Today Travelling :- 2021.12.11
සිංහරාජයේ අරුමය..
සිංහරාජය ශ්රීලංකාවේ නිරිත දිග පහතරට තෙත් කලාපයේ පිහිටි අති විශිෂ්ට පාරිසරික සහ ස්වභාවික වටිනාකමක් ඇති නිවර්තන තෙත් සදාහරිත වනාන්තරයක් වේ.
ගාල්ල,මාතර සහ රත්නපුර දිස්ත්රික්ක වලට මැදිව පිහිටා ඇති සිංහරාජය උතුරින් නාපොළ දොළ සහ කොස්ගුලන ගඟෙනුත් දකුණින් මහදොළ සහ ගිං ගඟෙනුත් බටහිරින් කලුකන්දාව ඇල සහ පිටකැලේ ගඟේනුත් නැගෙනහිරින් මෝනින් සයිඩ් වතුයායෙනුත් මායිම්වේ.
සිංහරාජය පිවිසිය හැකි ප්රධාන මාර්ග තුනකි.
රත්නපුර-කලවාන වැද්දාගල මාර්ගයේ කුඩව දෙසින්ද,රක්වාන සුරියකන්ද මාර්ගයේන් පැමිණ මෝනින් සයිඩ් හරහාද,දෙනියාය - පිටදෙණිය හරහා පැමිණ දකුණු දෙසින්ද සිංහරාජයට පිවිසිය හැක.
සපුෂ්ප ශාකවල ආරම්භය සිදුවූ ප්රාග් ඓතිහාසික යුගයේදී එනම් වසර කෝටි 15 පමණ පෙර මෙරට ගොන්ඩ්වානා බිම් හා එක්ව පැවති යුගයේදී සිංහරාජයේ සම්භවය සිදුවී ඇතැයි සැලකේ.පරිනාමයේ මුල් අවධියේ සිට නොයිදුල් ප්රාථමික වනාන්තරයක් ලෙස සිංහරාජය පරිනාමය වී ඇත.
19 වන සතවර්ෂයේ තෙත් කලාපයේ තිබු වනාන්තර ප්රමාණය අක්කර ලක්ෂයක් පමණ විය.අද වන විට වෙන්ව පිහිටා ඇති වනාන්තර ප්රදේශ එදා එක්ව පැවතුනි.අද සිංහරාජයේ මුළු බිම් ප්රමාණය හෙක්ටයාර 11187 කි.
අතීතයට උරුම වූ කිසියම් කාලවකවානුවක ලංකාවේ සිංහයන් ජීවත් වූ බවත් ඉන් එක් දැවැන්ත සිංහයකු සිංහරාජයේ ජීවත්වීම හේතුවෙන් සිංහරාජය යන නාමය මෙයට ලැබී ඇතැයි ජනප්රවාදයේ සැලකේ.
එම සිංහරාජයා විසු ගල් තලාව සිංහගල ලෙස අදත් දක්නට ලැබේ.
මෙම සිංහයා අසල්වැසි ගම්මානවල ජනතාවට හානිකර වූ බැවින් ලංකානාත නම් යොදයකු විසින් මරාදමන ලද බවත් ජනප්රවාදයේ සඳහන් වේ.
මෙම යෝදයා විසු ගම ලංකාගම ලෙස අදටත් හැදින්වේ.
සිංහයා මරා දමන ලද්දේ ගල්වලින් ගසා බැවින් එම ගල් එක් රැස් කර තිබු ස්ථානය යෝධ ගල්ගොඩ ලෙසද හැදින්වේ.
බුවනෙක භාහු රජ සමයේ ආරක්ෂාව සඳහා දන්ත ධාතුන් වහන්සේ සිංහරාජයේ සඟවා තිබු බවටද ජනප්රවාදයේ සඳහන් වේ.
අතීතයේ ගාල්ල ප්රදේශයේ සිට සිංහරාජය හරහා ශ්රී පාදයට මගක් වැටී තිබු බවද සඳහන්වේ.
පෘතුග්රීසීන් සහ ඉංග්රීසීන් ශ්රීලංකාව පාලනය කල සමයේ සිංහරාජයට විශේෂ අවධානයක් යොමු කර තෝම්බු ගත කර ඇත.
1875 දී සිංහරාජ මුකලාන නමින් රක්ෂිත වනාන්තරයක් වශයෙන් 1988 දී ජාතික උරුම වන භූමියක් ලෙස 1988 දී නැවත යුනිස්කෝ ලෝක උරුම වන භූමියක් වශයෙන්ද සිංහරාජය නම්කර ඇත.
සිංහරාජය මුහුදු මට්ටමේ සිට උස මීටර් 90 සිට 1170 දක්වා උච්චත්වයකින් පිහිටා ඇත.
කඳුහෙල්,ගල්ශිකර,බෑවුම්,සාණු,ගංගා,ඇළදොළආදී දැකුම්කළු භූගෝලීය ලක්ෂණ වලින් මෙම වනය පරිපුර්ණය.
සිංහරාජය ස්වභාව සෞන්දර්යයේ විශ්මිත නිර්මාණයකි.
එහි ඇති පාරිසරික විවිධත්වය විද්යාත්මක මෙන්ම අධ්යාපන වටිනාකම අතින්ද අසීමිතය.
මෙම වනය විශාල ප්රදේශයක් පුරා පැතිර ඇති බැවින් උත්ස්වේදනය මගින් එක් වන ජාල වාෂ්ප හේතුවෙන් අවට ඇති අනෙක් ප්රදේශ වලට වඩා මෙම ප්රදේශයේ 5% සිට 10% වැඩි වර්ශාපතනයක් ලැබෙන බව හෙළිවී තිබේ.
වනගත ප්රදේශවල සහ අවට ප්රදේශවල ආර්ද්රතාවය 75% සිට 80% දක්වා ඉහළ අගයක් ගනී.ප්රදේශයේ උෂ්ණත්වය අඩු මට්ටමකින් පවත්වා ගැනීම,සුලගේ වේගය පාලනය කිරීම,සුර්යාලෝකය උපරිම ලෙස ප්රයෝජනයට ගැනීම,පාංශු සංරක්ෂණ කාර්යාවලිය ,ගංවතුර වැලැක්වීම ආදී පාරිසරික තත්වයන් ප්රසස්ථ තත්වයෙන් පවත්වාගෙන යාම සිංහරාජයේ ඇති විශේෂ ලක්ෂණ වේ.
නිරිත දිග මෝසම් සහ ඊසාන දිග මෝසම් යන සුලන් ප්රවාහයන් දෙකෙන්ම ඉතා අධික වර්ශාපතනයක් සිංහරාජයට ලැබේ.
එම නිසා එහි වාර්ෂික වර්ෂාපතනය මිලි මීටර් 3000 සිට 6000 පමණ වේ.වාර්ෂික මධ්යයන උෂ්ණත්වය සෙල්සියස් අංශක 19 සිට සෙල්සියස් අංශක 25 අතර පවතියි.
සිංහරාජ වනාන්තරයෙන් ජල මාර්ග කිහිපයක් ආරම්භවේ.
සිංහරාජයේ දකුණු මායිම් ලෙස සැලකෙන ගිංගඟ ඒ අතරින් ප්රධානය.
වනාන්තරයේ දකුණු ප්රදේශයෙන් උපත ලබන ජල මාර්ග ගිංගඟ පෝෂණය කරන අතර උතුරු ප්රදේශයේ පිහිටි කොස් ගුලන ගඟ කුඩව ගඟ හා පිටකැලේ ගඟ කළු ගඟ පෝෂණය කරයි.
ඒ අනුව සිංහරාජය ජාල පෝෂක ප්රදේශයක් ලෙසට ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරන සුවිශේශිවු භුමි භාගයකි.
තුරු වියන්හි ව්යුහය,වනයේ ඝනත්වය,මුල පද්ධතිවල ව්යුහය,භුවිෂමතාවය,පාංශු ව්යුහය ආදී ජෛව හා භෞතික කරුණු රාශියක් මෙම ජල විද්යාත්මක ක්රියාවලිය කෙරෙහි බලපායි.
සිංහරාජය ඉහල ජෛව විව්ධත්වයක් ඇති වන බිමකි.එහි විවධ වර්ගයේ ශාක ප්රජාවන් රැසක් දැකගතහැකිය.වනයේ ඉහලින්ම නේරු ස්ථරයද එයට පහලින් වියන් ස්ථරයද තෙවනුව උප වියන් ස්ථරයද සිව්වනුව කුඩා ගස්,පැළෑටි සහ ඝනව වැඩී ඇති පඳුරු වලින් සමන්විත යටි වියන් ස්තර්ද ඇත.
බිම් ස්තරය අකාෂ්ටිය පැලැටි වර්ග සහ බීජ පැළෑටි වලින් සමන්විතය.
නේරු ස්ථරයේ ශාක මීටර් 45 පමණද වියන් ස්ථරයේ ශාක මීටර් 30 සිට මීටර් 45 පමණද උප වියන් ස්ථරයේ ශාකද මීටර් 15 සිට මීටර් 30 දක්වාද උස්වේ.
හොර,භූ හොර,දොරණ හා දුන්,නේරු ස්ථරයේ දැකගත හැකි ශාකයන් වන අතර මෙම ශාක වියන් සතරද ඉක්මවා ඉහලට වැඩෙන බැවින් සුර්යාලෝකය ඉතා හොඳින් ලබා ගනී.
බටුනා,ඇටඹ,බෙරලිය,දියනා වල් දෙල් ලියන හා නවඳ වියන් ස්ථරයේ දැකගත හැකි ශකයන්ය.
මනා පරතරයක් සහිතව සහ මදක් දුරස්ව වැඩෙන මේ ශාක ඉතා ඍජුව සහ උසට වැඩෙන බැවින් ශාක කඳ දරා ගැනීම සඳහා කයිරු මුල් ආකාරයේ මුල ආධාරක ඇතිවේ.
හැඩවක,කිතුල්,දවට,මී,වේවැල්,ආදී ශාක උප වියන් ස්ථරයේ දැකගත හැකි ප්රමුඛ ශකයන්ය.
මේවායේ තුරු වියන් ඝනව පිහිටන බැවින් පොළවට ලැබෙන සුර්යාලෝකය බොහෝ දුරට සීමා කරයි.
එමෙන්ම මෙම වනයේ දක්නට ලැබෙන ඒක දේශීය ශාකද විශාල සංඛ්යාවකි.
බාඳුරා,වේවැල් ආදිය ශාක ඒවාට කදිම උදාහරණවේ.
බාඳුරා සිංහරාජ වනයේ දක්නට ලැබෙන මාංශ භක්ෂක ශාකයක් වේ.
සිංහරාජයේ දක්නට ලැබෙන ශාකවල උද්භිත ලක්ෂණ ඉතා සුවිශේෂත්වයක් ගනී.තුරු වියන් මතුපිට ඇති වායු ස්ථරයේ ගතික ස්වභාවය හා එමගින් අවශෝෂණය කරනු ලබන ආලෝක ශක්තියේ බලපෑම මත ඇතිවන වර්ණවත් දළු සහිත වෘක්ෂලතා ආදිය මෙහිදී දැකගත හැකි අතර පත්ර අග්රය සිහින් තුඩු සහිත උල් ස්වභාවයක් ගනී.
මේ නිසා පත්ර මතින් ජලය ගලා යාම ඉක්මන් වන අතර එහෙයින් පත්ර මත පරපෝෂිත විශේෂවල වර්ධනය සීමා කරවයි.
ප්රධාන කඳෙන් සහ අතුවලින් මල් හා ඵල හටගන්නා වෘක්ෂලතා ආදියත් පොළව මතුපිට දැලක ආකාරයෙන් විහිදී පවතින ඇටුවන් සහිත මුල පද්ධතීන් මෙහි දක්නට ලැබෙන කදිම ලක්ෂණ වේ.
සිංහරාජයේ ඇති මල් පිපෙන ශාක අතුරින් ශ්රීලංකාවට ආවේනික උඩවැඩියා විශේෂ කිහිපයක් දැකගත හැකිය.
ඊට අමතරව බෝවිටියා,දුටු සතුටු,නිල බිනර වැනි නෙක වර්ණ පුෂ්පයන්ගෙන් සමන්විත බොහෝ ශාක වර්ගද වනයේ අලංකාරය තව තවත් වැඩි කරයි.
ආර්ථිකමය වටිනාකමක් ඇති වේවැල්,දුනුකෙයියා,බට වැනි ශාක වර්ග වලට අමතරව දුම්මල හා දොරනතෙල් ලබා ගතහැකි ශාක වර්ගද සිංහරාජයේ සුලබය.
දිරා ගිය කොළ රොඩු හා කඳන් මත හටගන්නා විවිධ වර්ගයේ බිම්මල් වර්ග මෙහි බහුලය.ඒ අතුරින් මිනිස් පරිභෝජනයට සුදුසු බිම්මල් වර්ගද මෙහිදී දැකගත හැකිය.
නා පිරිත්ත,කැකිරි වරා,වෙනිවැල්,වල්ගම්මිරිස්,මහා හැඩයා,කුඩා හැඩයා,ඉරුරාජ වනරාජ, ඖෂධීය ශාක ඒ අතර ප්රධාන වේ.
සිංහරාජය තුළ පක්ෂීන් විශේෂ 147 වාර්තා වන අතර ඉන් ශ්රී ලංකාවට ආවේනික පක්ෂීන් විශේෂ 26 න් 25 ක්ම සින්හරාජයේදී හමුවේ.නිතර හමුවන වැලි කුකුලන්ට අමතරව කැහි බෙල්ලා හා මැඩි මුහුණා වැනි ඉතා දුර්ලභ පක්ෂීන් වර්ග කිහිපයක්ද මේ වනයේ දැකගත හැක.
ක්ෂීරපායි සත්ව විශේෂ අතරින් විශේෂ 40 පමණ සිංහරාජයෙන් වාර්තාවේ.ශ්රීලංකාවට ආවේනික කළු වඳුරා මේ සතුන් අතරින් ප්රමුඛ වන අතර සුදු පැහැ ගැන්වී ඇති ඇලි වන්දුරන්ද දැකගත හැකිවීම විශේෂත්වයකි.
ලේන් විශේෂ අතුරින් කළු දඬුලේනා සුලභව හමුවන සත්ව විශේෂයකි.ගෝනුන්,ඕලු මුවන්,මී මින්නන් හා වල් ඌරන් වනාන්තරයේ යටි වගාවන් ආශ්රිතව ගැවසෙමින් තම පැවැත්ම තහවුරු කර ගනී..
කුඩා අලි රංචු කිහිපයක් සිංහරාජයේ නැගෙනහිර කොටසේ තැනිතලා පතන බිම් වලට වන්නට කලාතුරකින් හමුවන අතර දිවියන් ඝන වනය තුල ජීවත්වන බවට පා සටහන් සහ වසුරු වලින් තහවුරු වේ.
සිංහරාජයේ ජීවත්වන කටුසු විශේෂ අතරින් දුර්ලභ හා ආවේනික විශේෂ කිහිපයක් හමුවේ.පලා කටුස්සා,පිනුම් කටුස්සා,අන් කටුස්සා හා කරමල් බෝදිලිමා ඉන් ප්රධාන වේ.
සිංහරාජයේ වාර්තා වී ඇති උරග විශේෂ 45 අතුරින් අතරින් විශේෂ විශේෂ 21ක්ම ශ්රීලංකාවට ආවේනිකය.මෙහි ජීවත්වන කටුස්සන්,කබරගොයින් කැලෑ හුන්,සිකනලුන් හා සර්පයින් වැනි කාණ්ඩ ගනන්වක්ම ඇතුලත්ය.සර්පයින් අතුරින් කුණකටුවා,ඇහැටුල්ලා,පඳුරු මාපිලා,පළා පොළඟා,පිඹුරා,ගැරඩියා සහ දිය නයා බහුල ලෙස දැකගත හැකිය.
උභය ජීවීන්ගේ පැවැත්ම සඳහා උචිත පරිසරයක් නිර්මාණය කරණ සිංහරාජය තුල මැඩියන් සහ ගෙම්බන් සහ ගොළු බෙල්ලන් විශේෂද බොහොමයක් අධ්යනය කල හැක.
එමෙන්ම සිංහරාජය තුල පවතින තෙතමනය සහිත පාරිසරික තත්වය කුඩල්ලන් ගහනය වැඩිවීමටද හේතුවී ඇත.
ශ්රිලංකාවේ දැකියහැකි සමනලුන් විශේෂ අතුරින් විශේෂ 65 ක් පමණ සිංහරාජයේදීම හමුවීම සුවිශේශත්වයකි.
ඉතා දැකුම් කළු විවිධ වර්ණ සහිතසමනලයින් මෙන්ම විවිධ ප්රමාණයන්ගෙන් සමන්විතවූ සමනල වර්ගද මෙහිදී හමුවේ.
සිංහරාජ වන බිම පුරා ඉතා සුපරික්ශා කාරීව ගමන් කිරීමේදී විවධ වර්ගයේ කෘමි විශේෂද දැකගත හැක.
සිංහරාජය පුරා දැල් බැඳ ගොදුරක අපේක්ෂාවෙන් නිහඬව සිටින කැලා මකුනුවන් සීමා ගොදුරක අපේක්ෂාවෙන් සාමුහිකව සිටින සත්තුන්ද එමටය.
"යක් කඩි " ඊට කදිම නිදසුනකි.
ගොදුර ඉව වැටුණු විගස ඔවුන් විසිර ගොදුර සොයා යයි.
ශ්රීලංකාවට අවේනික මත්සය විශේෂ 16 අතුරින් 3 සිංහරාජයේ ඇළ දොළ ආශ්රිතව හමුවන අතර පොදුවේ සිංහරාජය මත්සය විශේෂ 11 සඳහා වාසස්ථානය වී ඇත.
සිංහරාජයේ ඇති සුවිශේෂී ජෛව වීවිධත්වය පරිසරය පරිසර ලෝලීන් විශාල ලෙස ආකර්ෂණය කරයි.අධ්යාපන කටයුතු,පර්යේෂණ කටයුතු මෙන්ම සිංහරාජයේ ස්වභාවික සෞන්දර්යයට ඇලුම් කරන්නන්න්ට මෙය මහගු තෝතැන්නකි.
සිංහරාජයේ ප්රධාන සංරක්ෂණ කාර්යාලය සහ තොරතුරු මධ්යස්ථානය වැද්දාගල,කුඩාව පිහිටා ඇත.මෙහි දී සිංහරාජය නැරඹීමට පැමිණෙන්නන් හට සිංහරාජය පිළිබඳව ජෛව විද්යාත්මක,ඓතිහාසික මෙන්ම අධ්යාපන තොරතුරු රැසක් රැස්කරගත හැකිය.
කුඩාව ප්රවේශ මාර්ගයෙන් ඇතුළුවන සංචාරකයින් ට මුලා වැල්ල ,වතුරාව යෝධ නවද ගස,සිංහගල හා ගල්ලෙන් යාය යන මන්පෙත්ද සුන්දර දිය ඇලි කිහිපයක් නැරඹීමට හැක.
උසින් මීටර 760 පමණ වන මුලාවැල්ල නැරඹීම සඳහා කිලෝ මීටර එකක් පමණ දුරක් පා ගමනින් යායුතුය.
එනමුදු මුලාවැල්ල මුදුනේ සිට අවට බලන්නෙකුට පරිසරයේ සුන්දරත්වය මනාව අධ්යනය කල හැකිය.
වට අඩි 20 පමන ප්රමාණයකින් යුක්ත වූ යෝධ නවද ගස සිංහරාජයේ නොයිදුල් වන බිමේ ඇති වෘක්ෂයන්ගේ විශාලත්වය මනාව පැහැදිලි කරයි.
7.5 km මග ගෙවා ඉතා දුෂ්කර ගමනකින් ළඟාවිය හැකි ඓතහාසික සිංහගල මන් පෙතේ ඇති තවත් සුවිශේෂී ස්ථානයකි.
(සිංහගල උස මීට 742 )සිංහගල මුදුනේ සිට සිංහරාජය වසාගත් කඳු පන්තියෙනුත් මනාව දර්ශනය වේ.
සිංහරාජය නැරඹීමට පිටදෙනිය දෙසින් පැමිණෙන දෙස් විදෙස් සංචාරකයින් සඳහා නැරඹුම් මාවත් හතරකින් වනයේ අසිරිය විඳගත හැකිය.මෙහිදී විශාල දිය ඇලි ප්රමාණයක් දැකගත හැකි වීම පිටදෙනිය මංපෙත් වල ඇති සුවිශේෂත්වයකි.
කැකුණ ඇල්ල,පතන් ඇල්ල බ්රාහ්මණ ඇල්ල,තට්ටු ඇල්ල දුලි ඇල්ල ඌරා වැටුණු ඇල්ල,ගල්දොරුව ඇල්ල එම දිය ඇලි වේ.
සිංහරාජයේ ඇති සුවිශේෂී දේශගුණික කලාපයේ දැකගත හැකිවන්නේ මෝනින් සයිඩ් මංපෙතේදීය. නිතර තුෂාරයන්ගෙන් ගහන විවිධ වර්ගයේ පරිසර පද්ධති කිහිපයක් දැකගත හැක.
මෙලෙස සිංහරාජය නරඹන්නට කුමන දෙසකින් සංචාරකයින් පැමිණියද වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සංචාරකයින් සඳහා විවිධ පහසුකම් සලසා ඇත.
වැද්දාගල කුඩව පිහිටි ප්රධාන සංරක්ෂණ භුමිය තුල පිහිටුවා ඇති නේවාසිකාගාර පහසුකම් පැමිණෙන සංචාරකයින්ට මහත් මෙහෙයක් ඉටු කරයි.
රක්වාන මෝනින් සයිඩ් සංචාරක බංගලාව සහ දෙනියාය - පිටදෙණියේ පිහිටි නේවාසිකාගාරයද එවන් පහසුකම් වලින් සමන්විත වන නිවහන්ය.
සිංහරාජය අවට පිහිටි ගම්මාන සංඛ්යාව විසි දෙකක් පමණ වේ.
ඒවායේ සිටින ජනතාවගේ ජීවනෝපාය වන්නේ තේ වගාවයි.
ඊට අමතර හේන් ගොවිතැන සහ කිතුල් මැදීම සිදු කරයි.
පැණි හකුරු කර්මාන්තය ඔවුන්ගේ ප්රධාන ජීවනෝපාය මාර්ගයක් වන අතර වේවැල් කර්මාන්තයටද සිදු කරයි.
අතීතයේ ඔවුන්ගේ ක්රියාකාරකම් හේතුවෙන් වනයට සැලකියයුතු හානියක් සිදුවුවත් අද ඔවුන් වනයට වැඩි ආදරයක් දක්වයි.
වනසංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ක්රියාත්මක කරනලද විවිධ ජන අවබෝධ වැඩසටහන් ඊට හේතුවක් වී ඇත.සිංහරාජයේ පරිවාරක ගම්මානවල පිහිටුවා ඇති සිංහරාජ සුමිතුරෝ සංවිධානය මෙහිදී ප්රධාන ස්ථානයක් ගනී.
වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සිංහරාජය කොතරම් වැදගත්ද පෙන්වා දීමට විවිධ පුහුණු සහ වැඩසටහන් ක්රියාත්මක කරයි.
සිංහරාජය ජාතියේ උරුමයක් මෙන්ම ලෝක උරුමයක්ද වේ.
එබැවින් ජෛව විවිධත්වයෙන් පිරිපුන් වූ සිංහරාජය තව දුරටත් අනාගත පරම්පරාව සඳහා සුරැකීම අපගේ යුතුකමක් මෙන්ම වගකීමක්ද වේ.
Tags
Today traveling