Today Travelling ;- 2021.12.30
ඇල්ල වටා ගෙතී ඇති පුරාවෘත්තය
ඈත අතීතයේ දී මෙම ඇල්ල පිහිටි ප්‍රදේශයේ ඝට්ස් නමින් රජකු වාසය කළ බව ඉතිහාස පොත්වල ලියැ වී තිබෙනවා. එම රජතුමාගේ රූමත් දූ කුමරිය මාලිගයට තරමක් සමීපයේ තිබුණු මගුල් පොකුණකින් දිනපතා ම ස්නානය කළා. එහි දී කුමරිය ස්නානය කරන තුරු ඇගේ ආරක්ෂාවට සේවිකාවන් කිහිප දෙනකු සිරිතක් වශයෙන් පොකුණ අසල රැඳී සිටියා.
සාමාන්‍යයෙන් කුමරිය ස්නානය කිරීමෙන් අනතුරුව සිරිතක් වශයෙන් කිරි පානය කළා. එනිසා සේවිකාවන් කිරිවලින් පුරවන ලද ජෝගු ද පොකුණ අසලට රැගෙන ආවා. රත්තරනින් සාදා තිබුණු එම ජෝගුවලට දියමන්ති අල්ලා අලංකාර කර තිබුණු බව ඉතිහාස මූලාශ්‍රවල සඳහන් ව තිබෙනවා.
ඒ අයුරින් කුමරිය පොකුණේ ස්නානය කරමින් සිටි දිනයක තරුණ කුමාරයෙක් අසල තිබුණු කැලෑව හරහා අසු පිටින් ගමන් කළා. කුමරිය සහ සේවිකාවන් කතා බහ කරන හඬ ඇසුණු නිසා කුමරා පොකුණ දෙස හැරී බැලුවා. එම අවස්ථාවේ දී කුමරිය නාන ඇඳුමින් සිටි නිසා සේවිකාවන් ඉක්මනින් ජෝගුවල තිබුණු කිරි අසල තිබුණු පොකුණට හැලුවා.
එවිට දිය ඇල්ලක් සේ පහළට වැටුණු කිරිවලින් සුදු පැහැති තිරයක් සෑදුණු නිසා කුමරියට ඇඳුම් මාරු කරගැනීමට හැකි වුණු බව පැරණි පොත පතෙහි ලියැ වී තිබෙනවා. එම සිදුවීම වුණා යැයි සලකන ප්‍රදේශය අසල තිබෙන මෙම දිය ඇල්ලට දුද්සාගර් යන නම පට බැඳී ඇත්තේ කිරි දිය ඇල්ල අරුත ඇතිව යි.
ඇල්ල නිර්මාණය වන ආකාරය
කර්ණාටක ප්‍රාන්තයේ පිහිටා ඇති ඩෙකෑන් සානුවෙන් මැන්ඩෝවි නම් ගංගාව ආරම්භ වනවා. එය ගෝව ප්‍රාන්තය හරහා ගලා ගෙන යන ප්‍රධාන ගංගාව යි. බටහිර කඳුකරය හරහා ගමන් කරන එම ගංගාව කර්ණාටක සහ ගෝව ප්‍රාන්ත මායිම්වල පිහිටා තිබෙන උස කඳු මුදුන්වලින් පහළට වැටීමෙන් සුන්දර දුද්සාගර් දිය ඇල්ල නිර්මාණය වන ආකාරය දැකගන්නට පුළුවන්. දිය ඇල්ල අවට ප්‍රදේශය වනාන්තරවලින් වැසී තිබෙන නිසා එහි සුන්දරත්වය තවත් වැඩි වී තිබෙනවා. ඒ අසල තිබෙන භග්වාන් මහාවීර් වනජීවී අභය භූමිය සහ මොලෙම් ජාතික වනෝද්‍යානයටත් සංචාරකයන් වැඩි වශයෙන් පැමිණෙනවා.
තට්ටු හතරකින් යුත් අලංකාර දිය ඇල්ලක්
උසින් අඩි 1017ක් සහ පළලින් අඩි 100ක් පමණ වන දුද්සාගර් දිය ඇල්ල තට්ටු හතරකින් යුත් අලංකාර දිය ඇල්ලක්. එහි දී ඉහළ සිට කඩාගෙන වැටෙන දිය ඇල්ල මැද දී දිය පහරවල් 4කට වෙන් වී පහළට ගලා බසින ආකාරය දැකගන්නට පුළුවන්. අවසානයේ දී එම දිය පහරවල් හතර ම යළිත් වරක් එකතු වී පහළට ගලා ගෙන ගොස් ජල තටාකයකට එකතු වෙයි. ඒ අයුරින් මනස්කාන්ත දසුන් මවන දුද්සාගර් ඇල්ල ගෝව ප්‍රදේශයට පැමිණෙන සංචාරකයන් අනිවාර්යයෙන් ම නරඹන ස්ථානයක් බවට පත්ව තිබෙනවා.
සාමාන්‍යයෙන් වියළි කාලගුණයක් පවතින කාලයේ දී මෙම ඇල්ලේ සුන්දරත්වය අඩු වී යනවා. නමුත් මෝසම සක්‍රීයවීමත් සමඟ ම කඳුකරයට අධික වර්ෂාවක් ඇද වැටෙන නිසා දුද්සාගර් දිය ඇල්ල වඩාත් ප්‍රචණ්ඩ ස්වභාවයක් ගෙන පහළට ඇද හැලෙනවා. එම කාලයට ඇල්ලෙහි සුන්දරත්වය වැඩි වන ආකාරය දැකගන්නට පුළුවන්.
ඇල්ල වෙත යන ආකාරය
මෙම ඇල්ල වෙත ළඟාවීම සඳහා බොහෝ දෙනකු භාවිත කරන ප්‍රවාහන ක්‍රමය වන්නේ දුම්රිය යි. එසේ නැතිනම් මෝටර් රථයක දිය ඇල්ල සමීපයට ගොස් පාගමනින් ඇල්ල අසලට යන්නට පුළුවන්. එම මාර්ගයේ සාමාන්‍ය මෝටර් රථවලට ගමන් කිරීමට තරමක් අපහසු යි. එනිසා කුලී ජිප් රථ සේවාවක් මඟින් සංචාරකයන්ට දිය ඇල්ල අසලට යාමට පහසුකම් සලසා තිබෙනවා. එවැනි ජිප් රථයක එකවර 6 දෙනකුට ගමන් කරන්නට පුළුවන්. ඒ සඳහා ඉන්දියානු රුපියල් 1200ක මුදලක් අය කරනවා. මෝසම් වර්ෂාව ඇද වැටෙන කාලයේ දී එම සේවාව ක්‍රියාත්මක වන්නේ නැහැ. ඒ මැන්ඩෝවි ගංගාව පිටාර ගලා අවට මාර්ග යට වන නිසා යි.
දුද්සාගර් නමින් දුම්රිය ස්ථානයක් ඉදි ව තිබුණත් එහි වැඩි දුම්රිය ප්‍රමාණයක් නවත්වන්නේ නැහැ. ඒ එම දුම්රිය ස්ථානය කුඩා එකක් නිසා යි. එනිසා මෙම දිය ඇල්ල නැරඹීමට එන සංචාරකයන්ට කොලෙම් සහ කාසල් රොක් යන දුම්රිය ස්ථානවලින් බැස පාගමනින් අදාළ ගමනාන්තය වෙත ළඟාවන්නට පුළුවන්. එහි දී සුන්දර පරිසර පද්ධතියක් හරහා දිය ඇල්ල අසලට ළඟා වීම ආශ්වාදජනක අත්දැකීමක් බව සංචාරකයන් වැඩි දෙනකු පවසන කරුණක්. ලොන්ඩා-මාගාවෝ දුම්රිය මාර්ගයේ ගමන් කරන පහත දැක්වෙන දුම්රියයන් දුද්සාගර් හරහා ගමන් කරනවා. එනිසා එම දුම්රියයන්වල ගමන් කරන උදවියට දුද්සාගර් ඇල්ල නරඹන්නට පුළුවන්.
චෙන්නායි-වස්කෝඩ ගාමා එක්ස්ප්‍රස් (17311)
දිල්ලි-ගෝව එක්ස්ප්‍රස් (12780)
හෝරා-වස්කෝ අමරාවතී එක්ස්ප්‍රස් (18047)
පූනේ-අර්නාකුලම් එක්ස්ප්‍රස් (11098)
මෙම සංචාරක පුරවරය ආශ්‍රිත ව දක්නට ලැබෙන්නේ කුඩා ආපන ශාලා කිහිපයක් පමණ යි. තත්ත්වයෙන් උසස් ආහාර ඒවායෙන් ලබා ගැනීමට අපහසු යි. එනිසා මෙම දිය ඇල්ල නැරඹීමට එන සංචාරකයන් තමන්ට අවශ්‍ය ආහාර පාන සහ ජලය රැගෙන ඒම වඩාත් යෝග්‍ය යි. එවිට කිසිදු ගැටලුවකින් තොර ව මෙහි අසිරිය විඳගන්නට පුළුවන්. එසේ නොවුණොත් ආහාර පාන සහ ජලය සපයා ගැනීමට අපහසු වීමෙන් ඔබ කරදරයේ වැටීමට වැඩි ඉඩකඩක් තිබෙනවා.
සංචාරය කිරීමට හොඳ ම කාලය
දුද්සාගර් දිය ඇල්ල පිහිටා තිබෙන ප්‍රදේශයට මැයි-සැප්තැම්බර් කාල සමයේ මෝසම සක්‍රීය වනවා. එවිට එම ප්‍රදේශයට අධික වර්ෂාවක් ලැබෙනවා. එනිසා එම මාස කිහිපයේ ඇල්ල නැරඹීමට යාම අනතුරුදායක යි. නමුත් අසීරුවෙන් එම ප්‍රදේශයට ළඟා වුණොත් ප්‍රචණ්ඩව පහළට කඩාගෙන වැටෙන ඇල්ල දැකගන්නට පුළුවන්.
සැප්තැම්බර් මාසයේ අග භාගය වෙද්දී වර්ෂාව අවසන් වන නිසා ඔක්තෝබර් මාසයේ සිට බොහෝ දෙනකු ඇල්ල නැරඹීමට පැමිණෙනවා. ඉන් පසුව ගෙවෙන මාස 6ක කාලය තුළ මෙම අපූරු දිය ඇල්ල පිහිටි ප්‍රදේශය සංචාරකයන්ගෙන් පිරී ඉතිරී යනවා. ඒ අයුරින් ආරම්භ වන දුද්සාගර් සංචාරක සමය මාර්තු මාසයේ දී නිමාවට පත්වනවා.
සතුන් නැරඹීමට හැකි ප්‍රදේශයක්
දුද්සාගර් දිය ඇල්ල පිහිටා තිබෙන්නේ භගවාන් මහාවීර් වනජීවී අභයභූමිය සහ බටහිර කඳුකරයේ කොටසක් වන මොලෙම් ජාතික වනෝද්‍යානය ආසන්නයේ යි. ඇල්ල නැරඹීමට එන සංචාරකයන්ට එම අභයභූමිය සහ වනෝද්‍යානය වෙත ගොස් විවිධ ශාක සහ සත්ත්ව විශේෂ දැක බලා ගන්නට පුළුවන්. ඒ අනුව වල් ඌරන්, විවිධ මුවන් වර්ග, සයිවට්, ගෝර්, පැන්ගෝලින්, පෝර්කූපින්, සම්බාර් වැනි සත්ත්ව ප්‍රභේද එහි දී සුලභව දක්නට ලැබෙනවා.ලු
කලාතුරකින් බෙංගාලි ව්‍යාඝ්‍රයා, දිවියා, කළු දිවියා වැනි දුර්ලභ සතුන්ව නැරඹීමටත් අවස්ථාව හිමි වනවා. ඊට අමතර ව කුරුළු, සමනළ සහ උරග විශේෂ ගණනාවක් මෙම පරිසර පද්ධතිය ආශ්‍රිත ව ජීවත් වනවා. සොබාදහමට ප්‍රිය කරන උදවියට මෙහි සංචාරය කිරීම අපූරු අත්දැකීමක් වනවාට සැකයක් නැහැ.
චිත්‍රපට දෙකක් රූගත කළ ස්ථානයක්
2013 වසරේ දී තිරගත වුණු චෙන්නායි එක්ස්ප්‍රස් චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කළේ ශාරුක් ඛාන් සහ දීපිකා පදුකෝන් යන සුප්‍රසිද්ධ නළු නිළි යුගළය යි. රෝහිත් ෂෙට්ටි අධ්‍යක්ෂණය කළ මෙම චිත්‍රපටය බොක්ස් ඔෆීස් වාර්තා පිහිටුවමින් අති විශාල ආදායමක් ලැබුවා. එය 2014 ෆිල්ම්ෆෙයාර් සම්මාන උළෙලේ ප්‍රධාන සම්මාන කිහිපයක් සඳහා ද නිර්දේශ වුණා. ඒ අයුරින් ජනප්‍රිය වුණු චෙන්නායි එක්ස්ප්‍රස් චිත්‍රපටයේ දර්ශන කිහිපයක් දුද්සාගර් දිය ඇල්ල පිහිටි ප්‍රදේශයේ රූපගත කර තිබෙනවා.
ශ්‍රී ලාංකිකයන් වැඩි දෙනෙකු දුද්සාගර් දිය ඇල්ල ගැන දැනගත්තේ ද මෙම චිත්‍රපටය හරහා යි. ඊට අමතර ව 2013 වසරේ ම තිරගත වුණු කන්නාඩ භාෂාවෙන් ලියවුණු මයිනා නම් චිත්‍රපටයේ සමහර දර්ශන ද මෙම දිය ඇල්ල සමීපයේ රූගත කර තිබුණු බව ද සිහිපත් කළ යුතු යි.