ස්මාට්ෆෝන් ලොවෙන් බැසගිය තරුව – එල් ජී (LG)
එල් ජී (LG) කියන්නේ ගෘහ උපකරණ වලට ලංකාවෙත් ජනප්‍රිය නාමයක්. මේ එල් ජී සමාගම නිපදවපු ජංගම දුරකතන ලංකාවෙත් එච්චරම හිට් වුණේ නැහැ. ලෝක වශයෙන් ගත්තොත් එහෙම ඉතින් මේ එල් ජී සමාගම අලුත් විශේෂාංග සහිත ජංගම දුරකතන පහුගිය කාලේ පුරාවටම එළියට දැම්මා. ඔවුන්ගේ ජී (G) සහ වී (V) කියන සීරීස් දෙක ජංගම දුරකතන ලෝකය වෙනස් කළා. ඒත් ඒ වුණත් සමාගම පාඩු ලැබීම අඩුවක් වුණේ නැහැ. ඒ නිසා එල් ජී සමාගම දැන් ෆෝන් නිපදවීමෙන් අයින් වෙලා.
1. කවදද අයින් වුණේ?
2021 අප්‍රේල් වල තමයි මේ එල් ජී සමාගම මොබයිල් ෆෝන් ලෝකයෙන් සමුගැනීම නිවේදනය කළේ. ඒ අනුව ඔවුන් ජූලි මස 31 වැනිදායෙන් පස්සේ නව ජංගම දුරකතන නිපදවන්නේ නැහැ. මේ තීරණයට හේතු වුණේ පහුගිය කාලය පුරාවට එල් ජී සමාගම ඩොලර් බිලියන 4.5ක අලාභයක් වාර්තා කිරීම. මේ තත්ත්වයෙන් මිදෙන්න එල් ජී සමාගම විවිධ ක්රමෝපායන් දියත් කළත්, එල් ජී සමාගම තියෙන කොරියාව තුළවත් සැම්සන්ග් සහ ඇපල් මට්ටමට ළං වෙන්න එල් ජී වලට හැකියාව ලැබුණේ නැහැ.
2. ඒ සම්පත් වලට මොකද වෙන්නේ?
ස්මාට්ෆෝන් එකක් නිපදවීම කියන්නේ සරල දෙයක් නෙමෙයි. ඊටත් ඉහළම මට්ටමේ කැමරා සහ විශේෂාංග ඇතුළත් සුපිරි මට්ටමේ ෆෝන් එකක් හදන්න සම්පත් ගොඩක් ඕනි. ඉතින් ෆෝන් හදන එක නැවතුණාට පස්සේ ඒ ෆැක්ටරි, ඒ ඩිසයිනර්ස්ලා, සොෆ්ට්වෙයාර් වැඩකරුවන් ආදී පිරිසට මොකද වෙන්නේ කියලා ප්‍රශ්නයක් ආවා. සමාගම කියන විදිහට ඒ අය එල් ජී සමාගමේම වෙනත් අංශ සහ නිෂ්පාදන වෙනුවෙන් යොමු කරලා තියෙනවා. ස්මාට් හෝම් රොබොටික්ස්, ආටිෆිශල් ඉන්ටෙලිජන්ස්, ඉලෙක්ට්‍රික් වාහන කොටස් ආදිය නිපදවීමට ඔවුන් යෙදවුව බව තමයි සඳහන් වුණේ.
3. මෑතකදි කළ පෙරළිකාර වැඩ
එල් ජී සමාගම හඳුන්වා දුන් ඇතැම් විශේෂාංග පසුකලෙක ෆෝන් ලොව බොහොම ජනප්‍රිය වුණා. ස්ක්‍රීන් දෙකක් දෙපැත්තටම එන ඩුවල් ස්ක්‍රීන් ෆෝන් මෑතකදී එල් ජී සමාගම බජට් ෆෝන් වලටත් හඳුන්වා දුන්නා. ඒ වගේම ෆෝන් එක වහන ඉදිරිපස කවරයටත් ස්ක්‍රීන් එකක් එන විදිහට එල් ජී සමාගම ෆෝන් එකක් ඉදිරිපත් කරලා තිබුණා. ඊළඟට එන්න නියමිත වුණේ ස්ක්‍රීන් දෙකක නැමිය හැකි ස්මාට්ෆෝන් එකක්. ඒත් ඒක පර්යේෂණ මට්ටමේ තිබියදීම ව්‍යාපාරය අතරමැද නැවතුණු නිසා ඒක වෙළඳපොලට ආවේ නැහැ.
4. එල් ජී සමාගමේ ෆෝන් වල විශේෂතා
2020 වසරේ සැම්සන්ග් සමාගම මිලියන 256ක් ෆෝන් අපනයනය කරන විට එල් ජී අපනයනය කරලා තිබුණේ ෆෝන් මිලියන 23ක් පමණයි. ඒත් එල් ජී සමාගම කරළියට පැමිණි 2007 ආදී කාලයේ පටන්ම ඔවුන්ගේ ෆෝන් වල විවිධ විශේෂාංග තිබුණා LG G Flex 2 ෆෝන් එක ස්ක්‍රීන් එක නැමුන එකක් වුණා. G5 කියන දුරකථනයේ බැටරිය ඉවත් කර වෙනත් කොටස් සම්බන්ධ කළ හැකි එකක් වුණා. ඒ වගේම ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය වැඩිදියුණු කරන වැඩවලට සම්බන්ධ වුණු එල් ජී සමාගම පික්සල් වලට කලින් ඇන්ඩ්‍රොයිඩ් සමාගමේ නිල ෆෝන් එක වුණු නෙක්සස් ෆෝන් කිහිපයකටම දායක වුණා.
5. 2013 කිරුළ
2013 වර්ෂයේදී ඇපල්, සැම්සන්ග් වලින් පසු ස්මාට්ෆෝන් ලෝකය තුළ තුන්වෙනි තැනට හිටියේ එල් ජී සමාගම තමයි. එහෙත් ඉන් පසුව චීන සමාගම් බජට් ස්මාට්ෆෝන් ලොවට පැමිණියා. එසේම සැම්සන්ග් සහ ඇපල් සිය ෆෝන් වල ආකර්ෂණීය බව තව තවත් වැඩි කළා. වෙළඳපොල ආරංචි මාර්ග කියන විදිහට එල්ජී සමාගමේ ප්‍රචාරණ කටයුතු ආදියත් සාර්ථකව සිදු වුණේ නැහැ. ඉතින් ඒ නිසා පසුකාලීනව එල් ජී සමාගමේ විකුණුම් අඩු වුණා.
6. ෆෝන් අප්ඩේට් නවතිනවාද?
දැනට මිලදී ගත් එල් ජී ෆෝන් වලට තවත් වසර තුනක් යනතෙක් ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණ නිකුත් කෙරෙනවා. දැන් එල් ජී සමාගම සිය පැරණි දුරකතන බොහොමයක් විකුණන එක නවත්වලා ඉවරයි. ඔවුන්ගේ අවසානම හොඳ ෆෝන් එක වුණේ LG V 60 කියන ෆෝන් එක. ඒක කැමරා සහ අනෙක් උපාංග වලින් හොඳ එකක්. ඒත් මෑතක නිකුත් වුණු එල් ජී ජංගම දුරකතන වල විශේෂයෙන් කියලා ඒ මාදිලියට අදාළ දෙයක් දකින්නට නැති බවක් තමයි විචාරකයින් කිව්වේ. සුපිරි මට්ටමක තිබුණත් අලුත් අලුත් විශේෂාංග එල් ජී වලට අවසාන කාලයේ එකතු වුණේ අඩුවෙන්.
7. එල් ජී හි නවීනතා
LG V10 හි සෙල්ෆි කැමරාව එවකට පැවති අනෙක් ෆෝන් වලට වඩා ප්‍රබල කැමරාවක් වුණා. එසේම මුලින්ම ඩුවල් කැමරා සහ එහි අල්ට්රා වයිඩ් කැමරාව ආවෙත් LG G6 එකේ. එල් ජී වී (LG V) සීරීස් එකේ LG V30 හි කැමරාවේ වීඩියෝ පහසුකම එවකට පැවති අනෙක් කැමරා ෆෝන් වලට වඩා ඉහළ එකක් වුණා. ඒ වගේම ෆ්ලෙක්සිබල් ඩිස්ප්ලේ, ලෙදර් බැක් කවර්, ඩුවල් ස්ක්‍රීන්, මෝෂන් සෙන්සර් වගේ අලුත් අලුත් දේවල් ගොඩක් වැඩිදියුණු කරන්න එල් ජී ස්මාට්ෆෝන් සමත් වුණා. එහෙත් එල් ජී සමාගමට තවදුරටත් ලාභ ලබන්න බැරි වුණා. ඉතින් ඔවුන් සමාගම විසින් තමුන්ගේ නිෂ්පාදන තවත් නොකරන බවට නිවේදනය කෙරුවා.
ජංගම දුරකථන වැනි සමාගමක් පාඩු ලබන විට වෙනත් සමාගම් හා එකතු වී වැඩකරන්න පෙළඹෙනවා. එල් ජී සමාගම මෝටරෝලා සහ එවැනි සමාගම් සමග කාලයකදි එකතු වුණත් එයිනුත් වැඩි දායකත්වයක් ලැබිලා නැහැ. ඒ වගේම එල් ජී පාඩු ලැබුවත් එය වෙනත් සමාගමකට විකුණා දාන්න එල් ජී ක්රියාකළෙත් නැහැ. මෑත කාලීන ස්මාට්ෆෝන් ඉතිහාසයේ නොමැකෙන නමක් සටහන් කළ එල් ජී ඒ ආකාරයෙන් මොබයිල් ෆෝන් වෙළඳපොලෙන් බැස ගියා