ප්‍රාන්ත 28කින් ද ඒකාබද්ධ පාලන ප්‍රදේශ 8කින් ද යුත් ඉන්දියාවේ අලුත් ම ප්‍රාන්තය තමයි ලඩාක්. එහි විශේෂත්වය නම් එය ඉන්දියාවේ එක ම බෞද්ධ ප්‍රාන්තය ලෙස සැලකීම යි.

මේ  මනරම් පළාත අන්තර්ජාතික වශයෙන් අවධානය දිනා ගෙන තිබුණේ කාලයකට පෙර පටන් ම යි. එය ලොව පුරා සංචාරකයන්ට අපූරු අත්දැකීම් ලබා ගත හැකි සොඳුරු ඉසව්වක් ලෙස සැලකුණා. ටිබෙටයට නෑකම් කියන ලඩාක්, අතිශය සුන්දර පරිසරයක පිහිටා තිබීම නිසා සංචාරකයන් එයට ලොබ බැඳ සිටිනවා.

1 ලඩාකයේ සංචාරක ඉසව් - thethumpingnomad.com

ශ්‍රී ලංකාව තරම් විශාලයි

ලඩාකය වෙනම පාලන ප්‍රදේශයක් ලෙස ප්‍රකාශට පත් කළේ 2019 දී යි. ජම්මු කාශ්මීර් ප්‍රාන්තයට අයත් බලතල ගැන අදාළ වූ  ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 370 වැනි වගන්තිය ඉවත් කිරීමත් සමඟ ලඩාක් වෙන ම ප්‍රාන්තයක් බවට පත් කෙරුණා. ලඩාක් කියන්නේ උතුරු ඉන්දීය දේශ සීමාවට මායිම්ව උස් කඳුකරයේ පිහිටි ඉතා සුන්දර ප්‍රදේශයක්.

මේ පළාත  මුලින් අයත් ව තිබුණේ ජම්මු කාශ්මීර් ප්‍රාන්තයට යි. එහි ගිරි දුර්ග කපොලු අතරින් වැටී ඇති කරකොරාම් මංකඩ ලොව දුෂ්කර ම දුර්ග මාර්ගයක් ලෙස සැලකෙනවා.  හිමාල කඳුවැටියේ දකුණින් පිහිටි නිසා ම ඉතා සීතල දේශගුණයකින් යුක්ත යි.  

 කඳු අතර පිහිටි ලෙහ් නගරය-  thirdeyetraveller.com

ලඩාකය

ලඩාක් කියන වචනයේ ටිබෙට් අරුත කඳුකර කපොලු භූමිය යි.  පුරාණ චීන සේද මාවත සමඟ ඉන්දියාව සම්බන්ධ කර ඇත්තේ දුර්ග මාර්ග සහිත මේ බිම යි.  ලඩාක්හි ජනතාව ඉන්දු ආර්ය සහ ටිබෙට් සම්භවයක් සහිත අය යි. ඔවුන්ගේ සංස්කෘතිය හා ජීවන පැවැත්ම බොහෝ දුරට ටිබෙට් සංස්කෘතියට නෑකම් කියනවා. ලඩාක් ලෝකයේ ප්‍රකට වී පවතින්නේ ඉතා විචිත්‍රවත් වෛවර්ණ සංස්කෘතියකට හිමිකම් කියන කඳුකර ප්‍රදේශයක් විදිහට යි.   

ලඩාක් ප්‍රදේශයේ විශාලත්වය වර්ග කිලෝ මීටර් 59 196ක් හෙවත්  ශ්‍රී ලංකාවේ භූමි ප්‍රමාණයට බොහෝ දුරට සමාන යි.  හැබැයි මේ කඳුකර කලාපයේ ඇත්තේ ඉතා සුළු ජනගහනයක්. එහි ජනගහනය 275000ක් පමණ යි. ලඩාක්  ජනගහනයෙන් බහුතරය බෞද්ධයන් වෙනවා. මේ බිම්කඩ නැගෙනහිරින් ටිබෙට් ඔටෝකෝරම් පළාතෙන් ද, දකුණින් ඉන්දියාවේ හිමාචල් ප්‍රාන්තයෙන් ද සීමා වී තිබෙනවා. එය චීන දේශ සීමාවට එක් පසෙකින් මායිම් වෙනවා. උස් කඳුකර පළාතක් වන ලඩාක්හි අඩු ම උස මීටර් 2550ක් වන අතර උසින් වැඩිම සල්තරෝ කන්ග්‍රි කඳුකරය මීටර් 7742ක් උස යි.

ලෙහ්හි ගංගා නිම්න - bookmundi.com

අලංකාර සිත්තමක්

ලඩාකයේ ලේහ් දිස්ත්‍රික්කය චීනයට මායිම් වන අතර, පාකිස්තානයට මායිම් වන්නේ කාජිල් ය. එබැවින් ලේහ් දිස්ත්‍රික්කයේ ජනතාවට චින සම්භවයක්  උරුම වී තිබෙනවා. කාජිල් දිස්ත්‍රික්කයේ ජනතාවට ලැබී ඇත්තේ පාකිස්තාන සම්භවයක්. කාජිල් දිස්ත්‍රික්කයේ මුස්ලිම් ගම්මාන රාශියක් දැකගත හැකි යි. ඒ අතර ම බෞද්ධ ආරාමත් පිහිටා තිබෙනවා.  මෙය  ඔවුනොවුන්ගේ සංස්කෘතීන් එකට මිශ්‍ර කර ගැනීමට ලැබුණු අවස්ථාවක් ලෙස සැලකෙනවා.  කාරාකෝරාම් සහ හිමාල කඳු වැටිවලින් වට වූ මේ කඳුකර බිම  අලංකාර වර්ණවලින් සායම් ගැන්වූ සිත්තමක් ලෙසයි පෙනෙන්නේ.   

වෙනම පාලන ඒකකයක් ලෙස ක්‍රියාත්මක කිරීම ආරම්භ වූ පසු  ලඩාක් කඳුකර පළාත තුළ යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට ඉන්දීය රජය පියවර ගත් බව පසුගිය දා වාර්තා වුණා. මහ මාර්ග   ප්‍රතිසංස්කරණය කිරීම සිදු වෙමින් පවතින අතර, අන්තර්ජාල සම්බන්ධතාත් පුළුල් කර තිබෙනවා.  මෙතෙක් හුදෙකලාව පැවති  දේශසීමා මායිම් ගම්මානවල ජනතාවට පවා දැන් දුරකතන සම්බන්ධතා ලැබී තිබෙනවා. සමහර පළාත්වලට නව ෆයිබර් තාක්ෂණයෙන් යුතු අන්තර්ජාල පහසුකම් ද ලබාදී තිබෙනවා.

 ශාන්ති දාගබ -wikipedia.org

ජනගහනයෙන් සියයට 70ක් බෞද්ධ

ලඩාක්හි ජනගහනයෙන් 70%ක් පමණ බෞද්ධයන් වන බවත් මේ අනුව ලඩාක් ඉන්දියාවේ ප්‍රථම බහුතර බෞද්ධ ජනගහනයක් සහිත ප්‍රාන්තය වන බවත් ප්‍රාන්තය ප්‍රකාශ කළ අවස්ථාවේ අගමැති නරේන්ද්‍ර මෝදි සඳහන් කළා. ලඩාක් ප්‍රාන්තයේ වැඩිපුර ජීවත් වන්නේ ඉන්දු ආර්ය හා ටිබෙට් සම්භවයකට අයිති ජන කොටසක්.

හින්දු, සික් සහ ෂියා මුස්ලිම් ජාතිකයන් ද එහි ජීවත් වෙනවා. විවිධ ජාතීන්වලට අයත් ජනතාව සිටින නිසා  සංස්කෘතික වශයෙන් මෙන් ම ආගමික වශයෙන් ද  ලඩාක්හි සාමකාමි පසුබිමක් නිර්මාණය වී තිබෙනවා.

නුර්බා නිම්නයේ සංචාරකයන්- bookmundi.com

සංචාරක පාරාදීසයක්

අතිශය සුන්දර පරිසරයක පිහිටා ඇති මේ පළාත අන්තර්ජාතික වශයෙන් අවධානය දිනා ගෙන තිබුණේ කලක පටන් ම යි. දුෂ්කර චාරිකා ප්‍රිය කරන බොහෝ සංචාරකයන් ලඩාක් වෙතට පැමිණියා.  හිමාල කඳුවැටියේ දකුණින් පිහිටි නිසා ම සිසිල් දේශගුණය, එයම ට ආවේණික සංස්කෘතික උත්සව ආදිය මේ කුඩා ප්‍රාන්තයට අපූරු විවිධත්වයක් ගෙන දී තිබෙනවා. වසර 2019 දී ලඩාක් ප්‍රාන්තයට සංචාරකයන්   2,79,937ක් පැමිණ තිබෙනවා.

ඉන් පසු ව ඇතිවූ කොවිඩ් අවදානම නිසා සංචාරක කර්මාන්තය අඩපණ වී ගියත් ඉදිරියේ දී සංචාරකයන් ඒ වෙතට කැඳවා ගැනීමේ වැඩසටහන් ක්‍රියාත්මක යි.  මනරම් හිම කඳු පන්ති, අලංකාර ජල මාර්ග, අධික සීත දේශගුණය, හරිත පාරිසරික පිහිටීම මෙන් ම බෞද්ධ සංස්කෘතික උරුමය  දැක්වෙන පුරාණ ආරාම ද සංචාරකයන්ගේ වැඩි ආකර්ෂණයක් දිනා ගෙන තිබෙනවා.

උත්සවයක සම්ප්‍රදායික නැටුමක්- ladakh.nic.in

ලේහ් සහ තවත් විශාල නගරයක් වන කාගිල් සහ ලේහ් අතර සංචාරක මාර්ගයක් බිහි කිරීමේ අරමුණින් නගර දෙක අතර කිලෝමීටර් 230කින් යුතු අධිවේගී මාර්ගයක් ඉදි කිරීමට ද ඉන්දීය ආණ්ඩුව තීරණය කර තිබෙනවා.

ලඩාක්හි ආගමික උත්සව ඇතුළු සැණකෙළි වසර පුරා ම දැකගත හැකි වෙනවා.   ටිබෙට් අවුරුදු උළෙල ඒ අතර මුල් තැනක් ගන්නා උත්සවයක්. සැප්තැම්බරයේ පැවැත්වෙන ලඩාක් සැණකෙළිය පුරාණ සංස්කෘතිකාංග රාශියක් දැකගත හැකි උළෙලක්. නැටුම්, ගැයුම්, වැයුම් වගේම විවිධ වර්ණවත් විලාසිතා ද මේ උත්සවයේ දී දැක ගැනීමට ලැබෙනවා. සංචාරකයන් මේ උත්සව කාලවලට වැඩිපුර ලඩාක් වෙත පැමිණෙනවා.  

7 මහායාන ආරාමයක්- bookmundi.com

 මනරම් ලේහ් දිස්ත්‍රික්කය

මහායානය මුල්කර ගත් ටිබෙට් බෞද්ධ පසුබිමක් සහිත ලේහ් දිස්ත්‍රික්කය ලඩාක්හි විශාලත ම දිස්ත්‍රික්කය යි. එහි ප්‍රධාන නගරයත් ලේහ්. නවදිල්ලිය හරහා හෝ කාශ්මීරයේ ශ්‍රීනගර් හරහා එය වෙතට  ගමන් කළ හැකි යි. ලේහ් දිස්ත්‍රික්කය පුරා ම සුන්දර කඳුවැටි පිහිටා තිබෙනවා. නගරය පිහිටා තිබෙන්නේ කඳු වටකර ගත් නිම්න බිමක යි.  සංචාරකයන් වැඩිපුරම පැමිණෙන්නේ ද ලේහ්  වෙතටයි.   

සීත සෘතුවේ දී ගොඩබිම් මාර්ග අවහිර වන බැවින් ඒ කාලයේ ලේහ් වෙතට පැමිණිය හැක්කේ ගුවනින් පමණ යි. මේ නගරය වම් පසින් පිහිටි නිම්නය කෙළවර වන්නේ ලඩාක් කඳු පන්තියෙන්. මේ කඳු මුදුන් සුදු පැහැති හිමවලින් වැසී පවතිනවා. ලේහ් නගරයේ බෞද්ධ ආරාම රාශියක් පිහිටා තිබෙනවා. ලිකීර් විහාරයේ රන් ආලේපිත මෛත්‍රී බෝසත් පිළිමය අගනා නිර්මාණයක් ලෙස සැලකෙනවා. කඳුවැටි මත පිහිටි දාගැබ්, ආරාම මෙහි නෙත්කළු දසුන ඔපවත් කරනවා.

විලක සිරි නරඹන සංචාරකයන්- bookmundi.com

සංස්කාර් සහ ඉන්දුස් යන ගංගා මෙම නිම්නය සාරවත් කරමින් ගලා යනවා. ලඩාක්හි බාර්ලි සහ තිරිඟු ප්‍රධාන වගා ලෙස සැලකෙනවා. රජයේ සහන නිසා සහල් ද මෑතක සිට එහි භාවිතයට ගැනෙනවා. බහුතරය වෙළෙඳුන් ලෙසයි කටයුතු කරන්නේ.

තවලම්වලින් බඩු ප්‍රවාහනය මෙහි සුලබ යි.  ලඩාක්වලට ඇත්තේ එක් ගුවන් තොටුපොළක් පමණ යි. එය පිහිටා ඇත්තේත් ලේහ් නගරයේ.   දිල්ලිය බලා දිනපතා ගුවන් ගමන් සිදුවෙනවා. සතියකට වරක් ශ්‍රීනගර් සහ ජම්මු වෙත ද ගුවන් යානා පියාසර කරනවා.

කන්දක් පුරා පැතිරුණු මාලිගාව- bookmundi.com

ලඩාක් පෝතල මාලිගාව

ලේහ් නගරයට නුදුරින් කිත්සි ගමේ පිහිටි පෝතල මාලිගාව ටිබෙටයේ ලාසාහි සුප්‍රකට පෝතල මාලිගාවට සමාන ගොඩනැඟිල්ලක්.  ලඩාක් බෞද්ධයන් එය ඉතා ගෞරවයෙන් සලකන වන්දනාමාන කරන තැනක්. ලාසාහි පෝතල මාලිගයට සමාන  ආරාමයක් ලඩාකයේ ඉදිකිරීමට ලඩාක් බෞද්ධයන්ට අවශ්‍ය වූ අතර  තික්සි ආරාමය ඉදිකිරීම ඇරඹුණේ පහළොස්වන ශතවර්ෂයේ දී යි.  

මහායාන  විහාර මන්දිර කිහිපයක් ම එහි පිහිටා තිබෙනවා.  එහි  අඩි 49ක් උසැති  මෛත්‍රී බෝධිසත්ව ප්‍රතිමාව  දෙමහල්  ගොඩනැගිල්ලක් තරම් උස යි.  මේ ප්‍රතිමාව තැනීම අරඹා ඇත්තේ 1970 දි යි.   මාලිගා සංකීර්ණයේ ගොඩනැගිලි කඳු පාමුල සිට ඉහළට යනතෙක් එය විසිරී තිබෙනවා. මෙය ඉහළ ම සංචාරක ආකර්ශනයක් දිනා ගත් ස්ථානයක්.

ගමක බැටලු රංචුවක්- wikipedia.org

ලඩාකී බස

ලඩාක් පළාතේ එකිනෙකට වෙනස් ජනවර්ග ජීවත් වන නිසා භාෂා රාශියක් භාවිත කරනු දැකගත හැකියි.   බහුතරයක් භාවිත කරන ප්‍රධාන භාෂාව හඳුන්වන්නේ වන්නේ ලඩාකී කියලයි. ලඩාකී  කියන්නේ ටිබෙට් භාෂාවක්. ලඩාක් වැසියෝ හින්දි, උර්දු පමණක් නොව ඉංග්‍රීසි ඉගෙන ගැනීමටත් මෑතක සිට උනන්දුවක් දක්වනවා.  2001 සංගණනයට අනුව, ලඩාක් පළාතේ සාක්ෂරතාව සියයට 62 ක් වෙනවා.

පුරාණයේ අධ්‍යාපන ආයතන ලෙස සැලකුණේ බෞද්ධ ආශ්‍රම පමණ යි. එක් පවුලකින් එක් පිරිමි ළමයකුට බෞද්ධ ආශ්‍රමයකට ගොස් අධ්‍යාපනය ලබා ගැනීම කළ හැකි වුණා.  1994 දී, ලඩාක් දරුවන් වෙනුවෙන් විශේෂ අධ්‍යාපන වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක වුණා. ඉන්දීය රජයේ මැදිහත්වීමෙන් පාසල් පිහිටුවීමත් සිදුවුණා.  

11 හුදෙකලාවේ චමත්කාරය - india. com

අසුන්දර යුද  ගැටුම්

චීන – ටිබෙට් දේශ සීමා මායිමේ පිහිටීම නිසා ඉන්දීය හා චීන හමුදා අතර  නිතර  වෙඩි හුවමාරු සිදු වන්නේ ලඩාක්හි සුන්දර කලාපයක් වන ලේහ්  දිස්ත්‍රික්කයේ යි. මේ දේශ සීමා ගැටුම්   සීතල පළාතට අවදානමක් ගෙනවිත් තිබෙනවා. එළැඹෙන සීත සෘතුවේ දී ඉන්දියාව මෙන්ම චීනයත් ඔවුනොවුන්ගේ හමුදා සේනාංක ලඩාක් සීමාවේ රඳවා තබා ගන්නා බව දැන් ලැබෙන වාර්තා අනුව පේනවා.  ලොව බොහෝ රටවල් තම රටවැසියන්ට ලඩාක් පළාතේ සංචාරය නොකරන ලෙස උපදෙස්   දී ඇත්තේ මේ ගැටුම් නිස යි. ඉන්දීය ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කළේ පසුගිය කාලයේ යුදගැටුම් වැළැක්වීමට සාධනීය යෝජනා දුන්නත් ඒ කිසිවක් චීනය ගණන් ගත්තේ නැති බව යි.