විවිධ ආර්ථික, සමාජයීය සහ දේශපාලන හේතු නිසා කලින් කලට වෙනස් වන නීති රීති අතර නිතර වෙනස්කම්වලට භාජනය නොවන නීති රීති ලෙස ආගමික කරුණු මුල් කරගෙන පනවා ඇති ඒවා හැඳින්විය හැකි ය. ආගමික විශ්වාස ඕනෑම සමාජයක දැඩි ලෙස මුල් බැස ගෙන ඇති බැවින් එවැනි ආගමික විශ්වාස මත පදනම් වූ නීති රීති වෙනස් කිරීමට පාලකයන් හෝ අදාළ ආයතන තරමක මැ,sකමක් දැක්වීම ඊට ප්‍රධාන හේතුවකි.
ඉහත සඳහන් කරුණ මනාව තහවුරු කරන අවස්ථාවක් ලෙස ග්‍රීසියේ පිහිටි දේවස්ථාන සංකීර්ණයකට අදාළ ව පනවා ඇති තහනමක් හැඳින්විය හැකි ය. අතිශය සම්ප්‍රදායයික ක්‍රිස්තියානි පූජකවරුන් වාසය කරන දේවස්ථාන සංකීර්ණයක් වන මෙම ස්ථානයට පැමිණීමට වසර දහසකටත් වැඩි කාලයක සිට කාන්තාවන්ට අවසර නොලැබේ. එම තහනම වර්තමානය වන තෙක් නොවෙනස් ව පැවතීම සුවිශේෂී කරුණකි. එම තහනම සහ එහි ඉතිහාසය පිළිබඳ ව මෙම ලිපියෙන් සොයා බලමු.
පිහිටීම
ග්‍රීසියේ වයඹ දිග ප්‍රදේශයේ පිහිටි දූපතක් වන අතෝස් කඳු මුදුන ගල් පර්වතවලින් බහුල ස්ථානයකි. එම කඳු මුදුනේ එක් පසකට වන්නට මෙම දේවස්ථාන සංකීර්ණය පිහිටා තිබේ. ලොව විවිධ රටවලින් පැමිණි සම්ප්‍රදායික ක්‍රිස්තියානි පූජකවරු දෙදහසකට වැඩි ප්‍රමාණයක් මෙම දේවස්ථානයේ වාසය කරති. අතෝස් දුපතේ පිහිටා ඇති සම්පුර්ණ දේවස්ථාන සංඛ්‍යාව විස්සකි.
ඉතිහාසය
අතෝස් කඳු මුදුනේ පිහිටි මෙම දේවස්ථාන සංකීර්ණය වසර දහසකටත් වැඩි ඉතිහාසයකට උරුමකම් කිය යි. මූලාශ්‍රයන්ට අනුව මෙම කඳු මුදුනට මුලින් ම ක්‍රිස්තියානි පූජකවරුන් සංක්‍රමණය වී ඇත්තේ ක්‍රිස්තු වර්ෂ පළමු සියවසේ දී ය. ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් එවකට පැවති රෝමන් අධිරාජ්‍යයේ සිට සරණාගතයන් ලෙස පලා ආ අය බව කියැවේ.
රෝමන් අධිරාජ්‍යය පැවැති කාලයේ දී සම්ප්‍රදායික පූජකවරුන්ට විවිධ තාඩන පීඩනවලට මුහුණ දීමට සිදු වීම පූජකවරුන් අතෝස් කඳු මුදුනට සංක්‍රමණය වීමට ප්‍රධාන වශයෙන් බලපා තිබේ.
අතෝස් කඳු මුදුනට සංක්‍රමණය වූ ක්‍රිස්තියානි පූජක පිරිස ක්‍රිස්තු වර්ෂ අට සහ නව වැනි සියවස්වලදී විශාල ලෙස ඉහළ ගොස් තිබේ. ඊට හේතු වී ඇත්තේ එවකට බයිසන්තියානු අධිරාජ්‍යය සියලු සම්ප්‍රදායික ක්‍රිස්තියානි සිතුවම් සහ වෙනත් ආගමික කරුණු ඇතුළත් ලිපි ලේඛන තහනම් කරමින් ආඥාවක් නිකුත් කිරීම යි.
පූජා භූමියක් ලෙස නම් කිරීම
ක්‍රිස්තු වර්ෂ 885 දී මැසිඩෝනියානු අධිරාජ්‍යයකු වූ පළමුවැනි බැසිල් මෙම කඳු මුදුනේ වාසය කළ පුජකවරුන්ට ආරක්ෂාව සැපයීමට තීරණය කළේ ය. ඒ අනුව විවිධ පුද්ගලයන් අතෝස් කඳු මුදුන වටා පිහිටි ගංගාව තරණය කර නීති විරෝධී ආකාරයෙන් මෙම ස්ථානයට පැමිණීම වැලැක්වීම සඳහා ඔහු පියවර ගත්තේ ය. මෙම කඳු මුදුන සරණාගත බව බලාපොරොත්තුවෙන් පැමිණෙන පූජකවරුන් සඳහා ම වෙන් කළ පූජා භූමියක් ලෙස නම් කිරීමට ද ඔහු කටයුතු කළේය.
දූපතෙන් පිටත ජීවත් වූ ජනතාව සමඟ සම්බන්ධතා පැවැත්වීමෙන් තොර ව පූජකවරුන් එහි වාසය කිරීම පිළිබඳ ව බයිසන්තියානු අධිරාජ්‍යයේ පාලකයන්ගෙන් විරෝධයක් එල්ල නොවී ය. එහි ජීවත් වූ පූජකවරුන් අධිරාජ්‍යයට ගෙවිය යුතු සියලු බදුවලින් නිදහස් කිරීමට ද පාලකයන් පියවර ගෙන තිබේ.
දේවස්ථාන සංකීර්ණය ඉදි කිරීම
ක්‍රිස්තු වර්ෂ 963 දී අතෝස් කඳු මුදුනේ පළමු දේවස්ථානය (Great Lava) ඉදි කර තිබේ. ඒ සඳහා උග්‍ර සම්ප්‍රදායික ක්‍රිස්තියානු ආගමික නිකායක් වූ 'Athonite Orthodoxy' ආරම්භ කළ ශාන්ත අන්තොනයිට් නම් බයිසන්තියානු පූජකවරයකු මුලිකත්වය ගෙන කටයුතු කළේ ය. ඔහුට ඒ සඳහා එක්තරා ජෙනරාල්වරයකුගේ සහයෝගය ද ලැබී තිබේ.
කාන්තාවන්ට පනවා ඇති තහනම
මෙම දේවස්ථාන සංකීර්ණයට තබා එය වටා පිහිටි වෙරළ තීරයට හෝ පැමිණීමට කාන්තාවන්ට අවසර නොලැබේ. වෙරළ තීරයේ සිට මීටර් 500ක් එපිටින් පිහිටි මුහුදු තීරයට පැමිණ දුර සිට දේවස්ථාන සංකීර්ණය දැක බලා ගැනීමට ඔවුන්ට අවසර ලැබේ. කාන්තාවන්ට මෙම ස්ථානයට පැමිණීමට පනවා ඇති තහනම මිට වසර දහසකට පමණ පෙර පනවන ලද එකකි.
එතැන් පටන් මේ දක්වා ග්‍රීසිය තුළ සමාජ, ආර්ථික, දේශපාලන සහ ආගමික යන සියලු ක්ෂේත්‍රයන්හි වෙනස්කම් ගණනාවක් සිදු වී තිබුණත් මෙම තහනම වෙනස් කිරීමට හෝ ඉවත් කිරීමට ඒ කිසිවකට හැකි වී නැත.
කාන්තාවන්ට පනවා ඇති තහනම ආරම්භ වූ අයුරු
අතෝස් දේවස්ථාන සංකීර්ණයේ නායකයා ලෙස කටයුතු කළ ශාන්ත අන්තොනයිට් එහි වාසය කළ පූජකවරුන් සිය ජීවිත කාලය පුරාවට ම පිළිපැදිය යුතු නීති රීති ගණනාවක් පැනවීමට කටයුතු කළේ ය. සම්ප්‍රදායයික ක්‍රිස්තියානු පූජකවරුන් පිළිපැදිය යුතු එවැනි නීති රීති මාලාවක් පැන වූ පළමු පුද්ගලයා ලෙස ඔහු සැලකේ. එලෙස පැනවූ නීති රීති මාලාවට ක්‍රිස්තු වර්ෂ 970 දී නිත්‍යානුකුලභාවයක් හිමි වූයේ පළමු ජෝන් අධිරාජ්‍යයා එම නීති රීති පිළිගැනීමත් සමඟ ය. අතෝස් කඳු මුදුනේ වාසය කරන පූජකවරුන් පමණක් නොව එම කඳු මුදුනට පැමිණෙන ඕනෑම අයකු පිළිපැදිය යුතු එම නීති රීති මාලාව දේවස්ථාන සංකීර්ණයට පිවිසෙන ස්ථානයේ විශාල පුවරුවක ප්‍රදර්ශනය කර තිබේ.
ඒවා අතර පහත ඒවා ප්‍රධාන වේ:
1. පුජකවරුන්ට කිසිදු වටිනා භාණ්ඩයක් ළඟ තබාගත නොහැක
2. සියලු ම පුජකවරුන්ට එක සමාන ව සැලකිය යුතු ය.
3. කාන්තාවන්ට දේවස්ථාන සංකීර්ණයට ඇතුළු වීම සම්පුර්ණයෙන් තහනම් ය.
විවිධ මත
අතෝස් කඳු මුදුනට පැමිණීම කාන්තාවන්ට තහනම් කර ඇත්තේ දේවස්ථාන සංකීර්ණයේ වාසය කරන පූජකවරුන් කාන්තාවන්ට වෛර කරන නිසා බව සමහරුන්ගේ මතය යි. කෙසේ වෙතත් තවත් පිරිසක් පවසන්නේ පූජකවරුන් කාන්තාවන්ට දක්වන ගරුත්වය නිසා ම මෙම තහනම පනවා ඇති බව යි. සම්ප්‍රදායයික ක්‍රිස්තියානි දහමේ සඳහන් වන දෑ අකුරට ම පිළිපැදීමට පූජකවරුන්ට අවශ්‍ය වූ නිසා මෙම තහනම පනවා ඇත යන්න තවත් මතයකි.
තහනම ඉවත් කිරීමේ සැලසුම්
කාන්තාවන්ට අතෝස් කඳු මුදුනේ පිහිටි මෙම දේවස්ථාන සංකීර්ණයට පැමිණීමට පනවා ඇති තහනම ඉවත් කිරීමට ග්‍රීසියේ රජය වසර ගණනාවක් තිස්සේ උත්සහ කර ඇතත් ඒ කිසිවක් සාර්ථක වී නැත. ඊට ප්‍රධානතම හේතුව වී ඇත්තේ මෙම කඳු මුදුනේ ජීවත් වන පූජකවරුන් සිය ආදිතමයන් පැන වූ නීති රීති අකුරට ම පිළිපැදීම යි.
පිරිමි පුද්ගලයන් පවා දැඩි පරීක්ෂාවකට
මෙම කඳු මුදුනට පැමිණෙන පිරිමි පුද්ගලයන්ට පවා ඊට ඇතුළුවීමට අවසර හිමි වන්නේ දැඩි පරික්ෂා කිරීමකින් අනතුරු ව ය. මෙහි පැමිණෙන සම්ප්‍රදායික ක්‍රිස්තියානි මතධාරී පිරිමි පුද්ගලයන්ට රාත්‍රී තුනක් ගත කිරීමට අවසර ලැබේ. සෑම සතියකට ම වරක් පුද්ගලයන් 100කට එම අවස්ථාව හිමි වන අතර දින තුනක් තිස්සේ කඳු මුදුනේ පිහිටි දේවස්ථාන වන්දනාමාන කිරීමට ඔවුන්ට අවස්ථාව ලැබේ.