මොනවද මේ දහ දුක් කියල කියන්නෙ?
දුක් කරදර කියන්නෙ අපි කාටත් උරුම දෙයක්. ජීවිතේට දුකක් අත් නොවිඳපු කෙනෙක් ලෝකේ කොහෙන්වත් හොයාගන්න ලැබෙන්නේ නෑ. මොන තරම් සල්ලි තිබුණත්, මොන තරාතිරමක හිටියත් දුක කියන හැඟීම ජීවිතේ එක පාරක් හරි හැමෝටම විඳින්න වෙනවා. ඉතින් දුකට එහා ගිහින් දහදුක කියල එකකුත් අපේ කට වහරේ නිතර අහන්න ලැබෙනවා. “මම ඔය කෙල්ලව හැදුවේ දහදුක් විඳලා’, “මම ඔය වාහනේ ගත්තේ දහදුක් විඳලා” වගේ කතා අපිට සුලභව අහන්න ලැබෙනවා. දහදුක් එහෙම නැත්නම් දුක් වර්ග දහයක් ගැන සඳහනක් තියෙනවා ධම්ම පදයේ දණ්ඩ වග්ගයේ. ඒ දුක් වර්ග දහය තමයි කටවහරේ දහදුක් කියලා කියන්නෙ. හැබැයි අපි වැඩි දුර හිතුවේ නෑ නේද මොනවද මේ දහ දුක් කියන්නෙ කියලා. එහෙනම් අද අපි කතා කරමු ඒ ගැන.
1. වේදනං පරුසං (ශාරීරික වේදනා)
අපිට ජීවිතයේදී ඇතිවෙන දරුණු කායික වේදනා ගැන තමයි වේදනං පරුසං කියලා නම් කරලා තියෙන්නෙ. පෙර ආත්ම වල කරපු අකුසල් හේතුවෙන් මේ විදිහට කායිකව වේදනා හට ගන්නා බව කියනවා. මේ වගේ ශරීරයට ඇතිවෙන නොයෙකුත් වේදනා විදිහට දරුණු හිස කැක්කුම්, අත් පා කැඩීම්, ඇස් කන් නාසය සම්බන්ධ වේදනා වගේ දේවල් මේ වේදනං පරුසං එහෙම නැත්නම් කායික දුක් විදිහට සැලකෙනවා.
2. ජානිං (ධන හානි)
යම් පුද්ගලයෙකු හරි හම්බ කරගත් දේපළ නිකරුණේ විනාශ වෙලා යාම නිසා ඇතිවෙන වේදනාව නැත්නම් දුක තමයි ජානිං කියන වචනයෙන් විස්තර කරලා තියෙන්නෙ. එහෙම දෙයක් සිද්ද වුනාම දැනෙන වේදනාව අමුතුවෙන් විස්තර කරන්න ඕනේ නෑ. සමහර අයගේ දේපළ ගංවතුර වගේ ස්වභාවික අපදා නිසා විනාශ වෙලා යනවා. සමහර අයගේ දේපළ සොරකම් නිසා අහිමි වෙනවා. දේපළ වගේම අනෙකුත් විවිධ සම්පත් විනාශ වීමෙන් ඇති වෙන දුක් ජානිං විදිහට විස්තර කෙරෙනවා.
3. සරීරස්ස ච භෙ දනං (ශරීරයේ බිඳීම්)
ශරීරයේ ඇති වෙන බිඳීම් නිසා ඇතිවෙන වේදනා නැත්නම් දුක් තමයි මේ විදිහට හඳුන්වලා තියෙන්නෙ. ශරීරයේ අත පය කැඩීයාම්, කොඳු ඇට, ඉල ඇට බිඳී යාම් වගේ දේවල් නිසා විඳින්න වෙන සියළු දුක් වේදනා මේ විදිහට විස්තර කරලා තියෙනවා.
4. ගරුකං ආබාධං (දරුණු රෝග)
ශරීරයේ විවිධ ස්ථාන වල ඇති වෙන පිළිකා තත්ත්වයන්, වකුගඩු ආබාධ තත්ත්වයන්, හදවත් රෝග වගේ සුව කරන්න අපහසු රෝගාබාධ නිසා ශරීරයට වගේම හිතට ඇතිවෙන දුක් වේදනා ගැන විස්තර කෙරෙන්නේ ගරුකං ආබාධං වශයෙනුයි. අපිට රෝහලකට ගියාම මේ වගේ තත්ත්වයන් හොඳින්ම අවබෝධ කරගන්න පුළුවන්. විශේෂයෙන් අපේක්ෂා රෝහල කියන්නෙ මේ දුක් විඳින අයගේ එක නවාතැන් පොළක්.
5. චිත්තක්ඛෙ පංච පාහුණෙ (උමතුව)
ජීවිතයට එන විවිධ ගැටළු අභියෝග වලට මුහුණ දීමේදී මානසිකව කඩාවැටීම හේතුවෙන් ඇතිවෙන මානසික උමතු තත්ත්වයන් නිසා ඇතිවෙන දුක් වේදනා ආදී සියළු දේ මේ කාරණාවෙන් විස්තර කරනවා. ගොඩක් අද කාලෙ අයට විෂාදය වගේ තත්ත්වයන් ඇති වෙන එක වැඩි වෙලා තියෙනවා. ඉතින් ඒ වගේ දුක් අයිති වෙන්නෙ මේ ගණයට.
6. රාජතොවා උපස්සග්ගං (රජයෙන් වන කරදර)
මේකෙන් කියවෙන්නෙ රජුන්ගෙන් සහ රජයෙන් ඇති වෙන ප්රශ්න සහ ගැටළු නිසා ඇති වන දුක් වේදනා ගැනයි. විශේෂයෙන් දේපළ රජයට පවරා ගැනීම්, රාජ්ය සේවයෙන් පහ කිරීම්, රාජකාරි හේතු මත සිරගත කිරීම් වගේ ගොඩක් දේවල් මේ යටතට ගැනෙනවා. අද කාලෙ නම් ගොඩක් අයට මේ වර්ගයේ දුක් කරදර ගොඩක් වැඩියි.
7. දාරුණං අබ්භක්ඛානං (දෝෂාරෝපණ)
මේකේ සිංහල තේරුම විදිහට බොරු දෝෂාරෝපණ කියන වචනේ පාවිච්චි කරන්න පුළුවන්. කෙනෙක්ට බොරුවට දෝෂාරෝපණ, නින්දා කිරීම් කොච්චර දුකක් ඇති කරනවද කියලා අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. කෙනෙක් නොකරපු දෙයක් කළා කියල බොරු දෝෂාරෝපණ එල්ල කරන එක ලොකු පවක් වගේම ඒ දෝෂාරෝපණ එල්ල වෙන කෙනා ගොඩක් මානසිකව වැටෙන්න බලපාන්න පුළුවන් ඒ වගේ දේවල්වලින්.
8. පරික්ඛයං ච ඤාතීනං (ඥාතීන්ගේ අහිමිවීම්)
තමන්ට ඉන්න නෑදෑ හිතමිතුරන්ගේ අහිමි වීම්, ඒ වගේම අතහැර දමා යාම්, මිතුරන් නොමැතිව හුදෙකලා වීම් වගේ දේවල් මිනිස්සුන්ට ගොඩක් ලොකු දුකක් වේදනාවක් ඇති කරනවා. නෑදෑ හිතමිතුරන්ගේ වියෝ වීම් කෙනෙක්ගේ ජීවිතයට කොච්චර බලපෑම් කරනවද කියන එක ගැන අපි හැමෝටම අත්දැකීම් තියෙනවා. ඉතින් මේ වගේ දුක් වේදනා ගොඩක් ලොකු බලපෑමක් මිනිස්සුන්ට ඇති කරනවා.
9. භොගානං පභංගුරං (භවභෝග විනාශය)
තමන් වගා කළ කෙත් වතු නොයෙකුත් හේතුන් නිසා විනාශ වී යාම සහ ඉන් ඇති වෙන දුක් මේ ගණයට වැටෙනවා. වගා පාළු වීම් වගේම නියඟය වැස්ස වගේ හේතු නිසා වගාවන්ට වෙන හානි නිසා ආහාර පාන නැති වීමේ තත්ත්වයනුත් මේකෙන් විස්තර කෙරෙනවා.
10. අථවස්ස අගාරානි අග්ගිං ඩහති පාවකො. (වස්තුව ගින්නට හසුවීම)
අවසාන දුක් වර්ගය එහෙම නැත්නම් දහ(වෙනි) දුක කියන්නෙ තමන් සාධාරණව හරි හම්බ කරගත්ත, උපයා ගත්තු ධනය, විශේෂයෙන් නිවාස වගේ වත්කම්, මුදල් එහෙම ගින්නට හසුවී විනාශ වී යාමයී. ජීවිත කාලයක් හම්බ කරගත්තු දේවල් තමන්ගේ ඇස් ඉස්සරහ ගින්නට අහුවෙලා විනාශ වෙනවා දකින එක කිසි කෙනෙක්ට දරාගන්න බැරි දුකක් ඇති කරන දෙයක්.
ඉතින් දැන් ඔයාලට තේරෙනවා ඇතිනේ සමහරු දහදුක් වින්දා කියලා කතාවට කිව්වට ඇත්තටම එයාල ගොඩ දෙනෙක් දහදුක් විඳලා නෑය කියන එක.