*ඇපල් වල වගතුග දැනගනිමු ...* 🍎🍏











 *ඇපල් වල වගතුග දැනගනිමු ...* 🍎🍏


අපි කතාවට කියනවා මුළු ලෝකෙම වෙනස් කරන්න ගියේ ඇපල් ගෙඩි තුනයි කියලා. සමහර විට ඕගොල්ලෝ මේ ඇපල් ගෙඩි 3 කතාව දන්නවත් ඇති,  එත් හැමෝටම දැනගන්න මුලින් ඒ කතාව කියලා ඉන්නම්. ලෝකේ වෙනස් කරපු පලවෙනි ඇපල් ගෙඩිය තමයි ආදම් සහ ඒව එදා ඒදන් උයනේ කාපු ඇපල් ගෙඩිය,දෙවැනි ඇපල් ගෙඩිය තමයි විශේෂයෙන් අපේ උපෙ විද්‍යාව අංශයෙන් හදාරන සමහර අය සැහෙන්න වෛරයෙන් ඉන්න අයිසෙක් නිව්ටන් මහත්තයාගේ ඇපල් ගෙඩිය, තුන්වෙනි ඇපල් ගෙඩිය තමයි ඇපල් සමාගමේ නිර්මාතෘ ස්ටීව් ජොබ්ස් මහත්තයා ගේ ඇපල් ගෙඩිය. ඔන්න දැන් අපි ඇපල් කතාව පටන් ගමු 


 *ආදී කාලේ ඇපල්...* 


අපි ඇපල් වල නමින්ම පටන් ගමු ඇපල් කියන්නේ ජර්මනික් වචනයක් වුන අපලස් කියන වචනෙන් බිදී ආ එකක්. ඇපල් වල විද්‍යාත්මක නාමය තමයි Malus domestica කියන්නේ  මේ Malus කියන වචනේ Malum කියන වචනෙන් බිදී එනවා ඒ වචනේ ඇපල් පලතුර හදුන්වන්න වගේම නපුර කියන වචනේටත් භාවිතා වෙනවා. Malum එහෙම වුනේ ආදම් හා ඒව ගේ කතාවේ තහනම් ගහත් ඇපල් ගහක් කියල සැලකෙන නිසා කියල අපිට අනුමාන කරන්න පුළුවන්. හොදින් වැඩුණු ඇපල් ගහක් අඩි 6ත් 15ත් අතර උසක් ගන්නවා.


ඇපල් ගසක්

මිනිස්සු ක්‍රි පු 6000 ඉදන් වගේ ඇපල් ආහාරය එකතු කරගෙන තිබෙන බවට සාක්ෂි ලැබී තිබෙනවා. මුලින්ම මේ ඇපල් පලතුර දකින්න ලැබිලා තියෙන්නේ මධ්‍යම ආසියාවේ කසාක්ස්තාන් ආශ්‍රිත ප්‍රදේශයේදීයි. සේද මාවත ඔස්සේ මේ පලතුර යුරෝපය චීනය වගේ පැතිවලට සංක්‍රමණය වුනා කියල සැලකෙන්නේ.යුරෝපා මහාද්ව්පයේ ඉතාලියේ තමයි මේ ඇපල් මුලින්ම ව්‍යාප්ත වෙන්නේ. ඇපල් කියන්නේ ශිත කාල ගුණයන්ට විශාල රුචිකත්වයක් පෙන්වන ශාකයක් ඒ නිසා යුරෝපා මහාද්වීපයේ ඉතාමත් හොදින් වගේම සීග්‍රයෙන් මේ පලතුර පැතිරුනා. යුරෝපා ජාතිකයන් ඇපල් පළතුරක් වගේම එළවලුවක් විදියටත් මත්පැන් නිෂ්පාදනයටත් යොදා ගත්තා.


ඇපල් කියන්නේ අදටත් ඇමෙරිකාවේ දෙවනියට ප්‍රසිද්ධම පලතුර. ඇපල් ඇමෙරිකා එක්සත් ජනපදයේ පැතිරුණු ආකාරය ඇපල් වගේම රසවත්. 1600 පමණ වෙද්දී ඇපල් එක්සත් ජනපද වෙතට සංක්‍රමණය වුනා යයි සැලෙකනවා. එක්සත් ජනපදයේ මුල්ම ඇපල්වත්ත හිමිවන්නේ බොස්ටන් නුවර ප්‍රථමවැසියා කියල සැලෙකන විලියම් බ්ලැක්ස්ටන් විසින්. එත් මේ තරම් විශාල විදියට ඇපල් වගාව පැතිරෙන්න එක අපුරු පුද්ගලයෙකු වග කියන්න ඕන ජෝන් චැප්මන් හෙවත් ජෝන් ඇපල්සීඩ් (John appleseed) තවාන්කරුවෙකු මෙන්ම මිෂනාරි වරයකු වන ඔහු පෙන්සිල්වේනියා ඇපල්වත්තකින් ලබාගත් බීජ පෙන්සිල්වේනිය බොස්ටන් වැනි ප්‍රදේශ ගණනාවක් පුරා කිසිදු ලාබ ප්‍රයෝජනයක් නැතුව ස්වේච්ඡාවෙන් තැනින් තැන් පැල කරමින් සංචාරය කරනවා. ජෝන් ඇපල්සීඩ් මේ වැඩේ කරන්නේ ඉතා හොද අරමුණකින් උනත් ඔහුට දහසක් අභියෝගයන්ට මුහුන්දෙන්නත් වෙනවා. මිනිසුන් ජෝන් ඇපල් සිඩිගේ ඇපල් වලින් මත්පැන් (Cider) පෙරිමට ගත් නිසා පුජකයන් පිරිසක් ජෝන්ගේ ඇපල් ගස් රාශියක් ගිනි තියෙනවා. 


 *ඇපල් සංස්කෘතින්...* 


ඇපල් බොහොම රසවත් විදියට සංස්කෘතීන් ගණනාවක අපිට හමුවෙනවා.ඉන් එකක් තමයි ග්‍රීක සංස්කෘතිය ආදී ග්‍රීසියේ හිටි ශක්තිවන්තම අඩදෙවියෙකු වන හර්කියුලියස්ගේ කතාව තුල ත් ඇපල් සම්බන්ධ වෙනවා. හර්කියුලියස්ගේ වැඩ 12න් 10 වැඩේ දී  හේස්පෙරඩස් කියන උයනෙන් රන් ඇපල් ගෙන්න හර්කියුලිස් ට සිද්ධ වෙනවා, මේ වගේ ග්‍රීක සංස්කෘතියේ බොහෝ තැන් වල අපිට ඇපල් බලා ගන්න පුළුවන්. ඒ වගේම යුරෝපා කිතුනු සංස්කෘතියේ වගේම වයිකින්ගේ සංස්කෘතියේත් ඇපල් බහුලව භාවිතා වෙලා තියෙනවා. ඒ වගේම පොදුවේ ඇපල් අනුරාගයේ සංකේතයක් ආදරයේ සංකේතයක් විදියටත් පාවිචි වෙලා තියෙනවා 


 *අද වෙනකොට ඇපල්....* 


අද වෙද්දී ඇපල් කියන්නේ විශාල දෙනෙක්ට රැකියා ජනිත කරන ලොකු ව්‍යාපාරයක් ඇමෙරිකා එක්සත් ජනපදයට වසරකට බිලියන 160 විශාල ආදායමක් ලබාදෙන්න මේ පලතුර සමත්, එය ඇමෙරිකානු සිල්ලර වෙලාදෙමෙන් 23% වගේ ඉහල අගයක් ගන්නවා. මේ කොහොම උනත් අද වෙද්දී ලෝකේ විශාලතම ඇපල් නිෂ්පාදකයා වන්නේ මහජන චීනයයි.


 *ලෝකේ ජනප්‍රියතම ඇපල් වර්ග 10.....* 🍎🍏


අපි කියන්නේ යන්නේ ලොව පුරා  ඇපල් ලෝලීන්ගේ ප්‍රියතම වගේම ජනප්‍රියතම ඇපල් වර්ග ගැන. අද ඉදන් ඇපල් ගෙඩියත් කද්දී මේක මොන ජාතියේ ඇපල් ගෙඩියක් ද කියලත් දැනගෙන කන්න පුළුවන් වෙයි. ලෝකේ ඇපල් වර්ග 2 500 කට අසන්න ගණනක් තියෙනවා, ඒ වගේම ලෝකේ ප්‍රසිද්ධම පලතුරු අතරේ 2 වෙනි තැන ඉන්නෙත් ඇපල්මයි. ඇපල් බොහොම රසවත් පලතුරක් සමහර ඇපල් වර්ග ගොඩක් පැණි රසයි සමහර ඒවා සැහෙන්න ඇඹුලයි ඉතින් මේ ලැයිස්තුව ලියවිලා තියෙන්නේ පැණි රස අඩුම එකේ ඉදන් වැඩි වන අනුපිළිවලටයි.


1) *ග්‍රැනිස්මිත් (Granny smith)* 🍏


ග්‍රැනිස්මිත් ඇපල් වර්ගය පළමු වතාවට දෙමුහුම් ක්‍රමයකින් ඇති කරල වගා කරලා තියන්නේ ඕස්ට්‍රේලියා ජාතික පලතුරු වතු හිමිකරිනියක් වන මාරියා ඈන් ස්මිත් කියලා මහත්මියක් විසින්. ග්‍රැනි ස්මිත් ඇපල් ඇඹුල් රසයෙන් වැඩි යුෂයෙන් සපිරිනු රසවත් පළතුරක්. ඒ වගේම බොහෝ ඇපල් වර්ග වල වගේ ම ග්‍රැනිස්මිත් ඇපල් වර්ගයෙත් ප්‍රතිඔක්සිකාරක පිළිකා නාශක ගුණ තියෙනවා. ඒ වගේම ගොඩක් පෝෂණවේදීන් තරබාරු බාවය අඩු කරගන්න අවශ්‍ය අයගේ ආහාර ලැයිස්තුවට මේ ඇපල් වර්ගය එක් කරන්න අමතක කරන්නේ නැහැ. ග්‍රැනිස්මිත් ඇපල් වර්ගය අමුවෙන් කන්න වගේම කේක් වර්ග, Pie වර්ග, සෝස් වර්ග, බීම වර්ග සහ මත්පැන් නිෂ්පාදනයටත් යොදා ගන්නවා.


2) *මැකින්ටොෂ්  (Macintosh)* 🍎


මේ නම පරිගණක පාවිචි කරන අයට විශේෂයෙන් පරිගණක ඉතිහාසය දන්නා අයට නම් මේ නම නුහුරු නමක් නෙමේ, මොකද ලෝක ප්‍රසිද්ධ ඇපල් සමාඟමේ මුල්ම අති සාර්ථකත්වයට පත් වුන පරිගණකයේ නමත් මැකින්ටොෂ්. කැනේඩියානු ජාතික ජෝන් මැකින්ටොෂ් කියල මහත්මයෙක් තමයි මැකින්ටොෂ් ඇපල් මුලින් ම වගා කරන්නේ. මැකින්ටොෂ් ඇපල් රතු පැහැ හෝ කොළ පැහැ ගන්න පුළුවන්, සමහර විට ඒ පාට දෙකම එකතු වෙලා තියෙන වෙලාවලුත් තියෙනවා. සාමාන්‍යයෙන් ඇපල් වර්ගයේ පාට තීරණය වෙන්නේ ඵලදාව නෙලා ගන්න කාලෙට අනුවයි. මේ ඇපල් ජාතිය වැඩි ඇඹුල් රසකුත් ගන්නවා වගේ තරමක පැණි රසකුත් ගන්නවා.මැකින්ටොෂ් ඇපල් බොහොම කැලරි අඩු ඇපල් වර්ගයක් වගේම ෆයිබර් බහුල ඇපල් වර්ගයක්. මේ ඇපල් වර්ගයනුත් ගොඩක් කෑම ජාති හදන්න පුළුවන් එත් ගොඩ දෙනෙකේ නිර්දේශ කරන්නේ අමුවෙන් කන්න කියලයි. 


3) *පින්ක් ලේඩි (Pink lady)* 🍏


පින්ක් ලේඩි කියන්නේ ලෝකෙට අලුතින්ම එකතු වෙච්ච ඇපල් විශේෂයක්.1985 දී ඕස්ට්‍රේලියානු ජාතික ජෝන් ක්‍රිප්ස් මහත්මයා තමයි මේ වර්ගය හොයාගෙන තියෙන්නේ. පින්ක් ලේඩි බොහොම රසවත් ඇපල් විශේෂයක්, පින්ක් ලේඩි ඇපල් වල සහෝදර ඇපල් වර්ගය විදියට රෙඩ් ක්‍රිස්ප් කියන ඇපල් ජාතිය හදුන්වනවා. 


4) *රෙඩ් ඩිලිශියස් (Red delicious)* 🍎


රෙදි ඩිලිශියස් තද රතු පැහැති ඇපල් වර්ගයක්. මේ ඇපල් වර්ගය මුල්වරට වගා කරලා තියෙන්නේ එක්සත් ජනපදයේ ජෙසී හියට් කියල මහත්මයෙක්. තද රතු ඇපල් කිව්වාම අපේ ඔලුවට එන්නේ බොහොම පැණි රස ඇපල් විශේෂයක් කියලයි. එත් රෙඩ් ඩිලිශියස් ඇපල් වල එහෙම ලොකු පැණි රසක් නැහැ පැණි රස සහ ඇඹුල් රස මිශ්‍ර වෙච්ච මෘදු රසක් තමයි තියෙන්නේ. මේ රෙඩ් ඩිලිශියස් ලෝකෙන්ම වඩාත් ප්‍රසිද්ධ එක්සත් ජනපදයේ බව එක්සත් ජනපද ඇපල් සංගමය ප්‍රකාශ කරනවා. රෙඩ් ඩිලිශියස් ඇපල් වර්ගය යොදාගන්නේ අමුවෙන් කන්න තමයි. හ මේ ඇපල් වර්ගය ආහාර හෝ බිම වර්ග සාදන්න සුදුසු නැහැ.


5) *ජෑස් (Jazz)* 🍏


ජෑස් ඇපල් කියන්නේ 1980 දී තරම් මෑත කාලයේදී නවසීලන්තය විසින් රෝයල් ගාලා සහ බෙයාබර්න් කියන ඇපල් වර්ග දෙමුහුම් කරලා හදපු රසවත් ඇපල් වර්ගයක්. ජෑස් ඇපල් වල පොත්ත රතු කහ යන පැහැ මිශ්‍ර පාටක්ති ගන්නවා. ජෑස් ඇපල් පොත්ත සාමන්‍ය ඇපල් වල පොතු වලට වඩා ටිකක් හයියයි එක නිසා දත් හයිය නැති කෙනෙක් මේ ඇපල් නොකපා කන එක නුවණ ට හුරු නැහැ. මේ පලතුර ආම්ලික තාවයෙන් අඩු යුෂයෙන් පිරිණු රසවත් පළතුරක්. අද වන විට නවසීලන්තයේ විතරක් නෙමේ ඕස්ට්‍රේලියාව සහ බ්‍රිතාන්‍ය වගේ රටවල් රාශියක හොඳ මිලක් පෙන්වන පලතුරක් තමයි මේ ජෑස් ඇපල්.


6) *ගෝල්ඩන් ඩිලිශියස් (Golden delicious)*🍎


ගෝල්ඩන් ඩිලිශියස් වල පොත්ත දීප්තිමත් කහ මිශ්‍ර කොල පාටක් ගන්නවා. අනිත් කහා පාට කොළ පාට ඇපල් වගේ නෙමේ ගෝල්ඩන් ඩිලිශියස් පැණිරසයෙන් වැඩි මෘදු පළතුරක්. කලින් අපි රෙඩ් ඩිලිශියස් කියල ඇපල් වර්ගයක් ගැන කතා කළා නමින් ටිකක් සමාන උනාට මේ ඇපල් වර්ග දෙකේ කිසිම සම්බන්ධයක් නැහැ. 19 වෙනි සියවසේ දී ඇමෙරිකා එක්සත් ජනපදයේ වෙස්ට් වර්ජිනියා වේ විසු ගොවි මහතෙක් තමයි ගෝල්ඩන් ඩිලිශියස් මුල් වරට වගා කරලා තියෙන්නේ. ඒ නිසා ගෝල්ඩන් ඩිලිශියස් ඇපල් අදටත් වෙස්ට් වර්ජිනියා වේ ජාතික පලතුර විදියට සැලකෙනවා.


ගෝල්ඩන් ඩිලිශියස් ගැන තවත් විශේෂ කරුණක් තියෙනවා, ඒ තමයි ඇපල් ගෙඩියක් කපලා ටික වෙලාවක් එළියේ තිබ්බාම එකේ කහට පිපෙන්න ගන්නවා ඒ කියන්නේ මදේ කහපාට වෙනවා. ගෝල්ඩන් ඩිලිශියස් ඇපල් වර්ගයේ අනිත් ඇපල් වලට වඩා සාපේක්ෂව බොහොම හිමින් තමයි කහට පිපෙන්නේ. ඒ වගේම මේ වර්ගය ලෝක වෙළදපොලේ වැඩිම අලෙවියක් පෙන්නන ඇපල් වර්ග වලින් එකක් වෙනවා. 


7)  *ඔපල් (Opal)* 🍏


ඔපල් කියන්නේත් පින්ක් ලේඩි සහ ජෑස් ඇපල් වර්ග වගේම ඉතාමත් මෑත කාලයේදී මුහුන් කිරිම මඟින් ඇති කරපු ඇපල් විශේෂයක්. අපි කලින් කතා කරපු ගෝල්ඩන් ඩිලිශියස් කියන ඇපල් වර්ගයේ සහ ටොපෑස් කියන ඇපල් වර්ගය මුහුමක් තමයි ඔපල් ඇපල් කියන්නේ. හරියට කිව්වොත් ඔපල් ඇපල් කියන්නේ ගෝල්ඩන් ඩිලිශියස් ඇපල් වල Upgrade Version එකක්. ඉතින් මේ ඔපල් ඇපල් ගෝල්ඩන් ඩිලිශියස් වලටත් වඩා බොහොම රසවත්, ඒ වගේම ගෝල්ඩන් ඩිලිශියස් වල තියෙන කහට පිපෙන අඩු කමේ ගුණය වඩාත් වැඩියෙන් තියෙන පලතුරක්.  


8) *හනික්‍රිස්ප් (Honeycrisp)* 🍎


හනික්‍රිස්ප් ඇපල් කියන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයේ මිනසෝටා විශ්වවිද්‍යාලය සිදු කෙරු පරීක්ෂණයක රසවත් ප්‍රතිපලයක්. හනික්‍රිස්ප් ඇපල් ගෙඩිය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම හරිම ක්‍රිස්ප්, රතු හා කහ මිශ්‍ර අනික් ඇපල් වලට සාපේක්ෂව තරමින් ලොකු පැණි රසින් වැඩි ඇපල් විශේෂයක්. ඉතින් මේ ඇපල් විශේෂය ප්‍රමාණය වගේම තමයි මේකේ මිලත් වැඩියි.


9) *ගලා (Gala)* 🍏


ගලා ඇපලුත් නුතන ඇපල් විශේෂයක්. මේක මුලින් වවල තියෙන්නේ 1930 නවසීලන්තයේදී රෙඩ් ඩිලිශියස් හා කිඩ්ස් ඔරේන්ජ් රෙඩ් කියන ඇපල් වල මුහුමකින්. ගලා ඇපල් පොත්ත රෝස පැහැ, කහ පැහැ සහ රතු පැහැ මිශ්‍ර පැහැයක් ගන්නවා, එත් මේකේ පාට හරියටම තීරණය වෙන්නේ ඇපල් ගෙඩිය නෙලා සෘතුව අනුවයි. ගලා ඇපල් බොහොම පැණි රස පළතුරක් ඒක නිසාම කුඩා දරුවන් අතර විශේෂයෙන්ම ප්‍රචලිත වෙලා තියෙනවා.


10) *ෆුජි (FujI)* 🍎


ලෝකයේ දැනට වගා කරන පැණි රසෙන් අධිකම ඇපල් වර්ගය තමයි ෆුජි ඇපල්. මේක වර්ගය කොච්චර පැණි රසද කියනව නම් මේ ඇපල් ගෙඩියක අන්තර්ගතයෙන් 9%ත් 11 %ත් අතර තියෙන්නේ සීනි. මේ නම කියවද්දිම තේරෙන්න ඇති මේකේ තියෙන ජපන් ගතිය ඔව් මේ ඇපල් වර්ගයත් නුතන ඇපල් වර්ගයක්, මේක හදල තියෙන්නේ ජපානේ ටොහොකු පරික්ෂනාගරයේ 1930 දීයි. ෆුජි ඇපල් තරමක් විශාල ඇපල් වර්ගයක් ඒ වගේම ෆුජි ඇපල් ගෙඩියක් අධිශිත නොකර හිතකර පරිසර තත්වයකදී අවුරුද්දක් පමණ ගබඩා කරගන්න පුළුවන්. මේක ජපනා හොයාගත්තත් අද වෙද්දී ෆුජි ඇපල් මහා පරිමාන වගා කරමින් ඉන් වැඩිම අදායම ලබන රට වෙන්නේ චීනයයි. කොච්චරද කියනවනම් ලෝකයේ ෆුජි ඇපල් නිෂ්පාදනයන් 70% හිමිකම් කියන්නේ චීනයයි. 


Post a Comment

Hi! Thank You For Visit Our Web site

Previous Post Next Post

Contact Form