🏵️ අංග අටකින් යුත් උපෝසථ සීලය සමාදන් වීම 🏵️
එක් සමයක භාග්‍යයවතුන්වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයේ වැඩවසන සේක.
එකල්හි, බුදුරජාණන්වහන්සේ භික්ෂූන් වහන්සේ අමතා මෙසේ වදාල සේක.
මහනෙණි , අංග අටකින් යුත් උපෝසථ සීලය සමාදන් වීම මහත්ඵල ඇත්තේ වෙයි, මහත් අනුසස් ඇත්තේ වෙයි. මහත් බැබලීම් ඇත්තේ වෙයි. මහත් පැතිරීම් ඇත්තේ වෙයි.
මහනෙණි , කෙසේ සමාදන් වන උපෝසථ සීලයද මහත්ඵල ඇත්තේ, මහත් අනුසස් ඇත්තේ , මහත් බැබලීම් ඇත්තේ, මහත් පැතිරීම් ඇත්තේ ?
මෙහිලා ආර්ය ශ්රාවකයා මෙසේ නුවණින් සළකයි.
1. දිවිඇති තාක් රහතන්වහන්සේලා ප්‍රාණඝාතයෙන් වැලකී සිටින සේක. දඬුමුගුරු අත් හැර , අවි ආයුධ අත් හැර, ලැජ්ජා ඇතිව, දයාවෙන් යුත්තව, සියලු සතුන් කෙරෙහි හිතානුකම්පීව වසන සේක.
මමත් මේ රාතියත්, මේ දහවලත් (ඒ කියන්නේ පැය 24 කාලයක්) මමත් ප්‍රාණඝාතයෙන් වැලකී සිටිමි. දඬුමුගුරු අත් හැර , අවි ආයුධ අත් හැර, ලැජ්ජා ඇතිව, දයාවෙන් යුත්තව, සියලු සතුන් කෙරෙහි හිතානුකම්පීව වාසය කරමි.
මම මේ අංගය සමාදන්වීමෙන් රහතන්වහන්සේලා අනුව යමි. මා විසින් උපෝසථයද වසන ලද්දේය.
2. රහතන්වහන්සේ දිවි ඇතිතාක් සොරකම අතහැර සොරකමින් වැලකී සිටින සේක. දුන් දේ පමණක් ගන්නා දුන්දේ පමණක් ගන්නට කැමති වන, සොර රහිත වූ පිරිසිදු වූ සිතින් යුතුව වාසය කරන සේක.
මමත් අද මේ රාත්‍රියත් මේ දහවලත් සොරකම අතහැර සොරකමින් වැලකී සිටිමි. දුන් දේ පමණක් ගන්නා දුන්දේ පමණක් ගන්නට කැමති වන, සොර රහිත වූ පිරිසිදු වූ සිතින් යුතුව වාසය කරමි.
මම මේ අංගය සමාදන්වීමෙන් රහතන්වහන්සේලා අනුව යමි. මා විසින් උපෝසථයද වසන ලද්දේය.
3 දිවි ඇතිතෙක් රහතන්වහන්සේලා අබ්රහ්මචාරී බව ඇතහැර බ්‍රහ්මචාරී ව වසය කරන සේක. ලාමක දෙයක් වන මෛථුන සේවනයන් වැළකී වාසය කරන සේක.
මමත් මේ රාත්‍රියත්, මේ දහවලත් අබ්රහ්මචාරී බව ඇතහැර බ්‍රහ්මචාරී ව වසමි. ලාමක දෙයක් වන මෛථුන සේවනයන් වැළකී වාසය කරමි.
මම මේ අංගය සමාදන්වීමෙන් රහතන්වහන්සේලා අනුව යමි. මා විසින් උපෝසථයද වසන ලද්දේය.
4. රහතන්වහන්සේලා දිවි තිබෙන තුරාවට......
මමත් මේ රාත්‍රියත් මේ දහවලත් බොරු කීමෙන් වැලකී සිටිමි.
සත්‍ය වචන පවසන, ඇත්තෙන් ඇත්ත ගලපා පවසන, ස්ථිර වචන ඇති, ඇදහිය යුතු වචන ඇති, ලොව නොරවටන වචන පවසමි.
මම මේ අංගය සමාදන්වීමෙන් රහතන්වහන්සේලා අනුව යමි. මා විසින් උපෝසථයද වසන ලද්දේය.
5. රහතන්වහන්සේලා දිවි තිබෙන තුරාවට......
මමත් මේ රාත්‍රියත් මේ දහවලත් මත්පැන්, මත්ද්‍රව්‍ය භාවිතයෙන් බැහැර වෙමි.
මම මේ අංගය සමාදන්වීමෙන් රහතන්වහන්සේලා අනුව යමි. මා විසින් උපෝසථයද වසන ලද්දේය.
6. රහතන්වහන්සේලා දිවි තිබෙන තුරාවට......
මමත් මේ රාත්‍රියත් මේ දහවලත් පුරාවට පෙරවරුවෙහි පමණක් ආහාර ගනිමින් , රාත්‍රි භෝජනයෙන් තොරව, නොකල්හි ආහාර ගැනීමෙන් වැලකී සිටිමි.
මම මේ අංගය සමාදන්වීමෙන් රහතන්වහන්සේලා අනුව යමි. මා විසින් උපෝසථයද වසන ලද්දේය.
7. රහතන්වහන්සේලා දිවි තිබෙන තුරාවට......
මමත් මේ රාත්‍රියත් මේ දහවලත් පුරාවට නැටුම්, ගැයුම්, වැයුම්, විකාර දේ නැරඹීම්, මල් සුවඳ විලවුන් දැරීම්, විසිතුරු වස්ත්‍රාභරණයෙන් සැරසීම් ආදියෙන් වැලකී සිටිමි.
මම මේ අංගය සමාදන්වීමෙන් රහතන්වහන්සේලා අනුව යමි. මා විසින් උපෝසථයද වසන ලද්දේය.
8. රහතන්වහන්සේලා දිවි තිබෙන තුරාවට......
මමත් මේ රාත්‍රියත් මේ දහවලත් පුරාවට වටිනා සුඛෝපභෝගී ආසන අත් හැර, ඇඳක හෝ පැදුරක හෝ බිම සැතපෙමි.
මම මේ අංගය සමාදන්වීමෙන් රහතන්වහන්සේලා අනුව යමි. මා විසින් උපෝසථයද වසන ලද්දේය.
මහනෙණි , මේ අංග අටෙන් යුත් උපෝසථ සීලය සමාදන් වීම මහත්ඵල ඇත්තේ වෙයි, මහත් අනුසස් ඇත්තේ වෙයි. මහත් බැබලීම් ඇත්තේ වෙයි. මහත් පැතිරීම් ඇත්තේ වෙයි.
(සංඛිත්ත අට්ඨාංගුපෝසථ සූත්‍රය- අ.නි 5)
මහනෙණි , අංග අටකින් යුත් උපෝසථ සීලය සමාදන් වීම මහත්ඵල ඇත්තේ වෙයි, මහත් අනුසස් ඇත්තේ වෙයි. මහත් බැබලීම් ඇත්තේ වෙයි. මහත් පැතිරීම් ඇත්තේ වෙයි.
මහනෙණි කොපමණ මහත්ඵල ඇත්තේ වෙයිද? , කොපමණ මහත් අනුසස් ඇත්තේ වෙයිද ? කොපමණ මහත් බැබලීම් ඇත්තේ වෙයිද ? කොපමණ මහත් පැතිරීම් ඇත්තේ වෙයිද ?
මහණෙනි එය මෙබඳු දෙයකි. මේ සොළොස් මහා ජනපදයන්හි බොහෝ සත් රුවන් ඇතිව, ඉසුරුමත් බවත්, අධිපති බවත් ඇතිව රාජ්‍ය කරවන්නේ වෙයිද, මෙය අෂ්ටාංග උපෝසථය සමාදන්වීමෙන් ලැබෙන විපාකයන්හි සොළොස් කලාවෙන් එක් කලාවක්වත් නොවටියි. ඒ මක් නිසාද යත්, මිනිස් ලොව රජ සැප දිව්‍ය සැප හා සසදා බලද්දී ඉතා දිළිඳු ය.
මහණෙනි , මිනිස් ආයුෂයෙන් 50 වසරක් චාතුර්මහාරාජික දෙවියන්ගේ එක් දිනකි. එයින් 30 ක් මාසයකි. මාස 12 ක් අවුරුද්ද කි. එවැනි දිව්‍ය වර්ෂ 500ක් චාතුර්මහාරාජික දෙවියන්ගේ ආයුෂ වෙයි.
යම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් අෂ්ටාංග උපෝසථ සීලය ආරක්ෂා කොට කය බිඳී මරනින් මතු චාතුර්මහාරාජික දෙව්ලොව උපදින්නේය යන කරුණ සිදුවන දෙයකි.
මහණෙනි , මේ කරුණ පවසන ලද්දේ මිනිස් ලොව රජ සැප දිව්‍ය සැප හා සසදා බලද්දී ඉතා දිළිඳු නිසාය.
මහණෙනි , මිනිස් ආයුෂයෙන් 100 වසරක් තව්තිසා දෙවියන්ගේ එක් දිනකි. එයින් 30 ක් මාසයකි. මාස 12 ක් අවුරුද්ද කි. එවැනි දිව්‍ය වර්ෂ 1000ක් තව්තිසා දෙවියන්ගේ ආයුෂ වෙයි.
යම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් අෂ්ටාංග උපෝසථ සීලය ආරක්ෂා කොට කය බිඳී මරනින් මතු තව්තිසා දෙව්ලොව උපදින්නේය යන කරුණ සිදුවන දෙයකි.
මහණෙනි , මේ කරුණ පවසන ලද්දේ මිනිස් ලොව රජ සැප දිව්‍ය සැප හා සසදා බලද්දී ඉතා දිළිඳු නිසාය.
මහණෙනි , මිනිස් ආයුෂයෙන් 200 වසරක් යාම දෙවියන්ගේ එක් දිනකි. එයින් 30 ක් මාසයකි. මාස 12 ක් අවුරුද්ද කි. එවැනි දිව්‍ය වර්ෂ 2000ක් යාම දෙවියන්ගේ ආයුෂ වෙයි.
යම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් අෂ්ටාංග උපෝසථ සීලය ආරක්ෂා කොට කය බිඳී මරනින් මතු යාම දෙව්ලොව උපදින්නේය යන කරුණ සිදුවන දෙයකි.
මහණෙනි , මේ කරුණ පවසන ලද්දේ මිනිස් ලොව රජ සැප දිව්‍ය සැප හා සසදා බලද්දී ඉතා දිළිඳු නිසාය.
මහණෙනි , මිනිස් ආයුෂයෙන් 400 වසරක් තුසිත දෙවියන්ගේ එක් දිනකි. එයින් 30 ක් මාසයකි. මාස 12 ක් අවුරුද්ද කි. එවැනි දිව්‍ය වර්ෂ 4000 ක් තුසිත දෙවියන්ගේ ආයුෂ වෙයි.
යම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් අෂ්ටාංග උපෝසථ සීලය ආරක්ෂා කොට කය බිඳී මරනින් මතු තුසිත දෙව්ලොව උපදින්නේය යන කරුණ සිදුවන දෙයකි.
මහණෙනි , මේ කරුණ පවසන ලද්දේ මිනිස් ලොව රජ සැප දිව්‍ය සැප හා සසදා බලද්දී ඉතා දිළිඳු නිසාය.
මහණෙනි , මිනිස් ආයුෂයෙන් 800 වසරක් නිම්මානරති දෙවියන්ගේ එක් දිනකි. එයින් 30 ක් මාසයකි. මාස 12 ක් අවුරුද්ද කි. එවැනි දිව්‍ය වර්ෂ 8000 ක් නිම්මාණරති දෙවියන්ගේ ආයුෂ වෙයි.
යම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් අෂ්ටාංග උපෝසථ සීලය ආරක්ෂා කොට කය බිඳී මරනින් මතු නිම්මාණරති දෙව්ලොව උපදින්නේය යන කරුණ සිදුවන දෙයකි.
මහණෙනි , මේ කරුණ පවසන ලද්දේ මිනිස් ලොව රජ සැප දිව්‍ය සැප හා සසදා බලද්දී ඉතා දිළිඳු නිසාය.
මහණෙනි , මිනිස් ආයුෂයෙන් 1600 වසරක් පරිනිම්මිත වසවත්ති දෙවියන්ගේ එක් දිනකි. එයින් 30 ක් මාසයකි. මාස 12 ක් අවුරුද්ද කි. එවැනි දිව්‍ය වර්ෂ 16000 ක් පරිනිම්මිත වසවත්ති දෙවියන්ගේ ආයුෂ වෙයි.
යම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් අෂ්ටාංග උපෝසථ සීලය ආරක්ෂා කොට කය බිඳී මරනින් මතු පරිනිම්මිත වසවත්ති දෙව්ලොව උපදින්නේය යන කරුණ සිදුවන දෙයකි.
මහණෙනි , මේ කරුණ පවසන ලද්දේ මිනිස් ලොව රජ සැප දිව්‍ය සැප හා සසදා බලද්දී ඉතා දිළිඳු නිසාය.
ගාථා
1. සතුන් නොමරන්නේය, නුදුන් දෑ නොගන්නේය, බොරු නොකියන්නේය, මද්‍ය පානය නොකරන්නේය. අබ්රහ්මචාරී බවෙන් දුරු වන්නේය. විකල් බොජුන් නොවළඳන්නේය.
2. මල් නොපළදින්නේය. සුවඳ විලවුන් නොගල්වන්නේය. කැපවූ ඇඳක හෝ බිම පැදුරෙහි හෝ සැතපෙන්නේය. මෙය දුකෙහි නිමාවට පැමිණි බුදුරජුන් විසින් වදාරණ ලද අංග අටකින් යුතු උපෝසථයවෙයි.
3. මේ සඳත් හිරු ත් යන දෙදෙන සොඳුරු දැකුම් ඇතිව යම්තාක් දිලෙමින් හැසිරෙද්ද එසේ හැසිරෙන අඳුර දුරලන ඒ සඳ හිරු දෙදෙන දිශා බබුළුවමින් අහසෙහි දිලෙයි.
4. මේ සඳ හිරු අතර ලෝකයෙහි මුතු මැණික්, වෛරෝඩි, සොඳුරු සිංගී ස්වර්ණ, කංචන යනාදී යම් ධනයක් වේද, භටක නම් යම් රත්රන් ආදියක් වේද, ඒ සියල්ල අට්ඨාංග උපෝසථ සිල් සුරකින තැනැත්තාට ලැබෙන විපාකයෙහි සොලොස් වන කලාවෙන් කලාවකටද නොපැමිණෙයි.
5. එහෙයින් යම් ස්ත්‍රියක් වෙයිද, පුරුෂයෙක් වෙයිද අංග අටකින් යුතු උපෝසථ සීලය මැනැවින් ආරක්ෂා කොට සැප උපදවාලන පින් කොට නින්දා නැති ස්වර්ගයට යන්නාහුය.
(විත්ථත අට්ඨාංගුපෝසථ සූත්‍රය - අංගුත්තර නිකාය 5)
පැය විසිහතරක්ම උපෝසථ සීලය රැකීමට වීර්යය ඇතිවේවා !!!
තෙරුවන් සරණයි !!!
🙏🌸🙏🌸🙏🌸🙏🌸🙏🌸🙏