කසක්ස්ථානය මේ වනවිට ජාත්‍යන්තර මාධ්‍ය තුළ වඩාත් කතා බහට ලක් වන රට බවට පත් වී තිබෙනවා. ඒ දින කිහිපයක් තුළ කසක්ස්ථානයේ ඇති වූ ප්‍රචණ්ඩ විරෝධතා රැල්ල නිසා යි. එරට විශාලත ම නගරය වන අල්මාටි හි නගර ශාලාව ගිනිබත් කරමින් සහ කසක්ස්ථාන ජනරජයේ ප්‍රථම ජනපති නුර්සුල්තාන් නසර්බයෙව්ගේ පිළිරුව බිමට ඇද දමමින් මිනිසුන් පවතින රජයට එල්ල කරන පීඩනය සුළුපටු නැහැ.
ජනවාරි දෙවැනි දා ඇරඹුණු විරෝධතාවල බලපෑම කොතරම් ප්‍රබලද යත්, කසක්ස්ථානයේ කැබිනට් මණ්ඩලය ද ඉල්ලා අස් වී තිබෙනවා. තත්ත්වය පාලනය කිරීම සඳහා රුසියාව ඇතුළු අසල්වැසි රටවලින් සහාය පැතීමට තරම් කසක්ස්ථාන ජනාධිපතිවරයා අසරණ වී ඇති බවත් සඳහන්.
පැරණි සෝවියට් දේශයෙන් බිඳී ගිය රටවල් අතුරින් වඩාත් අස්ථාවර කලාපයක පිහිටා තිබුණත්, කලාපයේ අනෙකුත් රටවලට සාපේක්ෂ ව ශක්තිමත් රටක් වශයෙන් කසක්ස්ථානය නමක් දිනා ගෙන සිටියා. එරට තුළ විරෝධතා හට ගැනීමත් තරමක් දුර්ලභ යි. කෙසේ නමුත්, වර්තමාන තත්ත්වය සලකා බැලීමේ දී පසුගිය දශක කිහිපය එරට ජනයා බලවත් පීඩනයක් සිත තුළ දරාගෙන සිටි බවක් පෙනෙන්නට තිබෙනවා. ඉන්ධන මිල ඉහළ දැමීමෙන් හට ගත් අර්බුදකාරී වාතාවරණය විරෝධතාවයේ ආසන්නත ම හේතුව වුවත්, ගැටලුවේ මූලය සිතුවාටත් වඩා ගැඹුරට විහිදී යනවා. මේ ඒ ගැන කරන සොයා බැලීමක්.
ඉන්ධන අර්බුදය
කසක්ස්ථානය තුළ දැවැන්ත විරෝධතා රැල්ලක් සංවිධානය වුණේ 1991 න් පසු, එනම්, පැරණි සෝවියට් සංගමයෙන් වෙන් ව යෑමෙන් ඉක්බිති ව වීම විශේෂත්වයක්. ඉන්ධන මිල දෙගුණයකින් ඉහළ දැමීමට එරෙහි ව පසුගිය ජනවාරි 2 වැනිදා සැනාඕසෙන් නගරයේ වෙසෙන කසක්ස් ජාතිකයන් කිහිප දෙනකු ආරම්භ කළ විරෝධතා ව්‍යාපාරය, ඉතා ඉක්මනින් සුවිශාල අල්මාටි නගරය සසල කිරීමට පවා සමත් වුණා.
කෙමෙන් කෙමෙන් ප්‍රචණ්ඩ වන ජනතා හැසිරීම ඉදිරියේ ඉන්ධන මිල පැරණි මිලටත් වඩා අඩු කරන බව කසක්ස් රජය ප්‍රකාශ කළත්, එරට ජනාධිපති කාසිම්-ජෝමාර්ට් ටොකායෙව්, සිය කැබිනට් මණ්ඩලය විසුරුවා හැරීමට පසුගිය බදාදා ක්‍රියා කළා. විරෝධතා ව්‍යාපාරය එතැනින් නතර වුණේ නැහැ. ජනතාව තම ප්‍රකෝපකාරී හැසිරීම් ලිහිල් කරනවා නම් රටේ වත්මන් සමාජීය සහ ආර්ථික තත්ත්වය සලකමින් වැටුප් ඉහළ දමන බව රජය පොරොන්දු වුවත්, අදාළ ප්‍රතිසංස්කරණ එරට ජනයා තවදුරටත් විශ්වාස කරන්නේ නැහැ. ඒ අනුව මුළු කසක්ස්ථානය ම දැන් යුද පිටියක් වී අවසන්.
මහළු මිනිසා යා යුතු යි!
කසක්ස්ථානයේ විරෝධතා මාලාව මේ වනවිට ඉන්ධන මිලෙහි අර්බුදයට වඩා පුළුල් අරමුණු මත පදනම් වී තිබෙනවා. දශක තුනකට ආසන්න කාලයක් කසක්ස්ථානය පාලනය කළ නූර්සුල්තාන් නසර්බයෙව්ගේ අතීත ක්‍රියා කලාපවල වත්මන් ප්‍රතිඵල විරෝධතාවයේ සැබෑ පදනම ලෙස දැක්විය හැකි යි. ඔහුගේ පාලන සමය තුළ සිදු වූ අක්‍රමිකතාවල පීඩනය අළු යට ගිනි පුපුරු සේ කසක්ස් ජනතාවගේ සිත් තුළ තැන්පත් වී තිබුණා.
2019 දී නූර්සුල්තාන් නසර්බයෙව් බලය අත් හැරීමට තීරණය කළ අතර, ඔහුගේ පාක්ෂිකයකු වූ ටොකායෙව් කසක්ස්ථානයේ ජනපති ධූරයට පත් වුණා. නසාර්බයෙව් පසුව ආරක්ෂක මණ්ඩලයේ ප්‍රධානියා ලෙස වැඩ භාරගත් අතර, පැරණි පාලකයා තම බලය අත් හැරීමට කිසිදු සූදානමක් නොමැති බව එයින් තහවුරු වුණා. ටොකායෙව් යනු නාම මාත්‍රික පාලකයකු පමණක් බවත්, ඔහුට දේශපාලනමය වශයෙන් රටට බලපෑමක් සිදු කළ නොහැකි බවත්, රටේ ජනතාව තේරුම් ගෙන තිබුණා. නසාර්බයෙව්ගේ පවුලේ සාමාජිකයන් කසක්ස්ථාන ආර්ථිකයේ සෑම අංශයක් තුළ ම යම් ඒකාධිකාරයක් පවත්වා ගෙන යන අතර, නසාර්බයෙව්ගේ බෑණා කෙනකු වන තිමූර් කුලිබයෙව්, එරට ඛනිජ තෙල් සහ ස්වභාවික වායු ක්ෂේත්‍රය තුළ ඒකාධිකාරයක් පවත්වා ගෙන යන බව සඳහන්.
අවසාන ප්‍රතිඵලය වශයෙන් නසර්බයෙව් සහ වත්මන් රජය කෙරෙහි වූ ජනතා අප්‍රසාදය තවත් වැඩි වුණා. කොවිඩ් වසංගතය සහ ආර්ථික අවපාතය කසක්ස්ථානයට පවා වෙනසක් සිදු නොකරමින් තිබූ අවධියක ඉන්ධන මිල ඉහළ දැමීමෙන් සිදු වුණේ "නසාර්බයෙව්ට එරෙහි ජනතා අකමැත්ත" නමැති ගිනි පුපුර ගිනි ජාලාවක් බවට පත් වීම යි. ඉන්ධන අර්බුදය යනු සැබෑ ප්‍රශ්නය ඉස්මතු කළ උත්තේජනයක් පමණ යි. විරෝධතාකරුවන්ගේ සටන් පාඨ අතර "මහලු මිනිසා යා යුතු යි!" යන වැකිය වඩාත් ඉස්මතු වීම ඊට කදිම උදාහරණයක්.
නසර්බයෙව්ගේ පාලන සමය
සෝවියට් සංගමයේ බිඳ වැටීමෙන් පසු වෙන් ව ගිය රාජ්‍ය අතුරින් සාර්ථකත්වය කරා ගමන් කළේ රටවල් කිහිපයක් පමණ යි. කසක්ස්ථානයත් ඒ සාර්ථකත්වයේ කතා අතර තිබෙනවා. ඛනිජ තෙල්, ස්වභාවික වායු, තඹ, ගල් අඟුරු, යුරේනියම් ඇතුළු සම්පත් රාශියකින් පොහොසත් රාජ්‍යයක් ලෙස ඔවුන්ට රුසියාවේ සහය නොමැතිව සමෘද්ධිමත් වීමේ හැකියාව ලැබුණා.
ලෝකයේ අඩු ජන ඝනත්වයක් සහිත රාජ්‍යයක් වීමත් ඔවුන්ගේ සමෘද්ධිමත්භාවයට බලපෑවා. 1990 ගණන්වල නසර්බයෙව්ගේ සටන් පාඨය වූයේ "පළමු ව ආර්ථිකය" යන්න යි.
ඔහු පොද්ගලික ව්‍යවසායන් දියුණු කිරීමටත් ඉඩ ප්‍රස්තාව ලබා දුන්නා. ඉන්පසු ඔහු කසක්ස්තාන ආර්ථිකයේ අංශ එකින් එක පවරා ගැනීම ඇරඹුවා. ඔහුගේ පවුල් සාමාජිකයන් මුල සිට ම ඛනිජ තෙල් සහ ස්වාභාවික වායු ක්ෂේත්‍රය පාලනය කළත්, පසු කාලීන ව ඉදිකිරීම්, බැංකු, විදුලි සංදේශ, සිල්ලර වෙළඳාම වැනි ක්ෂේත්‍රත් අත්පත් කර ගත්තා.
ඒ අනුව දේශපාලන බලය සහ ආර්ථික ඒකාධිකාරය යන දෙක ම දැන් නසර්බයෙව් සතු යි. ඔහු ජනපති ධූරයෙන් බැස ගියත්, රටේ නිල නොලත් බලවතා ලෙස සිටීමේ පසුබිම මනා ලෙස පසුගිය දශක කිහිපය තුළ සකස් කර ගත්තා.
නසාර්බයෙව් එතනින් නැවතුණේ ද නැහැ. ඔහුගේ පාලන තන්ත්‍රය පැවති සමයේ දී සහ ඔහුගේ සෙවණැලි පවතින වත්මන් රජය මඟින් රටේ පුද්ගල නිදහස සහ සිවිල් අයිතිවාසිකම් කප්පාදු වන අන්දමේ අදූරදර්ශී ක්‍රියා පිළිවෙතක් අනුගමනය කළා.
මාධ්‍යවේදීන් සහ දේශපාලන විරුද්ධවාදීන් නිහඬ කිරීම හෝ සිරගත කිරීම, රජයේ විවේචකයන්ට එරෙහි ව අසත්‍ය ප්‍රචාර ගෙන යෑම හෝ අත්තනෝමතික ලෙස රඳවා තබා ගැනීම, රට හැර ගිය විවේචකයන් ලුහුබැඳ යෑම, එයින් කිහිපයක් පමණ යි.
2016 සහ 2019 යන වසරවලත් කසක්ස්ථානය තුළ රජයට එරෙහි විරෝධතා සංවිධානය වුණා. මෙවර තත්ත්වය වඩාත් වෙනස් මුහුණුවරක් ගෙන ඇති බව විශ්ලේෂකයන් පවසනවා. ජනවාරි 2 වැනිදා ඇරඹුණු විරෝධතා මෙහෙයවන නිශ්චිත බලවේගයක් නොමැති නොමැති වීම ඊට හේතුව යි. එනම්, මෙවර විරෝධතාව ආරම්භ කර තිබෙන්නේ ජනතාව ම යි.
එය තවත් බලවත් දේශපාලන පාර්ශවයකින් සිදු වූ කුළු ගැන්වීමක් නොවෙයි. නසර්බයෙව්ගේ රෙජිමය බිඳ හෙළා යම් හැරවුම් ලක්ෂ්‍යක් කරා ගමන් කිරීමට කසක්ස් ජනයා උත්සහ කරනවා.
විරෝධතාවයේ වත්මන් තත්ත්වය
ආණ්ඩුවට එරෙහි විරෝධතාවල කේන්ද්‍රස්ථානය වී ඇති අල්මාටි නගරයේ ප්‍රධාන ස්ථාන මේ වනවිටත් හමුදාව සහ පොලිසිය අවහිර කර ඇති බව වාර්තා වෙනවා. රජය සති දෙකක හදිසි තත්ත්වයක් ද ප්‍රකාශ කොට තිබෙනවා. ගිනිගත් වාහන නගරය පුරා ම දක්නට ලැබෙන අතර, මංකොල්ල කෑම්වලට ලක්වූ හෝ විනාශ වූ කඩ සාප්පු සහ බැංකු නගරයේ සුලබ දර්ශනයක් බවට පත් වී තිබෙනවා.
අල්මාටියේ වැඩි ම හානිය සිදු වී ඇත්තේ නගර චතුරශ්‍රයට යි. අල්මාටි කේන්ද්‍ර කර ගත් විරෝධතා අදියරේ ආරම්භය නගර චතුරශ්‍රය මූලික කර ගනිමින් සිදු වීම ඊට හේතුව යි. ඒ අසල තිබෙන මාධ්‍ය ගොඩනැඟිල්ලට විරෝධතාකරුවන් ප්‍රහාර එල්ල කොට ඇති අතර, නගරාධිපතිවරයාගේ කාර්යාලයට ගිනි තබා ඇති බවත් වාර්තා වෙනවා.
වෙඩි තැබීමට නියෝග!
නොසන්සුන්තාව දිගට ම පවතින බැවින්, අනතුරු හැඟවීමකින් තොරව විරෝධතාකරුවන්ට වෙඩි තබන ලෙස කසක්ස්ථානයේ ජනාධිපතිවරයා නියෝග කොට තිබෙනවා. සිකුරාදා පැවති රූපවාහිනි වැඩසටහනක් අතරතුර ඔහු පැවසුවේ ත්‍රස්ත විරෝධි මෙහෙයුමක කොටසක් ලෙස සලකා විරෝධතාකරුවන් විනාශ කිරීමට කටයුතු කරන බව යි. කසක්ස්ථානයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාශය වාර්තා කරන අන්දමට මේ දක්වා ආරක්ෂක හමුදාව අතින් විරෝධතාකරුවන් 26 දෙනෙකු ඝාතනය වී ඇති අතර, තවත් 26 දෙනකු තුවාල ලබා තිබෙනවා. ආරක්ෂක හමුදා භාරයේ රඳවා තබා ගත් විරෝධතාකරුවන් සංඛ්‍යාව 3800 කට අධික යි. ගැටුම් හේතුවෙන් ආරක්ෂක අංශ වල නිලධාරීන් 18 දෙනෙකුත් මිය ගොස් තිබෙනවා.
තත්ත්වය පාලනය කිරීමට කසක්ස්ථාන ආරක්ෂක හමුදාව අසමත් වූ හෙයින්, පැරණි සෝවියට් සංගමයේ ඇතැම් සමාජිකයන් අතර පවත්නා සාමුහික ආරක්ෂක ගිවිසුම්වල කොන්දේසි යටතේ රුසියානු හමුදා සිය රට වෙත ගෙන්වා ගැනීමට කසීම්-ජෝමාර්ට් ටොකායෙව් කටයුතු කර තිබෙනවා. ඒ අනුව ජනවාරි 6 වැනිදා රුසියාවේ පැරෂුට් භට කණ්ඩායමක් කසක්ස්ථානයට ඇතුළු වී තිබෙනවා.
රුසියානු පුවත් ඒජන්සි පවසන ආකාරයට රුසියානු හමුදාව කසක්ස්ථාන අර්බුදයට මැදිහත් වන්නේ සාම සාධක මෙහෙයුමක් ලෙස සලකා යි. කෙසේ වෙතත්, ලෝකයේ අනෙකුත් ලෝක බලවතුන් කසක්ස්ථානය තුළ රුසියානු හමුදාවේ හැසිරීම වඩාත් සමීප ව නිරීක්ෂණය කිරීමට යුහුසුළු වන බවක් පෙනී යනවා.
කසක්ස්ථානයේ වත්මන් රජය කොතෙක් උත්සහ කළත්, විරෝධතා සහ විරෝධතාකරුවන්ගේ ප්‍රචණ්ඩ ක්‍රියා මුළුමනින් ම මැඩ පැවැත්වීමට තවමත් හැකි වී නැහැ. කසක්ස් ජනයා මෙවර සැබෑ ලෙසට ම නසාර්බයෙව්ගේ ග්‍රහණයෙන් මිදීමට උත්සහ කරමින් සිටිනවා. ඔවුන්ගේ උත්සාහය දැඩිවන තරමට ම ඉදිරියේ දී සිවිල් ජීවිත වඩ වඩාත් අනතුරට පත් වීමේ අවදානමක් තිබිය හැකි යි. තවමත් මෙය ගෝලීය වශයෙන් උණුසුම් ප්‍රවෘත්තියක් නිසා දිනෙන් දින කසක්ස්ථානයේ අර්බුදය යාවත්කාලීන වෙමින් පවතිනවා.