බකිංහැම් මාළිගයේ සවාරියක් යමුද?
මහා බ්‍රිතාන්‍යයේ ග්‍රීෂ්ම කාලය එළඹෙන මාස වලදී ලෝකය පුරා සංචාරකයන් සඳහා බකිංහැම් මාළිගාව විවෘත වෙනවා. මෙම සම්ප්රදාය දැනට වසර 20ක පමණ කාලයක් පුරා පැවත එනවා. අතීතයේදී මෙම රාජ මාළිගයේ දොරටුවෙන් ඇතුළු වීමට පවා අවසරය ලැබුණේ සීමිත පිරිසකට පමණයි. නමුත් කාලයේ තාලය වෙනස් වීමත් සමගම දැන් යම් යම් නීති රීති වලට යටත්ව බකිංහැම් මාළිගයේ ශ්‍රී විභූතිය නැරඹීම සඳහා සාමාන්‍ය ජනතාවට අවස්ථාව හිමිවනවා. මෙයට අමතරව මෙම වසරේ පටන් බකිංහැම් මාළිගයේ උද්‍යානයේ රිසිසේ සංචාරය කිරීමටද සංචාරකයන් හට අවස්ථාවක් ලැබෙනවා පමණක් නොව, අවශ්‍ය නම් ඔවුන්ට ආහාරපානාදිය ගෙනවිත් එම උද්‍යානයේ පික්නික් එකක් ආකාරයට විනෝද වීමටත් අවස්ථාව සැලසෙනවා. අපි අද ඔබට කියන්නේ යම් විදිහකට බකිංහැම් මාළිගයේ සංචාරයක යෙදෙන්න ඔබ හට අවස්ථාව ලැබුණොත් ඔබ විසින් නැරඹිය යුතු ස්ථාන සහ වැදගත් වන තොරතුරු පිළිබඳවයි.
1. බකිංහැම් මාළිගයේ උද්‍යානය
ආරම්භයේදී සඳහන් කළා වගේම බොහෝ දෙනෙක් බකිංහැම් මාළිගයේ ගොඩනැගිල්ලටත් වඩා එම උද්‍යානයට ප්‍රිය කරනවා. අක්කර 39 ක පමණ භූමි ප්‍රදේශයක් පුරා විහිදී යන මෙම උද්‍යානය තුළ විවිධ ශාක වර්ග දෙසීයක් සහ මල් වර්ග 350ක් රෝපණය කොට තිබෙනවා. මීට අමතරව අක්කර තුනක පමණ විශාලත්වයෙන් යුතු විලක් ද මෙම උද්‍යානයෙහි සුන්දරත්වය තවත් වැඩි කරනු ලබනවා. ඒ වගේම ටෙනිස් ක්‍රීඩා පිටියකුත් මෙම උද්‍යාන පරිශ්‍රයට ඇතුළත්.
2. ප්‍රධාන කුටි
බකිංහැම් මාළිගය තුළ ප්‍රධාන කුටි 19 ක් පවතින අතර මෙම කුටි භාවිතා කරනු ලබන්නේ රාජ්‍ය කටයුතු සඳහා පමණයි. මෙම කුටි අලංකාර කිරීම සඳහා වටිනාකමින් අතිශය ඉහළ කෞතුක භාණ්ඩ සහ ස්වර්ණාලේපිත විවිධ නිර්මාණවලින් හැඩ ගන්වා තිබෙනවා. ඒ සඳහා සම්ප්රදාය සහ නවීනත්වය මිශ්‍ර කිරීම සිදුවන අතර එහි සිදුකරන කුඩා වෙනසක් සඳහා පවා අනුමැතිය ලබාගැනීමට පුද්ගලයන් ගණනාවක් සිටිනවා.
3. ප්‍රධාන පඩිපෙළ
මෙම පඩිපෙළ බකිංහැම් මාළිගයේ සංකේතයක් බවට ද පත්ව තිබෙනවා. හතර වැනි ජෝර්ජ් රජු දවස මාළිගය නැවත ප්‍රතිනිර්මාණය කිරීමේදී ගෘහ නිර්මාණ ශිල්පී ජෝන් නෑෂ් විසින් මෙය එකතු කොට තිබෙනවා. මේ සඳහා වැඩි වශයෙන් භාවිතා කර තිබෙන්නේ පිත්තල වන අතර මනරම් කැටයම් වලින් මෙය සමන්විත වනවා.
4. කලා නිර්මාණ එකතුව
ලෝකයේ විශිෂ්ට කලාකරුවන්ගේ චිත්රවල එකතුවක් බ්‍රිතාන්‍ය රජ පවුල සතුව පවතිනවා. මෙම කලා නිර්මාණවලින් ප්‍රධාන කුටි සියල්ලම අලංකාර වනවා. බකිංහැම් මාළිගාවේ සංචාරය කරද්දී මෙම කලා නිර්මාණ රස විඳීමටත් අමතක් කරන්න එපා. මධ්‍යතන යුගයේ, පුනර්ජීවන යුගයේ පමණක් නොව මෑත යුගයේ විවිධ නිර්මාණ ශිල්පීන්ගේ කලා නිර්මාණ එකම තැනකදී නැරඹීමේ අවස්ථාව ඔබට ඉන් හිමිවෙනවා.
5. චාල්ස් කුමාරයා සමඟ සංචාරයට
බකිංහැම් මාළිගය නරඹන්නන්ට ශ්‍රවණ මගපෙන්වීමක් ලැබෙන අතර ඒ සඳහා දායකත්වය ලබා දී තිබෙන්නේ චාල්ස් කුමාරයායි. මෙම දායකත්වය විවිධ භාෂාවලින් නිර්මාණය වී ඇති අතර ඒ මගින් ප්‍රධාන කුටිවල සවිස්තරාත්මක තොරතුරු සහ වාර්ෂිකව බකිංහැම් මාළිගයේ පැවැත්වෙන ප්‍රදර්ශන ආදිය පිළිබඳවද තොරතුරුද ඔබ වෙත ලබා දෙනු ලබනවා. ඒ වගේම විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් වෙනුවෙන් අවශ්‍ය පහසුකමුත් සැලසීමට බකිංහැම් මාළිගයේ කාර්යය මණ්ඩලය කටයුතු කර තිබීම පිළිබඳව විශේෂයෙන් සඳහන් කළ යුතු වෙනවා.
6. සිංහාසන ශාලාව
සිංහාසන ශාලාව ලෙස හැඳින්වෙන මෙම කුටිය තුළ උත්සව අවස්ථා සඳහා එළිසබෙත් රැජින අසුන් ගනු ලබන සිංහාසනය ප්‍රදර්ශනය කරනු ලබනවා. මෙයට අමතරව විශේෂ අවස්ථාවලදී ආලිංගන නර්තන ශාලාව ලෙසද මෙම කුටිය භාවිතා කෙරෙනවා. බොහෝ සංචාරකයන් පිරිසකගේ ප්‍රධාන බලාපොරොත්තුව වන්නේ මෙම සිංහාසන ශාලාව නරඹා ඡායාරූප ලබාගැනීමයි.
7. ඔරලෝසු
ඇතැම් වාර්තා වලට අනුව ලෝකයේ වැඩිම ඔරලෝසු ප්‍රමාණයක් තිබෙන ගොඩනැගිල්ල වන්නේ බකිංහැම් මාළිගයයි. විවිධ සම්ප්‍රදායන්ට සහ විවිධ කාලවල නිර්මාණය කරන ලද ඔරලෝසු 350ක් පමණ බකිංහැම් මාළිගයේ පවතින අතර ඒවාවල නඩත්තු කටයුතු සඳහා වෙනම සේවකයන් පිරිසක් ද පත් කොට තිබෙනවා.
එහෙමනම් ඉතින් වෙනදා වගේම මේ ලිපිය ගැන ඔබේ අදහස් පළ කරන ගමන් ෂෙයාර් කරන්න අමතක කරන්න එපා.