පොඩ්ඩක් තණ්හාසේ අතෑරලා, කුණු කන්දල් ගොඩගැහුණු, අපිළිවෙල ජීවිතේකින් මිදෙන්න බලමුද?

 

පොඩ්ඩක් තණ්හාසේ අතෑරලා, කුණු කන්දල් ගොඩගැහුණු, අපිළිවෙල ජීවිතේකින් මිදෙන්න බලමුද?


අපි ඉන්න පරිසරය, ඒ කියන්නේ අපේ ගෙදර විශේෂයෙන්ම හැඩිවෙනවා, අපිළිවෙල වෙනවා කියන්නේ ජීවත් වෙන්න අමාරු වෙනවා කියන එක තමයි. ඒකට හේතුව, කොයිතරම් දක්ෂ මනුස්සයෙක්ට වුණත්, තමන් අවට පරිසරය කුණුකන්දල් පිරිලා නම්, අනවශ්‍ය දේවල් ගොඩගැහිලා නම්, අපිළිවෙල වෙලා නම් ටික කාලයක් යනකොට ඔළුව අවුල් වෙනවා. ඒ වගේම, අනික් පැත්තට ගත්තොත්, බොහොම පිළිවෙලට තියෙන, පිරිසිදු, අනවශ්‍ය දේවල් කිසිත් නැති තැනක ඉන්නකොට තමන්ගේ හිතටත් නිදහස්, තමන්ගේ උපරිම කාර්යක්ෂමතාවයෙන් ජීවත් වෙන්නත් පුළුවන්. හැබැයි ඉතින් ගොඩක් දෙනෙක්ට මේ විදියේ පිළිවෙල වටාපිටාවක් හදාගන්න එක ලේසි වැඩකුත් නෙවෙයි. ඒකට හේතුව සමහරුන්ට පිළිවෙලට ජීවත් වෙන පුරුද්ද නෑ. තවත් සමහරුන්ට එහෙම පිළිවෙලට ඉන්න, අනවශ්‍ය දේවල්, කුණුකන්දල් අයින් කරලා දාන්න හිත හදාගන්න, තණ්හාසේ අතෑරගන්න බෑ. දැකලා තියෙනවද සමහරු පොඩි කාඩ්බෝඩ් කෑල්ල පවා, වයර් කෑල්ල පවා සමහරවිට කවදාහරි ප්‍රයෝජනවත් වෙයි කියලා අරන් තියාගෙන ඉන්නවා. ඒක ඇත්තටම අරපිරිමැස්ම, සකසුරුවම් කම නෙවෙයි. ඒක තණ්හාසේ. නැතිනම් දේවල් ගොඩගහගෙන ඉන්න තියෙන ආසාව.

 

හැබැයි අපි මේ කියන ටිප්ස් දිගේ පොඩ්ඩක් හිතලා බලනකොට තේරෙයි, තමන්ට තියෙන තණ්හාව හෝ දේවල් ගොඩගහගෙන ඉන්න තියෙන වුවමනා අත්ඇරලා බලනකොට, තමන් ජීවත් වෙන අවට පිළිවෙල තියෙන, පිරිසිදු තැනක් කරගන්න එක බොහොම ලේසියි කියලා!

 

1. වත්ත සුද්ද කළාට පස්සේ?

අපි ඉතින් ජීවත් වෙන්නේ ඔය නාගරික තදබද පරිසරේක නෙවෙයි නම්, පොඩි ප්‍රමාණයක හරි වත්තක් ගොඩක් ගෙවල් එක්ක තියෙනවනේ. එතකොට ඔය වත්තක ගස් කොළං එහෙමත් තියෙනවා. එතකොට වත්ත පිරිසිදුව, පිළිවෙලට තියෙන්න නම් සති දෙකතුනකට සැරයක් වත් ගස් කප්පාදු කරලා, තණකොළ මට්ටම් කරලා, අනවශ්‍ය රොඩුබොඩු අයින් කරලා තියාගන්න වෙනවා. හැබැයි එහෙම කරනකොට ඉතුරු වෙන කොළ රොඩු වලට, දර වලට එහෙම මොකද කරන්නේ? කොළ රොඩු නම් ගිනිගහලා දාන්න හරි බැරියෑ. හැබැයි ගොඩක් වෙලාවට ඔය ඉතුරු වෙන දර කෝටු, හනසු වගේ අනං මනං ගොඩක් අය එක්කෝ කුස්සිය මුල්ලේ හරි වත්තේ කොණක හරි ගොඩගහගෙන තියාගෙන ඉන්නවා. හදිසියකට ලිග්ගල් තුනක උයන්න එහෙම වුණොත් ඕන වෙයි කියලා. හැබැයි ඉතින් කුස්සියේ ගෑස් එකෙන් හරි ඉලෙක්ට්‍රික් පවර් එකෙන් හරි උයන කෙනෙක්ට අලුත් අවුරුද්දට ලිප ගිනි මොලවන්න ඇර දර වලින් උයන්න අවස්ථාවක් එයිද? තණ්හාසෙනේ. අන්න ඒ නිසා, එහෙම එකතුවෙන දර කෝටු, හනසු වගේ අනං මනං ගමේ ඇත්තටම දර ලිපේ උයන කෙනෙක්ට ගෙනියන්න දෙන්න!

 

2. අනවශ්‍ය ගෘහ භාණ්ඩ

සමහර ගෙවල් තියෙනවා, ඒ ගෙවල් වල තමන්ගේ පාවිච්චියට අවශ්‍ය සමහර අත්‍යාවශ්‍ය ගෘහභාණ්ඩ පවා හොයාගන්න නෑ. හැබැයි තවත් ගෙවල් තියෙනවා, ඒ ගෙවල් වල ඇත්තටම කිසිසේත්ම පාවිච්චියට නොගන්න ගෘහභාණ්ඩත් සෑහෙන්න තියෙනවා. සාමාන්‍යයෙන් ඔය තත්වය ඇතිවෙන්න පුළුවන් එක්කෝ දකින දකින ගෘහභාණ්ඩ ගන්න අයට. එතකොට ගෙදරින් සාමාජිකයෙක් දෙන්නෙක් අඩු වුණත් ඔය ගෘහභාණ්ඩ වැඩි වෙන ප්‍රශ්නේ එනවා. ඒ ඇරෙන්න ඉතින් කොහොම කළත් ගෘහභාණ්ඩ පරණ වෙනවනේ. අන්න එතකොට පරණ ඒවා අයින් නොකර අලුත් ඒවා ගත්තහමත් ඔය ප්‍රශ්නේ ඇතිවෙනවා. හැබැයි ඔය ප්‍රශ්නේ ලේසියෙන්ම විසඳාගන්න පුළුවන්. තමන් පාවිච්චියෙන් අයින් කරන්න හිතන පරණ ගෘහභාණ්ඩ දීලා දාන්න නැති බැරි මනුස්සයෙක්ගේ ගෙදරට. ඒ අය ඒවා තව කාලයක් පාවිච්චි කරයි. එහෙම නැතුව තාමත් ඉතා හොඳ තත්ත්වයේ තියෙන, ඒත් තමන්ට අනවශ්‍ය, ඒත් කාටවත් නිකන් දෙන්නත් හිත හදාගන්න බැරි ගෘහභාණ්ඩ තියෙනවා නම්, අඩු ගාණකට ඒවා විකුණන්න ගරාජ් සේල් එකක්වත් දාන්න. ගොඩගහගෙන ඉන්න එපා!

 

3. වැඩිමනත් පොත්පත්

මේ කාරණාව නම් අදාළ වෙන්නේ පොත් කියවන අයට. දැන් සමහරු ඉන්නවා පොතක් පාරක් දෙපාරක් කියෙව්වට පස්සේ ආයෙමත් ඒවා තියාගන්න ලොකු ඕනකමක් නැති. හැබැයි තවත් සමහරු ඉන්නවා පොතක් ගත්තට පස්සේ ඒක කාටවත් දෙන්න කැමති නැති අයත්. ඇත්තටම ඒකේ ප්‍රශ්නයක් නෑ. පොත් කියවීම වගේම, එකතු කිරීමත් විනෝදාංශයක්. හැබැයි සමහර පොත් තියෙනවා අපිට ගත්තේ අපරාදේ කියලා හිතෙන. ඒ පොත් අපි ආයෙ කියවන එකකුත් නෑ, ලඟ තියාගන්න තේරුමකුත් නෑ. හැබැයි ගොඩක් අය තණ්හාවට ඒවත් කබඩ් එකේම හිරකරගෙන ඉන්නවා. එහෙම කරන්න එපා. අපිට තේරුමක් නෑ, වැඩක් නෑ කියලා හිතන පොතක් තව කෙනෙක්ට වටින්න පුළුවන්. අන්න එහෙම පොත් එක්කෝ පුස්තකාලෙකට දෙන්න. එහෙම නැතිනම් වෙන කියවන කෙනෙක්ට දීලා දාන්න.

 

4. ඇඳුම් පැළඳුම්

සාමාන්‍යයෙන් ගොඩක් අයට තමන්ගේ ඇඳුම් පැළඳුම් එහෙම අයින් කරන්න හිතෙන්නෙම නෑ නේද? අපි කියන්නේ ඔය පරණ වෙන ඇඳුම් පැළඳුම් ගැන නෙවෙයි. කාටවත් අඳින්න බැරි තරමට ගොමස්කඩ වුණු ඇඳුම් පැළඳුම් නම් අපි කකුල් පිහිදන්න හරි කුස්සියේ වළං අල්ලන්න හරි දානවනේ. එහෙම නැතුව තව කෙනෙක්ට අඳින්න පුළුවන්, ඒත් අපිට පරණ ඇඳුම් පැළඳුම් නැතිබැරි කෙනෙක්ට දෙන එක තමයි හොඳම වැඩේ. ඒකත් ගොඩක් දෙනෙක් කරනවා. හැබැයි ඔය පරණ වෙලා නැති, හැබැයි අපිට අඳින්නත් බැරි ඇඳුම් පැළඳුම් තියෙනව නේද? ගොඩක් වෙලාවට අපි ඒවා අඳින්න බැරි තරමට මහත් වෙලා හරි, කෙට්ටු වෙලා හරි නම් අලුත්ම ඇඳුම් පවා අල්මාරියේ නිස්කාරණේ ගොඩගැහිලා තියෙනවා. අපිත් එව්වා වෙන කාටවත් දෙන්න කැමති නෑ, කවදාහරි අඳින්න පුළුවන් වෙයි කියලා. අන්න ඒ තණ්හාව තියාගන්න එපා. තමන්ට සයිස් නොවෙන ඇඳුම්, අඳින්න පුළුවන් කෙනෙක්ට දෙන්න. ඇඳුම් අල්මාරිය පිළිවෙලක් කරගන්න!

 

5. පරණ බඩු වලට අලුත් බේසම්

ඔය ගොඩක් වෙලාවට පරණ බඩු වලට අලුත් බේසම් දෙන අය එනවා නේද? ඒ අය ඇත්තටම ඉල්ලන්නේ අපි පාවිච්චි කරන බඩු නෙවෙයි. කැඩුණු උපකරණ, යකඩ කෑලි, තහඩු කෑලි වගේ දේවල් තමයි ඒ අය ඉල්ලන්නේ. හැබැයි වැඩේ කියන්නේ ගොඩක් දෙනෙක් එහෙම කිසිම තේරුමක් නැති යකඩ කෑලි, තහඩු කෑලි වුණත් ගොඩගහගෙන ඉන්නවා කවදාහරි වැඩක් වෙයි කියලා. ආන්න ඒකෙන් වෙන්නේ අපේ අවට පරිසරේ නිකම් බොරුවට හැඩි වෙන එක. අන්න ඒ නිසා ඒවා පරණ බඩු එකතු කරන අයට දීලා දාන්න. ඒ අය දෙන බේසම් වුණත් ඇත්තටම තමන්ට වුවමනාවක් නැතිනම් නොගෙන ඉන්න එක හොඳයි. ඒ වගේම ඒ මිනිස්සු ගේ ගාවටම ඇවිත් ඇත්තටම අපිට වැඩක් නැති කැලිකසල ටික අයින් කරලා දෙන එක? ගොඩක් වෙලාවට යකඩ විතරක් හොයාගෙන එන අය වුණත්, පරණ බෝතල්, ප්ලාස්‍ටික් අනං මනං වුනත් අරගෙන යනවා. අන්න ඒ නිසා ඔය කුණුකන්දල් කිසිම දෙයක් තියාගන්න එපා!

 

6. හට්ටි මුට්ටි

තවත් ඔය අපේ අවට පරිසරය, විශේෂයෙන්ම කුස්සිය හැඩි වෙන ක්‍රමයක් තමයි හට්ටි මුට්ටි වළං ඇතිලි භාජන පුරෝගෙන ඉන්න එක. ඇත්තටම ප්‍රායෝගිකව ගත්තොත්, අපිට එදිනෙදා උයන්න පිහන්න භාජන යම් ප්‍රමාණයක් සහ වැඩිපුර කිහිපයක් තිබ්බහම හොඳටම ප්‍රමාණවත්නේ. හා නැද්ද? ඒ ඇරෙන්න ගෙදරට වැඩිපුර කට්ටිය එන වෙලාවක, දානයක් මානයක් දෙන වෙලාවක ලොකුවට උයන්න ලොකු භාජන කිහිපයක් තියෙන්න පුළුවන්. හැබැයි එහෙම නැතුව දැන් උයන්නෙත් නැති පරණ වළං පිඟන් හට්ටි මුට්ටි තණ්හාසෙට ගොඩගහගෙන ඉන්න එක තමන්ටත් කොයි තරම් කරදරයක්ද? ඒවා අයින් කරන්න. සමහර ඒවා උඩ කියපු විදියට පරණ බඩු ගෙනියන අයටම දෙන්න පුළුවන්. එහෙම කරලා කුස්සිය පිළිවෙලක් කරගන්න.

 

7. ගොඩගැහුණු හිතුවිලි

ඇත්තටම අපේ අවට පරිසරය හැඩි වෙන්නේ, අපිරිසිදු වෙන්නේ, කුණුකන්දල් පිරෙන්නේ භෞතික දේවල් වලින් විතරක් නෙවෙයි. අපේ සිතුවිලි වලිනුත් හැඩි වෙනවා, අපිරිසිදු වෙනවා, කුණුකන්දල් පිරෙනවා. ආන්න ඒ නිසා, හිතාගන්න තමන්ගේ මනස පිරිසිදුව තියාගන්න. හොඳ කරන්න, හොඳ කතා කරන්න, හොඳ මිනිස්සු ආශ්‍රය කරන්න, අනික් අයට නිර්ලෝභීව උදව් කරන්න. වැඩිය මොකුත් ඕන නෑ, උඩ කියලා තියෙන විදියට තමන්ගේ තණ්හාව, ගොඩගහගෙන ඉන්න ආසාව අතෑරලා දීලා දාන්න. තමන්ට ඒකෙනුත් කීයක් හරි ඕන කියන ලෝබකම අතාරින්න. ආන්න එතකොට මනස පිරිසිදුව, පිළිවෙලට තියෙයි.

 

එතකොට ඇත්තටම මොකද්ද මේ අරපිරිමැස්ම සහ තණ්හාව අතර වෙනස? මෙහෙමයි. අපි කියමු මොකක් හරි බඩුවක් මුට්ටුවක් එන පෙට්ටියක් කියලා. එතකොට කළබලේට පෙට්ටිය ඉරලා දාන්නේ නැතුව, හෙමින් සීරුවේ අදාළ බඩුව මුට්ටුව අරගෙන, පෙට්ටිය ගලවලා තියාගන්න එක අරපිරිමැස්ම. ඒ පෙට්ටිය ප්‍රයෝජනවත් වෙන්න පුළුවන් ඕන තරම් අවස්ථා එනවා. හැබැයි ඒ පෙට්ටිය ඇත්තටම එහෙම අවස්ථාවක් ආවහම ප්‍රයෝජනේට ගන්නත් ඕන. එහෙම නැතිව ඉරිච්ච පෙට්ටියක් වුණත් කාඩ්බෝඩ් කෑල්ල හරි ප්‍රයෝජනයක් වෙයිනේ කියලා ගොඩගහගෙන ඉන්න එකත්, එහෙම නැතිනම් ඒ විදියේ බඩුභාණ්ඩ දහයක් ආවොත්, ඒ පෙට්ටි දහයම ගොඩගහගෙන ඉන්න එකත් තණ්හාසේ. එහෙම එකක් ගොඩක් දුරට ජීවිතේට ප්‍රයෝජනයක් නොවෙන්න තියෙන ඉඩ වැඩියි.

 

Post a Comment

Hi! Thank You For Visit Our Web site

Previous Post Next Post

Contact Form