අප රටේ ප්‍රාග් ඓතිහාසික ලෙන් සිතුවම් අතරට සුවිශේෂී කඩඉමක් සටහන් කරන සිතුවම් රාශියක් මෑත අතීතයේ දී ලෝකයට හෙළිදරව් වුණා. වසර දහක් ගණනක් මිනිස් ඇසට ලක් නොවී පර්වත කූටයක සැඟ ව පැවති එම චිත්‍ර ගැන තවමත් පුරා හා මානව විද්‍යාඥයන් තුළ පවා ඇත්තේ නොවිසඳුණු ගැටලු රාශියක්. මේ චිත්‍ර හමුවුණේ රාවණාඇල්ලට නුදුරු කරඳගොල්ලේ පිහිටි කදුවැටියක යි. මේ සිතුවම් නිසා ම ඒ කන්දට කුරුල්ලන්ගල යන නම ලබා තිබෙනවා.
යන්නේ නොහොමද?
බණ්ඩාරවෙල හරහා ඇල්ලට ගොස් එහි සිට වැල්ලවාය දක්වා දිවෙන මාර්ගයේ කිලෝ මීටර් 13ක් වැල්ලවාය දෙසට ගමන් කළ විට වම්පස පිහිටා ඇති කරඳගොල්ල පාසල අසලින් රක්ඛිතාකන්ද පාර හමුවෙනවා. එම පටු පාරේ තවත් කිලෝ මීටර් 3ක් ගමන් කළ විට හමුවන්නේ රක්ඛිතාකන්ද ලෙන් විහාරය යි. මෙම ලෙන් විහාරයේ සිට මීටර් 200ක් ඈතින් කුරුල්ලන්ගලට පිවිසීමේ අඩිපාර පිහිටා තිබෙනවා. වනය හරහා ගල්පර්වත අතරින් වැටී ඇති ඒ පාර ඉතා දුෂ්කර කඳු තරණයක්. කෙසේ වුවත් සොබාදහමට ළැදි අයකුට නම් ඉන් අපූරු අත්දැකීමක් ඉන් ලබා ගත හැකි යි. මේ නිසා ම පසුගිය වසර කිහිපය තුළ පුරාවිද්‍යාවට හා සොබාදහමට ළැදි ගවේෂකයන් රාශියක් කුරුල්ලන්ගල තරණය කළා.
පිහිටීම
කුරුල්ලන්ගල පිහිටා ඇත්තේ මධ්‍යම කඳුකරයේ ගිනිකොන දිග බෑවුමෙන් තරමක් ඔබ්බට වන්නට පිහිටි පූනාගල කඳු පන්තියේ එක් ස්ථානයක යි. එය වැලිමඩ සානුවෙන් අවසන් වන ඇල්ල කඳු පර්වතවලට මායිම්ව නැඟී සිටින කඳුවැටියක් ලෙස හැඳින්විය හැකි යි. මේ පෙදෙස කදුකර වියළි කලාපයට අයත්. මුහුදු මට්ටමේ සිට මීටර 1,200 සිට 800 දක්වා වෙනස් වන භූ විෂමතාවක් මේ ප්‍රදේශයෙන් පෙන්නුම් කරනවා. ලෙන් චිත්‍ර සහිත ස්ථානය මුහුදු මට්ටමේ සිට අඩි 3800ක් පමණ උසින් යුක්තව උතුරු අක්ෂාංශ 6.800 සහ නැගෙනහිර දේශාංශ 810.06 අතර පිහිටා තිබෙනවා. මේ කඳුවැටිය මොණරාගල දිස්ත්‍රික්කයට අයත්.
ගවේෂණය
විහාරය අසල සිට අලිකොටේ ඔයට සම්බන්ධවෙන කඳුර දිගේ කිලෝමීටර් 2ක් පමණ දුරක් ගමන් කර මීටර් 400ක් පමණ උසක් කුරුල්ලන්ගල කන්ද තරණය කළ යුතු යි. සිතුවම් සහිත ස්ථානයට ළඟා වීමට නිශ්චිත මාර්ගයක් නැහැ. එය අතිශය දුෂ්කර කාර්යයක් වන්නේ ප්‍රපාතාකාර බෑවුම් සහිත ස්ථාන කිහිපයක් හා ගල් කුළු රැසක් පසු කළ යුතුව ඇති නිස යි. ලංකාවේ ප්‍රාග් ඓතිහාසික ලෙන් චිත්‍ර පිහිටි දුෂ්කර ම තැන ලෙස කුරුල්ලන්ගල හැඳින්වීමට පුළුවන්.
කරඳගොල්ල ජනතාවගේ දෛනික දිවිපෙවෙතට නැතිව ම බැරි ජල අවශ්‍යතාව ඉටුකරන ජල උල්පත පිහිටියේ ද කුරුල්ලන්ගල කඳු බෑවුමේම යි. ගම්මුන් ඇතිරූ ජල නළ පද්ධතිය ඔස්සේ පර්වතය මතට පිවිසීම සඳහා බොහෝ දුරක් ගමන් කළ හැකි යි. පැහැදිලි මාර්ගයක් නොමැති නිසා ගැමියකුගේ සහාය ලබාගත හැකි නම් ගවේෂකයන්ට වැඩි පහසුවක් ලබාගත හැකි යි.
පැයක පමණ ගමනකින් පසු පිවිසෙන්නේ වඩාත් දුෂ්කර නැග්මකට යි. වියළි ගිය ශුෂ්ක පරිසරයක කඳු හෙල් අතරින් එහිදී ගමන් කිරීමට සිදුවෙනවා. ගලකින් ගලකට පනිමින් ද ඇතැම් අවස්ථාවක වැල්වල එල්ලෙමින් ද ගමන් කළ යුතු යි. මෙම ගමනේ දී බැද්දේ වැවුණු කටුපඳුරු සහ මානා පඳුරුවලින්ද බැටකෑමට සංචාරකයන්ට සිදුවෙනවා. කඳු මුදුන අසල පිහිටි පර්වත චිත්‍ර සහිත ස්ථානයට යාමට පැය 3ක් පමණ ගතවිය හැකි යි. දුෂ්කර අවදානම් සහිත ප්‍රපාතය තරණය කිරීමට කඹයක් ද රැගෙන යා යුතු වෙනවා.
චිත්‍ර සහිත පර්වතය
මෙම සිතුවම් ගැන 1980 දශකයේ දී ප්‍රදේශවාසීන් මුල් වරට දැනගෙන තිබෙනවා. ඒ ගැන 2002 දී ප්‍රාදේශීය පුවත්පතක ලිපියක් ද පළ වී තිබෙනවා. ජාතික මට්ටමින් මේ සොයා ගැනීම අනාවරණය වුණේ 2013 දී රූපවාහිනී ප්‍රවෘත්ති විකාශනයකින්. අඩි 7ක් පමණ දිගැති පැතලි ශිලා පර්වතයක තමයි චිත්‍ර නිර්මාණය කර තිබෙන්නේ. එය ලංකාවේ විශාලත ම පර්වත චිත්‍ර සමූහය යි. එම පර්වත කොටස අඩි 25ක් පමණ ඉහළට යන තෙක් පැතිරී යනවා.
එතරම් උසකට නැග චිත්‍ර ඇන්දේ කෙසේද යන්නත් අප තුළ ගැටලු මතු කරනවා. තවත් විශේෂත්වයක් නම් ඒ සිතුවම් බොහොමයක් ආරක්ෂිතව පැවතීම යි. වැඩිමනත් සිතුවම් ආරක්ෂිතව පවතින පෘෂ්ඨය ත්‍රිකෝණාකාර ස්වරූපයක් ගන්නවා. සිත්තම් ඇඳ ඇති ශිලා පෘෂ්ඨය කහ පැහැති යි. ඒ මත අඳුරු රතු හා රතු පැහැති ගුරුගල් වැනි ආලේපයකින් චිත්‍ර නිර්මාණය කර තිබෙනවා. කුරුල්ලන්ගල ප්‍රාථමික සිතුවම්වල සුදු, කහ, අළු ආදී වර්ණ පරාසයන් ද දැකගත හැකි යි. මෙතෙක් ලංකාවෙන් හමුවූ ප්‍රාථමික සෙල් චිත්‍රවලට වඩා මේවායේ සජීවී බවක් දැකගත හැකි යි.
සිතුවම් එක මත ඇඳීම නිසා සියලු ම රූප පැහැදිලි ව හඳුනා ගැනීම අපහසු වන නමුත් ගම්පොළ විජය හිමියන් කළ අධ්‍යයනයේ දී පක්ෂීන් බවට නිසැකයෙන් හඳුනා ගත හැකි සිතුවම් 29ක් පමණ වාර්තා කර තිබෙනවා. කුරුලු රූපවලට අමතර ව ගෝනකු හෝ මුවකු නිරූපණය වන රූපත්, කිඹුලකු හෝ කබරගොයකු වස්තු විෂය වන සිතුවමකුත් දැකගත හැකි යි.
පක්ෂියකුගේ පිට මත තවත් සත්වයකු සිටින බවට හැඟෙන නිර්මාණය, සිතුවම් ගොන්නට වෙනසක් එක් කර තිබෙනවා. සමහර පක්ෂින්ගේ රූප ජුරාසික් අවදියේ සිටි ඩයිනසෝර් පක්ෂීන්ට සමාන යි. පක්ෂීන් පියාඹන අයුරු, ඇවිදින අයුරු වශයෙන් විවිධ ඉරියව් දකින්න පුළුවන්. වැඩි ම පක්ෂි සිතුවම් ප්‍රමාණයක් ගල් පර්වතයේ සිට පහළට බසින ආකාරයට ඇද තිබෙනවා. මෙම සිතුවම් පිහිටි ස්ථානයට තරමක් දුරින් පිහිටි තවත් ගල් පර්වතයක ද මේ ආකාරයට ඇඳි සිතුවම් කිහිපයක් තිබෙනවා. මේවා කිසියම් අභිචාර කටයුත්තක් සදහා කරන ලද ඒවා විය හැකි බවයි පේන්නේ.
වර්ණ තවරා ශිලා පෘෂ්ඨය මත ස්පර්ශ කිරීමෙන් සලකුණු කරන ලද අත්ල රූප 12ක් පමණ හඳුනාගත හැකි යි. යම් යම් ඇතැඟිලි සලකුණු මැනවින් ස්පර්ශ නොවුණු අවස්ථා ද අල්ල පමණක් සලකුණු වූ අවස්ථා ද දක්නට ලැබෙනවා. මෙම චිත්‍ර ඇඳ තිබෙන්නේ කහ සහ සුදු පැහැති වර්ණ පරාසයකින්. රේඛාවට මුල් තැන දෙමින් රූප මතු කර ඇත්තේ රතු වර්ණය අඩු වැඩි ලෙස භාවිත කිරීමෙන්.
අප රටේ ප්‍රාථමික සිතුවම් හමුවන කිසිම ස්ථානයකින් මෙවැනි පක්ෂි රූප සම්භාරයක් හමු වී නැහැ. කුරුලු රූප පිහිටි කන්ද නිසා ම මෙයට කුරුල්ලන්ගල යන නම පසුකාලීන ව ලැබී තිබෙනවා. සිතුවම් කොට ඇති රූපයන්හි බාහිර හැඩය රේඛාවලින් සලකුණු කර ඇති අතර ශරීර අභ්‍යන්තරය ද රේඛා මගින් දැක්වීමට ප්‍රයත්න දරා තිබීම විශේෂත්වයක්.
කුරුල්ලන්ගල ප්‍රාථමික සිතුවම් අතර රක්ත වර්ණයෙන් තැබූ වම් හස්තයේ සලකුණු දහයකට වැඩි ප්‍රමාණයක් හඳුනාගත හැකි යි. ශිලා පෘෂ්ඨයේ විශාල වපසරියක පැතිරී පැවති බිතුසිතුවම් ක්‍රමයෙන් විනාශ වී ගිහින්. දැඩි හිරු රශ්මියත්, වර්ෂාපතනය සහ දැඩි සුළං ප්‍රවාහයත් යන ස්වභාවික කරුණු මෙම චිත්‍ර විනාශ වී යමින් පවතින බවයි වාර්තා වන්නේ. සිතුවම් පිහිටි ස්ථානයට පැහැදිලි දිනවල දී නැගෙනහිර මුහුද දක්වා පරිසරය කදිමට දැකගත හැකි යි.
කාල නිර්ණය
මෙතෙක් මෙම චිත්‍ර සම්බන්ධයෙන් විද්‍යාත්මක කාල නිර්ණයක් කර නැහැ. බොහෝ පුරාවිද්‍යා ගවේෂකයන්ගේ අදහස මේවා වැදි චිත්‍ර නොව වසර 5000ක් පමණ පැරණි මධ්‍ය ශිලා යුග මානවයන් ඇඳි සිතුවම් බව යි. ඕස්ට්‍රේලියානු ඇබොජිරින් ප්‍රාථමික චිත්‍ර සමඟ රූප, වර්ණ හා පිහිටීම අනුව දෘෂ්‍ය සංසන්දනයක් කළ විට ප්‍රාග් මානවයාගේ කෘති බව සැලකීමට පුළුවන්.
මෙහි අත් සලකුණුවලට සමාන සලකුණු හෙනන්නේගල ගුහා චිත්‍රවලත් දකින්න පුළුවන්. මෙහි විශේෂත්වය තමයි ලංකාවේ අනෙක් ප්‍රාථමික ගුහා චිත්‍රවලට වඩා වර්ණවත් චිත්‍ර වීම. ලංකාවේ අනෙක් චිත්‍ර බහුතරයක් හමුවන්නේ අළු, සුදු, කළු වැනි සරල වර්ණ රටාවක්. මේ නිසා ඒවා නිශ්චිත වශයෙන් ප්‍රාග් ඓතිහාසික කෘති ලෙසට නම් කිරීමට පුරාවිද්‍යාඥයන් මැලි වෙනවා. මේ චිත්‍ර විද්‍යාත්මක කාල නිර්ණයකට ලක්කළොත් අප තුළ තිබෙන කුතුහලයට විසඳුමක් ලැබේවි.
රක්ඛිතාකන්ද ගල්ලෙන් විහාරය
කුරුල්ලන්ගල කඳු පාමුල හමුවන මෙම ලෙන් විහාරය පර්වතයක් ආශ්‍රය කරගෙන තැනූ විහාරයක්. එය කුරුගම ග්‍රාම සේවා වසමට අයත්. එහි එක පෙළට කටාරම් කෙටූ ගල්ලෙන් හතරක් දැකගත හැකි යි. දෙවැනි ගල්ලෙන තුළ කුඩා දාගබක් ද විහාර ගෙය ද පිහිටා තිබෙනවා. එහි ක්‍රිස්තු පූර්ව පළමු සහ දෙවන සියවස්වලට අයත් බ්‍රාහ්මී සෙල්ලිපියක්ද කොටා ඇති අතර බුදරකිත තෙරශ ලෙණෙ (බුද්ධරක්ඛිත තෙරුන්ගේ ලෙන) යන්න එහි සඳහන්.
ලෙන් විහාර මන්දිරය තුළ සැතපෙන බුද්ධ ප්‍රතිමාවක් ද, හිඳි පිළිම දෙකක් සහ හිටි පිළිම දෙකක් ද දක්නට හැකි යි. ලෙන් වියන සිතුවමින් අලංකාර කර තිබෙනවා. ඒවායින් බහුතරය නෙළුම්මල් සහ ලියවැල් මෝස්තර යි. මෙහි ඇතුළත බිත්තිවල සත් සතිය, සූවිසි විවරණය, සොළොස්මස්ථානය, දේව රූප ආදිය සිත්තම් කර තිබෙනවා.
මෙම සිතුවම් සියල්ල මහනුවර සම්ප්‍රදායට අයත්. ලෙන් විහාරයේ ඉදිරිපස බිත්තියේ පිටත ඇති අපාය, වෙස්සන්තර ජාතකය ආදී බොහෝ සිතුවම් දුර්වර්ණ වී විනාශ වෙමින් පවතිනවා. මේ විහාරය බ්‍රිතාන්‍ය පාලන කාලයේ ප්‍රතිසංස්කරණයට ලක්ව තිබෙනවා. එය පැහැදිලි කරමින් ලෙන් විහාර මන්දිර ප්‍රවේශය මුදුනේ බ්‍රිතාන්‍ය රාජකීය ලාංඡනය සහ රැජිනගේ සිතුවමක් ද ඇද තිබෙනවා. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මෑතකදී රක්ඛිත්තා කන්ද සිතුවම් සංරක්ෂණය කර තිබෙනවා. අංක 1, 3 හා 4 යන ලෙන් දැඩි ලෙස නවීකරණය කර ඇති බව තමයි පේන්නේ. පළමු ලෙන භාවිත කරන්නේ භික්ෂු ආවාසය වශයෙන්.