Today Travelling :- 20222.01.20
වැඩි දෙනෙක් බණඩාරවෙල යන්නේ සැප ගන්න. මධ්‍ය ශිලා යුගයේ ජීවත්වූ බලංගොඩ මානවයත් මේ සුවදායක සිසිල් දේශගුණයකින් යුක්ත කඳුකර කලාපයට කැමැත්තක් දක්වා තිබෙන බව අනාවරණය වී තිබෙනවා. ලංකාවේ මුල් ම ප්‍රාග් ඓතිහාසික පර්යේෂණ අතරට බණ්ඩාරවෙලින් හමුවූ ගල් ආයුධ ද අයත්. නගරයට නුදුරු මෙහි පතන තණබිම් සහිත විවෘත ස්ථානයකින් විශාල වශයෙන් මධ්‍ය ශිලා යුග මානව ගල් මෙවලම් හමුවෙනවා. මේ නිසා බණ්ඩාරවෙල සංස්කෘතිය (Bandarawellian Culture )නමින් වෙනම ක්ෂේත්‍රයක් පුරාවිද්‍යා වචන කෝෂයට එක් වී තිබෙනවා. මේ ඒ ගැන විමසා බැලීමට ගත් උත්සාහයක්.
බණ්ඩාරවෙල මානවයා
මුහුදු මට්ටමේ සිට මීටර් 1200 ක් උසකින් පිහිටා තිබෙන බණ්ඩාරවෙල ශ්‍රී ලංකාවේ සුන්දර ම පෙදෙසක් ලෙස සැලකනවා. තේ වගාව වගේම අර්තාපල්, කැරට්, ලීක්ස්, බෝංචි ඇතුළු උඩරට එළවළු වගාව ද පැතිර තිබෙන විශාල කඳු පන්තිවලින් හතරවටින් ම වැසුණු බණ්ඩාරවෙල පෙදෙස සෞම්‍ය සිසිල් දේශගුණයකින් යුක්තයි. එය නුවරඑළිය තරම් අධික දේශගුණයක් නොවේ. සැප ගන්න කවුරුත් යන බණ්ඩාරවෙලට මාස කිහිපයකට පෙර මාධ්‍යවල අවධානය යොමු වුණේ මේ නගර සීමාවේ පිහිටි පල්ලියකන්ද නම් ස්ථානයෙන් ප්‍රාග් ඓතිහාසික ශිලා මෙවලම් මතුවන බව සඳහන් ප්‍රවෘත්තියක් නිසයි. වර්තමාන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාලගුණ නිරීක්ෂණ මධ්‍යස්ථානය පිහිටා ඇත්තේ එම ස්ථානයේයි.
මේක අලුත් කතාවක් නම් නොවේ. බණ්ඩාරවෙලින් ශිලා මෙවලම් මතුකර ගත්තේ අදින් සියවසකටත් එපිට කාලයක දී බව මෙරට මානව විද්‍යා ඉතිහාසය පෙරළන විට පෙනෙනවා. පසුගිය දා මේ ශිලා මෙවලම් සහිත භූමිය අසුවන සේ බණ්ඩාරවෙල දිසා සංවර්ධන කමිටුව නව ආර්ථික මධ්‍යස්ථානයට යාම සඳහා මාර්ගයක් ඉදිකිරීමට සැලසුම් කර තිබුණා. පසුව ඒ ගැන දැනගත් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග දිසා සංවර්ධන කමිටුවට පුරාවිද්‍යා ස්ථානයේ වැදගත්කම අවබෝධ කිරීමෙන් පසු මාර්ග සැලසුම අත්හිට වූ බව වාර්තා වුණා.
අතරමැදි කදුකර වියළි උස්බිමක් ලෙස සැලකෙන බණ්ඩාරවෙල පුරාවිද්‍යා රක්ෂිතය අප රයේ පිහිටි ටවිනාම එළිමහන් ප්‍රාග් ඓතිහාසික ජනාවාස භූමියක් ලෙස සැලකෙනවා. භූ විද්‍යාත්මකව ප්ලයිස්ටෝසීන යුගයේ අවසන් අවදියට සහ මුල් හොලෝසීන යුගය නියෝජනය වන මෙම ස්ථානටය වියළි පතන තණබිම් සහිත කදු මුදුනක්. පල්ලියකන්ද පිහිටා තිබෙන්නේ බණ්ඩාරවෙල ඇටම්පිටිය පාරේ මීටර් 600ක් පමණ දුරකින්.
ලංකාවේ ප්‍රාග් ඓතිහාසික පර්යේෂණ
ලංකාවේ ප්‍රාග් ඓතිහාසික පර්යේෂණ ගැන මුලින්ම උනන්දුවක් දැක්වූයේ විදේශිකයන්. වර්ෂ 1885 දී කීට විද්‍යාඥයකු වූ ඊ.ඊ. ග්‍රීන්, මධ්‍යම කඳුකරයේ ස්ථාන කිහිපයක් වන පේරාදෙණිය, නාවලපිටිය, පූඬළුඔය වැනි ස්ථානවලින් කහඳ හා තිරුවාණ පාෂාණවලින් සකස් කළ පතුරු මෙවලම් සොයා ගෙන තිබෙනවා. එය අප රටේ ප්‍රාග් ඓතිහාසික පර්යේෂණයන්ගේ මුල් ම උත්සාහය යි. වැවිලිකරුවකු වූ ජෝන් පෝල් විනෝදාංශයක් ලෙස මස්කෙළිය, දිඹුල, දික්ඔය, බගවන්තලාව, නුවරඑළිය, මාතලේ, මඩොල්සීම, ගාල්ල, මාන්කුලම යන ස්ථානවල විවිධ ආකාරයේ ප්‍රාග් මානව ගල් ආයුධ එකතු කර ගත් බවත් වාර්තා වෙනවා.
ඉන් පසු ලංකාවට ආවේ ප්‍රකට ස්විස් ජාතික මානව විද්‍යාඥයන් දෙපළක් වූ පී. සැරසින් හා එෆ්. සැරසින් යන සහෝදරයන්. ඔවුන් රට පුරා ම සංචාරය කරමින් මානව විද්‍යා ගවේෂණ සිදු කළා. සැරසින් සහෝදරයන් මුලින් ම දකුණු පළාතේ තෙළුල්ල ගුහාව පර්යේෂණයට ලක් කර සත්ත්ව අවශේෂ හා තිරුවාණ ගල් මෙවලම් සොයා ගැනීමට සමත් වුණා. පසුව ඌව පළාතේ බුත්තල, ඔක්කම්පිටිය, බිබිල හා නිල්ගල ප්‍රදේශවල ගවේෂණය සිදු කර පසුව මධ්‍යම කඳුකරයේ බණ්ඩාරවෙල වෙත පැමිණ තිබෙනවා. 1908 දී බණ්ඩාරවෙලට ආ ඔවුන්ට බණ්ඩාරවෙල බොහෝ ප්‍රදේශ තේ වගාවට එළිකර ඇති බව දුටුවා. බණ්ඩාරවෙල - වැලිමඩ පාරේ ඇංග්ලිකන් දේවස්ථානය පිටුපස පිහිටි පල්ලියකන්ද නමින් හැඳින්වෙන කඳු බෑවුමට කිසිවකු අත තබා නැති බව සැරසින් සහෝදරයන් දුටුවා.
සැරසින් සහෝදරයන්ගේ සොයා ගැනීම්
පල්ලියකන්ද තණබිමේ කළ ගවේෂණවලින් ප්‍රාග් ඓතිහාසික මානවයා භාවිත කළ ගල් ආයුධ රැසක් මතුපිට පොළොවෙන් සොයා ගැනීමට සැරසින් සොයුරන්ට ඉඩ ලැබුණා. ඒ අවට විශාල වශයෙන් ගල්වලින් කළ ක්ෂුද්‍ර මෙවලම් විසිරී තිබීමෙන් පෙනී ගියේ මධ්‍ය ශිලා යුග මානවයන් දිගු කලක් තිස්සේ එම එළිමහන් ජනාසාවාසයේ ජීවත්ව සිට ඇති බව යි.
බණ්ඩාරවෙලින් හමු වූ ගල් මෙවලම් ඔවුන්ගේ මවුබිමට රැගෙන ගිය අතර ස්විට්සර්ලන්තයේ බේසල් නුවර කෞතුකාගාරයේ ඒවා තැන්පත් කර ඇති බව පැවසෙනවා. 1909 දී මොවුන් ලංකාවේ සිදු කළ විවිධ කාර්යයන් අළලා වාර්තාවක් ද ඉදිරිපත් කර තිබෙනවා. පසුව ලංකාවේ වැද්දන් ගැන පර්යේෂණ කළ සෙලිග්මාන් යුවළද 1908 දී මේ ස්ථානයට පැමිණ පරීක්ෂා කර තිබෙනවා.
හාට්ලිගේ පර්යේෂණ
කොළඹ රාජකීය විද්‍යාලයේ විදුහල්පතිවරයා ලෙස සේවය කළ චාර්ල්ස් හාර්ට්ලි 1913-14 අවුරුදුවල බණ්ඩාරවෙල යළි ගවේෂණයක් කළ පුද්ගලයෙක්. එය ශ්‍රී ලංකා පුරාවිද්‍යා ඉතිහාසයේ පළමු ප්‍රාග් ඓතිහාසික පර්යේෂණ කැණීම ලෙසත් සැලකෙනවා. මීටර් 30ක් දිග පළලින් යුතු කොටසක ඔහු කරන ලද කැණීමේ දී විශාල ශිලා මෙවලම් තොගයක් සොයා ගැනීමට හැකියාව ලැබුණා. එම සංඛ්‍යාව 4768ක් බව වාර්තා වෙනවා. මේවා ගැන පර්යේෂණ ලිපිත් එකල පළ වුණා.
මානව විද්‍යාව විනෝදාංශයක් කරගත් හාට්ලි, බණ්ඩාරවෙලට අමතරව දියතලාව, හපුතලේ, කොස්ලන්ද, පට්ටිපොළ, රාගල, නානුඔය, රදැල්ල, නෝවුඩ්, දික්ඔය, දිඹුල, හැටන්, මස්කෙළිය, බගවන්තලාව, උලපනේ, නාවලපිටිය, ගම්පොළ, දොළොස්බාගේ, පේරාදෙණිය, කඩුගන්නාව, මහනුවර, ඇතුළු ලංකාවේ බොහෝ ස්ථානවල තම පර්යේෂණ සිදු කර තිබෙනවා..
ගල්වලින් කළ මේ කුඩා මෙවලම් හැඳින්වීමට ඒ වන විට නිශ්චිත පාරිභාෂික වචනයක් තිබුණේ නැහැ. ඒ නිසා එතෙක් ලොව සොයාගෙන තිබූ ශිලා මෙවලම්වලට වඩා කුඩා ලංකාවෙන් හමුවන මේ මෙවලම් “පිග්මි මෙවලම්” (Pygmy Tools) ලෙස හඳුන්වා තිබෙනවා. හාට්ලි එකතු කරගත් පුරා මානව ගල් මෙවලම්වලින් විශාල ප්‍රමාණයක් කේම්බ්‍රිජ් හි ඩවුනින් වීදියේ පුරාවිද්‍යා හා මානව විද්‍යා කෞතුකාගාරය හා ඔක්ස්ෆර්ඩ් පීට් රිවර්ස් කෞතුකාගාරයේ තැන්පත් කර තිබෙනවා.
බණ්ඩාරවෙල ක්ෂුද්‍ර ගල් මෙවලම්
පසුව පී.ඊ.පී. දැරණියගල කඳුකරයේ පිහිටි බණ්ඩාරවෙලට නැගෙනහිරින් වූ රාවණාඇල්ල ගුහාව කැණීමට ලක් කර මානව අස්ථි ශේෂ ඇතුළු සාධක රාශියක් සොයා ගත්තා. 1938-39 කාලයේ හාවඩ් විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි ශිෂ්‍යයකු වූ ඊ.සී. වෝමන් නැවත පල්ලියකන්දේ කැණීමක් කර මින් හමුවන ක්ෂුද්‍ර ගල් මෙවලම් මධ්‍ය ශිලා යුගයට අයත් බවට පළමු වරට ප්‍රකාශ කළා.
1940 මුල් භාගයේ එන්.ඒ. නූන් හා එච්.වී.වී. නූන් බණ්ඩාරවෙල පල්ලියකන්ද නැවත ගවේෂණය කළ විද්වතුන් දෙදෙනෙක්. එහිදී ගල් මෙවලම් 2000ක් පමණ සොයාගත් අතර මේවා බලංගොඩ මානවයා විවිධ අවශ්‍යතා සඳහා යොදාගෙන තිබුණූ බව හෙළි කර ගෙන තිබෙනවා. ලංකාවේ ශිලා මෙවලම් එකම සංස්කෘතියකට අයත් බවත් ඒවා බණ්ඩාරවෙල සංස්කෘතිය ලෙස හැඳින්වීම වඩාත් උචිත බවත් නූන්ලා සඳහන් කර තිබෙනවා.
බණ්ඩාරවෙලින් විදේශිකයක් සොයා ගත් මධ්‍ය ශිලා යුග ක්ෂුද්‍ර ගල් ආයුධ අදත් ලෝකයේ ම පුරාවිද්‍යාව සහ මානව විද්‍යාව පිළිබඳ අධ්‍යයනය කරන පර්යේෂකයන් කෞතුකාගාරවල දී අධ්‍යයනය කරනවා. ඒවායේ තාක්ෂණය, හැඩය, භාවිත කළ ආකාරය ගැන සොයා බලා වාර්තා සපයනවා. ඒ අනුව බණ්ඩාරවෙල අප රටේ ඉතා වැදගත් ප්‍රාග් ඓතිහාසික ස්ථානයක් ලෙස සැලකිය හැකි යි. බණ්ඩාරවෙල හැරුණු විට කඳුකරයේ ප්‍රාග් ඓතිහාසික එළිමහන් ජනාවාස සාධක ලැබෙන්නේ හෝටන් තැනිතලාවෙන් පමණ යි.
කාල නිර්ණය
විදේශිකයන් අතීතයේ දී කැණීම් සහ ගවේෂණ කළේ පුරාවස්තු එකතු කර ගැනීමට මිස කාලනිර්ණ වැනි විද්‍යාත්මක අධයයනයකට නොවෙ යි. මේ නිසා මේවාට කාල නිර්ණයක් ලබා ගැනීමේ අරමුණ ඇති ව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව 1994 පෙබරවාරි 8 දා සිට අප්‍රේල් 3 දා දක්වා පල්ලියකන්ද කැණීමක් කළා. ආචාර්ය සිරාන් දැරණියගල සහ ආචාර්ය ඩබ්ලිව්.එච්. විජේපාලගේ මෙහෙයවීමෙන් ආචාර්ය නිමල් පෙරේරා මේ ස්ථානයේ පර්යේෂණ කැණීමක් කළා.
1994 දී කැණීම කළේ අද කාලගුණ විද්‍යා කාර්යාලය අසල තිබෙන කුඩා කඳුගැටය මතයි. මීටර 30ක් දිග හා පළල කොටු දැලක් යෙදූ චතුරස්‍රයක එම කැණීම කර තිබෙනවා. ස්ථර විද්‍යනුකූලට පිහිටි පාෂාණය දක්වා එම කැණීම කර තිබෙනවා. එහිදී ප්‍රාග් ඓතිහාසික පස් ස්තර කිහිපයක් ම හඳුනාගත හැකි වුණා. එම ස්ථානයේ ප්‍රාග් ඓතිහාසික පස් තැන්පතුව සෙන්මීටර 50ක ඝනකමින් යුක්ත බව හෙළිවී තිබෙනවා.
බොරළු තැන්පතු හා දිරාපත් වූ මව් පාෂාණ ස්තර මත එම සංස්කෘතික අවදියේ ශේෂ තැන්පත් වී තිබෙනවා. මෙයින් ලද අඟුරු නියැදි අමෙරිකාවේ ෆ්ලෝරිඩාහි බීටා ඇනලිටික් ආයතනයට යවා කාල නිර්ණ ලබා ගෙන තිබෙනවා. සාම්පල් පහක් යවා කළ කාල නිර්ණයෙදී අදින් වසර 4000 සිට 7081 ක් ඈතට කාලයක් ලැබී තිබෙනවා. මානව ක්‍රියාකාරකම් නිසා අවුල් නොවූ ඉතා සංවේදී පස් තට්ටු මෙම ස්ථානයේ තිබෙන බව පුරාවිද්‍යාඥයන්ගේ පිළිගැනීම යි.
පුරාවිද්‍යා රක්ෂිතයක්
පල්ලියකන්ද 2001 නොවැම්බර් 29වැනි දා පුරාවිද්‍යා රක්ෂිතයක් ලෙස ගැසට් මගින් ප්‍රකාශයට පත් කර ඇත්තේ මෙම ප්‍රාග් මානව එළිමහන් ජනාවාස බිම ආරක්ෂා කර ගැනීමට යි. එම භූමි ප්‍රමාණය හෙක්ටයාර් 6.84ක් වෙනවා. දැනට කිසිවකුගේ අවධානයට ලක් නොවූ බණ්ඩාරවෙල ප්‍රාග් ඓතිහාසික ස්ථානය හඳුනා ගැනීමට මග සලකුණක් හෝ නැතිවීම අඩුපාඩුවක්. එය පාසල් සහ විශ්වවිද්‍යාල සිසුන්ගේ අධ්‍යයන කටයුතුවලට මෙන්ම විදේශිකයන්ගේ ආකර්ශනය ලබාගැනීමටත් සුදුසු තැනක් බව අපගේ හැඟීම යි.