අමෙරිකානු ජනපති රිචඩ් නික්සන්ට සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට පවා සිදු වූ 'වෝටර්ගේට්' සිද්ධියෙන් පසු එරට ප්‍රධානත ම බුද්ධි අංශය වූ සී.අයි .ඒ ආයතනය හා සම්බන්ධ රහස් රැසක් කරළියට පැමිණියා. එය සඳහා විශාල වශයෙන් ක්‍රියා කළේ ෆ්‍රෑන්ක් චර්ච් නම් සෙනේට් සභිකයා ප්‍රමුඛ කමිටුවක්. ඔවුන් අමෙරිකානු ජනපතිවරුන්, රජය හා අනෙකුත් දේශපාලනඥයන් එරට බුද්ධි අංශ සමඟ පැවැත් වූ රහසිගත සබඳකම් ලොවට හෙළි කළා. මේ නිසා අමෙරිකානු ජනතාව අතර සිය බුද්ධි අංශ හා සබැඳි අතිශය රහසිගත ක්‍රියාකාරකම් පිළිබඳ සොයා බලන්නට නොතිත් ආශාවක් ඇති වුණා.
ඔවුන් බලධාරීන්ට ඒ පිළිබඳ බලපෑම් කරන්නට වුණා. එහි ප්‍රතිඵලයක් ලෙස ලොමු ඩැහැගැන්වෙන දේ ලොවට හෙළි වුණා. ලොව විවිධ දේශපාලන නායකයන් ඝාතනය කිරීමට සැලසුම් කිරීම, අමෙරිකානු ජනතාව පිළිබඳ ඔත්තු බැලීම වැනි දේ මේ අතර වුණා. 'හෘදයාබාධ සාදන අවිය' පිළිබඳ ලොවට හෙළිවන්නේ ඒ අතර යි. මෙම හෘදයාබාධ සාදවන උපකරණය මගින් මිනිත්තු කීපයක් තුළ මිනිසකු මරා දැමිය හැකි බැව් පැවසුණු අතර, කිසිදු ආකාරයක සාක්ෂියක් ඉතිරි වන්නේ නැහැ.
බෙල්ලන්ගෙන් ගත් විසෙන් තැනුණු අවිය
හෘදයාබාධ සාදන උපකරණය පිළිබඳ මූලික අඩිතාලම දමා ඇත්තේ මේරි එම්බ්‍රී නම් විද්‍යාඥවරියක යි. 18 වැනි වියේ දී සී. අයි. ඒ ආයතනය හා සම්බන්ධ වූ ඇය අනුයුක්ත කෙරුණේ රහසිගත ලෙස එක් එක් පුද්ගලයන්ගේ සංවාද පටිගත කිරීම සඳහා මයික්‍රොෆෝන ඇතුළු උපාංග ස්ථාපිත කිරීම පිළිබඳ වූ කණ්ඩායමකට යි. පසුකාලීන ව ඇය එහි තාක්ෂණික අංශයේ උසස් නිලයකට පත් කෙරෙනවා. ඊට පෙර ඇය වෙත පැවරුණු රාජකාරියක් වූයේ කිසිවකුට හඳුනාගත නොහැකි විසක් සොයා ගැනීම යි. ඇය එවැනි විසක් මුහුදු බෙල්ලන්ගෙන් නිස්සාරණය කළ අතර, එය ඉතා සාර්ථක බැව් ඇගේ බලධාරීන්ගේ පිළිගැනීම වුණා. කෙසේ නමුත් මෙය ඇත්තෙන් ම කුමක් අරබයා සිදුකෙරුණේ ද යැයි ඇය හරිහැටි දැනුම්වත් වී තිබුණේ නැහැ.
සී.අයි.ඒ ආයතනය එම විස සොයා ගැනීමට ඇයට භාර දී තිබුණේ MKNAOMI නම් අතිශය රහසිගත ව්‍යාපෘතියක් සඳහා යි. මෙහිදී අමෙරිකාව සමඟ සීත යුද්ධයේ එල්බගෙන සිටි රටවල ආර්ථිකය අඩපණ කිරීමට සූදානම් කර තිබූ අතර, ඒ සඳහා කිසිවකුට හඳුනා ගත නොහැකි, එහෙත් ඉක්මනින්, ප්‍රබල ව ක්‍රියා කරන විසක් අවශ්‍ය කර තිබුණා. මෙම ව්‍යාපෘතිය ඔස්සේ ඒ ඒ රටවල පශු සහ කෘෂිකාර්මික සම්පත්වලට විස පොවා, ඒවා විනාශ කිරීමට සැලසුම් කර තිබූ අතර, එමඟින් ඒවායේ ප්‍රධානීන්ට බලපෑම් කිරීමට ඇස්තමේන්තු කර තිබුණා. කෙසේ නමුත් එම්බ්‍රී සොයා ගත් විසෙහි සාර්ථකත්වය මත එම ව්‍යාපෘතිය වෙන ම මානයකට හැරුණා. ඒ ආර්ථිකය වෙනුවට ඒ ඒ රටවල පශු සහ කෘෂිකාර්මික සම්පත්වල ප්‍රධානීන්ට කෙළින් ම හානි කිරීම යි. එනම් විස එන්නත් කොට ඔවුන් මරා දැමීම යි.
හෘදයාබාධ අවියේ ගමන් මඟ
එම්බ්‍රී මුහුදු බෙල්ලන්ගේ විස, අදාළ ව්‍යාපෘතියට සුදුසු යැයි සොයා ගැනීමත් සමඟ ෆෝට් ෆෙඩ්‍රික් හි ජෛව රසායනික අවි නිපදවීම සඳහා ම වෙන්කර තිබූ හමුදා කඳවුරක, පර්යේෂණාගාරයක හෘදයාබාධ අවිය සඳහා වූ පර්යේෂණ ඇරඹුණා. සී.අයි.ඒ ආයතනයේ රසායන විද්‍යාඥයකු වූ නේදන් ගෝර්ඩන් මුහුදු බෙල්ලන්ගේ විස ජලය සමඟ මිශ්‍ර කිරීමෙන් අනතුරුව, ඒවා අධිශීත කොට, පතුරු වැනි ස්වභාවයකට ගෙන ආවා. අනතුරුව, ඒවා කුඩා හී තුඩු වැනි තත්ත්වයකට දියුණු කෙරුණු අතර, අවසානයේ කොල්ට් එම්1911 වර්ගයේ පිස්තෝලයකට ඈඳා ඉන් වෙඩි තැබිය හැකි මට්ටමකට ගෙන ආවා. මෙමගින් මීටර සියයක් තරම් දුර සිටි අයකුට වෙඩි තැබිය හැකි වූ අතර, කිසිදු හඬක් නොනැඟෙන පරිදි එය සිදු කළ හකි වුණා.
යම් ඉලක්කයකට වෙඩි තැබූ විට, අධි ශීත කළ, විස රැගත් පතුර ක්ෂණික ව දිය වී, අදාළ පුද්ගලයාගේ රුධිර සංසරණ පද්ධතියට ඇතුළු වෙනවා. මේවායේ අධි මාත්‍රා එම පුද්ගලයාගේ හෘද ක්‍රියාකාරීත්වය සම්පූර්ණයෙන් උඩු යටිකුරු කර අකර්මණ්‍ය කිරීමට සමත් වන අතර, 'හෘදයාබාධයකට' සමාන රෝග ලක්ෂණ පෙන්නුම් කරමින් එම පුද්ගලයා මිය යනවා. මෙය සිදුවීමට ගත වන්නේ මිනිත්තු කිහිපයක කාලයක් පමණ යි. විස රැගත් පතුර ශරීරයට ඇතුළු වූ තැන වන රතු පැහැති තිත හැරුණු කොටගෙන වෙනත් කිසිදු ආකාරයකින් සලකුණක් ද මිය ගිය පුද්ගල සිරුරේ ඉතිරි වන්නේ නැහැ. මෙය හොඳින් පුහුණු වූ අයකුට හැර, වෙනත් කිසිවකුට සොයාගත නොහැකි අතර, ඝාතකයාට පහසුවෙන් බේරී පලා යාමේ අවකාශය ද ලැබෙනවා.
රහස් හෙළි වෙයි
හෘදයාබාධ අවිය සාර්ථක ලෙස ක්‍රියාවේ යෙදවේවි යැයි සී.අයි.ඒ ආයතනයට විශාල විශ්වාසයක් තිබුණා. මින් පෙර රුසියානු කේ.ජී.බී ආයතනයට අනුයුක්ත බෝඩන් ස්ටැෂින්ස්කි මෙවැනි අවියක් දෙවතාවක් ම සාර්ථක ව යොදාගෙන තිබූ අතර, සතුන් හා සිරකරුවන් යොදා ගෙන සිදුකළ මූලික පර්යේෂණ අතිශය සාර්ථක වීමත් සමඟ එම විශ්වාසය තවත් වැඩි වුණා. කෙසේ නමුත් මෙය ක්‍රියාවේ නංවා සාර්ථක ලෙස ප්‍රතිඵල ලැබූ අවස්ථා ඉතිහාසයේ තිබේ දැයි පැහැදිලි නැහැ.
වෝටර්ගේට් සිද්ධියෙන් පසු අමෙරිකානු ජනතාවට සිය බුද්ධි අංශ සහ ඉහළ බලධාරීන්ගේ ක්‍රියාකාරකම් පිළිබඳ කුකුසක් හට ගත්තා. එරට මාධ්‍ය ආයතන ජනතාව වෙනුවෙන් පෙනී සිටියා. ඔවුන් සී.අයි.ඒ, එෆ්.බී.අයි වැනි ආයතන විවේචනය කරන්නට පටන් ගත් අතර, අවසානයේ අමෙරිකානු සෙනෙට් සභාව තීරණය කළේ මේ පිළිබඳ විමර්ෂණය කිරීමට අයිඩාහෝ සෙනෙට් සභික ෆ්‍රෑන්ක් චර්ච් ප්‍රමුඛ කමිටුවකට බලය ලබා දීමට යි. ඒ 1975 වසරේදී යි.
චර්ච් කමිටුව අමෙරිකාවේ ඉහළ පුටුවල රහස් එකින් එක සොයා ගැනීමට පටන් ගත්තා. ඔවුන් සොයා ගත්තේ හිටපු ජනපති නික්සන් MKNAOMI ව්‍යාපෘතිය 1970 වසරේදී අවසන් කර ඇති බව යි. ගෝර්ඩන් ඊට පෙර මුහුදු බෙල්ලන්ගෙන් නිස්සාරණය කළ විස ග්‍රෑම් 5.9 ක් මිලදී ගෙන ඇති බැ ව්ද හෙළි වුණා. ඒ එකල ලොව නිපැයූ සම්පූර්ණ මුහුදු බෙලි විස ප්‍රමාණයන් තුනෙන් එකක් පමණයි.
මීට අමතර ව ඔහු වොෂින්ටන් හි රසායනාගාරයක නිස්සාරණය කළ නයි විස ද ගෙන්වා ගෙන තිබුණා. ඔවුන් මෙලෙස විස යොදා ගෙන ඝාතනය කරන්නට මාන බලා සිටි ලෝක නායකයන් කිහිප දෙනකු පිළිබඳත් තොරතුරු සොයා ගැණුනා. කියුබානු නායක ෆිදෙල් කැස්ට්‍රෝ, කොංගෝ නායක පැට්‍රිස් ලුමුම්බා, ඩොමිනිකන් ජනරජයේ නායක රෆායෙල් තෘජිලෝ මේ අතර වුණා. කෙසේ නමුත් කුමක් හෝ හේතුවකට මේ එක් අයෙකුට හෝ සාර්ථක ලෙස විස පෙවීමට ඔවුන් සමත් වී නැහැ.
අවසානය
චර්ච් කමිටුව, සී.අයි.ඒ ආයතනයට දිගින් දිගට ම කළ බලපෑම් හේතුවෙන් අවසානයේ තමන් එවැනි විස යෙදූ අවියක් නිපැයූ බැව් ඔවුන් පිළිගත්තා. ප්‍රසිද්ධ කමිටු රැස්වීමක දී එවකට සී.අයි.ඒ හි අධ්‍යක්ෂක විලියම් කොල්බි මෙම 'හෘදයාබාධ ගිනි අවිය' ලෝකයට නිරාවරණය කළා. ඔහු එය කමිටුවට රැගෙන ආ අතර, එහි ක්‍රියාකාරිත්වය පිළිබඳත් ප්‍රායෝගික ව පෙන්වූවා. කමිටු සාමාජිකයන්ට ද එය අතට ගෙන බැලීමේ අවස්ථාව ලැබුණා. එය මෙම උපකරණය ලෝකයාට නිරාවරණය වූ පළමු මෙන් ම අවසන් අවස්ථාවයි.
චර්ච් කමිටුවේ සොයා ගැනීම් ප්‍රකාර ව අභිනව ජනපති වූ ජෙරල්ඩ් ෆෝර්ඩ් 1976 වසරේදී සියලු අමෙරිකානු රාජ්‍ය සේවකයන් කිසි ලෙසකින් දේශපාලනික ඝාතන හා කුමන්ත්‍රණවලට හවුල් නොවිය යුතු බවට විධානයක් ලබා දුන්නා. එමඟින් එවැනි ඝාතන සිදුකිරීම සඳහා සී.අයි.ඒ වැනි ආයතනවලට තිබූ අවකාශ බොහෝ සෙයින් ඇහිරී ගියා.