උතුරේ කල්ප වෘක්ෂය වන " තල් ගස."🌳
* කුලය - Arecaceae
* විද්‍යාත්මක නාමය - Borassus Flabellifer
🫐 පොල් ,කිතුල් වැනි ශාක මෙන්ම ප්‍රසිද්ධියක් උසුලන ශාකයක් ලෙස තල්ගස හැඳින්විය හැකිය. මහා පරාක්‍රමබාහු රජුගේ රාජ්‍ය සමයේ තල් උයන් බොහොමයක් කරවූ බවට ඉතිහාසයට අනුව විශ්වාස කෙරේ. තල් ශාකයෙන් නිපද වූ හකුරු, කොට්ටකිලංගු වැනි ආහාර ඔබ රස බලා ඇති බවට විශ්වාසයි. එසේම තල් හා ඒ ආශ්රිත බොහෝ නිෂ්පාදන මේ වන විට ලෝකය පුරා ඉහළ ප්‍රසිද්ධියක් උසුලන අතර ඒ පිළිබඳව දැනුම් එක්රැස් කරගැනීම වැදගත් වනු ඇත. Ice palm,Palmyrah ලෙස ඉංග්‍රීසි භාෂාවෙනුත් " පනායි " යනුවෙන් දෙමළ භාෂාවෙනුත් තල් හඳුන්වනු ලබයි.ශ්‍රී ලංකාවේ වියළි කලාපයේ බොහෝ ප්‍රදේශයන් වල මෙම ශාකය බහුලව දක්නට හැකිය. උතුරු, උතුරු මැද ,නැගෙනහිර සහ වයඹ පළාත් ආදී පළාත් වල පහසුවෙන් වැවේ. ශ්‍රී ලංකාවේ උතුරු ප්‍රදේශවල කල්ප වෘක්ෂය වශයෙන් තල්ගස හැඳින්වීම විශේෂත්වයකි. වියළි දේශගුණයක හොඳින් වැඩෙන තල් නියං සමයකදී වුව ද මැනවින් වැඩේ. පසේ ජල සංරක්ෂණයට මෙන්ම නිසරු පස සරු කර ගැනීමටත් මෙය වැදගත් වේ. ඒ පමණක් නොව මෙහි පළිබෝධ හානිය අල්පය. මෙය වසර සියයක පමණ ආයු කාලයකට හිමිකම් කියයි. මෙහි වර්ධනය සෙමින් සිදුවන අතර සාමාන්‍යයෙන් පැළයක කද ,පොළොවෙන් ඉහළට මතු වීමට වසර තුන හතරක් පමණ ගතවේ. සෘජු කඳකින් යුත් තල් පරිණත ගසක් බවට පත් වූ පසු මීටර් 8-14 පමණ උසට වැඩේ. පත්‍ර වල නටුව සාමාන්‍ය ව්‍යවහාරයේ " තල් පිත්ත" ලෙස හඳුන්වන අතර ඉතා දිගු වේ. මෙම තල් පිත්ත අඩි 4-5 පමණ දිගට ගමන් කර මුල ප්‍රදේශයේ දී පැතලි අඩි 2-3 ක් පමණ වූ කොටස් දෙකකට බෙදේ. තල් පිත්ත දෙපැත්තෙහි හීරෙන හා කැපන සුළු දාර දෙකක් තිබේ. තල් ගසෙහි පත්‍රිකා අවානක් ලෙස පිහිටුවමින් තල් පත්‍රය සාදයි. පිරිමි හා ගැහැණු තල්ගස් වෙන වෙනම පිහිටා ඇති හෙයින් එය ද්වීගෘහ ශාකයක් ලෙස හඳුන්වනු ලැබේ.
🍒 තල් ගෙඩි
🍁 දිගු නටුවක් සහිත තල් ගෙඩි පොකුරු ලෙස ඇති වේ. මෙම ගෙඩි වලට පැහැදිලි නටුවක් නොමැති අතර ඍජුවම ගෙඩි පොකුරට සම්බන්ධ වී තිබෙනු දක්නට ලැබේ.තල් ගෙඩියක් 10-15 cm ක් පමණ දිගින් හා 10-15 cm පමණ ගණනකින් යුක්ත වන අතර පොකුරක ගෙඩි 8 - 20 පමණ හටගනී.තල් ප්‍රභේදය අනුව ගෙඩියේ ප්‍රමාණය වෙනස් වේ.කුරැම්බා ප්‍රමාණයට මේරූ තල් ගෙඩියේ ඇට කුරුම්බා ලොඳ ලබා ගැනීමට යොදා ගැනේ . මෙම ලොද හා එහි අඩංගු වතුර පැණි රසින් යුත් රසවත් ආහාරයකි. මේවා සාමාන්‍යයෙන් පොල් ,කුරුම්බා වලටත් වඩා රසවත් වන බව බොහෝ දෙනාගේ මතයයි . තල් කුරුම්බා කලාතුරකින් විකිණීමට තිබෙනු තවමත් දැකිය හැකිය.තල් ගෙඩිය හොඳින් ඉදුණු පසු පොත්ත ඉවත් කර එහි ලාටු ආහාරයට ගත හැකිය.මෙම ඉදුණු ගෙඩි වල මිහිරි සුවඳක් අන්තර්ගත අතර බොහෝ විට යොදා ගනුයේ තල්බීම සඳහා ය . තල් ලාටු පැදුරක තට්ටු පරිදි අලවා, අව්වේ වියළා තල් පිනාටු සකසා ගනී. තල් ලාටු හා හාල් පිටි හා සීනි සමඟ මිශ්‍ර කර තල් කැවුම් හා වන්ඩු සාදා ගැනීමට උතුරු හා නැගෙනහිර ප්‍රදේශ ආශ්රිත ජනයා පුරුදු වී සිටිති. ජලය ,ප්‍රෝටීන, මේදය, කාබෝහයිඩ්රේට්, තන්තු ,කැල්සියම්, පොස්පරස්, යකඩ ,තයමින්,රයිබොෆ්ලේවින්,විටමින් C, නියැසින්,සහ තවත් පෝෂණ කොටස් බොහොමයක් තල් ගෙඩි වල අඩංගු වන අතර සමේ නිරෝගී පැවැත්මට ඒවා බෙහෙවින් උපකාරී වේ.එසේම ආමාශගත රෝග රැසකට ද මෙම පලතුර ආහාරයට ගැනීම ඉවහල් වේ.
🍒 තල් ගසේ ප්‍රයෝජන
🍁 පිරිමි තල්මල් මගින් තෙලිජ්ජ ලබා ගන්නා අතර එමගින් තල් පැණි හා තල් සූකිරි සෑදීම සිදු කරයි.තල් පැණි පිටි සමග උණුකර තල් හකුරු සාදා තල්කොළ වලින්ම වියන ලද ගොට්ට තුළට පුරවා වෙළදපොලට නිකුත් කරනු ලබයි . ව්‍යංජන සකසා ගැනීමට තල් ගෙඩි යොදා ගන්නා අතර ලපටි තල් කොළ කැඳ සෑදීම සඳහාත් යොදා ගත හැකිය.කොට්ට කිලංගු වලින් ලබාගන්නා තල් පිටි ද ප්‍රසිද්ධ ආහාරයකි. තල් ගසෙහි පත්‍ර කොටස වහල සෙවිලි කිරීමට ද, පිති ගෙවල් ඇහිරීමටද උතුරු ප්‍රදේශවල තවමත් භාවිත කරයි.නිවෙස් ආශ්රිත වැට ඇහිරීම ටත් තල් කොළ අතු යොදා ගනී.තල් ගසෙහි නොමේරූ පත්‍ර වියලා වට්ටි, පෙට්ටි ,ගමන් මළු ආදිය විවීම සිදු කරයි.තල් ලී යනු පොල් වලට වඩා ශක්තිමත් ලී වර්ගයක් වන අතර පරාල සඳහා යොදාගත හැකි ලී වර්ගයක් වේ.එපමණක් නොව තල් කද දෘඩ ගතියෙන් හා කල් පැවැත්මෙන් යුක්ත නිසා අතීතයේ දී පාලම් සෑදීමට ද ඒවා යොදාගෙන ඇත.අතීතයේ පටන් ගැහැණු තල්ගස් අවසරයකින් තොරව කපා දැමීම දඬුවම් ලැබිය හැකි වරදක් ලෙස මෙරට සලකයි.
🍒 තල් ආශ්රිත නිෂ්පාදන
🍁 තල් ශාකය ආශ්‍රිතව සිදුකරන සිදු කරන නිෂ්පාදන රාශියක් තිබෙන අතර තල් සීනි,හකුරු ,තල් පැණි,කොට්ට කිලංගු,සහ තල් ශාකයේ මුලෙන් ලබාගන්නා තල්පිටි ආදිය ඒ අතරින් ප්‍රධාන තැනක් ගනී.ඊට අමතරව තල් ශාකයට අගය එකතු කළ නිෂ්පාදන ද වෙළඳ පොලේ මිලදී ගැනීමට ඇත .ඒ තල් පෝෂ,තල් බිස්කට් ,තල් ජෑම්,තල් යෝගට්,තල් පැණි,තල් පලතුරු බීම,ක්ෂණික තල් පාන ආදියයි.මෙම ආහාර, පාන වලට අමතරව එදිනෙදා ජීවිතය සඳහා අවශ්‍ය නිෂ්පාදනයන්ද තල් ශාකය ආශ්‍රිතව සිදු කෙරේ.මුළුතැන්ගෙයි ඇසුරුම් පෙට්ටි,කිරි ගොටු,මලු,වටාපත්,පැදුරු ,තොප්පි,හැඹිලි,අත්බෑග්,ආභරණ පෙට්ටි ආදිය තල් පත්‍ර ඇසුරෙන් නිපදවන භාණ්ඩ අතර ප්‍රධාන වේ.
🍒 තල් සීනි
🍁 තල් ශාකය සාරයෙන් සාදා ගන්නා සීනි භාවිතය තුළින් නිරෝගී දිවියක් හිමිකර ගැනීමට හැකි බව සැබෑය. කැස්ස,අධි රුධිර පීඩනය,කොලෙස්ටරෝල් වැනි රෝග තත්ත්වයන් සඳහා ස්වාභාවික ප්‍රතිකාරයක් ලෙස තල් සීනි හැඳින්වේ.මෙම සීනි පරිභෝජනය තුළින් දියවැඩියාව වැනි රෝග තත්වයන්ද ඇති නොවේ.මේ නිසා තල් ශාකයෙන් නිපදවන ලද සීනි එදිනෙදා ජීවිතයට එකතු කර ගැනීම ද ඉතා යෝග්‍ය වේ.මෙම සීනි වර්ගය මේ වන විටත් වෙළඳපොලේ මිලදී ගැනීමට තිබෙන අතර ලෝකය පුරා එය ප්‍රසිද්ධියක් උසුලයි.
යකඩ,සින්ක්,විටමින් වර්ග ,පොටෑසියම් ,මැංගනීස්,කොපර්,ඇන්තොසය නීන්,ෆ්ලේවනොයිඩ සහ ප්‍රතිඔක්සිකාරක බොහොමයක් මෙම සීනි තුළ අඩංගු වේ.මිනිස් ශරීරයේ සෛල වර්ධනයට අවශ්‍ය කරන ප්‍රෝටීන් නිපදවීමට උපකාරී වන ඇමයිනෝ අම්ල බොහෝ ප්‍රමාණයක් මෙම තල් සීනි තුළ අඩංගු වේ.තල් සීනි වල ග්ල්යිසිමික් අගය 35 ක් වැනි අඩු වගේ වගේ ගන්නා නිසා දියවැඩියාව වැනි තත්ත්වයන් ඇති නොකරයි. එහි ඇති තන්තුමය ඉනියුලින් නිසා අධි රුධිර පීඩනය ද අවම වේ.
🍒 තල් පැණි
🍁 තල් මලින් වෑහෙන තෙලිදිය එකතුවන්නට උස තල් ගස් මුදුන්වල මුට්ටි එල්ලා තිබේ.බීමට ගන්නා තෙලිදිය පැණි රසය .මේ තෙලිදිය උකු පැණියක් බවට පත්වන තුරු උණු කිරීම සිදුවේ.පදමට උණුවූ තල් පැණි බෝතලයක් අවුරුද්දක කාලයක් තබා ගත හැකි වන අතර, පැණි ලෙස අලෙවි කිරීමට ද ,තල් අවාරයෙ හකුරු නිපදවීමටද භාවිතා කළ හැකි වේ .
නොපැසුණු රා හෙවත් තෙලිදිය බෝතල් අටක් උණු කිරීමෙන් එක් පැණි බෝතලයක් ලබාගත හැකිය.විවිධ ආහාර වර්ග,කැවිලි ආදිය සකස් කර ගැනීමට උතුරු පළාත්වල ජනතාව මෙන්ම මෙරට අනෙකුත් ප්‍රදේශවල ජනයා ද කැමැත්තක් දක්වයි.ශරීරය තුළ ඇති විවිධ රෝග ගණනාවක් නිවාරණය කරගැනීමට මෙම පැණි ඉවහල් වේ.අධි රුධිර පීඩනය,දියවැඩියාව ,කොලෙස්ටරෝල් මෙන්ම තවත් නිදන්ගත රෝග රාශියක් සුවකර ගැනීමට මෙම පැණි පරිභෝජනය ඉවහල් වේ.වෙළඳපොල තුල පහසුවෙන් තල් පැණි මිලදී ගැනීමට හැකියාව මේ වන විට දේශීය නිෂ්පාදන කරුවන් විසින් සලසා ඇත .
🍒 තල් හකුරු
🍁 කිතුල් හකුරු වලට පමණක් දෙවැනි තල් හකුරු වලට ලංකාවේ මෙන්ම ලෝකය පුරා ඉහළ ඉල්ලුමක් පවතී.යාපනය වැනි ප්‍රදේශ තල් හකුරු නිෂ්පාදනයට ප්‍රසිද්ධියක් උසුලයි .තල් තෙලිජ්ජ වලින් ලැබෙන පැණි උණුකොට තල් හකුරු සාදා ගැනීම සිදු කරයි .පැණි බෝතල් එකහමාරකින් පිරිසිදු හකුරු කිලෝවක් නිපදවීමට හැකියාව තිබේ .මෙම තල් හකුරු මගින් විවිධ රසකැවිලි සහ කෑම වර්ග නිෂ්පාදනය කිරීම සිදු කරයි .තල් හකුරු ආහාරයට ගැනීම මගින් සෞඛ්‍යමය වාසි රැසක් අත්කර ගත හැකිය .ශරීරයට ශක්තිය ලබා ගත හැකි ස්වාභාවික ආහාරයක් ලෙස මෙය හැඳින්විය හැකි අතර ආහාර ජීරණය ද පහසු කරයි . සෙම්ප්‍රතික්ෂාව වැනි තත්ත්වයන් සමනය කිරීමට ද තල් හකුරු බෙහෙවින් උපකාරී වේ .ශරීරයේ අනවශ්‍ය මේදය ඉවත් කොට ආකර්ෂණීය පෙනුමක් ලබාගැනීමට තල් හකුරු ආහාරයට ගැනීමෙන් හැකිවේ .
🍒 කොට්ට කිලංගු
🍁 තල් බීජ පැල වීම වැලි තවාන් වල සිදු කරයි.වැලි තවාන් මත තල් බීජ අතුරා පැළ වෙන්නට ඉඩ හරිනු ලබයි.පළමුව බීජයෙන් හට ගන්නා මුල වැනි ව්‍යුහය පොළොව තුළට ගමන් කර එහි කෙළවර පැලය ඇතිවීම සිදුවේ .මෙලෙස ඇතිවන බීජ පත්‍ර වල පිටි තැන්පත් වන අතර එය තල් අලයක් මෙන් දිස්වේ.ඉන්පසු මේවා ගලවා පිටපොත්ත සුද්ද කර තම්බා ආහාරයට ගනී.ඒවා වියලා කල් තබා ගෙන ද, ආහාරයට ගත හැකි අතර උතුරු ප්‍රදේශ වල විවිධ කෑම වර්ග සෑදීමට එය යොදා ගනී.මෙසේ තල බීජය පැලවී පස යටට ගොස් වැඩෙන අලය වැනි කොටස කොට්ට කිලංගු ලෙස හඳුන්වයි.මෙය යාපනය වැනි ප්‍රදේශයන්හි සුප්‍රසිද්ධ ආහාරයකි.කාලයකට පමණක් දැකිය හැකි මෙම අලය තම්බා ආහාරයට ගත හැකි වේ.මෙහි සෞඛ්‍යමය වාසි රැසක් අන්තර්ගත වේ.මිනිස් ශරීරය සිසිල් කොට උෂ්ණ රෝග ආදියෙන් ඔබව වැළැක්වීමට කොට්ට කිලංගු ආහාරයට ගැනීම උපකාරී වේ .මේවායේ ඇති තන්තු ප්‍රමාණය ඉහළ හෙයින් ආහාර ජීර්ණය පහසු කොට මළබද්ධය වැනි තත්ත්වයන් ඇති වීම වළක්වයි .ගර්භාශයේ නිරෝගී බව පවත්වා ගැනීමටත් ,ආමාශගත රෝග වැළැක්වීමටත් ,කොට්ටකිලංගු උපකාරී වේ .ඉතා කෘෂ ශරීරයක් හිමි පුද්ගලයන් මේවා ආහාරයට ගැනීම තුළින් ශරීර ස්කන්ධය වැඩි කරගත හැකි බව ඇතැම් අයගේ මතයක් වේ.එපමනක් නොව,ශරීරයේ ප්‍රතිශක්තිකරණය වඩවා ගැනීමටත්,ශරීරය තුළ ඉන්සියුලින් නිපදවීම වැඩි කිරීමටත් කොට්ට කිලංගු වල වටිනා ඖෂධීය ගුණයන් පවතී.මේ නිසා දියවැඩියා රෝගීන් හට ස්වාභාවික ප්‍රතිකාරයක් වශයෙන් මෙම ආහාරය දැක්විය හැකිය .මීට අමතරව අස්ථි ශක්තිමත් කිරීමටත් මෙය ඉවහල් වෙයි .
🍒 තල් පිටි
🍁 කාබෝහයිඩ්රේට් සපිරි ඉතා හොඳ ශක්ති ජනක ආහාරයක් ලෙස තල් ශාකයේ මුලෙන් ලබා ගන්නා පිටි දැක්විය හැකිය .මෙහි විටමින් වර්ග රාශියක් ද අඩංගු වේ .මේ නිසා විවිධ ලෙඩ රෝගවලින් ඔබේ ශරීරය ආරක්ෂා කිරීමට තල් පිටි ආහාරයට ගැනීම උපකාරී වේ .තල් පිටි වලින් විවිධ ආහාර වර්ග සකසා ගත හැකිය .කෘතිම ආහාර භාවිතය නිසා හටගන්නා අම්ලපිත්ත ප්‍රදාහය හෙවත් ගැස්රයිටීස් වැනි රෝග වලක්වා ගැනීමට මෙම පිටි වර්ගය භාවිතය තුළින් හැකියාව ලැබෙයි .
🍒 තල් පෝෂ
🍁 කාර්ය බහුල ජීවන රටාවකට පුරුදු වූ මිනිසුන් වෙසෙන සමාජයකට,ශාක බොහොමයක වටිනා ගුණයන් ලබා ගැනීමට අවකාශ නොලැබී යා හැකිය .ඒ හේතුවෙන් තල් පිටි වලින් නිපදවන ලද " තල් පෝෂ " වැඩිහිටියන්ට මෙන්ම කුඩා දරුවන් හට ද ඉතා ගුණවත් ආහාරයක් වන බව නිසැකය.හුදෙක් තල් පිටි විකිණීමට වඩා එයට අගයක් එකතු කොට මෙවැනි ආකාරයන් අලවි කිරීම ඉතා සාර්ථක ක්රමයකි .පෝෂණ ගුණයෙන් සහ කල් තබා ගත හැකි කාලයෙන් ඉහළ මෙවැනි නිෂ්පාදන වලට මෙරට මෙන්ම ලෝකයේද ඉහළ ඉල්ලුමක් පවතී.
🍒 තල් ආශ්රිත වෙළෙඳපොළ
🍁ඉහත සඳහන් කළ තල් ආශ්රිත නිෂ්පාදන යන්ට ඇත්තේ ඉතා හොඳ වෙළඳපොළ වටිනාකමකි .උතුරේ සංචාරය කරන දේශීය මෙන්ම විදේශීය සංචාරකයන්ගෙන් මෙම නිෂ්පාදනයන් කෙරෙහි ඉල්ලුමක් පවතී.පොලිතින් හා ප්ලාස්ටික් මගින් ඇති කරන පාරිසරික ගැටලු මගහරවා ගැනීමට තල් පත්‍ර යොදා නිපදවන ඇසුරුම් මළු, වට්ටි පෙට්ටි,අත් බෑග්, ආදිය පරිසර හිතකර ආදේශකයන් ය.ශරීරයට හිතකර කෘතිම බීම වර්ග වෙනුවට තල් බීම අඩු පිරිවැයකින් නිපදවා පාරිභෝගිකයාට සහනදායි මිලකට ලබා දිය හැකි කදිම දේශයකි .තවද,දේශීය සීනි පරිභෝජනය පරිභෝජනයෙන් සියයට අනූ දෙකක්ම විදේශයෙන් ආනයනය කරන අතර සමස්ත සීනි පරිභෝජනයෙන් දේශීයව නිපද වන්නේ සියයට අටක් පමණ සුළු ප්රමාණයකි.උක් සීනි සඳහා වැය වන විදේශීය විනිමය තල් හකුරු ප්‍රචලිත කිරීම මගින් ඉතිරි කරගත හැකිය.එපමණක් නොව කැනඩාව,ඇමෙරිකාව, ජර්මනිය වැනි රටවලටද තල් නිෂ්පාදන අපනයනය කිරීමේ විභවයක් පවතී.වෙනත් කෘෂි බෝග වගාවන් සඳහා මෙන් පොහොර ,පළිබෝධනාශක වැනි යෙදවුම් මෙයට අවශ්‍ය නොවන අතර විශේෂ නඩත්තුවක් ද අවශ්‍ය නොවේ. තල් ආශ්රිත නිපදවන ආහාර වස විසින් තොර කාබනික නිෂ්පාදකයන් ය.මෙවැනි කාබනික නිෂ්පාදන වලට වෙළඳපොලේ ඇත්තේ හොඳ ඉල්ලුමකි.
🍒 තල් ආශ්රිත වෙළෙඳපොළ පුලුල් කිරීම
🍁 තල් ආශ්රිත නිෂ්පාදනයන් උතුරු ප්‍රදේශයේ මෙන්ම ලංකාවේ වෙනත් ප්‍රදේශ වලට ද ,ලෝකයේ අනෙකුත් රටවල් වලට ද අලවි කිරීමට අවශ්‍ය මඟ සැකසීම සිදු කළ යුතු වේ.තල් සංවර්ධන මණ්ඩලය මගින් මේ වන විටත් තල් ආදර්ශ අලවිසැල් විවෘත කර තිබීම සතුටට කාරණයකි.විශේෂයෙන්ම උතුරේ කාන්තාවන් හට මෙන්ම රැකියා විරහිත තරුණ පරපුරට ස්වයං රැකියාවක් ලෙස අල්ලා ආශ්රිත නිෂ්පාදන සිදු කිරීමට යොමු කිරීම රැකියා හිඟ බවට හොඳම පිළියමක් මෙන්ම ඔවුනට හොඳම ආදායම් මාර්ගයක දොරටු විවර වීමකි.මේ සඳහා පුහුණු වැඩමුලු,උපදේශන සේවා ආදිය කදිම අත්වැලක් සපයනු ඇත .එමෙන්ම තල් නිෂ්පාදන පාරිභෝගිකයා තුළ ප්‍රචලිත කරලිමට වැඩසටහන් දියත් කිරීම මගින් එහි ඉල්ලුම ද වැඩිවේ.තවද තල් ආශ්රිත ප්‍රදර්ශන පැවැත්වීම ප්‍රශංසනීය වේ.එපමණක් නොව අඩු කාලයකින් පීදෙන, වැඩි අස්වනු ලබාදෙන ප්‍රභේද බිහිකිරීම සඳහා පර්යේෂණ දියත් කළ යුතුය .තල් ආශ්රිත නිෂ්පාදන නිෂ්පාදනයන් තවදුරටත් විවිධාංගීකරණය මගින් නව වෙළඳපොළ අවස්ථා ඇති කරගත හැකිය.