1988 ජුනි මාසයේදි සිය කුළුදුල් රැකියාව ලෙස අමෙරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ලිපිකාරිණියක ලෙස පත්වීමක් ලබද්දි, ජීනා බෙනට් වර්ජිනියා විශ්වවිද්‍යාලයෙන් ආර්ථික විද්‍යාව හා විදේශ ප්‍රතිපත්ති යන විෂයන් සඳහා උපාධිය ලබා ගත ව තිබුණේ සතියක් පමණි. රැකියාව අරඹා මාස කිහිපයක් යන්නටත් මත්තෙන් ජිනාගේ ප්‍රධානියා ඇයට උසස්වීමක් ලබා දුන්නේ, ඇයට වඩාත් සුදුසු වන්නේ බුද්ධි අංශ විශ්ලේෂිකාවකගේ තනතුරක් බවට ප්‍රශංසාවක් ද එක්කරමිනි. ඉන් තිස්තුන් වරකට පසු නිව්යෝක් ත්‍රස්ත ප්‍රහාරයට විසි වසරක් සම්පූර්ණ වී තිබෙන මෙකල, ජීනා බෙනට් සී.අයි.ඒ. ආයතනයේ ජ්‍යෙෂ්ඨ විශ්ලේෂක සේවයේ සාමාජිකාවක් ලෙස ජාතික ත්‍රස්ත ප්‍රතිරෝධි මධ්‍යස්ථානයේ, ත්‍රස්ත ප්‍රතිරෝධි උපදේශිකා තනතුර හොබවන්නී ය.
අල්ඛයිඩා සංවිධානය සමඟ බෙනට්ගේ ඇති සබඳතාව තරම් දිගු වූ සබඳතාවක් හෝ, ප්‍රබුද්ධ දැනුමක් අමෙරිකානුවන් කිසිවකුට හෝ නැති බව පැවසීම සත්‍යයකි. අමෙරිකාවේ වන කුඩා ම බුද්ධි අංශ ආයතනයක් වන ‘බුද්ධිමය තොරතුරු හා ගවේෂණය පිළිබඳ රාජ්‍ය දෙපාර්තමේන්තු බියුරෝවේ‘ ත්‍රස්ත අන්වේක්ෂණ නිලධාරිණියක ලෙස සිය පළමු රැකියාව අරඹද්දී ඇය අද සිටින තත්ත්වයට පැමිණෙනු ඇති බවට කිසිදු පුර්ව අනාවැකියක් පළ ව තිබුණේ නැත. ත්‍රස්ත ක්‍රියා අන්වේක්ෂණ නිලධාරිණියක ලෙස පැය අටේ වැඩ මුර ක්‍රමයකට සේවය කළ ජීනාට පැවරි තිබුණු වගකීම වූයේ ජාත්‍යන්තර ප්‍රවෘත්ති හා බුද්ධිමය තොරතුරු ඇසුරින්, එල්ලවිය හැකි ත්‍රස්ත අවදානම් පිළිබඳ කල් ඇති ව විශ්ලේෂණය කොට, එවැනි ප්‍රහාර ඇති වූ විට ඒවාට ප්‍රතිචාර දැක්විම ය.
ජීවිතය වෙනස් කළ පෑන්ඇම් ඛේදවාචකය
ඇගේ වෘත්තීය ජීවිතයේ පෙරළියක් ඇති කළ සිදුවීමක් වන්නේපෑන්ඇම් 103 යානයකට 1988 දෙසැම්බර් 21වැනි දා එල්ලවු ත්‍රස්ත බෝම්බ ප්‍රහාරයකින් සිරාකූස් විශ්වවිද්‍යාලයේ සිසුන් තිස්පස්දෙනකු ද ඇතුළු ව මඟීන් දෙසිය හැත්තෑ දෙනකු මිය යාමේ ඛේදවාචකය යි. මියගිය සිසුන් සියලු දෙනා ම පාහේ ඇගේ සම වයසේ තරුණ තරුණියන් වීම ඇය ඉමහත් වේදනාවට පත්කිරීමට හේතුව තිබිණි. මීළඟට සිදුවිය හැකි එවැනි ත්‍රස්ත ප්‍රහාරයක් වළක්වාලීම ඇගේ ජීවිතයේ එකම මෙහෙයුම බවට පත්වූයේ, මීනිමරුවකු හඹා යන දැඩි අධිෂ්ඨානශීලී පොලිස් භටයකුගේ තත්ත්වයට එතැන් සිට ඇය පත්කරමිනි.
1989 දී බර්ලින් පවුර බිඳ දැමීමත්, ඉනික්බිති ව සෝවියට් සමුහාණ්ඩුව බිඳ වැටීමෙනුත් අනතුරු ව එළැඹි නිරවි යුද සමයේ දී බෙනට්ට පළමුවරට, ඇෆ්ගනිස්ථානු අරාබි ජාතිකයින්ගෙන් එල්ලවිය හැකි ත්‍රස්ත අවදානම පිළිබඳ ඉව වැටෙයි. 1980 වකවානුවේ දී ඇෆ්ගනිස්ථානයේ බලය පැතිරූ සෝවියට්- ජිහාද් විරෝධි අරාබි සටන්කාමීන් කාණ්ඩයක් වූ මොවුන්, නිරවි යුද සමයේ දී සිය උපන් බිම් වූ ඇල්ජීරියාව, ටියුනීසියාව, හා ඊජිප්තුව වෙත සංක්‍රමණය වෙමින් සිටියේ සන්නද්ධ කල්ලිවලට බැඳිමේ අරමුණින් බව බෙනට්ගේ තීක්ෂණ බුද්ධියට ගෝචර විය.
නවත ම ත්‍රස්ත ජාලයක සූක්ෂ්ම නැඟී සිටීම
වැඩිදුර විමර්ශනවල දී ඇයට පෙනී ගියේ 1980 දී එලෙස උපන්බිම් හැරදා පාකිස්තානය හා ඇෆ්ගනිස්තානය වෙත ගිය ඇෆ්ගනිස්තානු අරාබි ජාතිකයන් දහස් ගණනක් ඒ සඳහා භාවිත කර ඇත්තේ ඇෆ්ගනිස්තානු යුද්ධයට ප්‍රතිපාදන සැපයු සුවිශේෂි සහායක ජාලයක් බව ය. 1990 වන විට එම සංවිධානගත ජාලය ඇෆ්ගනිස්තාන අර්බුදයට සෘජුව ම සම්බන්ධිත සටන්කාමීන් පවා ලොව පුරා අන්තවාදි ත්‍රස්ත කල්ලිවලට බැඳීම සඳහා යැවීමට පටන්ගෙන තිබිණි. මෙම ඇෆ්ගනිස්තාන අරාබි ජාතිකයන්ට මුල්‍ය ප්‍රතිපාදන සපයන ‘අබු අබ්දුල්ලා‘ නමැත්තකු පිළිබඳ බෙනට්ට මුල්වරට අසන්නට ලැබෙන්නේ ද මෙකලම ය. ඒ වන විටත් ඇය තමන් අනාවරණය කර ගනිමින් සිටින නවත ම ත්‍රස්ත ජාලයක සූක්ෂ්ම නැඟී සිටීම පිළිබඳ රහසිගත ලේඛන සකස්කිරීම අරඹා සිටියා ය. අබු අබ්දුල්ලා යන අන්වර්ථ නමින් පෙනී සිටි ‘ඔසාමා බින් ලාදින්‘ ගැන සොයන්නට තමන්ගේ වෘත්තීය ජීවිතයේ ඉතිරි කාලය ම කැපකිරීමට සිදුවනු ඇති බවක් ඇය එවකට නොදැන සිටියා ය.
ඔයාගේ මිනිස්සුයි මේක කළේ !
බෙනට් සිය කුළුදුල් දරුවා ලබන්නට සූදානම් වන්නේ ද ඇය ඇෆ්ගනිස්ථාන අරාබි සටන්කාමීන් පිළිබඳ විමර්ශනය කරමින් සිටි මෙම කාලයේ දී ම ය. ඇෆ්ගනිස්ථාන අරාබි සටන්කාමියකු වූ ‘රම්සි යූසුෆ්‘ සංවිධානය කළ ත්‍රස්ත කල්ලියක් ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ බිම් මහලේ බෝම්බ පිපිරුමක් සිදුකරන්නේ ඇය සිය කුළුදුල් දරුවා ප්‍රසූත කර තෙදිනකට පසුව, එනම් 1993 පෙබරවාරි 26 වැනි දා බව ඇය සිහිපත් කරන්නේ, එදින ඇයට සිය ප්‍රධානියාගෙන් ලැබුණු අමතක නොවන දුරකතන ඇමතුම ද ආවර්ජනය කරමිනි.
“ ඔයාගේ මිනිස්සුයි මේක කළේ ! ඔයාගේ මිනිස්සුයි මේක කළේ !! “ යනුවෙන් සිය ප්‍රධානියා ඇමතුමේ එහා කෙළවරේ සිට මහත් කලබලයකින් යුතුව කළ විලාප තැබීම මුලදී ඇයට අණ්ඩර දෙමළයක් වුයේ ඒ වන විටත් ඇය සිසේරියන් සැත්කමෙන් ලද තුවාලවල වේදනාවෙන් මිරිකෙමින් සිටි නිසා ය. ප්‍රසූත නිවාඩු අවසන්කොට ඇය යළිත් රාජ්‍ය දෙපාර්තමේන්තුවේ සිය කාර්යාලයට පැමිණියේ සිය ප්‍රධානියා ‘ඇගේ මිනිසුන්‘ යැයි හැඳින් වූ ‘ඇෆ්ගනිස්ථාන අරාබි සටන්කාමීන්‘ හෙවත් රටවල් පනහකට අධික සංඛ්‍යාවකින් ඒකරාශී වූ ‘ශුද්ධ වූ රණකාමීන්‘ (මුජාහිඩීන්) ලෙස තමන් ම හඳුන්වා ගත් ත්‍රස්තයන් සිය ආධිපත්‍යය නිව්යෝක් නුවරට ද ව්‍යප්තකොට ඇති බැව් වටහා ගෙන ය. ඒ සම්බන්ධයෙන් පිළියෙළ කළ වාර්තාව බෙනට් 1993 අගෝස්තු 21 වැනිදා ප්‍රකාශයට පත්කළා ය.
“The Wandering Mujahidin – Armed and Dangerous” (නිදැල්ලේ යන මුජාහිඩීන් - සන්නද්ධයි, භයානකයි) යන ශීර්ෂයෙන් යුතු ව ප්‍රකාශයට පත් වූ එම රහසිගත වාර්තාවෙන් ඇය ඔසාමා බින් ලාදින් හඳුන්වා දුන්නේ යේමනයේ සිට ඇෆ්ගනිස්තානය දක්වා විසිරුණු ඉස්ලාමීය සටන්කාමීන්ට මුල්‍ය ප්‍රතිපාදන ලබාදෙන දායකයකු ලෙස ය. ලාදින් පවුල සතු ඉදිකිරීම් සමාගමෙන් ලත් ධනයෙන් ආඩ්‍ය වූ ඔසාමා සැපයූ එකී ප්‍රතිපාදන, ඇෆ්ගනිස්ථානයේ අරාබි සටන්කාමීන් දහස් ගණනින් සුඩානයේ හ යේමනයේ යළි ස්ථානගත කිරීමට ද ආධාර වූ බව බෙනට් සිය විශ්ලේෂණයෙන් වැඩිදුරටත් හෙළිකොට තිබුණා ය.
අභිරහස්මය මිලියනපතියා
එතෙක් ලෝකයට රහසක් වූ ‘ඔසාමා බින් ලාදින්‘ නමැති අභිරහස්මය මිලියනපතියා නායකත්වය දුන් ගෝලීය ජිහාද් ව්‍යාපාරයක තර්ජනයක් ගැන අමෙරිකානු රජය අනතුරු ඇඟවීමක් කළ පළමු අවස්ථාව වූයේ ජීනා බෙනට්ගේ එම වාර්තාව යි. පුදුමය වූයේ ඇගේ එම අනතුරු ඇඟවීම එවැනි ත්‍රස්ත අනතුරු ඇඟවිම් නිකුත් කිරීම ගැන නම් දැරූ එෆ්.බී.අයි. හෝ සී.අයි.ඒ. වැනි ආයතන නිකුත් කළ එකක් නොව, රාජ්‍ය දෙපාර්තමේන්තුවේ කණිෂ්ඨ බුද්ධිමය තොරතුරු විශ්ලේෂකවරියක සිදු කළ එකක් වීම ය. ඉන් සතියකට පසු බෙනට් තවත් රහසිගත විශ්ලේෂණ වාර්තාවක් නිකුත් කළා ය. ‘Saudi Patron to Islamic Extremist’ ( ඉස්ලාමීය අන්තවාදීන්ගේ සෞදි භාරකාරයා ) යන හිසින් නිකුත් වූ ඉන් ඇය හෙළි කළේ බින් ලාදින් 1980 දි අල් ඛයිඩා යනුවෙන් ත්‍රස්ත සංවිධානයක් පිහිටවූ බව යි. අමෙරිකානු රජයේ කිසිවකු හෝ අල් ඛයිඩාව තර්ජනයක් ලෙස හැඳින් වූ පළමු අවස්ථාව වූයේ ද එය ය.
ලාදින්ගේ ත්‍රස්තවාදය
බින් ලාදින් සුඩානයේ පිහිටි කඳවුරකට රැස්කරගත් ඇෆ්ගනිස්ථානු යුද සටන්කාමින් නව ශුද්ධ යුද්ධයක් සඳහා පුහුණු කරන අයුරුත්, පාකිස්තානයේ සිට තායිලන්තය දක්වා විසිරුණු ජිහාද්වාදීන්ට මුදලින් ආධාර කරන අයුරුත් යේමනයේ හා ඊජිප්තුවේ සිටි තමා වැනි බුද්ධි අංශ නිලධාරින් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමෙන් ලත් තොරතුරු සිය ප්‍රධානීන්ට හෙළිකර සිටියා ය. ත්‍රස්ත ප්‍රතිරෝධි මෙහෙයුම් යාන්ත්‍රණය නවත ම සංසිද්ධියක් වූ, කිසිදු රාජ්‍යයක සහායකින් තොර ව මුත් ඒකාබද්ධ සහයෝගයෙන් කටයුතු කරන විවිධ රටවලට අයත් සටන්කාමීන් කණ්ඩායමක් හා සම්බන්ධ මෙම සිදුවීම කෙරෙහි සිය ප්‍රධානීන්ගේ අවධානය යොමු කරවා ගැනිම දුෂ්කර බැව් ඇය දැන සිටියා ය. සිය වාර්තාවලින් ‘ලාදින්‘ යනු මුල්‍ය ප්‍රතිපාදන සපයන්නකු ලෙස හඳුන්වා දුන්න ද, පෞද්ගලික ව ඇය ඊට වඩා වැඩි යමක් මෙම ත්‍රස්තවාදියා තුළ දුටුවා ය.
අකුරට ම ආගම දහම අදහන හා පිළිපදින කතෝලික භක්තිකයකු වූ බෙනට්, ආගමික විශ්වාසවලට යමකුගේ ජීවිතය කෙරෙහි කෙතරම් ප්‍රබල ලෙස බලපෑම් කළ හැකිද යන්න හොඳකාර ව දැන සිටියෙකි. ලාදින්ට ඉස්ලාම් දහම පිළිබඳ විවිධ මත දැරූ විවිධ ජාතීන්ට අයත් නා නා විධ සටන්කාමීන් එකම අල්ලාහ් නාමය වෙනුවෙන් සටන් වැදි ආකාරය සම්බන්ධයෙන් ලත් අත්දැකීම් මත පදනම් වූ දේශපාලනික ආකෘතියක් තිබිණි. බෙනට් ඒ බැව් දැන සිටියාය. ආගමික විශ්වාසය මතින් දිරිගැන්වුණු ත්‍රස්තයන්ගේ අධිෂ්ඨානය ඒ සා ප්‍රබල වූවකි. තමා ඇෆ්ගනිස්තානයේදි අනුගමනය කළ ආකෘතිය, ලොව පුරා ඕනැම ස්ථානයක යළි යළිත් ක්‍රියාත්මක කළ හැකි වූවක් බවට ලාදින් විශ්වාස කළ බැව් බෙනට් ඇදහුවා ය.
කවුරු, කවුරුන් හඹා යන්නේද?
අමෙරිකානු හා සෞදි අරාබි රාජ්‍යයන් වෙතින් එල්ල වූ දැඩි පෙලඹවීම් කරන කොටගෙන, එතෙක් සුඩානයේ රැඳි සිටි ලාදින් ඇෆ්ගනිස්ථානය වෙත යළිත් තල්ලුකර යැවිණි. එය ඉබ්බා දියට දැමිම හා සමාන මුග්ධ ක්‍රියාවක් බැව් කාට නොපෙනුණ ද, බෙනට්ට ඒ බව නොපෙනී ගියේ නැත. සුඩානයේ සිටියාට වඩා ලාදින් ඔහුගේ උපන් රට සේම ආගමික මතවාදවල නිජබිම වූ ඇෆ්ගනිස්ථානයේ සිය ස්ථාවරත්වය යළි ගොඩ නඟා ගැනීම දිගුකාලීන ව අමෙරිකාවට වඩාත් දරුණු අන්දමේ බලපෑම් එල්ල කළ හැකි බවට බෙනට් අනතුරු ඇඟවූයේ “ඔසාමා බින් ලාදින් - කවුරු, කවුරුන් හඹා යන්නේද ? ( Osama Bin Laden – Who’s chasing whom?) යන ඇගේ මීළඟ රහසිගත විශ්ලේෂණ වාර්තාව හරහා ය. ඇෆ්ගනිස්ථානය වැනි රටක බින් ලාදින්ට යළි දීර්ඝකාලීන ව රැඳී සිටිමට හැකිවීම, මතුවට අමෙරිකාවට විශාල තර්ජනයක් වනු ඇති බව ඇය නොයෙක්වර සිය ප්‍රකාශන හරහා අවධාරණය කළා ය.
2001 වසන්ත හා ගිම්හාන සමය වන විට බින් ලාදින්ගෙන් අමෙරිකාවට එල්ල විය හැකි ප්‍රහාර ගැන මුල් ම වරට පිළි ගත හැකි බුද්ධිමය තොරතුරු ගලා එන්නට විය. අප්‍රේල් මාසයේත්, මැයි මාසයේත් බින් ලාදින් ඇමරිකාව ඉලක්ක කරගනිමින් සිදු කළ හැකි ප්‍රහාර පිළිබඳ හෙළි කරමින් සී.අයි.ඒ. ආයතනය වාර්තා කිහිපයක් නිකුත් කර තිබිණි. අගෝස්තු 03වැනි දා අල් ඛයිඩා ප්‍රහාරයක අවදානම සම්බන්ධයෙන් අනතුරු ඇඟවීමක් ද සිදු කළේ ය. ඒ වන විට සි.අයි.ඒ. ආයතනය හා සම්බන්ධ ව සිටි බෙනට් පවසන්නේ මීට පෙර ද අල් ඛයිඩාව එල්ලකළ ප්‍රහාර අසාර්ථක වීම හේතුකොට ගෙන අමෙරිකානු ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් වගකියන බොහෝ ජ්‍යෙෂ්ඨ නිලධාරින් එවර ද සී.අයි.ඒ. ආයතනයේ අනතුරු ඇඟවීම් සැලකිය යුතු තර්ජනයක් ලෙස පිළිගැනිමට මැලි වූ බව ය.
උභතෝකෝටික ගැටලුව
බෙනට් සේ ම මතක ඇති කලක පටන් බින් ලාදින් හඹා යෑමේ යෙදුණු ඇගේ කාර්යාල සගයන් ද අල් ඛයිඩාවෙන් එල්ල විය හැකි බවට අනාවැකි පළවන ප්‍රහාර සම්බන්ධයෙන් මැ දිව සිටියේ උභතෝකෝටික ගැටලුවකට ය. 2001 සැප්තැම්බර් 11 දා උදෑසන පවා බෙනට් සිය මිතුරියක වු සින්ඩි සමඟ සිය කාර්යාලය පිහිටි සී.අයි.ඒ. මූලස්ථානය වෙත මෝටර් රිය ධාවනය කරමින් සිටියේ ලාදින් පිළිබඳ කෙස් පැලෙන විවාදයක පැටලෙමිනි.
නිව්යෝක් ප්‍රහාරයට අනාවැකි කී විවාදය
ඇෆ්ගනිස්ථානයේ තාලිබාන් විරෝධි ව්‍යාපාරයේ නායකයා වූ ‘අහමඩ් මසුඩ්‘ ඝාතනයට ලක්වීම ඊට දෙදිනකට පෙර බෙනට් හා සින්ඩිගේ විවාදයේ මාතෘකාව විය. එම ඝාතනය බින් ලාදින්ගෙන් තාලිබාන් නායක ‘මුල්ලා ඕමාර්ට‘ ලැබුණු ත්‍යාගයක් විය හැකි ද යන්නට බෙනට් හා සින්ඩි තර්ක කළේ කිසියම් සැලකිය යුතු ලොකු ලාභාපේක්ෂාවකින් තොර ව එවැනි ප්‍රධාන පෙළේ ඝාතනයක් කිරීමට ලාදින් කරදර වන්නේ නැති බවට ඔවුන්ට සැකයක් නොතිබුණු නිසා ය. ත්‍රස්තයන් පැහැර ගත් ගුවන් යානයක් ලෝක වෙළඳ මධ්‍යස්ථාන කුළුණට කඩා වැදුණු බවට එදින උදෑසන ආරංචිය ලැබෙන විට බෙනට් සිටියේ සී.අයි.ඒ. ත්‍රස්ත ප්‍රහාර වැළැක්වීමේ මධ්‍යස්ථානයේ වු සිය කාර්යාල මේසය අසල ය.
පැහැරගත් දෙවන යානය ලෝක වෙළඳ මධ්‍යස්ථාන කුළුණු ද්විත්වයේ දෙවැන්නට පෙරවරු 9.03 ට පමණ කඩා වැදෙන අයුරු රූපවාහිනි තිරය ඔස්සේ දිග හැරෙන ආකාරය ඇය සිය සගයන් සමඟ නැරඹූවේ තුෂ්ණිම්භූත ව ය. එවකටත් ඇය සිය සිව්වන දරුවා අපේක්ෂාවෙන් සිටි කාලයකි. සී.අයි.ඒ. මූලස්ථානයට ද ප්‍රහාරයක් එල්ල වීමේ අවදානමක් තිබුණු බැවින් මුළු මූලස්ථානය ම ජනයාගෙන් හිස් කළ ද, ත්‍රස්ත ප්‍රහාර වැළැක්වීමේ මධ්‍යස්ථානයේ නිලධාරින්ට අණ ලැබුණේ සිය අසුන්වලින් නොසෙල්වෙන ලෙසට ය.
ත්‍රස්තයන්ගේ මීළඟ ඉලක්කය
ඒ අන් කිසිවකුටත් වඩා අල් ඛයිඩාව ගැන දත් පිරිස සිටියේ එහි බැවිනි. ත්‍රස්තයන්ගේ මීළඟ ඉලක්කය කුමක් විය හැකිද යන්න උපකල්පනය කිරීමට බෙනට් ප්‍රමුඛ ඇගේ සගයන් වෙහෙසුණෝ ය. පැහැරගත් තෙවන යානය පෙරවරු 9.37 වන විට පෙන්ටගනයට කඩාවැදුණේ අමෙරිකා ඉතිහාසය ලෙයින් තෙත් කළ දැවැන්ත ම මිනිස් සංහාරයක ඛේදනීය නිමාව ඉන් සටහන් කරමිනි. එදින නිව්යෝක් හා වොෂින්ටන් නුවරවලට එල්ලවුණු මෙම ත්‍රස්ත ප්‍රහාරවලින් මියගිය මුළු පිරිස දෙදහස්නවසිය හැත්තෑහතක් ලෙස වාර්තා අතරට එක් ව තිබේ.
ඉරාක යුද්ධය
නිව්යෝක් ප්‍රහාරයෙන් සතියක් ඉක්ම යන්නටත් මත්තෙන් බෙනට්ට ඇගේ රැකියාවේ ස්ථාන මාරුවක් ලැබුණේ මෙම ප්‍රහාරයට ඉරාක ඒකාධිපති සදාම් හුසේන්ගේ ඇති සම්බන්ධය පිළිබඳ විමර්ශනය කිරීමට ය. නිව්යෝක් ප්‍රහාරයට සදාම් නියත ලෙස ම සම්බන්ධ බවට බුෂ් පාලනාධිකාරිය තදබල විශ්වාසයක ගැලී සිටිය ද, සිය විමර්ශනවලදී බෙනට්ට තහවුරු වුයේ අල් ඛයිඩාව හා සදාම් හුසේන්ගේ රෙජීමය එකිනෙකා තදබල ලෙස නුරුස්සන බව යි. සිය සොයා ගැනීම් බුෂ් පරිපාලනය හමුවේ ඉදිරිපත් කළ ද, නිව්යෝක් ප්‍රහාරයට සදාම්ගේ සම්බන්ධයක් නැති බැව් ඔවුන්ට ඒත්තු ගැන්විමට බෙනට් සමත්වූයේ නැත. ඉරාකය සමඟ යුද්ධයක පැටලීමේ දැඩි අධිෂ්ඨානයක් ඇතිව සිට ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ්ගේ නියෝගයෙන් 2003 වසරේ දී ඉරාක යුද්ධය ඇරඹූණු අතර ඉන් මාස හතකට පසුව ධවල මන්දිරයේ පැවති හමුවක දී බෙනට් තර්කානුකූල ව පෙන්වා දුන්නේ ඉරාක යුද්ධය ඇරඹුණේ අල් ඛයිඩාවට වඩාත් ම වාසිසහගත මොහොතකදී බව යි. ලොව සතරදිග්භාගයේ විසිරී සිටි ඉස්ලාමීය අන්තවාදින් යුද්ධයේ නාමයෙන් ඉරාකයට ගොඩ බසිමින් සිටියේ අල් ඛයිඩාවේ පුනරාගමනයක් සටහන් කරමිනි. සැකෙවින් කියහොත් ඉරාක යුද්ධය අල් ඛයිඩාවට විමුක්තිය උදාකර දුන්නේ ය.