මානව ඉතිහාසයේ ඉතා අමිහිරි පරිච්ඡේදයක් වන වහල් සේවය පිළිබඳව ලිපි කිහිපයක් අපි ඔබ වෙත ගෙන ආවෙමු. ඒ අයුරින් වහල් සේවයේ යෙදවූ බොහෝ දෙනෙක් අප්‍රිකානු රටවලින් පැහැරගත් කළු ජාතිකයෝ වූහ. අමෙරිකා එක්සත් ජනපදය සහ වෙනත් යුරෝපා රටවල වහල් වෙළෙදාමේ යෙදුණු පුද්ගලයෝ, අප්‍රිකානු රටවලට ගොස් පැහැරගන්නා කළු ජාතිකයන් නැව් මගින් යුරෝපා රටවලට රැගෙන ගියහ.

ක්ලොටිල්ඩා නැවට සමාන නැවක ඡායාරූපයක් - www.abhmuseum.com

ඒ ආකාරයෙන් වහල් සේවය සඳහා රැගෙන ගිය කළු ජාතිකයන් ප්‍රවාහනය කිරීම සඳහා යොදා ගත් නෞකාවක සුන්බුන් සොයා ගත් බව අමෙරිකා එක්සත් ජනපදයේ ඇලබාමා ජනපදය 2019 වසරේ දී නිවේදනය කළා ය. විශාල වශයෙන් කතාබහට ලක් වූ එම නෞකාව කළු ජාතිකයන් සියයකට වැඩි පිරිසක් රැගෙන අමෙරිකා එක්සත් ජනපදය බලා 1860 දශකයේ දී ළඟා වූ 'ක්ලොටිල්ඩා' නම් නෞකාව බව පසුව හඳුනා ගැනිණි.

නෞකාව

1855-1856 අතර කාලය තුළ නිෂ්පාදනය කර ඇති ක්ලොටිල්ඩා නෞකාවේ දිග මීටර් 26කි. තිමති මිහර් නම් ධනවත් ජංගම නැව් තටාක සහ වාෂ්ප බෝට්ටු හිමිකරුවකුට මෙම නෞකාව අයත් ව තිබිණි. එවකට විවිධ රටවලින් එක්සත් ජනපදයට දැව ප්‍රවාහනය කිරීමේ ව්‍යාපාරයක නිරත වී සිටි තිමති, මෙම නෞකාව දැව ප්‍රවාහනය සඳහා නිෂ්පාදනය කරවූ එකක් බව කියැවේ.

තිමති මිහර් - www.aaregistry.com

අප්‍රිකානුවන් රැගෙන ඒමට සැලසුම් කිරීම

බටහිර අප්‍රිකාවේ බෙනින් රාජ්‍ය සහ තවත් රාජ්‍ය කිහිපයක් අතර1860 වසරේ මුල්භාගයේ දී  යුද්ධයක් ඇති වී ඇති බව තිමතිට දැනගන්නට ලැබිණි. එම යුද්ධය අතරතුර සිරකරුවන් ලෙස අල්ලා ගත් පුද්ගලයන් වහලුන් ලෙස අලෙවි කිරීමට බෙනින් රාජ්‍යයේ රජතුමා කැමැත්තෙන් සිටින බවත් ඔහුට දැනගන්නට ලැබිණි.

මෙම තත්ත්වය ප්‍රයෝජනයට ගනිමින් බටහිර අප්‍රිකානුවන් වහල් සේවය සඳහා එක්සත් ජනපදයට රැගෙන ඒමට තමන්ට හැකි බව පවසමින් ඔහු වෙනත් ධනවත් ව්‍යාපාරිකයෙක් සමඟ ඔට්ටුවක් ද අල්ලා තිබේ. කෙසේ වෙතත් 1807 වසරේ දී සම්මත කළ පනතක් මඟින් එක් රටක සිට තවත් රටකට  වහල් සේවය සඳහා පුද්ගලයන් රැගෙන ඒම ඒ වන විට සම්පූර්ණයෙන් ම තහනම් කර තිබිණි.

බෙනින් රාජ්‍යයේ පිහිටීම - www.britannica.com

නෞකාව බටහිර අප්‍රිකාවට ළඟා වීම

විලියම් ෆොස්ටර්, ක්ලොටිල්ඩා නෞකාවේ කපිතාන්වරයා ලෙස සේවය කළේ ය. නැවේ හිමිකරුගෙන් ලැබුණු උපදෙස් අනුව ෆොස්ටර් සහ තවත් නාවිකයන් 11 දෙනෙක් බටහිර අප්‍රිකාව බලා යාත්‍රා කිරීම 1860 මාර්තු 4 වැනි දා ආරම්භ කළහ. ඔවුන් සතුව කළු ජාතිකයන් මිලදී ගැනීම සඳහා අමෙරිකානු ඩොලර් 10,000ක වටිනාකමට සමාන රත්‍රන් ද තිබූ බව කියැවේ. මාස දෙකක් වැනි කාලයක් පුරාවට යාත්‍රා කළ ඔවුන් 1860 මැයි 15 බටහිර අප්‍රිකාවේ වයිඩා නුවරට ළඟා විය. එහිදී ඔහු එක් අයකුට ඩොලර් 100 බැගින් ගෙවා අප්‍රිකානු ජාතිකයන් 125ක් මිල දී ගත්තේ ය.

එම සිදුවීම විස්තර කරමින් ෆොස්ටර් එක්තරා සටහනක සඳහන් කර ඇත්තේ වයිඩා වෙත ළඟා වීමෙන් පසු ඔවුන්ට අප්‍රිකානු කුමාරයෙක් හමු වූ බව යි. එම කුමාරයා ඔහු රාජාධිකරණයක් වෙත කැඳවාගෙන ගිය බවත් එහි දී ආගමික වතාවත් සිදු කරන අයුරු දක්නට ලැබුණු බවත් ඔහු එම සටහනේ සඳහන් කර තිබේ.

එම සටහනේ වැඩිදුරටත් සඳහන් වන්නේ මෙලෙසිනි:

"ගනුදෙනුව සම්බන්ධයෙන් වන එකඟතාවලට පැමිණීමෙන් අනතුරු ව අපි කුමාරයා ද සමග, නිරුවත් අප්‍රිකානුවන් දහස් ගණනක් රඳවා තිබූ ගබඩාවක් වෙත පිටත්ව ගියෙමු. ඔවුන් අතරින් 125 දෙනකු තෝරාගැනීමට ඔවුන් මට අවසර ලබා දුන්නා. ඒ සියලු දෙනාගේ සිරුරුවල මා ඔවුන් මිලදී ගත් බව හැඟවීමට හංවඩුවක් ගැසීමට ඔවුන් සැලසුම් කර තිබූ නමුත් මා ඊට ඉඩ දුන්නේ නැහැ. පසුව මා තෝරාගත් සියලු දෙනා නෞකාව වෙත රැගෙන යාමට ඔවුන් කටයුතු කළා."

ක්ලොටිල්ඩා නෞකාවේ ගමන්මග දැක්වෙන දල සටහනක් - www.thesun.co.uk

ඇලබාමා ප්‍රාන්තය බලා ගමන් යළි ඇරඹීම

මේ අතර අසල මුහුදු තීරයේ තවත් වාෂ්ප බෝට්ටු දෙකක් දක්නට ලැබුණු බැවින් අප්‍රිකානු කුමාරයා, වහාම නෞකාවට පිටත් වන ලෙස අණ කර තිබේ. ඒ වන විට නෞකාවට පටවා තිබුණේ මිල දී ගත් පුද්ගලයන් 125 අතරින් 110ක් පමණි. එක්සත් ජනපදය කරා නැවත යාත්‍රා කරන අතරතුර බොහෝ නෞකාවලට අතරමඟ දී ක්ලොටිල්ඩා නෞකාව හමු වුණත් ඒ කිසිවකට නෞකාව පිළිබඳ ව සැකයක් ඇති වී නොතිබිණි. 1860 ජූනි 30 වන විට නෞකාව එක්සත් ජනපදය ආසන්නයට ළඟා වී තිබිණි. එය දුටු බොහෝ දෙනෙක් සිතුවේ එය එක්සත් ජනපදයේ එක් ප්‍රදේශයක වහල් සේවයේ යෙදුණු පිරිසක් වෙනත් ප්‍රදේශයකට රැගෙන යන නෞකාවක් බවයි. නෞකාව ඇලබාමා වෙත 1860 ජූලි මස දී ළඟා විය.

වහල් සේවය සඳහා කළු ජාතිකයන් පැහැරගෙන ඒමට භාවිත කළ නැවක කොටස් දැක්වෙන රූප සටහනක් - www.colorlines.com

නෞකාව ගිනිබත් කළ ෆොස්ටර්

ක්ලොටිල්ඩා නෞකාවේ කපිතාන්වරයා වූ ෆොස්ටර්ගේ සටහන්වල දැක්වෙන්නේ 1860 ජුලි 9 වැනි දා නෞකාව නැංගුරම් දැමූ බව යි. පසුව ඔහු නෞකාවේ හිමිකරු හමුවීමට අශ්ව කරත්තයකින් ගමන් කර තිබේ. වහල් සේවය සඳහා එක් රටක සිට තවත් රටකට පුද්ගලයන් රැගෙන ඒම තහනම් කර තිබූ අවධියක අප්‍රිකානුවන් පිරිසක් එක්සත් ජනපදයට රැගෙන ආ බව අනාවරණය වුවහොත් දඬුවම් විඳීමට සිදුවනු ඇතැයි ෆොස්ටර් බියෙන් පසු විය.

එබැවින් ඇලබාමාහි පිහිටි ගඟක් දිගේ සැතපුම් දොළහක් පමණ දුරට නෞකාව රැගෙන ගිය ඔහු එදින රාත්‍රියේ ඊට ගිනි තබා ගිලෙන්නට සැලැස්වූ බව කියැවේ. ඊට පෙර ඔහු නෞකාවේ සේවකයන්ට අදාළ ගෙවීම් සිදු කර ඔවුන් පිටත් කර හැර තිබේ.

ක්ලොටිල්ඩා නෞකාවේ සුන්බුන් හමු වූ ස්ථානය - www.nationalgeographic.com

අප්‍රිකානුවන්ට සිදු වූ දේ

ක්ලොටිල්ඩා නෞකාවෙන් රැගෙන ආ අප්‍රිකානු ජාතිකයන්ගෙන් බොහොමයක් තිමති සහ ඔහුගේ ව්‍යාපාර සහකරුවන් අතර බෙදා ගෙන තිබේ. එම පිරිසෙන් 30කට වැඩි පිරිසක් තිමතිට අයත් වතුයායන්හි සහ වෙනත් ස්ථානවල සේවයේ යෙද වූ බව කියැ වේ. ඔවුන් රැගෙන ආවේ නීත්‍යනුකුලව නොවන බැවින් එම අප්‍රිකානු ජාතිකයන් වහලුන් ලෙස ලියාපදිංචි කිරීමට හැකියාවක් නොවූ බැවින් ඔවුන් චංචල දේපල ලෙස සැලකිණි. එම පිරිස අතරින් කිහිප දෙනෙක් පිටස්තර පාර්ශවයන්ට අලෙවි වූහ. වහල් සේවය තහනම් කිරීමෙන් පසු දීර්ඝත ම කාලයක්, වසර 72ක්, ජීවත් වූ වහල් සේවයේ යෙදුණු අයගෙන් එක් අයකු වන රෙඩෝෂි ද ඒ අතර වේ.

රෙඩෝෂි - www.AL.com

තිමති සහ ෆොස්ටර්ට එරෙහිව නඩු පැවරීම

1861 දී නීතිවිරෝධී ලෙස වහල් සේවය සඳහා මිනිසුන් ප්‍රවාහනය කිරීමේ චෝදනා මත තිමති සහ ෆොස්ටර්ට එරෙහි ව ඇලබාමාහි ෆෙඩරල් රජය නඩු පවරා තිබේ.  ඒ වන විට නෞකාව ගිනිබත් කර තිබීම සහ ප්‍රමාණවත් සාක්ෂි නොමැති වීම නිසා එම නඩුව විභාගයට ගෙන නැත. නඩුව විභාග නොවීමට එවකට ඇති වූ සිවිල් යුද්ධය ද හේතු වූ බව කියැ වේ.

නෞකාවේ සුන්බුන් සෙවීම

නෞකාව ගිල්වා දැමූ බව ෆොස්ටර් පැවසූ කාලයේ පටන් වසර සිය ගණනක් පුරාවට එහි නටබුන් සෙවීම සඳහා ගවේෂණ ගණනාවක් සිදු කර තිබේ. එය ගිල්වා දැමූ බවට විශ්වාස කෙරෙන ප්‍රදේශයේ දැකිය හැකි නෞකාවල සුන්බුන් ගණනාවක් ක්ලොටිල්ඩා නෞකාවේ නටබුන් බවට වැරදි මත ද පැතිරී තිබිණි.

නෞකාවේ සුන්බුන් අතැතිව සිටින පර්‍යේෂකයෙක් - www.time.com

2018 වසරේ දී එහි නටබුන් සොයා ගත් බව වාර්තා වුවත් ඇලබාමාහි ඉතිහාසය පිළිබඳව වන කොමිසම එම සොයා ගැනීම් ප්‍රතික්ෂේප කළේ එම නටබුන්වල කිසිදු ගිනි ගැනීමේ සලකුණක් දැකිය නොහැකි බව පවසමිනි. ඊට අමතර ව එම නටබුන් ක්ලොටිල්ඩා නෞකාවට වඩා විශාල ප්‍රමාණයේ එකක ඒවා බවත් එම කොමිසම පෙන්වා දී තිබිණි.

නැවේ සුන්බුන් - www.thesun.co.uk

ඊට සති කිහිපයකට පසු දකුණු මිසිසිපි විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් කිහිප දෙනෙක් ක්ලොටිල්ඩා නෞකාව ගිල්වූ බවට සැක කෙරෙන ස්ථානය අවට ගවේෂණය කළ අතර එහිදී සුන්බුන් කොටස් 11ක් හමු වී තිබිණි. ඔවුහු එම කොටස් ඇලබාමාහි ඉතිහාසය පිළිබඳ කොමිසම වෙත යොමු කළහ.

එලෙස හමු වූ සුන්බුන් ක්ලොටිල්ඩා නෞකාවේ ඒවා ම ද යන්න තහවුරු කරන තෙක් ඒ පිළිබඳ තොරතුරු කිසිවක් වාර්තා වූයේ නැත. අදාළ පරීක්ෂාවන් සිදු කිරීමෙන් අනතුරුව, එනම් 2019 මැයි 22 දින එම සුන්බුන් කොටස් ක්ලොටිල්ඩා නෞකාවේ ඒවා බවට ප්‍රකාශයට පත් කෙරිණි.