1892 සිට 1954 දක්වා කාලය තුළ අමෙරිකා එක්සත් ජනපදයට වෙනත් රටවලින් සංක්‍රමණය වූ පුද්ගලයන් පරීක්ෂා කිරීමේ මධ්‍යස්ථානයක් ලෙස භාවිතා කළ එලිස් දූපත අමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් වරාය ආසන්නයේ පිහිටා තිබේ.
මෙම දූපතේ ක්‍රියාත්මක වූ සංක්‍රමණිකයන් පරික්ෂා කිරීමේ මධ්‍යස්ථානය තුළ විවිධ රටවලින් පැමිණි සංක්‍රමණිකයන් මිලියන 12 ක් පමණ පරීක්ෂාවට ලක්ව ඇති බව කියැවේ. මෙම ලිපිය අමෙරිකා එක්සත් ජනපදයේ සංක්‍රමණිකයන් හා බැඳුනු වැදගත් ස්ථානයක් වන එලිස් දූපත පිළිබඳවයි.
පිහිටීම
ඉහළ නිව්යෝර්ක් බොක්කේ පිහිටා ඇති එලිස් දූපතට නැගෙනහිරින් ලිබර්ටි රාජ්‍ය උද්‍යානය සහ උතුරෙන් ලිබර්ටි දූපත පිහිටා තිබේ. එලිස් දූපතට අයත් භූමියෙන් වැඩි ප්‍රමාණයක් නිව්යෝර්ක් නගරයට අයත් උප නගරයක් වන නිව් ජර්සි නගරයට අයත් වේ. මේ වන විට මෙම දූපතට අයත් භුමි ප්‍රමාණය අක්කර 27.5 ක් ලෙස ගණන් බලා ඇති අතර ඉන් වැඩි කොටසක් ගොඩ කළ ඉඩම් බව කියැවේ.
ස්වභාවිකව නිර්මාණය වූ එලිස් දූපතට අක්කර 4.68ක භූමි ප්‍රමාණයක් අයත් වන අතර එය වර්තමාන දූපතේ උතුරු දෙසට වන්නට පිහිටා තිබේ. 1808 සිට අමෙරිකා එක්සත් ජනපදයේ ෆෙඩරල් රජය පාලනය කරන එලිස් දූපතේ නඩත්තු කටයුතු ආදිය ජාතික උද්‍යාන සේවාව සිදු කරයි.
ඉතිහාසය
එලිස් දූපත නිර්මාණය වී ඇත්තේ මීට වසර 15,000කට පෙර පැවැති ග්ලැසියර දිය වී යාමෙන් අනතුරු ව බව භූ විද්‍යාඥයන්ගේ මතය යි. මුල් කාලයේ දී එය 'කියෝෂ්ක්' යන නමින් හඳුන්වා තිබේ. මුල් කාලයේ දී එලිස් දූපතේ බහුල වශයෙන් පිහිටා තිබූ වගුරු බිම් මුහුදු රළ වැඩි වන කාලයට යට වී තිබුණු බව කියැවේ. මෙම දූපත ආශ්‍රිත ව ජීවත් වූ ස්වදේශික අමෙරිකානුවන් එලිස් දූපත ආශ්‍රිත ව මාළු සහ බෙල්ලන් ඇල්ලීම සිදු කර ඇති අතර එම කටයුතු සඳහා තාවකාලික නවාතැන් ද සකසා තිබේ. මුහුදු රළ රළු ස්වභාවයක් ගන්නා කාලයේ දී මෙම දූපත ජලයෙන් වැසී යන බැවින් ඔවුන් එහි ස්ථිර වාසස්ථාන ඉදි කර නොමැති බව ඉතිහාසඥයන්ගේ මතය යි.
ලන්දේසින් යටතට පත් වීම
1630 වසරේ දී ලන්දේසින් මෙම දූපත මිල දී ගත් අතර ඔවුහු එය නව නෙදර්ලන්තයේ කොටසක් ලෙස නම් කළහ. එම කාලය තුළ ඉහළ නිව්යෝර්ක් බොක්කේ පිහිටි දූපත් තුන වන ලිබර්ටි, බ්ලැක් ටොම් සහ එලිස් යන දූපත් තුනේ බෙල්ලන් බහුල බැවින් එම දූපත් 'ඔයිස්ටර් දූපත්' යන නමින් හැඳින්වීම ආරම්භ විය.
වර්තමාන එලිස් දූපත 1700 වසර දක්වා හැඳින්වූයේ 'කුඩා ඔයිස්ටර් දූපත' යනුවෙනි. 1674 වසරේ දී එය කපිතාන් විලියම් ඩයර් මිල දී ගත්තේ ය. යටත් විජිත සමයේ දී එය බෙල්ලන් අල්ලාගෙන පුළුස්සා ආහාරයට ගැනීම සඳහා භාවිත කර තිබේ.
හමුදාව එලිස් දූපත භාවිත කළ අයුරු
වසර 80ක කාලයක් එලිස් දූපත භාවිතා කළේ හමුදාව ය. 1790 දශකයේ මැද භාගයේ දී අමෙරිකානු හමුදා සහ ප්‍රංශ සහ බ්‍රිතාන්‍ය හමුදා අතර නිරන්තරයෙන් ගැටුම්කාරී තත්ත්වයන් ඇති වූ බැවින් අමෙරිකානු රජය පත් කළ කමිටුවක් හදිසි අවස්ථාවකදී භාවිතා කළ හැකි ස්ථාන ඇතුළත් සිතියමක් සකස් කර තිබේ. එහි මුලික අරමුණ වූයේ නිව්යෝර්ක් වරාය වැනි අමෙරිකාවේ ප්‍රධාන නාගරික මධ්‍යස්ථාන හදිසි අවස්ථාවක දී ආරක්ෂා කරගැනීම යි. එලිස් දූපත ද ඇතුළු ව තවත් දූපත් කිහිපයක් ආරක්‍ෂිත මධ්‍යස්ථාන ලෙස සංවර්ධනය කිරීම සඳහා අමෙරිකානු රජය 1795 වසරේ දී අමෙරිකානු ඩොලර් ලක්ෂයක මුදලක් වෙන් කර තිබේ.
එලිස් දූපත යුද්ධයක දී යොදා ගැනීමේ අරමුණින් ඊට ජැටියක් ඇතුළු විවිධ දෑ එක් කළ අතර එම ජැටිය දූපතේ වයඹ දෙසට වන්නට පිහිටා තිබිණි. බොහෝ දෙනෙක් විශ්වාස කරන්නේ එම දූපතේ ම වෙනත් පසෙකින් පිවිසුම් දොරටුවක් ඉදි කිරීමේ දී සිදු කළ කැණීම්වලින් ලබා ගත් පස් එම ජැටිය ඉදිකිරිම සඳහා යොදාගෙන ඇති බවයි.
කිසිදු යුදමය තත්ත්වයක් ඇති නොවූවත් ප්‍රංශ හමුදා අමෙරිකාවට ප්‍රහාරයක් එල්ල කරතැයි බියෙන් අමෙරිකානු රජය 1790 දශකය අගභාගය වන විට එලිස් දූපත තව තවත් සංවර්ධනය කළේ එය ඕනෑම හදිසි අවස්ථාවක දී යොදා ගත හැකි ආරක්‍ෂිත බළකොටුවක් බවට පත් කිරීමේ අරමුණිනි. දූපතේ සංවර්ධන කටයුතු අධීක්ෂණය කළේ එබනේසර් ස්ටීවන්ස් ය.
භුමි ප්‍රමාණය වැඩි කිරීම
මුල් කාලයේ දී ඉහළ නිව්යෝර්ක් බොක්කට අයත් මුහුදු තීරයෙන් වැඩි ප්‍රමාණයක් බෙල්ලන්ගෙන් ගහණ ගල්පරවලින් සමන්විත විය. එහි එවැනි බෙල්ලන් බහුල ගල්පර සහිත දූපත් තුනක් පිහිටා තිබිණි. එලිස් දූපත ඉන් එකක් වන අතර අනික් දූපත් දෙක ලිබර්ටි දූපත සහ මේ වන විට විනාශ වී ඇති බ්ලැක් ටොම් දූපත යි. 19 වැනි සියවසේ දී ෆෙඩරල් රජය සංක්‍රමණිකයන් පරික්ෂා කිරීමේ මධ්‍යස්ථානය පිහිටුවීම සඳහා එලිස් දූපත ගොඩ කිරීම ආරම්භ කළ අතර එම ගොඩකිරීම් කටයුතු 1934 වසර දක්වා නොකඩවා සිදු වූ බව කියැවේ. නැව්වලින් ලබා ගත් අබලි ද්‍රව්‍ය සහ නිව්යෝර්ක් නගරයේ උමං මාර්ග තැනීමේ දී ලබාගත් පස් ඇතුළු ද්‍රව්‍යවලින් මෙම ගොඩකිරීම් සිදු කර තිබේ. පසුකාලීනව දූපත වටා ශක්තිමත් කොන්ක්‍රීට් බැම්මක් ඉදිකර ඇත්තේ එය සේදී යාම වැලැක්වීමට ය.
සංක්‍රමණිකයන් පරික්ෂා කිරීමේ මධ්‍යස්ථානයක් බවට පත් වීම
1890 දශකය වන විට එලිස් දූපත අමෙරිකානු ෆෙඩරල් රජය යටතේ පැවති අතර රජයේ නියෝගයෙන් 1890 අප්‍රේල් 11 දින එය අමෙරිකා එක්සත් ජනපදයේ පළමු සංක්‍රමණික පරීක්ෂා කිරීමේ මධ්‍යස්ථානය බවට පත් විය. ඊට අදාළ පහසුකම් ගොඩනැඟීම භාර වූ භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව එම වසරේ මැයි මස දූපතේ පාලනය භාරගත් අතර පළමුවෙන් ම අවශ්‍ය පහසුකම් ඉදිකිරීම සඳහා අමෙරිකන් ඩොලර් 75,000ක මුදලක් වෙන් කර තිබේ. ඉන් අනතුරුව එම මුදල දෙගුණ කර ඇත.
අවශ්‍ය ගොඩනැඟිලි ඉදිවෙමින් පවතින අතරතුර සංක්‍රමණිකයන් පරීක්ෂා කිරීමේ කටයුතු සුළු වශයෙන් ආරම්භ විය. මේ කාලය තුළ ඊට පෙර හමුදාව ඉදිකර තිබූ ගොඩනැඟිලි විනාශ වී ගොස් තිබේ. එමෙන්ම 1890 දශකය වන විට දූපතට අයත් භුමි ප්‍රමාණය ඉඩම් ගොඩකිරීම් හේතුවෙන් සැලකිය යුතු ලෙස වැඩි වී තිබිණි. 1892 වසර වන විට මෙම දූපතේ රෝහලක්, රෙදි සේදුම් ස්ථානයක් සහ පුද්ගලයන් රඳවා තබාගැනීමේ ගොඩනැඟිල්ලක් වැනි පහසුකම් ගොඩනඟා තිබූ අතර එම ගොඩනැඟිලි සියල්ල දැව භාවිත කර ඉදි කර තිබීම විශේෂත්වයක් විය.
පරීක්ෂණ ක්‍රියාවලිය
1892 ජනවාරි මස එලිස් දූපත නිල වශයෙන් සංක්‍රමණිකයන් පරීක්ෂා කිරීමේ මධ්‍යස්ථානයක් ලෙස විවෘත විය. පරීක්ෂා කිරීමේ කටයුතු සඳහා එම දූපතට පැමිණි පළමු සංක්‍රමණිකයා ලෙස සැලකෙන්නේ එවකට වයස අවුරුදු 17 ක් වූ ඇනී මුවර් නම් අයර්ලන්ත ජාතික තරුණිය යි. ඇය සිය සහෝදරයන් දෙදෙනාත් සමඟ, අමෙරිකාවේ ජීවත් වූ ඔවුන්ගේ මව්පියන් බැලීමට පැමිණ තිබේ.
විවෘත කළ පළමු දින එහිදී පරික්ෂාවට ලක් වූ සංක්‍රමණිකයන් සංඛ්‍යාව 700 කි. ඊළඟ වසරේ එලිස් දූපතේ දී පරික්ෂාවට ලක් වූ සංක්‍රමණිකයන් සංඛ්‍යාව 400,000 ක් විය. එහිදී සිදු වූ පරීක්ෂා කිරීමේ ක්‍රියාවලියට භෞතික සහ මානසික වෛද්‍ය පරීක්ෂණ මාලාවක් ද ඇතුළත් විය. එම පරීක්ෂා කිරීම්වලදී අනාවරණය වූ කරුණු අනුව එහි පැමිණි සංක්‍රමණිකයන්ගෙන් 1%ක් වැනි ප්‍රමාණයක් ආපසු හරවා යැවූ බව ද කියැවේ.
පහසුකම් පුළුල් කිරීම සහ ගින්නක් ඇති වීම
1890 දශකයේ මැද භාගය වන විට එලිස් දූපතේ පහසුකම් වඩාත් පුළුල් වූ අතර එහි භුමි ප්‍රමාණය ද අක්කර 14 ක් දක්වා වැඩි විය. 1897 දී ජලයට යටින් මෙම දූපතට දුරකථන සහ විදුලි පණිවිඩ සම්බන්ධතා ලබා දී තිබේ. මූලික ව ඉදි කළ ගොඩනැඟිලිවලට අමතර ව තවත් ගොඩනැඟිලි ගණනාවක් ද මෙම කාලයේ දී ඉදිකර තිබේ.
1897 ජූනි 15 දින ඇති වූ ගින්නකින් මෙම දූපතේ පිහිටි දැවයෙන් තැනූ ගොඩනැඟිලි සියල්ල විනාශ විය. ජීවිත හානි කිසිවක් වාර්තා නොවී ය. එම ගින්නට හේතුවක් ද අනාවරණය නොවී ය. එහි ගබඩා කර තිබූ 1855 වසරේ සිට අමෙරිකාව වෙත පැමිණි සංක්‍රමණිකයන්ගේ සියලු දත්ත ද විනාශ විය. ඒ වන විට වසර පහක් වැනි කාලයක් තුළ එලිස් දූපතේ දී පරික්ෂාවට ලක්ව තිබූ සංක්‍රමණිකයන් සංඛ්‍යාව මිලියන 1.5ක් ලෙස ගණන් බලා තිබේ.
එම ගින්න ඇති වී දින තුනක් ඇතුළත එහි නව සංක්‍රමණික මධ්‍යස්ථානයක් ඉදි කිරීම සඳහා රජය සැලසුම් සකස් කළ අතර ඊට අදාළ නීති කෘත්‍යයන් 1897 ජූනි 30 දින අවසන් විය. 1897 වසරේ ජූලි මස අගභාගය වන විට නව මධ්‍යස්ථානය ඉදි කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ද වෙන් කෙරිණි. තරගයක් පවත්වා ඉදිකිරීම් සමාගමක් තෝරා ගත් අතර ගින්නට ඔරොත්තු දෙන ආකාරයෙන් නව මධ්‍යස්ථානය ඉදි කිරීම ඔවුන්ට භාර විය. වසරක් වැනි කාලයක් ඇතුළත නව සංක්‍රමණික මධ්‍යස්ථානය ඉදි කර අවසන් වූ අතර ඒ සඳහා වැය වූ මුදල අමෙරිකන් ඩොලර් මිලියන 1.5ක් පමණ වේ.
වර්තමාන තත්ත්වය
1954 වසරේ මැද භාගයේ දී එලිස් දූපතේ සංක්‍රමණිකයන් පරීක්ෂා කිරීමේ මධ්‍යස්ථානය වසා දැමීමට ෆෙඩරල් රජය තීරණය කළේ එහි නඩත්තුව සඳහා විශාල මුදලක් වැය වූ බැවිනි. 1954 නොවැම්බර් 12 දින එය නිල වශයෙන් වසා දැමූ අතර එමගින් රජයට අමෙරිකන් ඩොලර් 900,000ක් පමණ වාර්ෂිකව ඉතිරි වන බව එවකට ගණන් බලා තිබේ. 1990 දී එලිස් දූපතේ සංක්‍රමණිකයන් පරීක්ෂා කිරීමේ මධ්‍යස්ථානය සිහි ගන්වන කෞතුකාගාරයක් විවෘත විය. තෙමහල් ගොඩනැඟිල්ලක් වන එහි කෞතුක භාණ්ඩ ගණනාවක් ප්‍රදර්ශනයට තබා තිබේ. එහි පුස්තකාලයක් සහ ශ්‍රවණාගාරයක් ද පිහිටා තිබේ. වර්තමානයේ දී බෝට්ටු මගින් මෙම දූපතට ළඟා විය හැකි අතර දේශීය සහ විදේශීය සංචාරකයන් විශාල පිරිසක් එය දැක බලා ගැනීමට පැමිණෙති.