- ජපානයට ගිහින් සරුවට වවන ලංකාවේ උදාරා 🌼🍏🍆🍒🍊🍇🍌🥦🥒












 - ජපානයට ගිහින් සරුවට වවන ලංකාවේ උදාරා 🌼🍏🍆🍒🍊🍇🍌🥦🥒


සූරූපී, සුකොමල ඇය නූතන කාන්තාවන්ට ආදර්ශයක් වූයේ අනේක කැප කිරීම් මධ්‍යයේය. මේ අප කියන්නට යන්නේ ගෙවිලිය යන වදනට අලු‍ත් පරිච්ඡේදයක් එකතු කළ ජපානයේ නරාහි අසූකාවල පවත්වාගෙන යන ‘ටර්ටල් ෆීට් ෆාම්’ (Turtle Feet Farm) හි හිමිකාරිය වන උදාරා සංකල්පනී නම් ලාංකික තරුණ කාන්තාවගේ ජීවිත දිනුම ගැනය.

හෙක්ටයාර භාගයක සිදු කරන තමාගේ වගාව වෙනුවෙන් ඇය යන්ත්‍ර සූත්‍රවලින් පස සකස් කරනුයේ තනිවමය. තනිව ඇය ඒවා හරි හරියට ක්‍රියාත්මක කරනුයේ ධෛර්යසම්පන්න ලෙසිනි. උසස් අධ්‍යාපනය සඳහා ජපානයට ගොස් කාටවත් කරදරයක් නොවී, තමන්ගේ පාඩුවේ වැඩ කරගෙන, ලංකාවේ නාමයටත් කීර්තියක් ලබා දී වර්තමානයේ ජපානයේ ඉන්න සාර්ථක ව්‍යසායිකාවක් වීමේ ගමන් මග ඇය විස්තර කළේ මෙසේය. 


“හැරිලා බලද්දී වැඩ ගොඩාක් කරපු දිග ගමනක් වගේ පෙනුණාට ඇත්තෙන්ම වසර 15යි මම ජපානයට ඇවිත්. අවුරුදු 22 දී තමයි මම ජපානයට ආවේ. මම කෑගලු‍ බාලිකා විද්‍යාලයේ උසස් පෙළ සඳහා ජපන් භාෂාව තෝරාගනු ලැබුවා. අමතර පන්ති ගැන හෝඩුවා දෙකක් ලැබිලා දෙකටම කෝල් කරලා දෙකටම ගියා. දෙන්නම ජපන් ජාතික ගුරුවරු. එක් ගුරුවරියකගේ පන්තියට මට සහභාගි වෙන්න ලැබෙන්නෙ මාසයයි, ඇය ආපසු ජපානයට යන නිසා. පසුව මම අනෙක් ගුරුතුමිය ළඟට දිගටම ජපන් ඉගෙන ගන්න ගියා. උසස් පෙළ ඉවර වෙලාත් දිගටම යනවා. ඔළුවෙ තිබුණේ වෙන රටකට යන්න විතරමයි. දාපු යුනිවර්සිටි එකට තේරිලා 2006 දී ජපානෙට එනවා. එතකොට මට විසිදෙක ලබන්න හිටියේ. දෙවැනි වසරේදී මගේ ජපන් ජාතික මිතුරෙක් හමුවෙනවා සිංහල කතා කරන. ඔහු පසු කාලීනව මගේ සැමියා. මම වැඩිදුර ඉගෙන ගත්තේ සංචාරක ප්‍රවර්ධනය පිළිබඳ විෂයයන්.” 


“මගේ සැමියා ලංකාවේ වසරක කාලයක් සිටිය කෙනෙක්. ඒ නිසා සිංහල දන්නවා. ඔහු 2007 දී මුලින්ම මා හමු වූ අවස්ථාවේදී ඔහු අත් එකතු කරලා ආයුබෝවන් කිව්වා. මම ඉතින් පුදුම වුණා සිංහල කතා කරන ජපන් ජාතිකයෙක් නිසා. පසු කාලීනව වසර තුනකට පසු අපි විවාහ වුණා. දෙපාර්ශ්වයෙන්ම කැමැත්තක් වැඩිය නොතිබුණත් පසු කාලීනව කැමැත්ත ලැබෙනවා. 2010 දී මගේ පුතා ලැබුණා. ගෙදරට වෙලා ඉන්න කම්මැලි නිසා රැකියාවක් කරනවා. පුතා ඉපදෙන්න ඉන්නකොට තමයි මම ජපන් භාෂාවෙන්ම විභාගයට පෙනී සිට ලයිසන් එක ගන්නේ. ඒ නිසා කිරි සහ යෝගට් දේවල් වගේ නිවෙස්වලට ඩිලිවරි කරන රැකියාවට යනවා. රෝද තුනේ පිටිපස්සට කූල් බොක්ස් එකක් බැඳගත්ත බයික් එකක් ඒක. ඒ රැකියාවට යන්න කලින් ඒ යෝගට් සහ අඩංගු දේ පිළිබඳ ඉ‌ගෙන ගන්න ඕනෑ. ශරීරයට හිතකර බැක්ටීරියා ඉන්න විශේෂ යෝගට් පානයක් ඒක. ක්‍ෂුද්‍ර ජීවීන් ගැන බොහෝ දේ ඉ‌ගෙන ගත්තා. ජපානයේ කල් තබාගත් ආහාරවලට අතීතයේ සිටම විශේෂ තැනක් හිමි වෙනවා.” 


“නිරන්තරයෙන්ම මගේ සැමියා විවිධ තරාතිරමේ රැකියාවලට මාව උනන්දු කළත් මම එකකටවත් කැමැති වුණේ නෑ. රජයේ රැකියාත් ඒ අතර තිබුණා. ඔහොම ඉන්නකොට තමයි නැවතත් අපි ජීවත් වෙන ප්‍රාන්තයට අදාළ රජයේ කෘෂිකර්ම ඒකකයෙන් කෘෂිකර්මයට කැමැති තරුණ පිරිස ඒ සඳහා යොමු කරවන එක්තරා පුහුණුවක් සම්බන්ධයෙන් මගේ සැමියා මට දැන්වුවේ. මම ඒකටත් අනිත් ඒවාට වගේම අකැමැත්ත ප්‍රකාශ කළා. නමුත් ඔහුගේ සිහිනයක් තිබුණා කවදා හෝ ඔහුගේ රැකියාවෙන් විශ්‍රාම දිවියට ගියාම කෘෂිකර්මය කරන්න ඕනෑ කියලා.”


“කොහොම හරි ඔහු මාව බලෙන්ම අයැදුම් කරවනවා. ඉන්ටවීව් එක දවසේ ඔහු උදේට වැඩට යන්න කලින් අද අහවල් වෙලාවට අහවල් තැනට යන්න කියලා කියනකොට තමයි මටත් තේරුණේ මගෙන් නාහා බලෙන්ම අයැදුම් කරලා කියලා. කොහොම වුණත් අවසාන මොහොතේ වෙලාව ළංවෙත්ම නොදැනුවත්වම සූදානම් වෙලා සහභාගි වුණා. ඒ දවස නම් අමතක වෙන්නෙ නෑ. මොකද උසාවියක් ඉදිරියේ වගේ ටයිකෝට් දාගත්ත නිලධාරීන් 15ක් විතර ඉස්සරහා එකම එක පුටුවක් මට තිබුණා ඉඳගන්න. අනේ මන්දා ඒ බය වුණු පාරට මොනවා ඇහුව ද මොනවා උත්තර දුන්න ද කියලා මට මතක නෑ. මට මතක අවසානයේ මම හරිත වර්ණ ගස්වලට ආසයි කියලා කීවා මතකයි. හරියට හීනයක් වගේ. ටික දවසකින් ගෙදරට එනවා ලියුමක් මම ඉන්ටවීව් එකෙන් තේරුණා කියලා.”


“අකැමැත්තෙන් වුණත් යන්න වෙනවානේ. හරි එහෙනම් කියලා මාස තුනේ කෙටි කාලීන පුහුණුවට ගියා. ඒ කෙටි කාලීන පුහුණුවෙන් පස්සේ තමයි ඇත්තටම මේ ක්ෂේත්‍රයට යනවා ද නැද්ද, වවන බෝග මොනවා ද කියලා තමන් තීරණය කළ යුත්තේ. එ් නිසා මේ කෙටි කාලීන පුහුණුව මට වෙනස් වෙන්නට විශාල රුකුලක් වුණා.” 


“මෙම කෙටි කාලීන පුහුණුව කෘෂිකර්ම දෙපාර්තමේන්තු හා සම්බන්ධ ආයතන සහ වෙළෙඳ ස්ථාන, ආහාර නිෂ්පාදන ආයතන වගේම, සාර්ථක අසාර්ථක වගා බිම් නැරැඹීමට රැගෙන යාම වගේම පස සැකසීම, බීජ තවන් දැමීමේ සිට පැළ සිටුවීම, ඵලදාව නෙළීම, ඒවා ඇසුරුම්වල ඇසිරීම, විකිණීම, ඒ වගේම කෘෂිකර්ම උපකරණ භාවිතය, ට්‍රැක්ටරය, අත්ට්‍රැක්ටරය, තණකොළ කැපීමේ උපකරණ මේ වගේ සෑම දෙයක්ම කෙටියෙන් මාස තුනක් ඇතුළත රජයේ වියදමින් උගන්වනවා. ඉතින් මේ අවස්ථාවේදී තමයි මට අස්පරා ගස් කියන බෝගය ගොවි මහත්තයකුගේ වගා බිමේදී දැකලා මගේ හිත වශී වෙන්නේ කිව්වොත් නිවැරැදියි. ඇත්තටම අකැමැත්තෙන් ගිය මම ඉතාම සතුටින් උද්‍යෝගයෙන් ගෙවපු මාස තුනක්. එදා මම තනිවම තීරණය කරනවා වවන බෝග සහ මගේ සිහින ගොවි​පොළ. මම තනිවම කාටවත් නොකියා එයට නමකුත් දාගන්නවා Turtle Feet Farm කියලා. කොහොම හරි මෙම මාස තුනෙන් පසුව තමා වවන බෝගය තීරණය කර, තවත් වසරක පුහුණුවක් ප්‍රසිද්ධ ගොවි මහතකු යටතේ නිම කළ යුතුයි. එතකොට මගේ පුතාට වයස අවුරුදු පහයි. පුතා පෙරපාසලට ඇරලවා මම වැඩට යන්න ඕනෑ. උදේ 8 සිට පස්වරු 5 වෙනකම් වැඩ කරන්න ඕනෑ. දවස් 6ක් වැඩ කළ යුතුයි.” ඇය කියා සිටින්නීය. 


“එතැන මාස නවයක කාලයක් විවිධ එළවළු වර්ග වවනවා. බීජ වපුරනවා. විශාල තැනක් නිසා හරිම කාර්යබහුලයි. අපිත් යන්ත්‍ර වගේ වැඩ කරන්න ඕනෑ. අස්පරා ගස් ගොවියකුගේ ළඟ මාස 3ක් සේරම වසරක් පඩි නොමැතිව ඉගෙන ගන්නවා. ඉ‌ගෙන ගන්නවා කියනවාට වඩා වැඩ කරනවා කිව්වොත් නිවැරැදියි. කෘෂිකර්මය කියලා කියන්නේ මොළයට වඩා ශරීරයෙන් ඉගෙන ගන්න විෂයයක්. මොකද මම එහෙම කිව්වේ කරන බොහෝ වැඩ පැය ගණන් එකම ඉරියව්වෙන් එකම වැඩයේ යෙදෙන අවස්ථා වැඩියි. ඒ නිසා මොළයට වඩා අත, ශරීරය හුරු කරගන්නයි අවශ්‍ය වෙන්නේ. ඉතින් සියලු‍ම පුහුණුව අවුරුදු එකයි මාස 3 අවසානයේ මම මගේ සැලැස්මක් හදනවා. මේ සැලැස්ම වසර 5ක සැලැස්මක්. මේ සඳහා අනිවාර්යයෙන්ම රජයේ නිලධාරීන්ගේ සහයෝගය ලැබුණා. මගේ කියලා උදැල්ලක්වත් නෑ මම ආරම්භ කරන විට. එ් නිසා අවශ්‍ය උපකරණ සහ හැමදේම ලිස්ට් එකක් හදනවා.”


“කතුර, උදැල්ලේ සිට ට්‍රැක්ටරය, ග්‍රීන් හවුස් දක්වා හැමදේම ලයිස්තුගත කරනවා. ඉන් පසුව වසර 5ක සැලැස්මක් හදනවා. වසරෙන් වසර ආදායම පවා දළ වශයෙන් ගණනය කරනවා. වවන බිම් ප්‍රමාණය, බෝගය, ගන්න අස්වැන්න, ඵලදාව, දළ වශයෙන් මිල ගණන්, වියදම, ආදායම මේ සියල්ලම වසර 5ක විශාල සැලසුමක් හදනවා. ඉන් පසුව තමයි මගේ සිහින ගොවිපොළ කලඑළි දැක්කේ.” යැයි ද ඇය පැවැසුවාය. 

ජපානයේ ‘නරා’ ප්‍රදේශයේ අක්කර කිහියක් පුරා පවතින සරුසාර ගොවි බිමක් වූ ඇයගේ ටර්ටල් ‌ෆීට් ගොවිපොළේ ආරම්භය හා වර්තමාන තත්ත්වය ගැන උදාරා කියා සිටියේ මෙවැන්නකි. 


“මම මුලින් නම් විශාල ප්‍රමාණයක වගා කළා. නිවෙසේ කටයුතුත් සමබරව කළ යුතු නිසා බොහෝ දුරට මම වගා කටයුතු අඩු කළා නමුත් තවමත් සැලකිය යුතු ප්‍රමාණයක් වගා කරනවා. මගේ ප්‍රධාන බෝගය තමයි අස්පරා ගස්. බ්‍රොකොලී, නිවිති, රොමේන් ලෙටස්, තට්සොයි වගා කරනවා. 50mx7m හරිතාගාර දෙකක අස්පරා ගස් වවලා තියෙනවා. දැනට හෙක්ටාර් බාගයට මඳක් අඩු ප්‍රමාණයක් තනිවම පාලනය කරනවා. මම අස්පරා ගස් ග්‍රීන් හවුස් කිහිපයක් ඉදිරියේදී වැඩි කරන්නට තීරණය කර තිබෙනවා. දැනට ආරම්භක සැලැස්මට අනුව වැඩ කටයුතු ඒ අයුරින්ම කෙරීගෙන යනවා.” 


ඇය තමා නිෂ්පාදනය කරන කෘෂි බෝග අතරින් ජපාන වෙළෙඳපොළට හඳුන්වා දී ඇති ලාංකික ආකාරයට නිෂ්පාදනය කරන ‘නිවිති දාපු පරිප්පු කරිය’ට මේ වනවිට ජපන් සමාජයෙන් ලැබන්නේ ඉතාම ඉහළම ප්‍රතිචාරයකි. නිවිති බෝගය ජනප්‍රිය නැති ජපානයේ එය ප්‍රචලිත කිරීම හිතන තරම් ලෙහෙසි පහසු කාර්යයක් නොවේ. නමුත් ඒ අභියෝගය ද උදාරා සාර්ථකව ජය ගත්තාය. 


“ගොවිතැන ආරම්භ කරද්දී මගේ සැලැස්මේ නිවිතිය කියලා බෝගයක් තිබුණේ නැහැ. ඇත්තම කියනවා නම්, මම ගමේ අය සමඟ නිවිතිය වවන්නන්ගේ සංගමයට සහභාගි වෙලා එයාලත් එක්ක නිවිතියත් වගා කරන්න තීරණය කළා. නිවිති කියන්නේ ඇත්තටම ජපානෙ අය අතර වැඩි ප්‍රසිද්ධියක් නැති එළවළුවක්. ඒ රසට ඔවුන් වැඩිය ප්‍රියමනාප නැහැ. නිවිතිය නොදන්නා අය වැඩියි. ඒ නිසා මුලින්ම අපි කළේ නිවිතිය ගැන මිනිසුන්ට දැනගන්නට සැලැස්වීම. අපේ නිවිති ප්‍රොජෙක්ට් එකෙන් නිවිති යොදා කරන නිෂ්පාදන ගොඩක් හඳුන්වලා දුන්නා. නිවිති ශාබට් අයිස් ක්‍රීම්, නිවිති නූඩ්ල්ස්, නිවිති යොදා සෑදූ සුප් වගේ දේ. ලංකාවේ අපිට නිවිතිය කියලා කිව්වොත් මතක් වෙන්නේ අපේ නිවිතිය පරිප්පු කරිය තමයි. එයින් මම නිවිතිය පරිප්පු කරිය නිෂ්පාදනය කරන්න සැලසුම් කළා. නිවිතිය වගාව සහ නිවිතිය පරිප්පු කරිය මගේ වසර පහේ සැලසුමේ කොටසක් නොවුණත් එය සාර්ථක කරගන්න අපට හැකි වුණා.” යැයි ද ඇය කියා සිටිනුයේ නිහතමානී ලෙසිනි. 

උදාරා වැනි තරුණ ලාංකික කාන්තාවක් ජපානය වැනි දියුණු රටක ජීවිතය ජය ගැනීම මහත් අභියෝග රැසක් මැද ලබාගත් එකක් විය. ඒ ගමන සුව පහසු නැත.


උපුටා ගැනීමකි

Post a Comment

Hi! Thank You For Visit Our Web site

Previous Post Next Post

Contact Form