ඔබට මම ඇත්තක් කියන්නම් :)
සමහර දවස් වලට වැඩත් එක්ක ලිවීම කරනවා කියන්නේ හරිම අමාරූ වැඩක්. වැඩ ඉවර වෙලා ගෙදර ආවම එක්කෝ නින්ද යනවා. නැත්නම් කා එක්ක හරි එලියට යන්න හිතෙනවා. එහෙත් දවසට පැයක් හරි දෙකක් මම අනිවාර්යෙන්ම ලියන නිසා මට මොනම විදියකින් හරි ඒක කරන්නත් ඕන..
එහෙත් කෝ ඒකට ශක්තියක් -
මම ඒකට ශක්තිය ගන්නවා ඉර්ෆාන්ගෙන්...
මේක හරි දුක්බර කතාවක්...
ඉර්ෆාන් මිය ගියේ මීට අවුරුදු කිහිපයකට කලින්. 2018 දී. එදා හිදන් අද වෙනකන්ම මේ ජායාරූප මගේ පරිඝනකයේ තියෙනවා.. මට මහන්සී හිතුන වෙලාවට, ලියන්නම බැහැයි කියලා හිතුන වෙලාවට මම කරන්නේ ඉර්ෆාන්ගේ මේ පින්තුර දිහා බලන එක.
මේ පින්තූර ඔබටත් මතක ඇති, මේක පලවුනේ "තනි ඇගිල්ලෙන් පොත් තුනක් ලියපු කී බෝඩ් වීරයා" කියන මාතෘකාව යටතේ.
ඒ තමයි ඉර්ෆාන්, අවුරුදු හතරේ සිට ඔහු Muscular Dystrophy කියන රෝගයෙන් පීඩා විදිනවා.. අවුරුදු 18 දී සම්පූර්නයෙන්ම පේෂී අක්‍රීය වීම නිසා ඔහු යන්ත්‍රයක ආධාරයෙන් ජීවත් වෙන්න පටන් ගන්නවා. එහෙම ජීවත් වෙන කාලේ ඔහුට යාන්තමට හරි සොලවන්න හැකිවෙලා තියෙන්නේ ඔහුගේ "දබර ඇගිල්ල" විතරයි.
ඉතින් ඉර්ෆාන් ඔහුගේ ශරීරයේ පන තිබුනු "ඒ ඇගිල්ලෙන්" පොත් ලියන්න පටන් ගන්නවා. මුලින්ම ඔහු පොත් ලියන්න පටන් ගන්නේ පරිඝනකයෙන්, එහෙත් ඒකටත් වාරු නැතිවෙද්දි ඔහු දුරකථනයෙන් පොත් ලියනවා, පන තියෙන එකම ඇගිල්ලෙන් යතුරු පුවරුව ඔබ ඔබා, ඉර්ෆාන් හෆීස් පොත් තුනක් ලියනවා. ඒ පොත් මුද්‍රන වාර දෙක තුන ඉක්මවා ගොස් ලෝකයේම ජනප්‍රිය වෙනවා.
Silent Struggle
Moments of Merriment
Silent Thoughts
එහෙත්... ඒ පොත් තුනම ලියලා අවසන් වෙලා හතර වෙනි පොතත් ලියමින් සිටියදී ඉර්ෆාන් ජීවීතයෙන් සමුගන්නවා.
ඉතින්... මට මොනවද අඩු.... ? ඔබට මොනවද අඩු?
ලියන්න ආස කරන අපිට ඇත්තටම මොනවද අඩු?
ඔබව අධෛර්යමත් වෙන හැම මොහොතෙම - මොහොතකට හිතන්න !
c@මුතුමුදලිගේ නිශ්ශංක