*වැව් ගැන කතා🌊
🫐 කැකිරාව වැව.
ඒ දුටුගැමුණු රජුගේ පාලන සමයයි .ගොවිතැනින් ජීවත් වූ ගැමියෙක් එක් දිනක් ඇවිදමින් සිටියා. එසේ ඇවිදමින් සිටින අතර හේනේ කුරහන් ගස් කිහිපයක් තැලී පොඩි වී තිබෙනු දුටුවා. ගැමියා ඒ කුමක් නිසා දැයි සොයා බැලුවා. ඔහු දුටු දෙයින් විස්මයට පත්වුණා .ඒ වගේම කණගාටුවට ද පත් වුණා. විශාල නාගයකු සමඟ මුගටියන් දෙදෙනකු සටන් කරමින් සිටියා. ගොවියාට නාගයා ගැන අනුකම්පා හිතුනා. ඔහු මුගුරකින් ගසා මුගටියන් පන්නා දැමුවා. ගැමියා අසල තැනකින් වතුර ගෙනවිත් නාගයාට පොවා සත්කාර කළත් එදා රෑ ගොවියා පැල් රැකීමට හේනට ගියා. ටික වෙලාවකින් අඳුර අතරින් එළියක් විහිදෙනු ගැමියා දුටුවා. ගැමියා ඒ ගැන සෝදිසි කළා දුටු දෙයින් ඔහු පුදුමයට පත්වුණා.කැකිරි ගෙඩියක් තරම් මැණිකක් නයා සිටි තැන තිබෙනු දුටුවා . එළිය විහිදුණේ එයින්. ගැමියා මේ පුදුම පුවත දුටුගැමුණු රජතුමාට දන්වා සිටියා .රජතුමා කැකිරි මැණික බැලීමට හේනට ආවා. මැණික දුටු රජතුමා අප්‍රමාන සතුටට පත්ව මැණික තිබූ තැන වැවක් තැනවීමට තීරණය කළා. එම වැව කැකිරාව වැව නමින් නම් කළා . එළාර රජු සමඟ සටනින් පසුව දුටුගැමුණු රජතුමා ස්වර්ණමාලී චෛත්‍ය ඉදි කරවා කැකිරි මැණික එහි නිදන් කළා.
🫐 හල්මිල්ල වැව.
කලා වැවට ආසන්නව බෙර වාදනයෙහි දක්ෂ බෙරකරුවන් පිරිසක් ජීවත් වුණා. මේ බෙර වාදකයන් ට පෙරහර සඳහා නිතර නිතර ආරාධනා ලැබුණා. දිනක් ගම්වැසියෙක් බෙර වාදනයට පිටත්ව ගියා. ඒ අතරමගදී රජතුමා මහ පෙරහැරින් වඩිනු දුටුවා බෙර කරුවා පෙරහැරට ඉඩදී පාරෙන් ඉවත් වුණා . රජුගේ පෙරහැරේ ගමන් කළ හේවායෙක් අසුපිට ගමන් ගනීද්දීම බෙරයට පයින් ඇන්නා. බෙර වයන්නා ට කේන්ති ගියා. ඔහු අභින පදයක් වැයුවා. එම බෙර වාදනය අසා සිටිය වුන් ඉබේටම නටන්න පටන් ගත්තා. මේ ඇසූ රජතුමා එතැනට දුවගෙන ගියා. ඔහු මෙතරම් මනරම් ලෙස බෙර වයන්නේ කෙසේදැයි කල්පනා කළා. බෙර වාදනයෙන් සතුටු වූ රජතුමා රහසේම ඒ ගමට ගියා.ඒ අවස්ථාවේදී බෙරවාදකයෝ ගුරුන්නාන්සේ කෙනෙකු සමඟ හල් මිල්ල කැලයට වැදී බෙර වාදනය පුරුදු වෙමින් සිටියා. ඒ දුටු රජතුමා පැහැදී හල්මිල්ල යාය ඔවුනටපවරාදී වැවක් ද තනවා දුන්නා බෙරවාදකයෝ ඒ වැවේ දිය ගෙනවිත් ගෙනැවිත් ගොවිතැන් කළා.හල්මිල්ල යායේ හැදූ වැව හල්මිල්ල වැව යනුවෙන් ප්‍රකට වුනා.
🫐 කනදරා වැව.
කනදරා වැවත් මහසෙන් රජුගේ ම වාරි කර්මාන්තයකි. මහසෙන් රජතුමා කනදරා ඔය හරස් කොට බාණුවාපි නමින් වැවක් ඉදි කළා . ජනයා මේ වැව කණා වැව කියා හැඳින්වූවා. දිනක් මහ වැසි ඇද හැලී වැව පිරුණා. වැවේ සිටි කණයෙකු සොරොව්වේ සිර වුණා .ඒ කණයා ඉවත් කිරීමට කිසිවකුත් ඉදිරිපත් වුණේ නැත. මේ නිසා අණ බෙරයක් යැවීමට රජුට සිදු වුණා. අණබෙරය කණ වැකුණු කනදරා රාළ මේ කනයා ඉවත් කිරීමට බාර ගත්තා. වැව අසළට පැමිණි කනදරා රාළ වැවට බැසීමට සූදානම් වුණා .ඒ සඳහා ඔහු තවත් කෙනෙකු සහභාගි කරවා ගත්තා. වැවේ කිමිදී කණයා කපා ඉවත් කළ පසු තමා ගොඩගන්නැයි මිතුරාට පවසා වැවට බැස්සා . කනදරා රාල වැවේ කිමිදී කණයා කපා ඉවත් කළා .නමුත් මිතුරා ඔහු ගොඩට ගත්තෙ නැහැ. කනදරා රාළ සැඩපහරට ගසාගෙන ගියා. සියල්ල අවසානයේ තමා විසින් කනයා කපා ඉවත් කළ බව පවසමින් මිතුරා රජුගෙන් තෑගි බෝග ලබාගත්තා .පසු කාලයක කනදරා රාල ගසාගෙන ගිය වැව කන්දරාව ලෙස ප්‍රකට වුණා .
🫐 ගෝණපතිරාව වැව.
ධාතුසේන රජතුමා වාරි කර්මාන්තය සදහා විශේෂ දායකත්වයක් සැපයූ රජ කෙනෙකු ලෙස ප්‍රකටයි එතුමාගේ කාලයේ දී රජතුමාට මල් සැපයූ තැනැත්තකු සිටියා. ඔහු හැඳින්වූයේ කඩයිම් රාළ ලෙසය. ඔහු ජීවත් වුණේ කඩඉම් ගල ග්‍රාමයේය. කඩඉම් රාල රැගෙන එන මල් අතරේ රතු නෙළුම් මල් ද තිබුණා. ඒ රතු නෙළුම් මල ඇති තැන දැකීමට රජතුමා ආශා කළා. රජතුමා කාටත් රහසේ කඩඉම් රාළගේ ගමට ගියා .රතු නෙළුම් මල් මල් පිපී තිබුණු තැන දුටුවා රජතුමා එතැනට යන වෙලේ ගෝනකු වතුර බිබී සිටියා. ගෝනා උස් හඩින් නාද කලා. සුන්දරත්, දසුනත්, නාදයත් නිසා රජතුමා බොහෝ සේ ප්‍රීතියට පත් වුණා රජතුමා ඒ ඉසවුවේ වැවක් තනවන්නට කල්පනා කළා ඒ රාජකාරිය කඩයිම් රාලට ම පැවරුවා. ඔහු එය හොඳින් ඉටු කළා. හැමදාම වැව අසල ගෝනුන් ප්‍රතිරාව කළ නිසාම ඒ වැව ගෝනපතිරාව වැව ලෙස නම් කරා .
🫐 ඌරු සිටා වැව
මහානාග රජු ට මනරම් මල් උයනක් තිබුණා. දිනක් ඌරු රංචුවක් පැමිණ මේ උයන විනාශ කළා .කෝපයට පත් රජු ඌරු රැලේ අයිතිකරු අල්ලා ගන්නා ලෙස අණ කළා. රාජපුරුෂයන් ඔහු අල්ලා ගත්තා. කිසිදිනක මිනිසුන් ඇසුරක් නොතිබුණු ඔහු කැලේ ම හැදී වැඩුණු අයෙක්. ඒ නිසා ඔහුට කතා කිරීමට හැකියාවක් තිබුණේ නෑ. ඔහු කතා කිරීමට දැන සිටියේත් නැහැ. ඒ නිසා කතා කතාකරන්නට පුරුදු කරන්නට රජතුමාට සිදුවුණා. ඒ සඳහා බොහෝ කාලයක් ගත වුණත් මේ කාලය අතරතුර දී රජතුමාගේ කෝපයත් සංසිඳුණා. මේ තැනැත්තාට කතා කිරීමට හැකි වූ පසු රජතුමා ඔහුගෙන් තොරතුරු විමසා සිටියා. ඔහු කැලේ වතුර රැස් වී ඇති තැනක් ගැන විස්තර කළා .මේ පුවත ඇසූ රජතුමා එතන වැවක් ඉදි කොට ඔහුට පරිත්‍යාග කළා. වැවේ දියවර උපකාරයෙන් වගා කළ ඔහු ටික කලකින් ධනවතෙකු බවට පත්වුණා පත්වුණා. ඉන් පසුව මේ තැනැත්තා ඌරු සිටුවරයා ලෙස ප්‍රසිද්ධ වුණා. පසු කාලයකදී රජතුමා ඔහු හා උරණ වුණා. වැව විනාශ කරන්නට කටයුතු කළා . මේ නිසා දුකට පත් සිටුවරයාත්,දේවියත් , වැවට පැන දිවි නසා ගත්තා. එදා සිට මේ වැව ඌරුසිටා වැව නමින් හැදින්වුවා.
🫐 රන්තිසා වැව.
මහසෙන් රජු මිනිසුන්ගේ ආදරයටත් ගෞරවයටත් පත්වූ බලසම්පන්න රජකෙනෙක්. රජතුමාට සොහොයුරන් දෙදෙනෙක් හිටියා වැඩිමල් සහෝදරිය බිසෝ මැණිකා ලෙසත් බාල සොහොයුරිය ටිකිරි මැණිකා ලෙසත් හැඳින්වුණා. බිසෝ මැණිකා කුමරිය ප්‍රාදේශීය නායකයකු සමග විවාහ වී හිගුරක්ගල ප්‍රදේශයටත්, ටිකිරි මැණිකා කුමරිය වැදි නායකයෙකු සමග විවාහ වී සීරිගිට ආසන්නයේත් පදිංචි වුණා. හිගුරක්ගල බණ්ඩාර පුත් කුමරුවන් මින්නේරි වැව රැකගැනීමට ජීවිතය පූජා කළ නිසා බිසෝ මැණිකා කුමරියට ගම් වැසියන් බොහෝ සේ ගෞරව කලා . ඇය ජනයා එක් රැස් කරවා කවුඩුල්ල ප්‍රදේශයේ වැවක් ඉදි කරන්නට පටන් ගත්තා. ඒ වැව රන්තිසා වැව ලෙස නම් කරා.මහසෙන් රජු ඉදිකළ මින්නේරිය වැවට වඩා කවුඩුල්ල වැව ප්‍රමාණයෙන් විශාල නිසා බිසෝ මැණිකා කුමරිය ආඩම්බරයට පත් වුණා. අයියා මින්නේරිය කියලා නෑඹිලියක් හැදෙව්වා. මම ඒ නෑඹිලියේ දාන්න පුළුවන් කොරහක් හැදෙවුවා යැයි උඩගුවෙන් කියා සිටියා. මේ පුවත ඇසූ රජතුමා කෝපවී මිත්‍ර යක්ෂ පිරිසකගේ සහය ලබාගෙන රන්තිසා වැව කඩා දැමීමට කටයුතු කළා.යක්ෂයන් මුවන්ගේ වේශයෙන් පැමිණ වැවේ වෑ කන්ද විනාශ කර දැම්මා. බිසෝ මැණිකා කුමරිය මේ සිදුවීම සිහිනෙන් දුටුවා .ඇය කෑ ගසා ගසාගෙන වැව් ඉස්මත්තට දිව ගියා. ඒ වන විටත් වැවට විශාල ලෙස හානියක් සිදුවී තිබුණා. වාවා ගත නොහැකි වූ තැන කුමරිය වැවට පැන දිවි නසා ගත්තා. මේ පුවත ඇසූ මහසෙන් රජතුමාට සොහොයුරිය ගැන දුක හිතුනා. දුරදිග නොබලා කළ ක්‍රියාව ගැන කම්පා වුනා. වරද නිවැරදි කර ගැනීමට සිතූ රජතුමා මින්නේරිය වැවේ සිට සැතපුම් හයක් පමණ දිග ඇළක් කප්පවා රන්තිසා වැව ඊට සම්බන්ධ කළා. බිසෝ මැණිකා කුමරිය දේවතාවක්ව ඉපද ඇතැයි විශ්වාස කළ ද, රජතුමා ඇය වෙනුවෙන් බිසෝ බණ්ඩාර දේවාලය ඉදි කළා. පසුව රන්තිසා වැව කවුඩුල්ල වැව ලෙස හදුන්වන්න ගත්තා.