වුණා. ලෝක ඉතිහාසයේ වැඩියෙන්ම සම්මාන හිමිකරගත් තරුව විදිහටත් වාර්තා වෙන්නෙ මයිකල් ජැක්සන්. විටින් විට පුවත් මවන්නෙකු විදිහට මයිකල් ජැක්සන් නොයෙකුත් සිද්ධි වලට මැදිහත් වුණු චරිතයක් වුණා. ඖෂධ අධි මාත්‍රාවක් ශරිරගත් වීමෙන් හටගත් හෘදයාබාධයක් හේතුවෙන් තමයි මේ සුප්‍රසිද්ධ චරිතය ලෝකයෙන් සමුගන්නේ. ඒ තමන්ගේ වයස අවුරුදු පනහ සම්පුර්ණ වෙන්න මාස දෙකක් විතර තියෙද්දී.
4. මැරිලින් මොන්රෝ
ගායිකාවක්, ඉතාමත් සුරූපී නිළියක් සහ නිරූපණ ශිල්පිනියක් විදිහට කවුරුත් හඳුනන මැරිලින් මොන්රෝ 1926 ජූනි මාසයේ ලොස් ඇන්ජලීස් වල තමයි උපත ලබල තියෙන්නෙ. ජීවිතයේ බොහෝ හැලහැප්පීම් අතරින් සාර්ථකත්වයට පත් වුවත් ඇගේ ජීවිතයේ කරදරකාරී සිදුවීම් අඩුවක් නැතිව තිබුණා. ඒ නිසාම American Film Institute විසින් “100 Most Significant Americans of All Time” ලැයිස්තුවටත් මැරිලින්ගේ නම ඇතුළත් කරනු ලැබුවා. සාර්ථක නමුත්, නැගී සිටීම් සහ පසුබැසීම් අතරින් ජීවිතයේ අවුරුදු 36ක් ගත කිරීමෙන් පස්සේ ඇය සියල්ලන්ගෙන් වගේම තමන්ගේ ජීවිතයෙනුත් සමුගන්නවා. ඒ Barbiturate නම් ඖෂධය අධිමාත්‍රාවක් ශරීරගත වීමෙන්.
5. විට්නි හූස්ටන්
විට්නි එළිසබෙත් හූස්ටන් නම් ඉතා ජනප්‍රිය ගායිකාව සහ රංගන ශිල්පිනිය ඇමරිකාවේ නිව් ජර්සි ප්‍රාන්තයේ තමයි උපත ලබල තියෙන්නෙ. ඒ 1963 දී. 2009 අවුරුද්දේදී ඇය ගිනස් වාර්තා පොතට පවා ඇතුළත් වෙනවා Most Awarded Female Act of All Time විදිහට. ඇයගේ සංගීත ඇල්බම් ඉතා විශාල අලෙවි වාර්තා ප්‍රමාණයකට හිමිකම් කියනවා. නමුත් ඇයගේ පුද්ගලික ජීවිතයේ තිබුණු ගැටළුකාරී තත්ත්වයන් හේතුවෙන් ඇයගේ වෘත්තීය ජීවිතය යම් යම් කඩාවැටීම් වලට ලක් වෙනවා. විශේෂයෙන් ඇය මත්ද්‍රව්‍ය භාවිතයට නැඹුරු වීම මේ සඳහා ලොකු බලපෑමක් කරපු බව සඳහන් වෙනවා. 2012 පෙබරවාරි මාසයේ ඇයගේ මළ සිරුර ඇය නවාතැන් ගෙන සිටි හෝටලයේ පිහිනුම් තටාකයේ තිබී සොයාගන්නවා. මරණ පරීක්ෂණයේදී කොකේන් විෂ වීම නිසා දියේ ගිලීම හේතුවෙන් සිදු වූ මරණයක් ලෙස සටහන් කෙරෙනවා.
6. ටූ පැක්
Tupac Amaru Shakur එහෙම නැත්නම් 2Pac කියන්නෙ ඇමරිකාවේ හිටපු ඇති දක්ෂ රැප් ගායකයෙක්. 2Pac ගේ සංගීත ඇල්බම් ලෝකය පුරා මිලියන 75 ක් පමණ අලෙවි වෙලා තියෙනවා. ඒ විදිහට සාර්ථක ගමනකට අඩිතාලම දමමින් සිටි 2Pacට හදිසියේ තමන්ගේ ජීවන ගමන අවසන් කරන්න සිද්ධ වෙනවා 1996 අවුරුද්දේදී. ඒ ඔහු ගමන් කරමින් සිටි මෝටර් රථය සංඥා අසල නවත්වන ලද අවස්ථාවේ නාදුනන තුවක්කුකරුවෙක් එල්ල කරපු වෙඩි පහර හේතුවෙන්. මිය යන විට Tupac අවුරුදු 25ක පමණ තරුණයෙකු වුණා.
7. එල්විස් ප්‍රෙස්ලි
එල්විස් ප්‍රෙස්ලි කියන්නෙ 50 දශකය තරම් ඈත කාලෙක සංගීත ලෝකේ රජ කරපු චරිතයක්. එච්චර ඈත වුණත් අදටත් කවුරුහරි ගැඹුරු ස්වරයෙන් සින්දුවක් කිව්වොත් එල්විස් ප්‍රෙස්ලි වගේ කියලා තමයි උපමා කරන්නෙ. එල්විස් තමන්ගේ සංගීත ඇල්බම රාශියක් හරහා විවිධ වාර්තා තබා තියෙනවා. විශේෂයෙන් අදටත් ලෝකයේ වැඩියෙන්ම අලෙවි වන ඒකල සංගීත ශිල්පීන්ගේ ලැයිස්තුවේ දෙවන ස්ථානය එල්විස් සතු වෙනවා. ඒ වගේම ඔහු Grammy Awards තුනකටත් හිමිකම් කියනවා. ඉතින් මේ තරුණ දක්ෂ සංගීත ශිල්පියා මත්ද්‍රව්‍ය අධිමාත්‍රාවක් ශරීරගත වීම නිසා ඇතිවුණු හෘදයාබාධයකින් මරණයට පත් වෙනවා. ඒ 1977 දී එල්විස්ට වයස 42 දී.