ලොව මේ දක්වා විකාශය වූ ආකාරය පොතක් නම් එහි වඩාත් අමිහිරි පරිච්ඡේදයක් ලෙස වහල් සේවය හැඳින්විය හැකි ය. බොහෝ විට අප්‍රිකානු රටවලින් පැහැරගෙන ආ ජනතාව වහල් සේවයේ යෙදවුණු අතර ඒ අයුරින් වහල් සේවය වඩාත් ප්‍රචලිතව පැවති රටකි- අමෙරිකා එක්සත් ජනපදය.
19 වැනි සියවසේ මුල් භාගයේ උපත ලබා, අමෙරිකා එක්සත් ජනපදයේ මේරිලන්ඩ් ප්‍රාන්තයේ ජිවත් වූ වහල් සේවිකාවක වූ හැරියට් ටබ්මන් පසුකලෙක මහත් පරිශ්‍රමයක් දරා සිය හාම්පුතුන්ගෙන් පැන ගියා ය. තමන් පමණක් නිදහස ලබා ගැනීම පිළිබඳ ව සෑහීමකට පත් නොවූ ඇය වහල් සේවයේ යෙදී සිටි තවත් විශාල පිරිසකට නිදහසේ දොරටු විවර කළා ය.
මේරිලන්ඩ් ප්‍රාන්තයේ වහල් සේවයේ යෙදුණු මව්පියන්ට දා ව උපත ලැබූ හැරියට් 1849 වසරේ නිදහස සොයා පලා ගිය අතර එතැන් පටන්, වහල් සේවයේ යෙදුණු පුද්ගලයන්ට පැන යාමට මඟ පෙන්වන්නියක් වූවා ය. එකල අමෙරිකා එක්සත් ජනපදයේ ඉදි කර තිබූ උමං මාර්ගයක් වන 'Underground Railroad' හරහා පුද්ගලයන් සිය ගණනකට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට පැන යාමට ඇය මඟ පෙන්වූයේ සිය ජීවිත අවදානම පවා නොතකමිනි.
මුල් කාලය
හැරියට්ගේ උපන් දිනය පිළිබඳ ව නිශ්චිත සඳහනක් නොමැති නමුත් ඇය 1820-1825 කාලය තුළ උපන් අයකු බව මූලාශ්‍රයන්ට අනුව හෙළි වේ. මේරිලන්ඩ් ප්‍රාන්තයේ වහල් සේවයේ යෙදුණු පවුලක උපන් ඇයට සහෝදර සහෝදරියන් අට දෙනෙක් වූහ. ඇගේ මව හැරියට් රිට් ග්‍රීන් වූ අතර ඇගේ (මව) හිමිකාරිත්වය දැරුවේ මේරි පැටිසන් බ්‍රෝඩස් නම් කාන්තාව ය. හැරියට්ගේ පියා බෙන් රොස් වූ අතර ඔහුගේ හිමිකාරිත්වය දැරුවේ පසුකාලීන ව බ්‍රෝඩස් සමඟ විවාහ වූ ඇන්තනී තොම්සන් ය.
හැරියට් ගේ මුල් නම අරමින්ටා හැරියට් රොස් වූ අතර ඇගේ මව්පියන් ඇය හැඳින්වීම සඳහා 'මින්ටි' නම් සුරතල් නාමය භාවිත කර තිබේ. හැරියට් සිය මුල් නම ලෙස 'හැරියට්' යන්න යෙදීම ආරම්භ කළේ ඇගේ මවට කරන ගෞරවයක් ලෙස බව බොහෝ දෙනකුගේ විශ්වාසය යි.
ශාරීරික හිංසනයන්ට ලක් වීම
හැරියට් සහ පවුලේ සාමාජිකයන් නිරන්තරයෙන් විවිධාකාර ශාරීරික හිංසනයන්ට ලක් විය. ඒ නිසා ඇති වූ ආබාධ තත්ත්වයන් නිසා ඇය ජිවිත කාලය පුරාවට ම පීඩා විඳි අතර ඇගේ ශරීරයේ තැන තැන මතු වී තිබූ කැළැල් දුටු ඕනෑම අයකුට ඇය ගත කළ ජීවිතය කොතරම් කටුක එකක්දැයි අවබෝධ කරගැනීම අපහසු නොවී ය.
දිනක් භාණ්ඩ මිල දී ගැනීම සඳහා වෙළෙඳසලක් වෙත යමින් සිටි හැරියට්ට පැනයමින් සිටි වහල් සේවකයකු දක්නට ලැබිණි. ඒ සමඟ ම ඔහු නවත්වා ගන්නැයි එම වහල් සේවකයාගේ වැඩ පරීක්ෂකවරයකු ඇයට නියම කළේ ය. කෙසේ නමුත් එය ප්‍රතික්ෂේප කළ හැරියට් එම ස්ථානයෙන් පිටව යන්නට උත්සහ කළ බැවින් වැඩ පරීක්ෂකවරයා රාත්තල් දෙකක බරින් යුතු ගලකින් ඇයට දමා ගැසුවේ ය. එතැන් පටන් ඇය ජිවිත කාලය පුරාවට ම උග්‍ර හිසරුදාවකින් පීඩා වින්දා ය.
පියා වහල් සේවයෙන් නිදහස ලැබීම
හැරියට්ගේ පියා වූ බෙන්ට වයස අවුරුදු 45 දී වහල් සේවයෙන් නිදහස හිමි විය. කෙසේ වෙතත් නිදහස් ලැබීමෙන් අනතුරුව ද ඔහු සිය හාම්පුතා යටතේ තක්සේරුකරුවකු සහ ලිපිකරුවකු ලෙස සේවය කළේ වෙනත් විකල්පයක් නොමැති වූ බැවිනි. බෙන්ට නිදහස හිමි වුවත් හැරියට් ගේ මවට නිදහස හිමි නොවූ අතර දරුවන් ද සිටියේ ඇගේ භාරයේ බැවින් ඔවුන්ට ද නිදහස හිමි නොවී ය. නිදහස ලබා සිටියත් සිය පවුලේ අය වෙනුවෙන් යම්කිසි බලපෑමක් කිරීමේ හැකියාවක් බෙන්ට නොවී ය.
විවාහ සහ දරුවන්
හැරියට්, වහල් සේවයෙන් නිදහස ලැබූ ජෝන් ටබ්මන් සමඟ 1844 දී විවාහ වූවා ය. ඒ වන විට මේරිලන්ඩ් ප්‍රාන්තයේ ජීවත් වූ අප්‍රිකානු ජාතිකයන් හරි අඩකට වැඩි ප්‍රමාණයකට වහල් සේවයෙන් නිදහස හිමි වී තිබිණි. එබැවින් සමහර පවුල්වල නිදහස ලැබූ සහ නොලැබූ පුද්ගලයන් දෙවර්ගය ම සිටීම සාමාන්‍ය කරුණක් විය. ජෝන් සහ හැරියට් ගේ විවාහ ජීවිතය පිළිබඳ ව වැඩි තොරතුරු සඳහන් නොවන අතර ඔවුන්ගේ දරුවන් පිළිබඳව ද කිසිදු තොරතුරක් අනාවරණය වී නැත.
හැරියට් උමං මාර්ගය හරහා වහල් සේවයෙන් පැන යන අවස්ථාවේ දී ඇය සමඟ යාම ප්‍රතික්ෂේප කළ ජෝන් වෙනත් විවාහයක් කරගෙන මේරිලන්ඩ් ප්‍රදේශයේ ම ජිවත් විය. හැරියට්, 1869 වසරේ දී විශ්‍රාමික හමුදා සෙබළකු වූ නෙල්සන් ඩේවිස් සමඟ විවාහ වූ අතර ඔවුහු ගර්ටි නම් දැරියක් හදාවඩා ගැනීමට 1874 වසරේ දී තීරණය කළහ.
වහල් සේවයෙන් පලා යාම
1850 සහ 1860 අතර කාලය තුළ අමෙරිකාවේ වහල් සේවයේ යෙදුණු පුද්ගලයන් පලා යාම සඳහා යොදාගත් 'Underground Railroad' නම් උමං මාර්ගයක් හරහා අවස්ථා 19කදී ගමන් කළ හැරියට් එම චාරිකා අතරතුර ඇගේ මව්පියන් සහ සහෝදර සහෝදරියන් ඇතුළු පුද්ගලයන් 300 කට වැඩි ප්‍රමාණයකට මඟ පෙන්වා තිබේ. ඒ නිසා ම ඇයට 'මෝසස්' යන අන්වර්ථ නාමය පටබැඳිණි.
ඇය මෙම උමං මාර්ගය මුල්වරට සොයා ගත්තේ 1849 වසරේ දී ය. ඒ ඇය වහල් සේවයෙන් මිදී පලා ගිය අවස්ථාවේ දී බව කියැ වේ. ඇගේ හාම්පුතා රෝගී තත්ත්වයක් හේතුවෙන් මිය ගිය පසු හැරියට් වහල් සේවයෙන් මිදී පෙන්සිල්වේනියාට පලා යාමට තීරණය කළා ය. ඒ අනුව 1849 සැප්තැම්බර් 17 වැනි දින උමං මාර්ගය හරහා ගමන් කළ ඇය සමඟ ඇගේ සහෝදරයන් දෙදෙනෙක් වූ හැරී සහ බෙන් ද පිටත් ව ගියහ.
කෙසේ නමුත් හැරියට් සොයා දෙන අයකුට අමෙරිකන් ඩොලර් 300 ක මුදල් ත්‍යාගයක් පිරිනමන බවට වන දැන්වීමක් පළ වීමත් සමඟ හැරී සහ බෙන් නැවැතත් ඔවුන් වහල් සේවයේ යෙදුණු ස්ථානයට පිටත් වූහ. සහෝදරයන් දෙදෙනා නිවසට ප්‍රවේශමෙන් යන තෙක් සිටි හැරියට්, එතැන් සිටපෙන්සිල්වේනියාව බලා තනිව ම ගමන් ඇරඹුවාය. උමං මාර්ගය හරහා සැතපුම් 90ක් පමණ පා ගමනින් පැමිණ වහල් සේවයෙන් නිදහස් පෙන්සිල්වේනියාවට පැමිණි හැරියට්, එහි ළඟා වීම තම සිතට මහත් සහනයක් ගෙන දුන් බව පසු කලෙක පවසා ඇත.
ඇය ඒ බව විස්තර කළේ මේ අයුරිනි:
"මා සීමාව පසුකළ බව දැනගත් පසු මම මගේ දෑත් දෙස බැලුවේ ඒ මම'ම දැයි සැක හැර දැනගන්නට ය. ඒ මොහොතේ මා වටා තිබූ සියලු දේ දීප්තියෙන් බබළන්නට විය. රන්වන් හිරු රැස් ගස් සහ කෙත්වතු මැදින් වැටී තිබුණු අතර මට දැනුණේ මා දිව්‍ය ලෝකයට පය තබා ඇති බවකි,"
පවුලේ අය නිදහස් කර ගැනීම
වහල් සේවයෙන් පලා ගොස් තනිව සිටීම වෙනුවට සිය පවුලේ සාමාජිකයන් ද වහා එහි ගෙන්වා ගැනීමට ඇය අදිටන් කර ගත්තා ය. මේ අතර 1850 වසරේ දී ඇගේ ඥාති දියණියක සහ ඇගේ දරුවන් දෙදෙනා ව්‍යාපාරිකයකුට අලෙවි කිරීමට සූදානමක් තිබෙන බව දැන ගත් ඇය සිය ඥාති දියණිය සහ ඇගේ දරුවන් උමං මාර්ගය හරහා පෙන්සිල්වේනියාවට ගෙන්වා ගත්තා ය. එතැන් පටන් ඇරඹුණු ඇගේ ගලවාගැනීමේ මෙහෙයුම අවසන් වූයේ ඇගේ පවුලේ සාමාජිකයන් ද ඇතුළු වහල් සේවයේ යෙදුණු පුද්ගලයන් 300 කට වැඩි ප්‍රමාණයකට නිදහස හිමි කර දෙමිනි.
අවසන් කාලය
1859 වසරේ දී වහල් ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි විලියම් එච්. සේවඩ් නම් පුද්ගලයා නිව්යෝක් නගරයේ ඔහුට අයත් ව තිබූ ඉඩමකින් කොටසක් හැරියට්ට ලබා දුන්නේය. එය හැරියට් සහ ඇගේ ඥාති මිත්‍රාදීන්ට පාරාදීසයක් වූ අතර ඔවුන් සියලු දෙනා එහි පදිංචි වූයේ ඔවුන්ගේ ජීවිතවල අඳුරු යුගයක අවසානය සනිටුහන් කරමිනි.
හැරියට්ට සමාජ පිළිගැනීම තිබුණත් ඇය කිසිදිනෙක මූල්‍යමය වශයෙන් ශක්තිමත් නොවූ බැවින් ඇගේ මිතුරු පිරිස ඇය වෙනුවෙන් අරමුදල් රැස් කළහ. මේ අතර සාරා බ්‍රැඩ්ෆෝඩ් නම් ලේඛිකාව හැරියට් ගේ ජිවිත කතාව අළලා රචනා කළ පොතක් අලෙවියෙන් ලද මුදල ද හැරියට්ට සහ ඇගේ පවුලේ අයට ලැබිණි. මූල්‍යමය වශයෙන් ශක්තිමත් නොවූවත් සමාජ සේවයේ යෙදුණු ඇය 1903 වසරේ දී ඇගේ ඉඩමෙන් කොටසක් අමෙරිකානු මෙතෝදිස්ත පල්ලියක් ඉදි කිරීම සඳහා පරිත්‍යාග කළාය. 1908 වසරේ දී එහි හැරියට් ටබ්මන් වැඩිහිටි නිවාසය ආරම්භ විය.
ඉන් ටික කලකට පසු, 1913 මාර්තු 10 වැනි දින නියුමෝනියා තත්ත්වය උත්සන්න වීම හේතුවෙන් ඇය මිය ගිය අතර ඒ වන විට ඇය වයස අවුරුදු 90 ඉක්මවා සිටියා ය. ඇය කුඩා කල අත්විඳි ශාරීරික හිංසන නිසා ඇය ජීවිතයේ අවසාන කාලය උග්‍ර ලෙස පීඩා විඳිමින් ගත කළ බව කියැවේ. ඇගේ අවසන් කටයුතු හමුදා උත්තමාචාර මධ්‍යයේ සිදුවීම විශේෂ සිදුවීමක් විය.