රත්නපුරය ප්‍රධාන කොටගත් සබරගමුව පුරාණයේ පටන් ම රටේ ආරක්ෂාවට දායකත්වයක් දැක්වූ පළාතක්. විදේශ ආක්‍රමණිකයකුට එරෙහි ව රත්නපුරේ බළකොටුවක් පළමු වරට තනන්නේ පොළොන්නරුවේ රජ වූ පළමුවන විජයබාහු රජු යි. වර්ෂ 1067 දී චෝල ආක්‍රමණිකයන්ගෙන් දරුණු පරාජයක් ලැබූ විජයබාහු රජු සබරගමුවට අයත් කෑගල්ලේ වාතගිරි පර්වතය (වාකිරිගල) මත ආරක්ෂක බළකොටුවක් තනාගෙන සේනා සංවිධානය කළ බව අප මෙයට පෙර ලිපියකින් විස්තර කළා.
පළමුවන පරාක්‍රමබාහුගේ පියා වූ මානාභරණ දැදිගම හෙවත් පුංකගාමයේ රාජ්‍ය මධ්‍යස්ථානය පිහිටුවා ගත්තා. එහි ආරක්ෂක බළකොටුවක් තිබුණු බව අපට සිතිය හැකි යි. ඉන් පසු දඹදෙණියේ රජවූ තුන්වැනි විජයබාහු රජු බෙලිගල පර්වතයේ බළකොටුවක් තනා දළදා වහන්සේ එහි තැන්පත් කළ බව මහාවංශය සදහන් කරනවා. පසුව සබරගමුවේ බළකොටු තනා රටේ බලය තහවුරු කර ගැනීමට එන්නේ පළමු යුරෝපීය ආක්‍රමණිකයා වන පෘතුගීසින්. ඔවුන් මර්දනයෙන් රට පාලනය කළ ඒ උත්සාහයේ ශේෂ අදටත් දැකගත හැකි යි.
සබරගමුවේ පෘතුගීසි බළකොටු ඇරඹේ
වර්ෂ 1505 දී මෙරටට ගොඩ බැස ටික කාලයක් යන විට රටේ මුහුදුබඩ පළාත්වල ස්ථාවරත්වයට පත් වූ පෘතුගීසින් තම බලය පවත්වා ගැනීම සදහා මුහුදුබඩට අමතර ව රට තුළ බළකොටු ඉදිකිරීම ආරම්භ කළා. පෘතුගීසින් උඩරට සහ සීතාවක රජවරුන්ගෙන් ආරක්ෂා වීමටත් ආක්‍රමණික අවශ්‍යතා සම්පූර්ණ කර ගැනීමටත් රත්නපුර අවට මෙන්ම රත්නපුරෙන් දුර සබරගමු පෙදෙස්වලත් බළකොටු පිහිටවූවා.
තමන්ගේ බල ප්‍රදේශවල ඇතිවන දේශීය කැරලි වලක්වා ගැනීමත් එම බළකොටු ඉදිකිරීමේ අරමුණ වුණා. ආරක්ෂාවට අමතර ව කළුගග ඔස්සේ භාණ්ඩ හුවමාරුව පහසු කර ගැනීමටත් මේ බළකොටුවලින් සේවය සැලසුණා. මේ නිසා කළුතර ඇතුළු ව රට තුළට ද බළකොටු විහිදුවීමට පෘතුගීසින් ක්‍රියා කර තිබෙනවා.
රත්නපුර පෘතුගීසි බළකොටුව
වර්ෂ 1600 පමණ වන විට සබරගමුව ජය ගත් පෘතුගීසිහු දෙල්ගමුව විහාරය, පොත්ගුල් විහාරය, මහ සමන් දේවාලය යන පූජනීය ස්ථාන විනාශ කර මංකොල්ල කෑවා. ඉන් පසු උස්බිමක පිහිටි මහ සමන් දේවාල බිම තුළ සපරගමු නමින් හැදින්වූ බළකොටුව ඉදි කර තිබෙනවා. එහි දේවාල ගොඩනැඟිලි කඩා දමා පල්ලියක් ද ඉදිකළ බව සදහන් වෙනවා. ඒ සඳහා පෘතුගීසින්ගේ හමුදා නිලධාරියෙක් වූ ‘ලුයින් කබ්රාල් පරී’ මූලිකත්වය ගෙන තිබෙනවා. සමන් දේවාල බළකොටුව ක්‍රිස්තු වර්ෂ 1618-1620 අතර කාලයේ ඉදිකර වූ බව පේනවා.
අලගියවන්න මුකවෙටි ලියූ කුස්තන්තිනු හටනේ අන්තෝනියෝ බරෙත්තු, පෘතුගීසින්ට එරෙහිව ඇති කළ කැරැල්ල මර්දනය කිරීමට ගිය කුස්තන්තීනු ද සා සමන් දේවාල බළකොටුවට පැමිණි බව සදහන් වෙන්නේ මේ ආකාරයෙන්:
සිරිසර නිසි මග කළුගග තෙරබද
කඳවුරු තුර මැද සපරපුරෙහි සොද
සමන් දේවාල කඳවුරේ ඉස්තීවන් ද ෆරියා යටතේ සෙබළුව් 60 දෙනකු ද නවත්වා තිබුණා. කුස්තන්තීනු ද සා ද මෙම බළකොටුව සංවර්ධනය කිරීමට මුල් වූ බව පෘතුගීසි ලේඛක ක්වේරොස් පවසනවා. පසුව සිංහල සටන්කරුවකු වූ අන්තෝනියෝ බරෙත්තු බළකොටුව වටලා පෘතුගීසින් 37 දෙනකු යටත් කර ගත් බවත් සඳහන් වෙනවා. එහිදී විනාශ කළ බළකොටුව දියෝගෝ ද මේ ක්‍රැස්ටෝ නම් මෙරට පෘතුගීසි පාලකයා දෙවන වරටත් ඉදි කරනවා.
දැනට ඇති සමන් දේවාලය ඉදිකර ඇත්තේ II වන රාජසිංහ රජු, පෘතුගීසි බළකොටුව හා දේවස්ථානය කඩා විනාශ කිරීමෙන් පසුව යි. ඉන් පසුව කීර්ති ශ්‍රී රාජසිංහ රජු දේවාලය තව දුරටත් සංවර්ධනය කරනවා. දේවාල බිමේ කැඩී බිඳී ගිය සෙල්ලිපි කොටස්, ගල්කණුත් තැන් තැන්වල අදත් විසිර පවතිනවා. එදා පැවති පෘතුගීසි බළකොටුවට අයත් පෘතුගීසි රාජ්‍ය ලාංඡනයක්, සිංහල සෙබළකු පරාජය කරන පෘතුගීසි සෙබළෙක් දැක්වෙන කැටයම් පුවරුවක්, කාලතුවක්කු කටක කොටසක් ආදිය මෙහි දී දකින්න ලැබෙනවා.
කිරිඇල්ල බළකොටුව
කිරිඇල්ල ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයට අයත් ඉඩම්ගොඩ (කිරිඇල්ල) නගරය මැදින් වැටුණු විද්‍යාල මාවතේ සිට කිලෝ මීටරයක් පමණ දුරින් මෙම පැරණි බළකොටුව පිහිටි බිම තිබෙනවා. එයට අද කියන්නේ කොටුගොඩැල්ල කියල යි. බළකොටු බිම අක්කර භාගයකට වඩා ඉඩක පැතිර තිබෙනවා. කළුගඟේ නැම්මක් ඇති තැනක දකුණු ඉවුරට ඉහළින් උස් බිම්කඩක බළකොටුව ඉදි කර තිබෙනවා. පෘතුගීසින් රත්නපුර අවටින් එකතු කර ගන්නා කුරුඳු, කරුංකා හා කුළුබඩු ආදිය මෙම බළකොටුව තුළ රැස්කර තබා කළු ගඟ ඔස්සේ කළුතර දක්වා ප්‍රවාහනය කර තිබෙනවා.
මෙහි ගං ඉවුර දිගට බැඳුණු සවිමත් පැති බැම්ම සඳහා විශාල ප්‍රමාණයේ ගල්කුට්ටි ප්‍රවාහනය කර ඇත්තේ අලි ඇතුන් ලවා අද්දවා බව පැවසෙනවා. බළකොටුව සෘජු කෝණාකාර ගොඩනැඟිල්ලක් වුණා. එහි ගිනිකොන පැත්තේ හැර අන් සැම පැත්තක ම මුර අට්ටාලයක් ඉදි කර තිබුණා. මෙහි ආරක්ෂක කුටි, ගබඩා හා අණදෙන නිලධාරින්ගේ නිල නිවෙස් ද ඉදිකර තිබුණා. බළකොටුවට වයඹ දෙසින් හමුදා පෙලපාලි සදහා අංගනයක් තිබුණු අතර නැගෙනහිර හා බටහිර ගැඹුරු ඇළ මාර්ග දිය අගලකට සම්බන්ධ කිරීමෙන් ආරක්ෂාව සලසා ගෙන තිබෙනවා. ඒවා පැවති බවට සාධක වශයෙන් පස් ගොඩැලි, ගල්වරි ආදී නටබුන් දැක ගත හැකි යි.
සාමාන්‍ය පොළෝ මට්‌ටමේ සිට මෙම ස්‌මාරකයේ මුදුනෙහි ගොඩැල්ල උසින් අඩි 40ක් පමණ වෙනවා. බළකොටු බිමේ වගා කටයුතු කිරීම මෙන් ම නිදන් සොරුන් නිදන් සොයා හෑරීම නිසාත් මෙම ස්මාරකය විනාශ වි ගොසින්. කොටුව ඇතුළත ළිඳක් තිබූ බවට සාධකත් පවතිනවා. පුරාවිද්‍යා සංරක්ෂණයකට ලක් වී නැති නිසා මේ ස්‌ථානය පිළිබද පැහැදිලි චිත්‍රයක් මවා ගැනීම අසීරු යි. බළකොටුවේ සිට පහළට ඉදි කර තිබූ කළුගල් පඩි පෙළක කොටස් ගඟේ ජලය අඩු කාලවලට දැකගත හැකි යි.
ආර්. එච්. බැසට් ලියූ රොමෑන්ටික් සිලෝන් (සිංහල පරි. පෙම්බර ලංකා- ප්‍රේමචන්ද්‍ර අල්විස්) කෘතියේ මෙසේ සදහන් කර තිබෙනවා:
හමුදා අණදෙන නිලධාරියා සඳහා මෙහි කදිම නිවාසයක් තනවා තිබුණි. පුවක්, කුරුඳු හා කුළුබඩු ගබඩා කිරීමටත් මේ මගින් හැකි විය. නිවාසය ඉදිකර තිබුණේ පුළුල් තැන්නකය. එම නිවාසයේ කවුළුවලට පහතින් බලන විට. ප්‍රාකාර බැම්මට පිටින් සානුවේ දිග දැඩි බෑවුම මත සිට ගංගා ගව්වත් කුකුළු කෝරලයේ කඳු වැටිත් දැකිය හැකි විය. ඝර්ම කලාපික ස්වභාවික දර්ශනය ද නැරඹිය හැකි විය (73 පිට)
කිරිඇල්ල බළකොටුවේ නේවාසික පෘතුගීසි කපිතාන්ගේ ප්‍රධාන රාජකාරිය වුණේ කුකුළු කෝරළයෙන් එකතු කරන හකුරු, පුවක් සහ අනෙකුත් කුළුබඩු වර්ග පිළිබදව අධීක්‍ෂණය කිරීම යි. ඔහු වටිනා වෙළෙඳ භාණ්ඩ අතපත ගාන නිසා ධනවතෙක් බවත් රිබෙයිරෝ සඳහන් කරන කරුණක්. හත් සියයක පමණ යුද සෙබළුන් මෙහි රැඳී සිටි බවත් රිබෙයිරෝ ලියා තිබෙනවා.
බිබිලේගම බළකොටුව
මෙම කුඩා බළකොටුව පිහිටා තිබුණේ ගොඩකවෙලට නුදුරුව යි. සබරගමුවේ ප්‍රාදේශීය බළකොටු අතර සුවිශේෂ තැනක් බිබිලේගම බිබිලේගමට හිමි ව තිබුණු බව පේනවා. පෘතුගීසි හා ලන්දේසි සමයේ කොළඹ, මල්වාන, හංවැල්ල, රුවන්වැල්ල, රත්නපුර (සපරගමුව) බිබිලේගම, කටුවන, මාතර, ගොඩවාය දක්වා රට ඇතුළෙන් ප්‍රකට මාර්ගයක් පැවතියා. ඒ කාලේ මේ ස්ථානය හඳුන්වා තිබෙන්නේ බිබිලේයෝගම් යනුවෙන්.
බටුගෙදර
සිංහල රජ සමයේ රත්නපුරයට කිලෝ මීටර් තුනක් නුදුරු බටුගෙදර වෙන ම ආරක්ෂක කලාපයක් ලෙස සැලකීමට කැමැත්ත දක්වා තිබෙනවා. එය කළුගගේ අතු ගංගාවක් එකතු වන උස්බිමක පිහිටා තිබුණා. ඒ නිසා ස්වභාවික ආරක්ෂාවක් ද එම ස්ථානයට ලැබුණා. සබරගමුවේ සිංහල සේනාව පුහුණු කිරීම්, ආයුධ තැනීම, ආහාර ගබඩා කිරීම් බටුගෙදර බළකොටුව යොදා ගෙන ඉටු කර ගෙන තිබෙනවා.
සිංහල බළකොටුව තිබුණේ යකිණිගල වත්ත (අන්නාසි ගල්හේන) අසල පිහිටි විශාල ගල් ලෙනක් තුළ බවයි පැවසෙන්නේ. මෙහි ඇතුළත 400-500 කට රැඳී සිටීමට එකල ඉඩකඩ තිබුණු බවත් ලෙන තුළ පිරිසුදු ජලය රැඳි පොකුණක් ද තිබුණු බවත් කියවෙනවා.
පසුව පෘතුගීසි සේනා පැමිණ ආරක්ෂාවට ඉතා වැදගත් මේ ස්ථානය බලවත් සටනකින් යටත්කර ගෙන තිබෙනවා. ඉන් පසු ඔවුන් බළකොටුවක් ඉදිකරනවා. ඌව හරහා පෘතුගීසින්ට එල්ලවිය හැකි ප්‍රහාර වැළැක්වීමත් කළු ගගේ වෙළෙද භාණ්ඩ ප්‍රවාහනයට ආරක්ෂාව සැලසීමත් මෙය තැනීමේ අරමුණක් වී තිබෙනවා. සිංහල සේනා හැකි වෙර යොදමින් සටන් කර අවසානයේ පසුබැස ගිය බව පැවසෙනවා. කොරතොට කුරුප්පුආරච්චි පෘතුගීසි පක්ෂය ගෙන මෙහි රැදී සිටියත් පසුව ඔවුන්ට විරුද්ධ ව කැරල්ලක් ඇති කර තිබෙනවා.