ක්‍රිස්තු පූර්ව 6 වැනි සියවසේ දී පමණ ප්‍රභවය වූ බුදු දහම අද වන විට ලෝකයේ මිලියන 520කට අධික පිරිසකගේ ආගම යි. ඒ අනුව එය ලෝක ජනගහනයෙන් 7%කට ආසන්න පිරිසකගේ ආගම බවට පත් ව තිබෙනවා. ලොව ප්‍රධානත ම ආගම් අතර සිවු වැනි තැනෙහි ලා සැලකෙන්නේ ද බුද්ධාගම යි. බෞද්ධ ආගමිකයන්ගෙන් 99%ක් ම ජීවත් වන්නේ ආසියා කලාපයේ බව සඳහන් වෙනවා. ඒ නිසා සම්බුදු තෙමඟුල සමරන වෙසක් උත්සවය ආසියා කලාපයට ඉතා වැදගත් සංස්කෘතික උත්සවයක් බවට පත් ව තිබෙනවා.
වෙසක් සමරන ආසියාව
ශ්‍රී ලංකාවේ හැරුණු විට ඉන්දියාව, නේපාලය, ටිබෙටය, බංගලිදේශය, භූතානය, ඉන්දුනීසියාව, සිංගප්පූරුව, තායිලන්තය, කාම්බෝජය, ලාඕසය, මැලේසියාව, මියැන්මාරය, මොන්ගෝලියාව, පිලිපීනය, ජපානය, චීනය, උතුරු කොරියාව, දකුණු කොරියාව, තායිවානය, වියට්නාමය ආදී රටවල බෞද්ධයන් විශාල වශයෙන් වෙසෙනවා. ඒ ඒ රටවල ජනයා වෙසක් උත්සවය සමරන්නේ ඔවුන්ගේ සංස්කෘතීන්ට අනුකූල ව යි. වෙසක් හඳුන්වන්නට භාවිත කරන වචන ද ඒ ඒ රටවල එකිනෙකට වෙනස්. වෙසක් සැමරුම කරන දින ද ඒ අනුව වෙනස් වෙනවා.
“වෙසක්” යන මූලික වදන විවිධ භාෂාවලින් ව්‍යවහාරයට නැඟෙන්නේ එකිනෙකට වෙනස් ස්වරූපවලින්. ජපාන බසින් “වෙසාඛ” යනුවෙන් ද, ලාඕ බසින් “වික්සාඛා බොවුක්සා” යනුවෙන් ද එය හැඳින්වෙනවා. චීන බසින් “වෙයිසායි ජී” යනුවෙන්ද, හින්දි බසින් “වයිසාඛ පූර්ණිමා” යනුවෙන් ද, ඉන්දුනීසියා බසින් “හරි රියා වයිසාක්” යනුවෙන් ද පැවසෙනවා. කාම්බෝජයේ වෙසක් හැඳින්වෙන්නේ ඛමෙර් බසින් “විසාක් බොචෙයා” යනුවෙනු යි. මැලේ බසින් “හරි වෙසක්” යනුවෙන්ද, තායි බසින් “විසාඛා බුචා” යනුවෙන් ද එය හැඳින්වෙනවා.
ජපානයේ වෙසක්
ජපානයේ පැතිර තිබෙන්නේ මහායාන බුද්ධාගම යි. වර්ෂ 2019 සංඛ්‍යාලේඛන අනුව එරට සිටින බෞද්ධයන්ගේ සංඛ්‍යාව මිලියන 84. 8ක්. ඔවුන් බුදු හිමියන්ගේ උපත සමරමින් තමයි වෙසක් උත්සවය පවත්වන්නේ. එම උත්සවය හඳුන්වන්නේ හනා මත්සුරි හෙවත් පුෂ්ප උළෙල කියල යි. ප්‍රසිද්ධ නිවාඩු දිනයක් නොවන අප්‍රේල් 8 වැනි දින ඒ සඳහා වෙන් කර තිබෙනවා.
සිදුහත් කුමරු උපන් දා අහසෙන් මතු වූ මකරකු උන් වහන්සේ හඳුනා නොගත් පැළෑටියක් නිස්සාරණයෙන් ලබා ගන්නා යුෂ මඟින් සැකසූ ‘සෝම’ නම් පානයෙන් නහවන ලද බවට ජපානයේ පුරාවෘත්තයක් තිබෙනවා. හනා මත්සුරි වචනය තැනී ඇත්තේ ඒ ජන කතාව පදනම් කරගෙන යි.
වෙසක් දිනයේ දී ජපානයේ සෑම පන්සලක් ඉදිරිපිට ම බුදු රුවක් සහිත පුදසුනක් තනා තිබෙනු දකින්න පුළුවන්. බැතිමතුන් එය නොයෙකුත් පැහැයෙන් යුතු මලින් සරසනවා. බිළිඳු සිදුහත් කුමරුගේ ප්‍රතිමාවක් ‘අමාචා’ නමින් හඳුන්වන හයිඩ්‍රේන්ජියා පැළෑටියෙන් නිපදවන ඖෂධීය තේ පානයෙන් නැහැවීම ද තවත් සිරිතක්.
මහමායා දේවිය දුටු සිහිනය සංකේතවත් කරනු පිණිස රථයක් මත සුදෝසුදු හස්තියකගේ අනුරුවක් ඉදි කිරීම ද ජපනුන් සිදු කරනවා. වීදි, සාප්පු, නිවාස සහ පන්සල් මල්වලින් අලංකාර ලෙස සැරසීම වෙසක් උළෙලේ අංගයක්. ළමයින් මල් සැරසිලිවලින් සැරසී සාම්ප්‍රදායික ජපන් ඇඳුම් හැඳ සතුටින් වෙසක් දිනය ගත කරනවා.
ඉන්දියාවේ බුද්ධ පූර්ණිමා
ඉන්දියාවේ වෙසක් දිනය හඳුන්වන්නේ බුද්ධ පූර්ණිමා යනුවෙන්. බුදුදහම හා සම්බන්ධ පුරාණ විහාර රාශියක් පිහිටි ඉන්දියාවේ ජීවත්වන බෞද්ධයන්ගේ සංඛ්‍යාව මිලියන 8.4ක්. එරට වැඩි ම බෞද්ධ ජනගහනයක් සිටින්නේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයෙ යි. කාශ්මීර ලඩාක්, ඊසාන දිග ඇසෑමය, සිකිම් දේශය ඇතුළු තවත් පළාත් ගණනාවක බෞද්ධ ජනයා වාසය කරනවා. පසුගිය 2019 දී ලඩාක් වෙන ම බෞද්ධ ප්‍රාන්තයක් ලෙසත් ඉන්දීය රජය ප්‍රකාශයට පත් කළා. ලඩාක් කියන්නේ උතුරු ඉන්දීය දේශ සීමාවට මායිම්ව උස් කඳුකරයේ පිහිටි ඉතා සුන්දර ප්‍රදේශයක්. ඔවුන් ගේ ඇදහීම් සහ චාරිත්‍ර වාරිත්‍ර ආදියේ පැහැදිලි වෙනස්කම් දැක ගැනීමට ලැබෙනවා.
ශ්‍රී ලංකාවේ මෙන් ථෙරවාද බෞද්ධ ආගම අදහන පිරිස ඉන්දියාවේ අඩු යි. ඉන්දියානු රජය බෞද්ධයින් වැඩි පළාත්වලට බුද්ධ පූර්ණිමා දවස නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තියෙනවා. වෙසක් දවසට ඉන්දීය බෞද්ධයන් තමන්ට ආසන්න ව පිහිටි වෙහෙර විහාරස්ථාන කරා යනවා. භික්ෂුන් වහන්සේට දාන මාන ආදිය පූජා කිරීමත්, ධර්ම ශ්‍රවණ පිංකම්වලට දායක වීමත් එදින සිදු කරනවා. ලංකාවේ මෙන් වෙසක් තොරණ නම් එහි දකින්නට ලැබෙන්නේ නැහැ. වඩාත් භක්තිමත් බෞද්ධයන් වෙසක් මාසය පුරා ම සත්ව මාංශයෙන් තොරවීමේ උපවාස ශීල ආරක්ෂා කරනවා. සමහරුන් කූඩුකර සිටින සතුන් නිදහස් කිරීම ආදී චාරිත්‍ර ද බුද්ධ පුර්ණිමා උත්සවයේ දී ඉටු කරනවා.
තායිලන්තයේ විසාක බුචා
තායි රටේ දී වෙසක් උත්සවය හඳුන්වන්නේ විසාක බූචා කියලා. එරට ජනගහනයෙන් සියයට 93ක් ම ථෙරවාදී බෞද්ධයන්. තායිලන්තයේ රාජ්‍ය ආගමත් බුද්ධාගම යි. එරට සිටින භික්ෂුන් වහන්සේගේ සංඛ්‍යාව ලක්ෂ තුනක් පමණ වෙනවා. ලංකාවේ මෙන් මැයි මාසයේ දි වෙසක් සමරන තායිලන්තයට එදින නිවාඩු දිනයක්. 2022 අවුරුද්දේ මැයි 15 දා අපත් සමඟ ම තායිලන්තය වෙසක් පෝය සමරනවා. එම පූජනීය දිනයේ දී කඩසාප්පු, අවන්හල සහ රෙස්ටොරන්ට් ද වසන අතර මත්පැන් අලෙවිසල් ද වැසීම සිරිතක්.
රජයේ සියලු ම කාර්යාල සහ බොහෝ පෞද්ගලික ආයතන ද වෙසක්වලට නිවාඩු දෙනවා. සියලු ම පාසල්වල සහ ආයතනවල වෙසක් සමරමින් බෞද්ධ කොඩි ප්‍රදර්ශනය කිරීමත් දැකගත හැකි යි. බුද්ධ චරිතයේ ආගමික සිද්ධි නැවත ස්මරණය කරනා චිත්‍ර පුවරු තැන් තැන්වල ප්‍රදර්ශන කිරීමත්, මහා මාර්ග අලංකාර ලෙස සැරසීමත් තායිලන්තයේ සිදු කරනවා. එදිනට ශ්‍රී ලංකාවේ ජනයා පෙහෙවස් සමාදන් වෙනවා මෙන් තායි ජනතාව ද භාවනා ආදී පෝය වැඩසටහන්වලට දායක වෙනවා.
නේපාලයේ බුද්ධ ජයන්ති
බුදුන් වහන්සේ උපන් ලුම්බිනිය නේපාලයේ පිහිටා තිබුණත් එරට බෞද්ධ ජනගහනය නම් සියයට 10.7ක් පමණ යි. නේපාලයේ වෙසක් උත්සවය හඳුන්වන්නේ ‘බුද්ධ ජයන්ති’ කියල යි. බුදුන් උපන් දවස ලෙස සමරන වෙසක් උළෙල 2022 දී යෙදී ඇත්තේ මැයි 16වැනි දාට යි. එරට වෙසක් උත්සවය අතිශය උත්කර්ෂවත් අන්දමින් සමරනවා. ඒ සිදුහත් කුමරු උපන් ස්ථානය වන ලුම්බිනියේ දී සහ නේපාලයේ ඇති ප්‍රකට විහාරයක් වන වන ස්වායම්භු පන්සලේදි යි. නේපාලයේ ප්‍රසිද්ධ නිවාඩු දිනයක් වන වෙසක් පොහොය දිනයේ දී බොහෝමයක් බැතිමතුන් කත්මණ්ඩු නිම්නයේ පිහිටි ස්වායම්භු විහාරයට එක් රැස්වීම සිරිතක්. එම විහාරයේ ප්‍රධාන දොරටුව විවෘත කරන එක ම දිනය වන්නේ ද වෙසක් පොහොය දිනය යි.
නේපාලයේ වෙසක් උළෙල ආගමික උත්සවයකට වඩා ජාතික උත්සවයක ස්වරූපය ගන්නා බව පේනවා. එරට බෞද්ධ නොවන අනෙකුත් ආගමිකයන් ද වෙසක් සැමරීම සිදු කරනවා. නේපාල බෞද්ධයන් සහ වෙසක්වලට කැමති බොහෝ දෙනා උදෑසනින් ම පන්සලට ගොස් පහන්, සහල්, මුදල් සහ මල් පූජා කරනවා.
ටිබෙටයේ කඳුකර වෙසක්
ටිබෙට් රටේ අදහන්නේ මහායාන බුදුදහම යි. වෙසක් හඳුන්වන්නේ සකා දාවා නැතිනම් සගාදාවා ලෙස යි. එම දිනය ටිබෙටියානු කැලැන්ඩරයේ සිව් වැනි මාසයේ 15 වැනි පුර හඳ දිනය සේ සැලකෙනවා. සකා යන්නේ අරුත මාසය වන අතර දාවා යනු පොළොවට ළඟ ම තරුව යන්න යි. වෙසක් කාලයට ටිබෙට් රටට මේ තරුව පැහැදිලිව දැක ගත හැකි යි.
ටිබෙට් බෞද්ධයන් ද එදිනට කඳු පර්වත අතර පිහිටා ඇති පූජනීය විහාර සහ පූජනීය ස්ථාන වැඳ පුදා ගැනීමට යනවා. විහාර මෙන් ම මහා විල්, හිම කඳු ආදියත් ඔවුන් සමහර අවස්ථාවල දී පූජනීය ස්ථාන සේ සලකා වන්දනාමාන කරනවා. වෙසක් දිනයට දාන මානාදිය පිරිනැමීම, සත්ව ඝාතනයෙන් වැලකීම, මත්පැනින් වැලකීම, මෙන්ම ලිංගික කටයුතුවලින් ඈත්වීමත් ටිබෙට් බෞද්ධයන්ගේ සිරිතක්. එදින ශබ්ද පූජා සහ පෙරහර පැවත්වීමත් දැක ගත හැකි යි. ඊට අමතර ව කොඩි වැල්, කොඩි කනු ආදියත් සගා දාවා දවසේ දි සිටුවා අවට සැරසීම සිරිතක්.
ඉන්දුනීසියා වෛසාක්
1983 වසරේ සිට වෙසක් දිනය ඉන්දුනීසියාවේ ප්‍රසිද්ධ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශ කර තිබෙනවා. එරට බෞද්ධ ජනගහනය මිලියන 1.7ක් පමණ යි. වෛසාක් නමින් තමයි එරට වෙසක් හඳුන්වන්නේ. වෙසක් දිනයට පෙර දින පන්සල්වලට යන ඉන්දුනීසියානු බෞද්ධයන් බුදුන්ට මල් පහන් පුදා පසුදින වෙසක් උළෙල උත්සවශ්‍රීයෙන් සමරනවා.
වෙසක් පොහොය දිනය ඉතාමත් උත්කර්ෂවත් ලෙස සමරන්නේ ජාවා දූපතේ බෝරෝබුදුර් නම් පුරාණ නටබුන් සහිත විහාරස්ථානයේ දී යි. එම ස්ථානයට රටේ සිටින දහස් ගණනක් බෞද්ධ භික්ෂූන් වහන්සේලා එක් රැස් වී පිරිත් සජ්ඣායනය කිරීම සහ භාවනා කිරීම සිදු කරනවා. ඒ අතර බෞද්ධයන් ද දහස් ගණනින් වෙසක් දවසට මේ විහාරයට පැමිණෙනවා. බුදුන් වහන්සේගේ නිහතමානී බව දැක්වීමට භික්ෂුන් වහන්සේ පිරිත් පැන් බඳුන්වලට පැන් පිරවීම ද, සිදුහත් තවුසන් බුද්ධත්වයට පත් වීම සංකේතවත් කරමින් එක් ස්ථානයක සිට තවත් ස්ථානයකට ගිනි දැල් රැගෙන යාම වැනි චාරිත්‍ර ද ඉටු කිරීම සිදු කරනවා. වෙසක් දිනයේ දී භික්ෂූන් වහන්සේලා පිණ්ඩපාතයේ වැඩීම ද ඉන්දුනීසියාවේ නගර හා ගම්වලදී සුලබ ව ඇස ගැටෙන දසුනක්.