Today Travelling :- 2021.12.14
යකාගේ පඩිපෙළ
( කළුපහන )
කළුපහන සිට බඹරකන්ද දිය ඇල්ල පසුකරගෙන යකාගෙ පඩිපෙළ ලෙස හඳුන්වන මාර්ගය හරහා ඔහිය දක්වා සංචාරය ඉතාමත්ම සිත්ගන්නා සුළු එකක්. මෙය ඉතා අසීරු ගමනක් වුනත් කිසිදා අමතක නොවන ගමනක් වනු නොඅනුමානයි. ඔබ සොබාදහමට ඇලුම් කරන්නෙකු නම් මෙය ජීවිතයේ එක් වරක් හෝ යායුතු ගමනක්.
මේ ගමනේ ආරම්භය වන්නේ කොළඹ-බදුල්ල මාර්ගයේ කළුපහන ප්‍රදේශයෙන්. එතැන් සිට ඔහිය දක්වා මුළු දුර කි.මී 23ක්. නමුත් ගමන අතරමගදී හමුවන දුෂ්කර කෙටි මාර්ගයක පැමිණීමෙන් මුලු දුර කි.මී 14ක් දක්වා අඩුකරගත හැකියි.
මේ ගමන වාහනයකින් මෙන්ම පයින්ද යා හැකියි. වාහනයකින් යන්නේ නම් අනිවාර්යයෙන්ම 4WD වාහනයක් තිබිය යුතුමයි. නැතහොත් ට්‍රේල් වර්ගයේ මෝටර් බයිසිකල් මෙම ගමනට සුදුසුයි. අති දුශ්කර මාර්ගය විශාල බෑවුම් සහිතයි. ඒ නිසා හොඳ රියදුරෙක්ද සිටීමත් අවශ්‍යයි. මේ මාර්ගයේ ඇති අනතුරුදායක ස්වභාවය නිසාම, මෙය යකාගෙ පඩිපෙල ලෙස හඳුන්වන්නට ඇති බව කිව හැකියි. වාහනයකින් ගමන්කරන්නේ නම් ඇතිවන තවත් ගැටලුවක් තමයි විරුද්ධ දිශාවෙන් වාහනයක් පැමිණියහොත් ඉඩ ලබා දීමට නොහැකි වීම. මේ මාර්ගයේ වාහන දෙකකට මාරුවිය හැකි තැන් ඇත්තේ ස්වල්පයයි. පයින් ඇවිදීමෙන් ගමනෙහි දුෂ්කර රසය සහ මනස්කාන්ක දර්ශන සිත්සේ විඳගත හැකි වුවත්, ගමනේ අවසානය තරමක් වෙහෙසකාරී විය හැකියි. ඒ නිසා මේ ගමනට වඩාත්ම සුදුසු වන්නේ ට්‍රේල් වර්ගයේ මෝටර් සයිකල් වලින් යෑමයි.
ගමන ආරම්භයේදීම හමුවන මේ ගමනේ ආකර්ෂණීයම ස්ථානය තමයි ලංකාවේ උසම දියඇල්ල වන බඹරකන්ද දිය ඇල්ල. බඹරකන්ද දිය ඇල්ල පසුකිරීමෙන් පසු තිබෙන්නේ කොන්ක්‍රීට් ඇතිරූ පාරක්. නමුත් මාර්ගයේ මේ කොටස ඉතා කෙටියි. ඉන්පසු හමුවන්නේ කළුගල් කැට පමණක් අතුරා ඇති ලිස්සන සුළු මාර්ගයක්. මේ කොටස පසුකිරීමෙන් පසුව හමුවන්නේ ස්වභාවිකව පිහිටා ඇති වේදිකාවකට. එහි සිට බැලූ විට පෙනෙන දර්ශණය විස්තර කරන්නත් බැරි තරම් ආකර්ශණීයයි. එතැනින් පසු තමයි මාර්ගයේ අසීරු තැන් පටන් ගන්නේ. මෙතැන් සිට ඇති ගුරුපාරේ වාහනයකින් තබා පයින් යෑමත් ලෙහෙසි නෑ.
තවත් දුරක් ගමන් කිරීමෙන් පසු ඔබට වතු නිවාස දැකගන්න පුළුවන්. මේවායේ ජීවත්වෙන්නෙ දුගී වතු කම්කරුවන්. වතු නිවාස සහ කෝවිල පසු කර ගිය විට මාර්ගයේ අවසාන අදියරට ලංවෙනවා. මේ ගමනේදී විවිධ අතුරු මාර්ග හමුවෙනවා. නිවැරදි මාර්ගය කුමක්දැයි සඳහන් කර නැති නිසා පාර වැරදෙන්න පුළුවන් හැකියාව වැඩියි. වැඩි පුර වාහන ගොස් ඇති මාර්ගය තෝරා ගැනීමෙන් පාර වැරදෙන්න පුලුවන් හැකියාව අඩුකරගන්න පුළුවන්. එහෙමත් නැතිනම් මගපෙන්වන්නෙකුගේ සහය ලබාගන්න පුළුවන්. මේ වතුයායන්හි ජීවත් වන අය ඉතා අහිංසක සරල මිනිස්සු. ඔවුන් අවශ්‍ය ඕනෑම විටකදි උපකාර කරාවි.
ඔබ වාහනයකින් ගමන් කරන්නේ නම් අනිවාර්යයෙන්ම උස රෝද සහිත 4WD ජීප් රථයක් හෝ එවැනි පහසුකම් සහිත වාහනයක් පාවිච්චි කරන්න. එසේම ප්‍රමාණවත් තරම් ඉන්ධන රැගෙන යාමත් වැදගත්. පයින් ගමන් කරන්නේ නම් ප්‍රමාණවත් වතුර සහ ආහාර රැගෙන යන්න. එසේම ගමනේදී වැසිකිළි පහසුකම් නැහැ.
මේ ගමනේදී ඉතා සංචාරකයෙකු ලෙස ඉතා වගකීමෙන් කටයුතු කරන්න. ප්ලාස්ටික් හෝ වෙනත් දිරානොයන දේවල් දැමීමෙන් මේ බිමනොකිළිටි කරන්න
Tags
Today traveling