Today Travelling :- 2022.05.12
සිංගප්පූරුවේ සැඟවුණු අවසන් ගම: ලොවැං බුවැංකොක්
වර්ග කිලෝමීටර 722ක් විශාල කුඩා දූපත් රාජ්‍යයක් වන සිංගප්පූරුව, මැලේසියාවට යාබදjයි පිහිටා තිබෙන්නේ. 1965 අගෝස්තු 9 වෙනිදා මැලේසියාව, සිංගප්පූරු ප්‍රාන්තය සිය රාජ්‍යයෙන් බලහත්කාරයෙන් ඉවත් කර දමනවා. ඒ, දුප්පත්කමේ ගිලී සිටින ප්‍රාන්තයකින් මැලේසියාවට වැඩක් නැති නිස යි.
දුප්පත් ගැමි සිංගප්පූරුව
රට නිදහස ලබන විට වැඩ කළ හැකි ජනගහනයෙන් 12% කට රැකියා තිබුණේ නෑ. බොහො වැසියන්ට නීත්‍යනුකූල ඉඩම් හා නිවාස තිබුණෙන් නෑ. රටේ නිසි අධ්‍යාපන ක්‍රමයක් ක්‍රියාත්මක වුණෙත් නෑ. ස්වාභාවික සම්පත් නැති නිසා සංවර්ධනය සිංගප්පූරුවට රටට සිහිනයක් බවට පත්ව තිබුණා. නිදහස් සිංගප්පූරු ජනරජයේ පළමු අගමැතිවරයා වූ ලී ක්වාන් යූගේ සැලසුම මත මේ රට කෙටි කලකින් ම ආසියාවේ විශාල නාගරික සංස්කෘතියක් සහිත රටක් බවට පත් වෙනවා.
රට පුරා පැවති පැල්පත් ඉවත් වී නවීන මහල් නිවාස ඉදිවෙනවා. දුප්පත්කම පලා යනවා. අද සිංගප්පූරුව තනිකර කොන්ක්‍රීට් වනාන්තරයක් බවට පත් වූ ආසියාවේ දියුණු දේශයක්. මේ නාගරික සංස්කෘතිය අතර හුදෙකලා වුණු ගම්මානයක් තවමත් තිබෙන බව ඔබ දන්නවා ද? එය සිංගප්පූරුවේ අවසන් ගම්මානය ලෙසයි හැඳින්වෙන්නේ. එහි නම කම්පොං ලොරොං බුවැංකොක්.
නගර අතර ගම
අහස උසට විහිදුණු අති නවීන මහල් නිවාස සහ වෙනත් ව්‍යාපාරික ගොඩනැඟිලි අතර පිහිටි මේ ගම සිංගප්පූරුවේ අතීතය සිහිපත් කරන සජීවී සිහිවටනයක් ලෙසත් වැදගත් වෙනවා. මැලේ භාෂාවෙන් "ගම" යන අරුත ඇති කම්පොං නමින් තමයි ගම හඳුන්වන්නේ. නවීන පහසුකම් රහිත එය මෑතක සිට සංචාරක ආකර්ශනය පවා දිනාගත් කුඩා බිම්කඩක් බවට පත් ව තිබෙනවා. ඊසානදිග සිංගප්පූරුවේ කාර්යබහුල යෝ චු කන්ග් මාර්ගයෙන් හැරී, මීටර් 300ක් පමණ දිගට දඟර ගැසෙමින් විහිදෙන දිගු ගුරු පාරක් දිගේ ගමන් කරන සංචාරකයන්ට අතීත හරිත තුරු වදුලු අතර අක්කර තුනක පමණ සශ්‍රික බිමක පැතිරුණු නිවාස සහිත ගම් මණ්ඩියක් දැකගත හැකි යි.
1960 පමණ අතීතයේ සිංගප්පුරු සමාජයේ නටබුන් ජීවමාන ව මෙහි දී විඳ ගත හැකි යි. මෙම ගම්මානය නූතන සිංගප්පූරුවේ නවීන පහසුකමින් සපිරි උස් ගොඩනැඟිලිවලින් සැදි දසුනට හාත්පසින් ම වෙනස් පින්තූරයක් මවා පායි. එහි පිහිටි අපිළිවෙළ කුඩා නිවාස පොකුර නගරයේ අතීතය විදහා දක්වන පැරණි පින්තූරයක් වැන්න.
ටකරන් සෙවිලි කළ වහලින් යුත් තනි තට්ටුවේ සාම්ප්‍රදායික ලී නිවාස 25ක් පමණ සුරෞ නම් මුස්ලිම් පල්ලිය වටා විසිරී පිහිටා තිබෙනවා. බොහෝ නිවෙස්වල ගෙවත්ත වටා ටකරන් තහඩුවලින් ම තැනූ ආවරණ දැකගත හැකි යි. අතීතයේ සිංගප්පූරුවේ තුරුගොමු සැරසූ අමතක වී ගිය කොට්ටම්බා, කොස් වැනි ගස් මේ බිමේ පල දරමින් නිදහසේ වැඩෙනවා. ගම මායිම් වන්නේ ඇළ මාර්ගයකට යි.
මේ නිවාසවල පදිංචිකරුවන් දැන් සිටින්නේ මහලු වියේ. ඔවුන් ඉස්තෝප්පුවලට වී ඈත විශාල ගොඩනැඟිලි දෙස බලා සිටීම සමාන්‍ය දසුනක් වෙලා. කුකුළු කූඩුවලින් නැගෙන කරච්චලය මෙන් ම ගස්වල සිටින රැහැයියන්ගේ ඝෝෂාවත් ගමේ දී අසන්නට ලැබෙනවා. මෙහි බදු නිවාසවල ජීවත්වන්නන් බහුතරය සේවය කරන්නේ අසල පිහිටි වුඩ්බ්‍රිජ් රෝහලේ සහ කම්හල්වල යි.
1970 ගණන්වල මුල්භාගය වන තෙක් ලොරොං බුවැංකොක් වැනි ගම්මාන සිංගප්පූරුව පුරා සෑම තැනක ම පැතිර තිබුණා. සිංගප්පූරුවේ ජාතික විශ්වවිද්‍යාලයයේ පර්යේෂකයන් ඇස්තමේන්තුගත කරන්නේ ගම්මාන 220ක් පමණ රට පුරා විසිරී තිබූ බව යි. අද වන විට, අවට දූපත්වල ගම්මාන කිහිපයක් ඉතිරි ව තවමත් පැවතුණත් ප්‍රධාන ගොඩබිමේ ඇති අවසාන ගම්මානය ලොරොං බුවැංකොක් ලෙස සැලකෙනවා.
ගමේ උපත
වර්ෂ 1956 දී චීන තෙල්බෙහෙත් වෙළෙන්දකු වන තියෙව් කූන් වටිනාකමක් නැති මුඩුබිමක් සේ සැලකුණු තැනක ඉඩමක් මිලදී ගත්තා. ඔහු එහි කුඩා නිවසක් තනා පදිංචි වූ අතර තවත් නිවාස තනා කුලියට දීම ආරම්භ කළා. වර්ෂ 1960 වනවිට පවුල් 40ක් පමණ මේ කුඩා ගමේ පදිංචි ව සිටියා. කලින් වගුරු බිමක් ලෙස පැවති මේ බිම්කඩ අධික වැසි සමයේ දී ගංවතුරටත් යට වුණා. මෙහි විශාලත්වය වර්ග මීටර විසි එක් දහස් හාරසිය හැටක් 21460ක් වෙනවා. විදුලිය, ජලය සැපයීම සහ කසළ එකතු කිරීම රජය මගින් සිදු කරනවා. තැපැල්කරුවෙක් දිනකට වරක් ගමට පැමිණෙනවා.
ගම් වනසමින් නගරය පැතිරේ
සිංගප්පූරුව 1980 ගණන්වල දී සීඝ්‍රයෙන් නාගරීකරණය වන්නට පටන් ගත්තා. දුර්වල කෘෂිකාර්මික ආර්ථිකයක සිට අධික ලාභ උපයන කාර්මික ආර්ථිකයට වේගයෙන් සංක්‍රමණය වුණා. ජනාකීර්ණ කඩසාප්පු හා ඒ මත පිහිටි නිවෙස් වෙනුවට උස් මහල් නිවාස සහ අහස සූරන සිංගප්පූරු දූපතට ඉඩම්කඩම් හිඟ වූ බැවින් ව්‍යාප්ත වන මහා නගරයට ඉඩ දීමට ග්‍රාමීය ගම්මානවලට සිදුවුණා.
රජයේ නැවත පදිංචි කිරීමේ වැඩසටහනක කොටසක් ලෙස සාම්ප්‍රදායික ගම්මාන සියගණනක් ඩෝසර්කර, කෘෂිබිම් වනසා ගස්වැල් කපා දමා, මහා ගොඩනැඟිලි ඉදිකිරීම සිදුවුණා. ගම්වාසීන් ඔවුන්ගේ පැරණි නිවාස මත රජය ඉදිකළ සහනාධාර මහල් නිවාසවලට ගාල් කෙරුණා. අද සිංගප්පූරු වැසියන්ගෙන් 80%කට වැඩි පිරිසක් නාගරික ජනගහනයක් බවට පත්ව මෙම ගොඩනැඟිලිවල වාසය කරනවා.
ලොරොං බුවැංකොක් බිම්කඩ අනෙක් ගම්මාන මෙන් අතීතයේ දී අත්පත් කර ගැනීමට පමා වුණේ ඒ අවට ප්‍රදේශය සිංගප්පූරුවේ වෙනත් ස්ථානවල මෙන් වාණිජ, කාර්මික, සහ නේවාසික සංවර්ධනය සඳහා එතරම් සුදුසු නොවූ නිසයි. නමුත් මේ වනවිට ඒ ගම්මානයට යාබදව මහල් නිවාස පොකුරු ඉදිව අවසන්.
ගම අයිති කාන්තාව
ගම පිහිට වූ තියෙව් කූන්ගේ දියණිය සූන්ග් මුයි හොංට දැන් අවුරුදු 70ක් වයස යි. ඇය මේ ගම ආරක්ෂා කිරීමට කැපවූ තැනැත්තියක්. ඇගේ මුළු ජීවිතය ම පාහේ ගතකර ඇත්තේ මේ ගමේදි යි. ඇයට සොයුරු සොයුරියන් සිව්දෙනෙක් සිටිනවා. අනෙක් සොයුරන් ගමෙන් පිට ව රැකියා සහ නිවාස සොයා ගියත් පියාගේ ගමෙහි නැවතුණු එකම තැනැත්තිය ඇය යි.
ඇයට පාරම්පාරික චීන වෙදකම ගැන දැනුමක් ද තිබෙනවා. එම දැනුමින් ඇය අසල්වැසියන්ට වෙදකම් කරනවා. ඉඩම් හිඟය නිසා පියාගේ දේපලක් වන ලොරොං බුවැංකොක් ගම මිල දී ගැනීමට බලාපොරොත්තු වන ඉහළ නිලධාරින්ගෙන් වගේම ව්‍යාපාරිකයන්ගෙන් ද අඩුවක් නම් නැහැ. ඇය ඒ මිල මත පදනම් වුණු පොරොන්දු වලට නම් තවමත් නැවී නැහැ. පියාට මරණ මංචකයේ දී ලොරොං බුවැංකොක් ආරක්ෂා කර ගන්නා බවට ඇය දුන් පොරොන්දුව කඩ නොකිරීමේ අධිෂ්ඨානයක ඇය සිටිනවා.
2014 දී, ලොරොං බුවැංකොක් ඩෝසර් කර ඒ හරහා අධිවේගී මාර්ගයක්, පාසල් දෙකක්, සහ පොදු උද්‍යානයක් පිහිටුවීමට යෝජනාවක් ඉදිරිපත් ව තිබුණා. නමුත් සූන්ග් මුයි හොංගේ විරෝධය මත පසුව ඒ යෝජනා හකුළා ගැනීම සිදුවුණා. පැරණි දේවලට ආදරය කරන විශාල පිරිසක් ද ගම ආරක්ෂා කිරීමේ වැදගත්කම ගැන කතා කළා. මෙයට සමාන වපසරියක ඉඩමක පිහිටි ගම්මානයක් මෑතකදී ආණ්ඩුව මිලදී ගෙන ඇත්තේ සිංගප්පූරු ඩොලර් මිලියන 381කට වැඩි මුදලකට යි.
නාගරික පරිසරයක සරල ජීවිත
නාගරික පරිසරයක සරල ජීවිත ගෙවන ලොරොං බුවැංකොක් ගම්මානය යුනෙස්කෝ ලෝක උරුමයක් බවට පත්කරන ලෙසත් ජනතාව ඉල්ලීම් ඉදිරිපත් කළා. මෑතක් වන තෙක් සිංගප්පූරු ආණ්ඩුව ගම්මාන සමතලා කරමින් කොන්ක්‍රීට් වනාන්තර ඉදිකරමින් දියුණුවේ සිහින රාජ්‍යයක් කරා යොමු ව සිටිය ද මෑතක සිට ගම්මානවල අගය වටහාගත් නිලධාරින් ද ආණ්ඩුවේ සිටිනවා. පැරණි සිංගප්පූරුවේ ජීවිතය කෙබඳු දැයි වටහා ගැනීමට මෙවැනි තැන්වලින් වන්නේ විශාල සේවයක්. රට අද පවතින තත්ත්වයට පැමිණියේ කෙසේ දැයි අලුත් පරම්පරාවට අවබෝධ කර දීමට මෙවැනි ගම්මාන ඉවහල් වෙන බව ජනතාවගේ අදහස යි.
රටේ අඩු ම කුලිය
අද වන විට මේ ගමේ පවුල් 28ක් පදිංචි ව සිටිනවා. ඒ චීන පවුල් 18ක් සහ මැලේ පවුල් 10ක් වශයෙන්. මුල් ම කාලයේ මෙහි පැමිණ පදිංචි වූ පැරණි බදුකරුවන්ගේ පරම්පරාවන්ගෙන් පැවත එන බොහෝ දෙනෙක් තවමත් මෙහි වාසය කරනවා. මුල් කාලයේ සෑම නිවසක ම මාසික කුලිය ලෙස අය කර ඇත්තේ සිංගප්පූරු ඩොලර් 4.50ත් 30ත් (රු. 944 - රු. 6300) වැනි මුදලක්.
එම කුලී මුදල පැරණි මුදලට වඩා විශාල ලෙස අදත් ඉහළ ගොස් නැහැ. යාබද සුපරි මහල් නිවාසවල මාසික කුලිය ඩොලර් දහස් ගණනක් දක්වා ඉහළ ගිහින්. කුලිය අවම වුණත් අලුත් පදිංචිකරුවන්ට නම් මේ ගමට පැමිණීම ලේසි නැහැ. එයට හේතුව නිවසක් හිස්වීම සඳහා නිවැසියා ඉන් ඉවත්ව යෑම හෝ මරණය සිදුවිය යුතු නිසා යි.
සංචාරක ආකර්ශනය
නවීන පහසුකම් නැති මේ කුඩා ගමේ ගුරුපාරවල්වල ඇවිදිමින් කුඩා ටකරං පියසි සහිත ගෙවල්වල, හරිත ගෙවතුවල ගතකරන සරල ජීවිතය දැකගැනීමට දැන් සංචාරකයන් අතර ඉල්ලුමක් ඇති වෙලා. මේ වනවිට එහි තිබෙන නිවාස 25 ම කුතුහලයෙන් පිරි සංචාරකයන්ගේ සංචාරක ආකර්ශන ස්ථාන වෙලා අවසන්. බොහෝ සංචාරකයන් පැමිණ ලොව ඉහළ ම ජනාකීර්ණ හා නාගරීකරණය වූ රටක සැඟ ව තිබෙන කුඩා ගැමි ජීවිතයක ආස්වාදය සේයාරුවට නඟන්නට කැමැත්තක් දක්වනවා.