පසුගිය 2020 වගේ ම 2021 අවුරුදුවලත් සිරිපා වන්දනාවට කොවිඩ් නිසා සීමා වැටුණා. මෙවර විශේෂ සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුව සිරිපා වන්දනාව පැවැත්වීමට බලධාරින් සහ ආගමික අංශ තීරණය කර තිබෙනවා. මේ නිසා බොහෝ දෙනකු දැඩි උනන්දුවකින් සිරිපා කරුණා කිරීමට යමින් සිටින බව වාර්තා වෙනවා.

පුරාණ රජ සමයේ පටන් සිදුවන සිරිපා වන්දනාව අපේ ජන ජීවිතය සමඟ දැඩිසේ බැඳුණු ආගමික ගමනක්. සිරිපා වන්දනාවට ආවේණික බස් වහරක් චාරිත්‍ර වාරිත්‍ර මාලාවක් චර්යා ධර්ම පද්ධතියක් වගේ ම, ඊට ම ආවේණික අපූරු සංස්කෘතික ලක්ෂණ රාශියක් නිර්මාණය වී තිබෙනවා. අද සිරිපා වන්දනාව නවීකරණය වී පැවතුණත් තවමත් එහිදී පුරාණ චාරිත්‍ර අනුගමනය කරන අවස්ථා අපට දකින්න පුළුවන්. මේ සිරිපා ගමනට ම සීමා වුණු වදන් කිහිපයක අරුත සොයා බැලීමට ගත් උත්සාහයක්.

 නඩේ ගුරාගේ උපදෙස් අනුව වන්දනාවේ - oldceylon.tmbr.com

නඩේ ගුරා

සිරිපා වන්දනා ගමනේ මූලිකයා තමයි නඩේ ගුරා. පුරාණයේ දී නම් නඩේ ගුරෙක් නැති ව කවුරුවත් සිරිපා වන්දනාවේ ගියේ නැහැ. සිරිපා වන්දනා කරන කණ්ඩයෙමට කියන්නේ නඩය කියල යි. මේ පිරිස එක්රැස් කරමින් ඔවුන්ට අවවාද උපදෙස් ලබා දෙමින් ගමනට සූදානම් කරන්නේ නඩේ ගුරා යි.

කිහිප වරක් ම සිරිපා වන්දනා කර අත්දැකීම් ඇති මැදිවියේ කෙනෙක් තමයි නඩේ ගුරා ලෙස පත්කර ගන්නේ. කලින් නියම කරගත් දිනයක හිමිදිරියේ නඩේ ගුරාගේ ප්‍රධානත්වයෙන් ගමේ පන්සලට රැස්වන පිරිස එහිදී පන්සිල් සමාදන් ව දෙවියන්ට පින්පෙත් දී සිරිපා කරුණා කරන වන්දනාව අරඹනවා.

 සිරිපා කඳු මුදුනේ මළුව- Wikipedia.org

ගමන අරම්භ කරන්නේ විශාල සාදු නාදයක් දීමෙන්.  අනතුරුව පා ගමනින්, ගැල් මගින් හෝ බස්රථයකින් වන්දනා ගමන ආරම්භ කරනවා.  ගමන් වෙහෙස නිවා ගැනීමට ‘තුන්සරණය’  කවි සාමූහික ව හඬ නඟා කියනවා. ඊට අමතර ව සිරිපා වන්දනාවට වෙන් වූ ජනකවි රාශියක් ද විවිධ පළාත්වල පැතිරී තිබෙනවා.  නඩේ ගුරා තම නඩයේ අයට උපදෙස් දෙමින් ‘කටවරද්දා ගැනීම’ නරක දෙයක් බව නිතර පවසනවා. නෑ, බෑ, මහන්සියි, අමාරුයි, මට බෑ ආදී සෘණාත්මක වදන් මේ දුෂ්කර වන්දනාවේ දී තහනම්.  නඩේ ගුරා ළඟ හදිසි අසනීපවලට බේත්හේත් එහෙමත් තිබුණා.

නුසුදුසු වචන භාවිතයෙන් දේව උදහසට ලක්වෙන බවට මෑත අතීතය දක්වා විශ්වාසයක් පැතිර තිබුණා.  සිරිපා කරුණාවට පිටත්වෙද්දී අපි ගිහින් එනවා කියනවා මිසක් ආපසු එන දිනයක් කියන්නෙ නැහැ.

සිරිපා කරුණා කරන වර්තමාන නඩයක්- ericacamilleproductions.com

සිරිපා කරුණා කිරීම

සිරිපා වන්දනාවේ දී සමනළ කන්ද නගිනවා යන්න හඳුන්වන්නේ සිරිපා කරුණා කරනවා කියල යි. කරුණාවයි- කරුණාවයි වචනය එම ගමනේ දී හමු වන කවුරුත් සුහද ව අමතන වදනක්. වෙනත් අයෙක් හමුවූ විට 'කරුණාවයි- කරුණාවයි' කියන්නේ ඔබට සමන් දෙවි පිහිට ලැබේවා යන අදහසින්. සිරිපා කරුණාවට සූදානම් වෙනවා යන්නට ‘පේ වෙනවා’ කියා කියනවා. තුන් සරණේ කවි කියමින් කට පරෙස්සම් කර ගනිමින්, වැරැදි වචන කියන්නේ නැති ව, සුදු පිරුවට හැඳ ශ්‍රී පාදය කරුණා කිරීමෙන් සුමන සමන්  දේව ආශීර්වාදය නොඅඩුව ම ලද හැකි බව බොදුනුවන් කවුරුත් තුළ අදත් පවත්නා විශ්වාසයක්.

ගමේ දී පන්සිල් ගැනීමට අමතර  ව සිරිපා කඳු තරණය ආරම්භ කරන සමන් දේව අඩවියේ හිමේට පිවිසෙන බව විශ්වාස කරන තැන්වලදී ( හැටන් පාරේ නම් නල්ලතන්නියේ මකර තොරණ අසල) යළිත් පන්සිල් ගෙන ගමනට ආශිර්වාදය ලබා ගන්නවා. ඒක පුරාණ සිරිතක්.හිමේ හෙවත් සිරිපා අඩවියට ඇතුළුවන වන්දනාකරුවන් “ගිහින් එන්නම් ” යැයි කියන්නේ නැහැ. ඒ වෙනුවට “සමන් දෙවි හාමුදුරුවන්ගේ පිහිටෙන්  යන්නම් ” යැයි පවසනවා.  

වඳින්න යන මේ නඩේට සමන් දෙවිඳු කරුණාවයි

වැඳල බහින කිරිකෝඩුට සුමන සුරිඳු  කරුණාවයි

 සැහැල්ලු කරේ දරාගෙන - serendib.btoptions.com

සැහැල්ලුව

 අතීතයේ සිරිපා කරුණා කිරීම විශාල අවදානමක් ගෙන කළ යුතු වන්දනාවක් වුණා. වන්දනාවට යන අය භාණ්ඩ රාශියක් සහිත ඔලොගුවක් ගෙන යාම අත්‍යවශ්‍ය වුණා. පුරාණ කාලේ, සැහැල්ලුවේ, අග්ගලා, අලුවා, කැවිලි, පොල්කට්ටක්, කොලපතක්, සරල ආහාර, පොරවන රෙදි, හදිසි ඔසු ආදී අඩුම කුඩුම සියල්ල තිබුණා. පැරැන්නන්, සති, දින, මාස් ගණන් ගෙවමින් තමයි මේ ගමනේ නිරත වුණේ. බුලත් පුවක්, තේ, කෝපි, කොත්තමල්ලිත්, රසකැවිලි, අග්ගලා ආදී ආහාර පානත් රැගෙන යාම ඔවුන්ගේ සිරිතක් වුණා. 

මේ නිසා බෑගය බරින් වැඩි යි. බර වැඩි බෑගයක් කරේ එල්ලා ගෙන කන්ද නැගීම දුෂ්කර දෙයක්. මේ නිසා මේ බෑගයට කිව්වේ සැහැල්ලුව කියලයි. ඒක බර වැඩි බවක් කවුරුවත් කියලා කට වරද්දා ගත්තේ නැහැ. 

 සිරිපා මාර්ගයේ අම්බලමක්- lankapura.com

තුන් සරණය

සිරිපා කරුණාවේ දී ඊට ආවේණික කවි ගායනා රැසක් තියෙනවා. තුන් සරණේ පොතේ කවි බොහොමයක් එහි දී භාවිත කරනවා. සිරිපතුල වන්දනා කිරීමට යන බැතිමතුන් භාවිත කරනා ජන කාව්‍යයක් ලෙස මෙය සැලකෙනවා. සමහර වන්දනාකරුවන්ට තුන් සරණය කඩපාඩම්. එහි කවි 128ක් අඩංගු යි. එකිනෙකාට ආශිර්වාද කරගැනීම වගේම වෙහෙස නිවා ගැනීමත් මේ කවිවලින් බලාපොරොත්තු වෙනවා. එම කවි තාලයට ගායනා කරමින් සිරිපා කරුණා කිරීම අදත් ගැමි ජනතාවගේ පුරුද්දක්. මේ තුන් සරණය පොතේ එන කවි දෙකක්:

බුද්ධං සරණේ සිරස දරාගෙන
ධම්මං සරණේ සිත පහදා ගෙන
සංඝං සරණේ සිවුරු දරා ගෙන
ඉඤ්ඤයි තුන් සරණේ අදහා ගෙන

පින් පල දිදී එන කවි බණ පද කරමි
සන්චල දුකක් නො ව උවදුරු දුර හරිමි
වෙන්කර හැම පෙර කළ අකුසල් ගෙවමි
ඉන් පල විඳින මම තුන්සරණේ ගනිමි

 කෝඩුකාරයන් ගෙත්තම් කරමින් - serendib.btoptions.lk

කෝඩුකාරයා

සිරිපාදය කරුණා කරන්න මුලින් ම එකතු වන බාල අයට කියන්නේ කිරි කෝඩු කියලා. වැඩිමල් අයට කියන්නේ දඬු කෝඩු කියලා. නඩේ ගුරා මේ කෝඩුකාරයන් ගැන වැඩිපුර අවධානය යොමු කරනවා. ඔවුන්ට සිරිපා වන්දනාව ගැන අත්දැකීම් නැති නිසා. පුරාණයේ දී සිරිපා ගමන ලොකු අවදානමක් සහිත වන්දනාවක් වුණූ නිසයි නවකයන් කෝඩු ලෙස වෙන්කර ඔවුන් ගැන විශේෂ අවධානයක් දැක්වූයේ. ගමනේ චාරිත්‍ර ගැන ඔවුන්ට අවබෝධයක් ලබාදීමත් මෙහිදී සිදුවුණා.

 සීත ගඟුලෙදී නා පිරිසිදු වෙමින්- serendib.btoptions.lk

ගඟුල බානවා

සමනල වන්දනාවේ දී ජලයට කියන්නේ ගඟුල කියල යි. ඒකනේ ජලය ගලා යන දොළ පාරට සීත ගඟුල කියන්නේ. සිරිපා අඩවිය ඉහළ කඳුකර වනාන්තරයකින් වටවුණු පෙදෙසක් නිසා  නිතර වැස්ස වැටෙනවා. මේ වැස්ස වහිනවට කියන්නේ ගඟුල බානවා කියල යි.

ගෙත්තම් පානේ ගෙත්තම්- Sobaroo.blogspot.com

 ගෙත්තම් පානේ ගෙත්තම්

පැරැණි සිරිත්වලට අනුව කෝඩු පුද්ගලයකු ඉඳි කටුවකුත්, නූල්බෝලයකුත් ගෙන ගොස් ගෙත්තම්පානට පිදිය යුතු යි. එහිදී සිදුවන්නේ එහි ගොඩගැසී ඇතිඉඳිකටු හා නූල්වලට තමන් ගෙනයන ඉඳිකටුවත්, නූල් බෝලයත් එකතු කිරීම යි. අදටත් මෙහි ඉඳිකටු නූල් බහුලව ඇද ඇති අන්දම දැකගත හැකියි. සිරිපා මඟ දෙපස කඩවල ඉඳිකටු නූල් සහිත පැකට් අලෙවි කිරීමටත් තබා තිබෙනවා. බුදුන් වහන්සේ සමන් ගිරට වැඩි අවස්ථාවේ සිවුරෙහි ඉරුණු තැනක් මසා ගැනීමට සිදුවූ බවත් එවිට වසවර්ති මාරයා වැස්සක් මවා එයට බාධා කළ බවත් ජන සාහිත්‍යයේ සඳහන් වෙනවා. නමුත් බුදු හිමියන් නොතෙමී ආරක්ෂා වී තිබෙනවා. ඒ ස්ථානය තමයි ගෙත්තම් පාන ලෙස සැලකෙන්නේ.

මේ ඒ ගැන සඳහන් ජන කවියක්:

ගෙත්තම් පානට ගොසින් බසින්නේ
ගෙත්තම් කරලයි සමහරු යන්නේ
ඉදිකටු නූලත් සුරතට ගන්නේ
ගෙත්තම් කර දෙවිඳුට පින් දෙන්නේ

අප කුඩා කාලෙදි පවා අත්විඳි සිරිපා වන්දනා චාරිත්‍රය අද ටිකෙන් ටික වියැකී යමින් තිබෙනවා. අද වැඩි දෙනෙක් සිරිපා වන්දනාවට යන්නේ විනෝද ගමනක් ලෙසින්. ඒ ගමන්වලට නඩේ ගුරෙක් නැහැ. පැරණි චාරිත්‍ර ගැන දැනුමක් ද නැහැ.