සීතාවක ගඟ ආරම්භ වන්නේ උඩමාලිබොඩ සමනළ අඩවියේ කඳුවලින්. එය පහත නිම්නයේ දී කැලණි නදියට එක්වන ප්‍රධාන ශාඛාව යි. කඳු බෑවුම්වලින් ඇහිරුණු පටු අලංකාර නිම්නය තමයි සීතාවක නදිය ගලා බසින්නේ.

සීතාවක රාජධානි සමයට සම්බන්ධ අප්‍රකට ඉපැරණි සිහිවටන රාශියක් මේ ගංගාවේ පහළ නිම්නයේ පිහිටා තිබෙනවා. ඒ අතරින් ගං නිම්නයේ පිහිටි පුරාණ නෂ්ටාවාශේෂ කිහිපයක් ගැන සොයා බැලීමටයි අප මේ පියමං කරන්නේ.

සීතාවක ගඟෙන් නිර්මාණය වන ඇලිහතේ එක් ඇල්ලක්- facebook.com

 සීතාවක නදිය

දැරණියගල සිට කිලෝ මීටර් 20ක් පමණ දුරින් පිහිටි උඩමාලිබොඩට එපිටින් දික්ඇල්ලකන්දේ උස් කඳුකරයෙන් සීතාවක ගංගාවේ මුල් දිය උල්පත් ආරම්භ වෙනවා. මේ පෙදෙසේ කඳු අඩි 5000-5500ක් පමණ උසකින් යුක්ත යි. මේ කඳු සමනළ කඳුවැටිය හා සම්බන්ධ වෙනවා. මේ ගංගාව උඩමාලිබොඩ - දැරණියගල ප්‍රදේශවලදී හඳුන්වන්නේ මාගල් ගඟ කියල යි.

අවිස්සාවේල්ල – නුවරඑළිය A7 මාර්ගයේ අවිස්සවේල්ල නගරයේ සිට යටියන්තොට දෙසට මඳ දුරක් යනවිට සීතාවක ගඟ මාර්ගය අද්දර දී අපට හමුවෙනවා. තල්දූවේදී මේ ගඟ හරහා ඉදි කළ පාලමක් ද තිබෙනවා.  

ගඟ තරණය කරනා ගම්වැසියෝ-mawbima.lk

මේ ගඟට දැරණියගලට ඉහළින් අතු ගංගා රාශියක් එකතු වෙනවා. යායෙ ගඟ, හලතුරේ ගඟ,මොන්දගල් ඔය, කදිරන් ඔය, පනාකුරේ ඔය, මියනවිටි ඔය, කඹුරුගම් ඔය ඒවායි. සීතාවක නදිය කැලණි ගඟට එකතු වන්නේ අවිස්සාවේල්ලට කිලෝ මීටර් තුනක් උතුරින් පිහිටි කුඩාගම ප්‍රදේශයේදි යි.

ගංඉවුරේ සිරිපතුල පිහිටි පර්වතය - facebook.com

රම්පදගල සිරිපතුල

අවිස්සාවේල්ල කරවනැල්ල මාර්ගය දෙහිඕවිට දක්වා ඇදී  යන්නේ වූ සීතාවක ගංගා ඉවුර අද්දරින්. අවිස්සාවේල්ල සිට කිලෝ මීටර් 7ක් දුරින් පිටදෙනිය කියන ගම පිහිටා තිබෙනවා. පිටදෙනිය බෝධි වෘක්ෂය අසලින් දකුණු දෙසට ඇදී යන පාර වැටී තිබෙන්නේ තිඹිරිපොල ගම්මානය වෙතට යි. එම පාරේ කිලෝ මීටරයක් දුර පියමං කරන විට සීතාවක ගඟ හරහා දමා තිබෙන සංගිලි පාලම අපට දැක ගැනීමට ලැබෙනවා.  පාලම අසලින් වන බූටෑව අතරින් වම් පැත්තට තවත් මීටර් 300ක් ගමන් කරන විට ගංඉවුරේ ගල් තලාවක කොටා ඇති සිරිපතුල් ලාංඡනය දැක ගැනීමට පුළුවන්. කෑගල්ල දිස්ත්‍රික්කයේ, අටුළුගම් කෝරලයේ, දෙහිඕවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට තමයි මේ ස්ථානය අයත් වන්නේ. ගඟ අසබඩ   තෙබු පඳුරු පිරුණු බිමක අඩි 20ක් පමණ උසැති මේ ගල් පර්වතය පිහිටා තිබෙනවා.  

එය හඳුන්වන්නේ  ”රම්පදගල සිරිපතුල” කියල යි. සිරිපතුල ඇති ස්ථානයට යෑමට නිශ්චිත පාරක් නම් නැහැ. මේ ගලට පහළින් ගඟ තුරු පෙත් අතරින් අලංකාර දසුනක් මවා පාමින් ගංගාව ගලා බසිනවා.  පර්වතය මඳක් හාරා නිර්මාණය කර ඇති සිරිපතුලේ දිග අඩි 4ක්. පළල අඩි එකහමාරයි. පාදයේ ඇඟිලි දිගින් අඟල් 10ක් පමණ වෙනවා.  ශ්‍රීපාද සලකුණ මැද අවකාශය අලංකාර කර ඇත්තේ වෘත්තාකාර නෙළුම් මල් සලකුණු හයකින්. ඒවා අඟල් 8 10, 12 ආදී ලෙසින් විෂ්කම්භයෙන් යුක්තයි. නෙළුම් මලක පෙති අටක් සිටින සේ නිර්මාණය කර තිබෙනවා.   ප්‍රධාන පෙති මත කුඩා පෙති නිර්මාණය කර තිබෙනවා. බුදු සිරිපතුලක තිබිය යුතු මංගල ලකුණු කොටීමට කැටයම්කරුවා උත්සාහ දරා ඇති අතර මෙහි දී කැටයම්කරුවාගේ දක්ෂතාව ද  අපට පැහැදිලි වෙනවා. මේ අසල පහන් කණුවක් තිබූ බවට ද සාධක හමුවෙනවා.

සිරිපතුලේ නෙළුම් මල් කැටයම් - සදහම් සෙවණ facebook page

ගල් පර්වතයේ සිරිපා ලකුණ අසල හාරන ලද වළවල් කියාපාන්නේ සිරිපතුලට ඉහළින්  කණු මත පියස්සක් තිබී ඇති බව යි. සිරිපතුල වටා ගෙතුණු ජනප්‍රවාදයට අනුව මෙය සීතාවක රාජසිංහ රජු කරවූවක්. රාජසිංහ රජුගේ බිසවට දරුවකු ලැබීමට ආසන්න වෙද්දී හටගත් දොළ දුකට අනුව ඇයට ශ්‍රීපාදය වන්දනා කිරීමට අවශ්‍ය වී තිබෙනවා.

ඒ අවස්ථාවේ රාජධානියට සතුරු ආක්‍රමණ එල්ල වී අවට පෙදෙස අනාරක්ෂිත ව පැවැති බැවින් එම කාර්යය ඉෂ්ට කිරීමට නොහැකි වෙලා. මේ නිසා  රජු සීතාවක ගංගා ඉවුරේ ඇති මෙම ගල් පර්වතයේ සිරිපතුලක් නිර්මාණය කරවා ඇත්තේ මාලිගයේ සිට අඟුලෙන් ඇවිත් දේවියට ශ්‍රීපාදය වන්දනා කරන්නට පහසුකම් සැලසීමට බවයි කියවෙන්නේ.

රම්පදගල සිරිපතුල පිහිටි ස්ථානයේ සංගිලි පාලමෙන් සීතාවක ගඟ තරණය කළ ඉක්බිති අපි පිවිසෙන්නේ  තිඹිරිපොළ ගම්මානයට යි. මේ දුෂ්කර ගම්මානයේ  පවුල් හැත්තෑපහක් පමණ වාසය කරනවා.  තිඹිරිපොළ ගම මැදින් කන්ද දෙසට කිලෝ මීටර් එකක් පමණ ගිය පසු රජලෙන හමුවෙනවා. 1952 මහාචාර්ය සෙනරත් පරණවිතාන පැමිණ  රජ ලෙන ගවේෂණය කළ බව ගමේ පැරැන්නන් පවසන කරුණක්.  මේ අවට කඳු කලාපය ක්‍රිස්තු පූර්ව 2 සියවසේ සිට ජනාවාසයක් ව පැවති බවට සාධක මෙහි කොටා ඇති සෙල්ලිපිවලින් පැහැදිලි වෙනවා. ඒවායේ එම ලෙන් කරවා සංඝයා වහන්සේට පිදූ බව ද සඳහන් කර තිබෙනවා.

කණමැදිරියන් වළ පිහිටි වක්කලම -seethawakapuraya.blogspot.com

 කණාමැදිරියන් වළ

කණාමැදිරියන් වළට පැමිණීමට තල්දූවෙන් හැරී යන  අවිස්සාවේල්ල පනාවල මාර්ගයේ මීටර් 600ක් පමණ ගමන් කළ යුතු යි. එවිට සීතාවක ගඟ ගලා යන අයුරු පේනවා. මෙතැන දී ගඟ අංශක 45ක කෝණයකට වක් වී ගලා බසිනවා. වම්පස උස්බිමෙහි පිහිටා ඇත්තේ සීතාවක මාලිගා බිම යි.  මෙහි ග‍ඟෙහි අනෙක් ඉවුරෙහි  නැමි සහිත ප‍ටු ස්ථානයකට වන්නට පිහිටා ඇති ගැඹුරු ස්ථානයකට තමයි කණමැදිරියන් වළ යන  නම ලබාදී තිබෙන්නේ. රිටිගහ ඇළ සීතාවක ගඟට එක්වන්නේ මෙතැනින්.

එහි ගඟේ ගැඹුරු වක්කලමක් නිර්මාණය වි පවතිනවා. ගඟේ පසින් ඉවුරට ඉහළින් භෛරන්ඩි කෝවිල පිහිටා තිබෙනවා. මෙම වක්කලම පිහිටි ස්ථානයේ ගං පතුලේ විශාල පර්වතයක් පවතින අතර එහි මැද වළක් ලෙසට හෑරී පවතිනවා. ගල් වළ ගඟේ ජලය නිසා පතුලේ පර්වතය දැක ගැනීමට අපහසු අතර ජලය බෙහෙවින් අඩු වූ ඉඩෝර කාලවල එය මතුවන බව යි පැවසෙන්නේ. ගල් වළෙහි දිග පළල වෙනස් වන අතර ගැඹුර ද තැනින් තැනට අසමාන යි. මෙහි භෛරන්ඩි කෝවිල පැත්තට ඇති කොටස දිගින් අඩි 52ක් වන අතර කැපුම් විවරයේ සිට ගැඹුරට රූටා යන ආකාරයට පර්වතය පිහිටා තිබෙන බව නිරීක්ෂණවලින් හෙළි වී තිබෙනවා.

 ගඟේ ගල් පව්වේ කොටා ඇති සිදුරු- seethawakapuraya.blogspot.com

මෙම ස්ථානයේ මාලිගාව දෙසට වන ඉවුරෙහි ගල්තලාව මත කොටා ඇති වළවල් ද දැකිය හැකි යි. අතීතයේදී මෙම ස්ථානය හරහා කෝවිල් බිමට යාමට පාලමක් තිබුණු බව පැවසෙනවා.   රාජසිංහ රජු රජ කිරුළ ලබාගැනීමට  තම පියා වූ මායාදුන්නේ රජු ඝාතනය කළ බවත්, එයට භික්ෂූන් වහන්සේලාගෙන් පළවූ විරෝධය හමුවේ අරිට්ඨකී වෙණ්ඩු පෙරුමාල්ගේ කතාවලට ඇහුම්කන් දී ශිව ආගම වැලඳගත් බවත් ජනප්‍රවාදයේ එනවා.  

රජුගේ කටයුතුවලට එරෙහි වූ භික්ෂුන් අතරින් හැට ඈදුත්තක් (120 නමක්) මෙම කණමැදිරියන් වළේ වක්කලමෙගි  ගිල්වා මරා දැමූ බව යි ජනප්‍රවාදයේ කියවෙන්නේ. ඒ අනුව ගණමැඩිවල  නමින් මෙතැන හැඳින් වූ අතර පසුකාලීන ව “කණාමැදිරියන් වළ ” යන නම ගැමියන් ලබා දී තිබෙන බව පේනවා.

 සුන්දර දසුන් මවමින් ගලනා නදිය- ගමන් සගයෝ facebook page

අවිස්සාවේල්ල- කෑගල්ල පාරේ දෙහිඕවිටින් හැරී ඇහැලියගොඩට යන මාවතක් තිබෙනවා.. මේ පාරේ කිලෝ මීටර් 7ක් ගමන් කළ  පසු හමුවන්නේ බටංගල ගම්මානය යි. බටංගල හන්දියෙන් හිඟුරලකන්ද පාරට හැරී තවත් කිලෝ මීටර් 3ක් ගිය පසු ව දංකොඹුව නම් පිටිසර ගම්මානයට ළඟා වෙනවා. සීතාවක නදිය ගලා යන්නේ දංකොඹුව කඩමණ්ඩියට පහළින්. මෙහි ගංඉවුරේ වක්කලමක් අසල පිහිටි පර්වතයක ඉරහඳ සලකුණු කොටා තිබෙනවා. මේ නිසා එතැන හඳුන්වන්නේ ඉරහඳපාන ගල කියලයි.

අඩි එකහමාරක් පමණ ප්‍රමාණයක දිගකින් යුක්ත ව මේ සලකුණු ගලෙහි යන්තම් මතු වන සේ කොටා තිබෙනවා. ඒවායේ වෙනත් සැරසිලි කිසිවක් නැහැ. ඉර ලෙසට වෘත්තයක් ද සඳ අඩසඳක් ආකාරයෙන් ද සලකුණු කර තිබෙනවා. මේ ගල වටා ගෙතුණු ජනප්‍රවාදයේ පැවසෙන්නේ දංකොඹුව නම් පුද්ගලයකු තමා සතු තිබූ විශාල මැණික් ගලක් රාජසිංහ රජුට පරිත්‍යාග කළ බවත් රජු  ඉන් සතුටට පත් ව ඉර හඳ පවතින තුරු ඔහුට හා ඔහුගෙන් පැවතෙන්නන්ට සීතාවක ගඟේ මාළු ඇල්ලීමේ අවසරය ලබා දී මේ ලාංජනය කෙට වූ බව යි. අපට නම් පේන්නේ මෙය ගමක මායිම්  දක්වන පැරණි කඩඉම් ලකුණක් විය හැකි බව යි.