සුන්දර බයෝබැම් ශාකය.. 🌳







 සුන්දර බයෝබැම් ශාකය.. 🌳


🍀අප‍්‍රිකාවේ තෲගා වනාන්තරයේ අපූර්ව රූස්ස ගස් රාශියකි. ඒ ”බයෝබැබ්” Baobab ගස් ය. සැබැවින් ම මේ ගසෙහි මවුබිම වනුයේ අප‍්‍රිකා මහද්වීපය යි. අප‍්‍රිකා බන්ටු ගෝත‍්‍රිකයන් ගේ ”බුහු-බැබ්” යන බන්ටු වචනයෙන් බිදී සැකැසුණු මේ ගසේ උද්භිද විද්‍යාත්මක නාමය වන්නේ ඇඩම්සෝනියා ඩිජිටේටා (Adamsonia digitata) ය. Adams කොටස එක් වී ඇත්තේ එනමින් යුතු ජෛව විද්‍යාඥයාට උපහාර පිණිස වන අතර, digitata යනු ඇඟිලි සඳහා ජර්මන් භාෂාවේ යෙදෙන වචනයකි. සැබැවින් ම ගස දිග හරින ලද ඇඟිලි සහිත අල්ලක් වැනි ය.මේ ගස බොම්බකාසේ (Bombacaceae) ශාක කුලයට අයත් වේ. ඉංග‍්‍රීසි භාෂාවෙන් මේ ගස හැඳින්වීමට Baobab, Cala Bash, Monkey bread tree යන නම් භාවිත වේ. Monkey bread tree ලෙසින් යොදා ඇත්තේ වදුරන් මේ ගසේ ගෙඩි කෑමට ඉතා ප‍්‍රියකරන නිසා ය.මුල් ඉහළට විහිදී ගිය, අතු පහළට ඇදුණු සදාකාලික ගසක් පිළිබඳ හින්දු ග‍්‍රන්ථයක් වන ”භගවත් ගීතාවේ” ද සඳහන් වී තිබේ. එකී ලක්ෂණ හා සමාන වන ගස වනුයේ මේ අප සඳහන් කරනා බයෝබැබ් ශාකය යි. 


මේ ගසට හිමි අපූරු පෙනුම නිසා ම අප‍්‍රිකා බන්ටු ගෝත‍්‍ර අතර, විශේෂ ජනකතා නිර්මාණය වී තිබේ. ඔවුනට අනුව මෙය ”යක්ෂයා ගේ ගසයි”.වනාන්තරයේ ජීවත් වන සෑම සියලූ දෙනට ම දෙවියන් විසින් සිටු වීම සඳහා විවිධ ගස් වර්ග දෙන ලදි. හයිනා නම් හිරිකිත සත්ත්වයාට සිටවීම සඳහා යක්ෂයා දුන් ගස හයිනා විසින් සිටුවනු ලැබ ඇත්තේ ගසේ මුල් ඉහළට සිටින්නට ය. ඒ බයෝබැබ් ගසේ උපත යි.ඒ නිසා ම මේ ගස “Up side down tree” ලෙසින් ද හැඳින් වේ. එ සේ ම උදර කොටස බෝතල් හැඩයෙන් නිර්මාණය වී පවතින නිසා එයට Bottle tree යනුවෙන් ද ව්‍යවහාර කැරේ.මේ ලක්ෂණවලට සමාන රුවකින් යුත් ගස් අප රටේ ද තිබේ. පත‍්‍ර සියල්ල හැළී ගිය විට එවැනි පෙනුමක් දිස් වේ. මේ ගස් පිහිටා ඇත්තේ ශ‍්‍රී ලංකාවේ වයඹ දිග ශුෂ්ක කලාපයේ ය. මන්නාරමේ සිට පේසාලේ හරහා තලෙයිමන්නාරමට ගමන් කරන A14 මාර්ගයේ මේ ගස් අදත් දක්නට ඉතිරි ව තිබේ.ප‍්‍රධාන මාර්ගයට ඉතා ම ආසන්නයේ, මඳක් ඇතුළට වන්නට පිහිටි ”මන්නාරම් බයෝබැබ් ගස” මධ්‍යයේ විශාල කුහරයක් ද සහිත ව අපූර්වාකාරයෙන් දක්නට ලැබේ. ඩෙල්ෆ් දූපතේ ද, විල්පත්තු ජාතික වනෝද්‍යානයේ ද, කලා වැව නිම්නයේ ගෙඟ් වාඩිය නම් ගම්මානයේ ද මේ විශාල ගස් ඉතිරි ව තිබෙන බව කියැ වේ.මන්නාරම් දූපතේ ”පල්ලිමුනායි දූපතේ” අවුරුදු 800 කට වඩා වයසින් පැරැුණි යැයි විශ්වාස කරන බයෝබැබ් ගසක් තිබේ. අපේ රටට මේ ගස් පැමිණියේ අතීතයේ වෙළෙඳාම සඳහා පැමිණි අරාබි වෙළෙඳුන් ගෙන් බැව් විශ්වාස කැරේ. එමෙන් ම ඉන්දියාවේ ද, ටැන්සානියාවේ ද මෙවැනි විශාල බයෝබැබ් ගස් ඉතිරි ව තිබේ.


සමහර ප‍්‍රදේශවල ජනයා මේ ගස ”අලි ගස” ලෙසට ද හඳුන්වති. එ සේ හඳුන්වන්නට ඇත්තේ අලියකු ගේ පිට වැනි ඝන පොත්තකින් ඒ ගස ආවරණය වී තිබෙන නිසා විය හැකි ය. තව ද මේ ගස් වර්ගයට ඇත්තේ අපූර්ව පෙනුමකි. ගසේ උසට නොගැළපෙන පරිදි කඳ ප‍්‍රදේශය මහත් ය. තුරු වියන මීටර 50 – 60 ක් පමණ ප‍්‍රමාණයක් වන සේ විහිදේ. අතු විශාල ය. ගසේ උස උපරිමය මීටර විස්සක් විසිපහක් පමණ වේ.මේ ගසට ම ආවේණික අපූරු භයංකර ස්වරූපය ඇති වන්නේ පත‍්‍ර වියළී හැළී ගිය පසු ව ය. එවිට ගස බිමට ඇන මුල් උඩට එසැ වී ඇති ආකාරයකින් දර්ශනය වේ. මෙය මාස හයක පමණ කාලයක් කොළ නොමැති වියළි ගසක් ආකාරයෙන් පවතින්නේ ය. ”කොළ හැළී ගිය අලි ගසක් තරම් විරූපී ගසක් තවත් ලොව දක්නට නැතැයි” Aristocrats of the trees ලියූ අර්නස්ට් එම්. විල්සන් සඳහන් කර තිබෙන්නේ ද මෙ නිසා ම විය හැකි ය. අප‍්‍රිකා සංචාරයක යෙදුණු සුප‍්‍රකට දේශ ගවේශකයකු වූ ”ලිවින්ස්ටන්” ”අලි ගස ලෝකයේ අටවන පුදුමය” ලෙස සඳහන් කරයි.


 මේ ගසේ පත‍්‍ර තද කොළ පැහැති ය. ඒවා වකුගඩු රෝගීන් සඳහා ඖෂධයක් ලෙසින් ද යොදා ගැනේ. ආහාර රසකාරකයක් ලෙසින් ද මේ කොළ අඹරා කුඩු කර යොදා ගත හැකි ය.ඔක්තෝබර් මාසයේ දී පමණ මේ බයෝබැබ් ගස්වල මල් හටගැනීම පටන් ගනී. ඒ මල් සුදු පැහැති ය. ගස මෙන් ම මල් ද විශාලත්වයෙන් වැඩි අතර, මල් පිපෙන්නේ රාත‍්‍රියේ දී ය. මල් පොහාට්ටුව ගෝලාකාර හැඩයක් ගන්නා අතර පැයක් පමණ සුළු කාලයක දී පොහොට්ටුව මලක් බවට පත් වේ. රැුයේ පිපෙන මල උදෑසන වන විට පර වී යයි. පිපෙනා අතරතුරේ දී මලෙන් මිහිරි සුවඳක් හමන අතර පරවුණු විට දුගඳ හමයි.අලි ගසේ ගෙඩි මිනිසාට ඉතා ප‍්‍රයෝජනවත් ය. සාමාන්‍ය ව්‍යවහාරයේ දී මේ ගෙඩිවලට ”වඳුරු දෙල්” Monkey Bread යැයි කියති. ගෙඩියේ ස්වරූපය විශාල පුහුල් ගෙඩියක් වැනි ය. දෙසැම්බර් මාසයේ දී පමණ ගෙඩි හටගැනීමට පටන් ගනී. අප‍්‍රිකා වැසියෝ මේ ගෙඩි පානයක් ආකාරයෙන් රසවත් ව සකසා ආහාරයට ගනිති. එ සේ ම ඔවුහු මේ විශාල බයෝබැබ් ගසේ කඳ හාරා කුහර සාදා, ඒවා නිවෙස් ලෙස පාවිච්චියට ගනිති.සමහරු මේ ගසේ ඉහළින් හාරා ජල ටැංකි ලෙස සාදා ගනිති. එ සේ ම ගසේ පොත්තෙන් කෙඳි රැගෙන එමඟින් කඹ සෑදීම, මාළු දැල් සෑදීම, ගෝනි සෑදීම ආදිය සිදු කරති. ගසේ මතුපිට පොත්ත දළ පිළියක් ලෙසින් ද සකසා භාවිතයට ගන්නා අතර ම, හම් පදම් කිරීම සඳහා ද යුෂ යොදා ගනිති.බයෝබැබ් ගස විනාශ කිරීම ඉතා අපහසු කාර්යයකි. එ සේ වන්නේ ඕනෑ ම අන්තරායකට ඔරොත්තුදීමේ හැකියාව මේ ගසට ඇති බැවිනි. කඳ සිදුරු කිරීමෙන් හෝ පොතු ආවරණය ඉවත් කිරීමෙන් කිසිදා ගස මැරිය නොහැකි ය. 


එසේම මේ සුවිශේෂී ගසට ගින්නෙන්, ගංවතුරෙන්, කුණාටු ආදියෙන් ද පීඩාවක් කළ නොහැකි ය. ඒ සියල්ලට ම මුහුණ දීමේ ශක්තිය ගසට ස්වභාව ධර්මයෙන් ම උරුමකර දී තිබේ.ගසට හිමි තවත් විශේෂත්වයක් නම් එහි මුල්වලට ජලය සොයා පොළොවේ මීටර සිය ගණන් දුරට වුවත් ගමන් කිරීමේ හැකියාව තිබීම යි. දැඩි නියං කාලයන්හි දී ආහාර සහ ජලය සොයා යන අලි ඇතුනට ආහාරයක් වන්නේ අලි ගසේ සවිමත් පොත්ත යි.මේ බයෝබැබ් ගස්වල වයස නිශ්චිත ව පැවැසීමට ශාක විද්‍යාඥයන් සමත් වන අතර, මේ ගස ඔවුන් ලෝකයේ දුර්ලභ විශේෂ ශාකයක් ලෙස හඳුනා ගෙන තිබේ. ශ‍්‍රී ලංකාවේ ද මේ ගස් දුර්ලභ වන නිසා ම ආරක්ෂිත ශාකයක් ලෙසින් නම් කර තිබේ. එනිසා ම ”යක්ෂ ගසක්” වුවත්, ස්වභාව ධර්මයේ අපූර්ව නිර්මාණයක් වන ”බයෝබැබ් ශාකය” මතු පරම්පරාව ගේ දැකීම සහ දැනුම සඳහා වර්තමාන පරම්පරාව විසින් රැකදෙනු ලැබිය යුතු ව තිබේ...

Post a Comment

Hi! Thank You For Visit Our Web site

Previous Post Next Post

Contact Form