ඩෙල්ෆ්ට් - යාපන අර්ධද්වීපයේ පුංචි ඕලන්දය
ශ්‍රී ලංකාවේ ජනාවාස වූ දූපත්වලින් දුරස් ව මන්නාරම් ගල්ෆ් කලාපයට මත්තෙන් ද, ශ්‍රී ලංකාවේ වයඹ දෙසින් ඉන්දියන් සාගරයේ දකුණු දෙසට වන්නට පිහිටි යාපනය අර්ධද්වීපයේ වූ ස්වාභාව සෞන්දර්යයෙන් හැඩවූ ද දූපත ඩෙල්ෆ්ට් දූපත යි.
දූපතේ ස්වාභාවික සුන්දරත්වය මෙන් ම පැරණි ගොඩනැගිලිවල නටබුන් නිසා ම සංචාරකයන් සඳහා මේ දිවයින ආකර්ෂණීය ස්ථානයකි. එනිසා ම එය පුරාණ චෝල රාජවංශයේ සිට පෘතුගීසි, ලන්දේසි සහ බ්‍රිතාන්‍ය යටත්විජිත යුගය දක්වා දිවෙන දීර්ඝ ඉතිහාසයකට පියවර තබන අපූර්ව සංචාරක ගමනාන්තයක් වන බව නොඅනුමාන ය.
යාපනයේ සිට අංක 776 පාරේ බස් රථයක නැගී පැයක පමණ කාලයකට පසුව කුරිකඩ්ඩුවාන් වරායට ළඟාවීමට නම් හිරු නැගෙනහිරින් පිබිදීමට මත්තෙන් යාපනේ නගරයට යායුතු ය. වෙනස් ම අත්දැකීමක් ලැබීමට වුවමනා අයකුට නම් ත්‍රි රෝද රියක නැගී වැඩි මුදලක් වැය කර තොටුපළ වෙත ළඟා විය හැකි ය. නෙත ගැටෙන්නේ ජැටිය අවට මුහුදු තීරයේ කොළ පැහැයක් ගන්නා මුහුදු පාසි ය. කුරිකඩ්ඩුවාන් ජැටිය නම් නයිනතිව් (නාගදීපය) හා නැදුන්තිව් (ඩෙල්ෆ්ට්) යන ගමනාන්ත සඳහා ඇති ආරම්භක තොටුපළ ය.
පෞද්ගලික බෝට්ටු ප්‍රවාහන සේවාව
උදෑසන හය පසු වී පැය භාගයක් ගතවී ඇත. නොඉවසිල්ලෙන් බලා සිටින්නේ නාවික හමුදාව මෙහෙයවන බෝට්ටුවක් වන "වඩතාරකී " හෝ කුමුදුනී, නෙඩන්තාරකී, එලරා ආදී වූ පෞද්ගලික බෝට්ටු ප්‍රවාහන සේවාවකින් එකක නැඟී ජැටියෙන් ඩෙල්ෆ්ට් දූපත කරා සේන්දු වීමට ය. මෙය නම් කොලොම්බස්ගේ ලොව වටා සංචාරය හා සමාන හැඟීමක් එක් කරන්නකි. එය හුදෙක් ත්‍රාසය හා භීතිය කැටි වූ අත්දැකීමකි. පෙනෙන නොපෙනන මානයේ නිල්වන් ගැඹුරු මුහුද පමණ ය.
අයකුට නම් ගමන තරමක් වෙහෙසකර විය හැකි ය. විටෙක සැමන් ටින් එකක ඇසුරූ මාලූන් මෙන් එහි පොදි ගැසී යෑමට සිදුවිය හැකි ය. බෝට්ටුව තුළ දී ඇදහිය නොහැකි තරම් උණුසුමක් දැනෙනු ඇත. ගත දහඩියෙන් තෙත්විය හැකි ය. සියල්ල ඉවසා සිටිය හැකි නම් ඒ අපූරු ගමනාන්තයට විනාඩි 45ක් පමණ වූ කාලයක් ඇතුළත ළඟා විය හැකි ය. උදෑසන අට පසු වී විනාඩි විස්සක් පමණ ගතවන කල යාල් ආගන්තුකයා මාවලිතුරෙයි නම් ඩෙල්ෆ්ට්හි පිවිසුම් ස්ථානයට සේන්දු වී අවසන් ය. "මා" නම් අශ්වයන්ට දෙමළ බසින් කියන තවත් නමකි. ඒ ආසන්නයේ වූ කතෝලික පූජකවරයකුගේ පිළිරුවක් දැකිය හැක. ඒ නම් මේ දූපත 'ඩෙල්ෆ්ට් අයිලන්ඩ්' ලෙස නම් කළ රිච්ක්ලොෆ් වෑන් ගෝන්ස්ගේ පිළිරුව ය.
යාල් ආගන්තුකයාට සැල වූ පරිද්දෙන් ඩෙල්ෆ්ට් දූපතට බෝට්ටු සවාරියක් සඳහා වඩාත් නිර්දේශිත කාලය ජූලි සිට අගෝස්තු ය. මේ කාලයේ දී මුහුද සන්සුන් ය. වියළි කාලය ආරම්භයේ දී ඩෙල්ෆ්ට්හි වියළි කාලයට අනුරූප ලක්ෂණත්, ගිම්හානයේදී වෘක්ෂලතාදිය වඩාත් සශ්‍රීක වූ හරිත ලක්ෂණත් පෙන්නුම් කරන අතර ඩෙල්ෆ් දූපතේ දෙසැම්බර් සිට ජනවාරි කාලය තෙත් ස්වාභාවයක් ගන්නේ මෝසම් වර්ෂාව නිසා ය.
දූපතේ කාර් නොමැත. ගොන් කරත්තවලට අමතර ව, ජනාවාස වූ ඩෙල්ෆ්ට් ගම්මාන අතර කුඩා දුර සඳහා ත්‍රීරෝද රථ ක්‍රියාත්මක කෙරේ. කොයිකාගෙත් ගමන් සගයා නම පාපැදිය ය. දූපතේ සංචාරයට අවශ්‍ය උපදෙස් හා සහාය ලබාගැනීමට නම් පිවිසුමේ වූ සංචාරක කාර්‍ය්‍යාලවලින් විමසිය හැකි ය.
"දිගු දූපත" හෝ "විශාල දූපත"
මේ දූපත ලන්දේසින් "ඩෙල්ෆ්ට්" යනුවෙන් හැඳින්වූව ද ඇත්තෙන් ම එහි සාම්ප්‍රදායික දෙමළ නම "නැදුන්තිව්" ය. නැදුන්තිව් යන්නෙහි අදහස නම් "දිගු දූපත" හෝ "විශාල දූපත" යන්න යි. එය "පසන්තීව්" යන්නෙන් ද නම් කර ඇත. ඒ, එළ ගවයන් ආශ්‍රිත පශුසම්පත් ඉහළින් පරිභෝජනය කිරීමට මේ උදවිය පුරුදු වී සිටීම නිසා ය. යටත් විජිතයක් වීමට මත්තෙන් මෙය "අභිශේගතීව්" නම් වී ඇත. හේතුව නම් ඉන්දියාවේ රාමේෂ්වරම් සිට දිනපතා නෙඩන්තිව් දක්වා ශිව දෙවියන් අභිෂේක ගැන්වීම උදෙසා පූජා එළ කිරි එකතු කිරීමට නැවක් පැමිණි ඇති නිසා බව සැළ වේ.
යටත්විජිත සම්භවයක් සහිත නම
නිවර්තන දූපතක් වන මෙම නැදුන්තිව් දිවයිනට යටත්විජිත සම්භවයක් සහිත මෙම නාමය හිමි වන්නේ 17 වන සියවසේ මැද භාගයේ දී, ලන්දේසීන් පැමිණ පෘතුගීසීන් සතු වූ යාපනය අල්ලා ගැනීමෙන් පසුව ය. ඉන්දියන් සාගරය අවට ප්‍රදේශය යටත්විජිතයක් වූ කල්හී ඔවුහු පෝක් සමුද්‍ර සන්ධියට නුදුරින් පිහිටි දූපත් සමූහයේ ප්‍රධාන දූපත් අටට ම ලන්දේසි නගරවල නම් තැබූහ. "රොටර්ඩෑම්" යනු එකල අනලතිව් දූපත හැඳින්වූ නම වන අතර එය එම කුඩා දූපත් අටෙන් කුඩා ම දූපත යි. කාලයාගේ ඇවෑමෙන් බොහෝ දුරට "ඩෙල්ෆ්ට්" හැර අනෙක් දූපත්වල ලන්දේසි නම් ශ්‍රී ලාංකිකයන්ට අමතක වී ඇත. ඩෙල්ෆ්ට් නම් වූ කීර්තිමත් නාමය එදා පමණක් නොව වර්තමානයේ ද ශ්‍රී ලංකාවේ උතුරු පළාතට ලන්දේසි සංචාරකයන් ආකර්ෂණය කරගැනීමට භාවිත කරන බෙහෙවින් ජනප්‍රියය වූ නමකි.
ඩෙල්ෆ්ට් නම් වර්ග කිලෝමීටර් හතළිස් හතක් ආවරණය වන පරිදි දිගින් පෝක් සමුද්‍ර සන්ධියේ පිහිටි විශාලත ම දූපත ය. ඩෙල්ෆ්ට් පැතලි වූ තැනිතලා භූමි භායයකි. නොගැඹුරු මුහුදු ආශ්‍රිත ගොඩබිම් කලාපයකි. වැසි සමය ඔක්තෝම්බර් සිට පෙබරවාරි දක්වා වන නමුත් මුළු වර්ෂා කාලය තුළ ම නිල් අහසක් දැකිය හැකි දින ගණනාවක් තිබේ. වාර්ෂික වර්ෂාපතනය මිලිමීටර් 750 ක් පමණක් වන අතර එනිසා ඩෙල්ෆ්ට් අර්ධ ශුෂ්ක ප්‍රදේශයක් ලෙස හැඳින්විය හැකි ය. සාමාන්‍යයෙන්, උතුරු අර්ධගෝලයේ ගිම්හාන මාසවල වියළි කාලයේ දී උච්චත ම සමයේදී දූපතට වර්ෂාපතනය මුළුමනින්ම හිඟ වේ.
ගැඹුරු "යක්ෂයාගේ ළිඳ"
ඩෙල්ෆ්ට් හි භූගත ජලය මඳක් ලුණු සහිත වීම පුදුමයක් නොවේ. බොහෝ ජල මූලාශ්‍රවල ලවණතාව වියළි කාලයේ දී පානයට නුසුදුසු මට්ටමකට වැඩි විය හැකි නමුත් කෘෂිකර්මාන්තයට සහ සමහර පශු සම්පත් සඳහා ප්‍රමාණවත් ය. දූපතේ ඇළ දොළ නොමැත. මිරිදියෙහි ප්‍රධාන ප්‍රභවය නම් ස්වාභාවික අවපාත හා කෘත්‍රිම පොකුණුවල එකතු වන මතුපිට ජලය යි. තල් කොළවලින් සෑදූ බාල්දි භාවිත කරමින් නොගැඹුරු ළිංවලින් දෛනික අවශ්‍යතා සඳහා ජලය සපයා ගනි යි.
සැලකිය යුතු කරුණ නම් සමහර මිරිදිය ළිං මුහුදු වෙරළට ඉතා ආසන්න ව පිහිටා තිබීම ය. ඇදහිය නොහැකි තරම් ගැඹුරු "යක්ෂයාගේ ළිඳ" පමණක් නියඟ කාලවල දී පවා කිසි විටෙකත් වියළී යන්නේ නැත. ප්‍රදේශවාසීන් පවසන්නේ මෙම ළිඳෙන් ලැබෙන ජලය ලංකාවේ ඕනෑම තැනක දක්නට ලැබෙන හොඳ ම ජලය බව ය. කෙසේ වෙතත්, මතුපිට ජල එකතු කිරීම් සහ ළිං කිසිසේත් එහි ජනයාට ප්‍රමාණවත් නොවේ. ප්‍රධාන ධාරාවේ සිට අතිරේක මිරිදිය සැපයුම නියඟ කාලයේ දී නාවික හමුදාව ජලය සපයන අතර, පසුව බවුසරයක් මඟින් ගෙනෙන ජලය සඳහා නිවැසියන්ට මුදල් ගෙවීමට සිදු වේ.
දූපතේ ජනාවාස, ප්‍රදේශ දෙකක
ජනගහනය අඩු ඩෙල්ෆ්ට් දූපතේ ජනාවාස, ප්‍රදේශ දෙකක විහිදී ඇත. ඒ ඊසාන දෙසින් සහ බටහිර දෙසින් ය. වෙඩ්ඩුක්කුලම් සහ පෙරියකුලම් ලෙස වැව් දෙකකි. ඒවා දූපතේ මධ්‍යයේ පිහිටා ඇත. ඩෙල්ෆ්ට් හි දකුණු අර්ධය පඳුරුවලින් වැසී ඇත. එය ජනාවාස නොවන අතර කෘෂිකර්මාන්තය සඳහා ද භාවිත නොවේ. අර්ධ ශුෂ්ක ප්‍රදේශවල වෘක්ෂලතාදිය පවතී. වියළි පඳුරු හා තණකොළවලට අමතරව තල් ගස් විශාල ප්‍රමාණයක් ද ඇත.
කොරල් ගල්වලි බැඳි ශක්තිමත් බිත්ති
ශ්‍රී ලංකාවේ උතුරු ප්‍රදේශයේ අනෙකුත් ප්‍රදේශ මෙන්ම පෞද්ගලික නිවාසවල වැටවල් තල් අතුවලින් හෝ කොරල් ගල්වලි බැඳි ශක්තිමත් බිත්තිවලින් වෙන්කර ඇත. ප්‍රධාන ආදායම් මාර්ග නම් ධීවර හා තල් ආශ්‍රිත කර්මාන්ත යි. ඩෙල්ෆ්ට් තල් ගසේ අත්කම් සඳහා සහ වියළි මාළු(කරවල) සඳහා ප්‍රසිද්ධ ය. ඩෙල්ෆ්ට් නම් ශ්‍රී ලංකාවේ හොඳ ම තල් රා නිෂ්පාදනය ගැන ආඩම්බර වන දූපතකි. පශු සම්පත් බොහෝ විට පවුලේ ආදායම හා පෝෂණය සඳහා වැදගත් අතිරේකයක් වේ. ගවයන් සහ එළුවන් ඇත්තේ දූපත්වාසීන් ස්වල්ප දෙනකුට පමණක් වන නමුත් තවත් සමහරු කුකුළන් ඇති කරති.
දූපතේ ප්‍රධාන ආකර්ෂණීය ස්ථාන
ගෙවත්තක නම් වම්බටු, තක්කාලි සහ මිරිස් වරදින්නේ නැත. යාපනයේ වැසියන් වන ගොවියන් රජවරුන් මෙන් ම විද්‍යාඥයන්ය. කොරල් පාෂාණ සහිත මේ බිමේ අතීතයේ ඔවුන් "කාවෝදී" නම් ශාකය වගා කර අනලතිව් හා යාපනයට ප්‍රවාහනය කරන ලද්දේ දුම්කොළ ආශ්‍රිත කර්මාන්තයට පොහොරක් ලෙස ය. "මොන්ඩෙයි" නම් වූ ධාන්‍ය වර්ගය ද අතීතයේ දූපත් වැසියන් අතර සහල් සේම ජනප්‍රිය වී ඇත.
16 වන සියවසේදී පෘතුගීසීන් අරාබියෙන් මුලින් ගෙන ආ අශ්වයන් පසු ව ලන්දේසින්ට උරුම ව ඇත. ඉන්දියානු සාගරයේ අශ්ව වෙළඳාම පිළිබඳ ඒකාධිකාරයක් ලබා ගැනීමට වඩාත් සාමකාමී පූර්වගාමීන් වූ මුස්ලිම් නාවිකයන්ට එරෙහි ව සටන් කිරීම පෘතුගීසීන්ගේ ප්‍රධාන අභිලාෂයක් විය. 19 වන සියවසේ මුල් භාගයේදී ලුතිනන් නෝලන්ගේ අභිජනන වැඩසටහනට අතිරේක අශ්වයන් ආනයනය කිරීමට අවශ්‍ය විය.
වල් අශ්වයෝ
අශ්වයෝ ඩෙල්ෆ්ට් දූපතේ දකුණු අර්ධයේ වියළි පඳුරු ආශ්‍රිත පෙදෙස්වල නිදැල්ලේ සැරිසරති. ඔවුන්ගේ මුතුන් මිත්තන් නිසා ඔවුන් "වල් අශ්වයන්" ලෙස හැඳින්වීම සම්පූර්ණයෙන් ම නිවැරදි නොවේ. ඔවුන් ගෘහාශ්‍රිත අශ්වයන්ගෙන් පැවත එන්නන් වන අතර එබැවින් මේ ආකාරයේ සතුන් සඳහා සුදුසු යෙදුම "වල් අශ්වයන්" ය. ඔවුන් පාළුකරයේ ජීවත් වුව ද, ඔවුන්ගෙන් බොහෝ දෙනකුට තවමත් අයිතිකරුවන්
අරාබිවරුන් ඩෙල්ෆ්ට් දූපතට බයෝබාබ් ගස හඳුන්වා දී ඇති අතර මෙම ගස වසර 500 කට වඩා පැරණි විය හැකි බවක් පෙනේ. මන්නාරමේ පල්ලිමුනෙයි පිහිටි ශ්‍රී ලංකාවේ පැරණි ම සහ විශාලත ම බයෝබාබ් ගස වසර 700 ක් පමණ පැරණි යැයි ගණන් බලා ඇත. මන්නාරමේ ඇත්තේ පලිමුනේ බයෝබාබ් ගසක් පමණක් වන අතර එය ඩෙල්ෆ්ට් දූපතේ දැකිය හැකි හුදකලා නිදර්ශක තරම් විශාල හා ආකර්ෂණීය ය. ඩෙල්ෆ්ට් හි බයෝබාබ් ගසේ කඳ තුළ පුද්ගලයන් පස් දෙනකු සිට හය දෙනකු දක්වා සුවපහසු ලෙස සිටගෙන සිටිය හැකි ය. ස්වාභාවික ව හෝ කෘත්‍රිම ව හිස් වූ කඳන් සහිත විශාල බයෝබාබ් ගස් අප්‍රිකාවේ සහ ඉන්දියාවේ මිනිසුන් නවාතැන් ලෙස භාවිත කර ඇත.
දිවයිනේ යටත්විජිත අතීතයේ තිබූ ඉතාමත් වැදගත් ස්මාරකය නම් කොටුව යි. ඩෙල්ෆ්ට් දූපතේ ඇත්තේ එක ම යටත් විජිත බළකොටුවකි. එය පෘතුගීසින් පළමු ව භාවිත කර ඇති අතර පසුව ලන්දේසීන් භාවිත කර ඇත. එහි දේශීය නාමය මීකානම් කොටුව වේ.
මීකානම් කොටුව
අතීතයේ සියලු ම ගොඩනැගිලි මෙන් මීකානම් කොටුව ද කොරල්වලින් නිමවා ඇත. බළකොටුව වර්ග මීටර් පනහකට ආසන්න ප්‍රදේශයක් ආවරණය වන පරිදි දැඩි ලෙස ශක්තිමත් ව ඉදි කළ දෙමහල් වාසස්ථානයකි. ලංකාවේ අනෙකුත් බොහෝ පෘතුගීසි බළකොටුවලට සමාන ව එය ලන්දේසීන්වි ශාල කර නොතිබූ අතර එතරම් නවීකරණය නොකළ බවක්ද පෙනේ. අවි ගබඩාවක්, බන්ධනාගාරයක් ද, කෙළවරේ කුඩා හතරැස් කාමරයක් ද එයට ඇතුළත් ය. මෙම සිරගෙදර බිම බිම් මට්ටමට වඩා පහළින් ඇති අතර දොරක් නොමැත.
පෘතුගීසීන්ගෙන් බළකොටුව අත්පත් කර ගැනීමෙන් පසු ලන්දේසීන් මහා පරිමාණයෙන් ව්‍යූහය වෙනස් නොකළ නමුත් නැගෙනහිරින් අතිරේක බැරැක්කයක් සාදා, වර්ග මීටර් 200 කට ආසන්න කුඩා බළකොටුව වටා වෙනම කොටු පවුරක් ඉදි කළහ. දූපත්වාසීන් විශ්වාස කරන්නේ මෙම පරිශ්‍රය කොටුව හා සම්බන්ධ කරමින් උමඟක් තිබූ බව යි. මෙම ප්‍රදේශය පරිපාලන කටයුතු සඳහා ද භාවිත කරන ලද අතර එම නිසා එය "අධිකරණ සංකීර්ණය" ලෙස ද හැඳින්වේ.
අධිකරණ සංකීර්ණය
තාප්පයේ කොටස් කඩා වැටී ඇතත් එහි එක් බැරැක්ක කාමරයක් තවමත් දක්නට ඇත. මෙම සංකීර්ණයේ ඇති වඩාත් කැපී පෙනෙන ගොඩනැගිල්ල නම් ලන්දේසි පරෙවි කූඩු ය. සිදුරු හැත්තෑවක් පමණ ඇති මෙය කුළුණක හැඩයක් ගනී. එවැනි පරෙවි කූඩුවක් ශ්‍රී ලංකාවේ ඉතාමත් දුර්ලභ දසුනකි. යටත්විජිත යුගයේ කෙටි කාලයක් ඩෙල්ෆ්ට් දූපතේ පණිවිඩ යැවීම සඳහා පරෙවියන් යොදා ගෙන ඇති බවට සාක්ෂිය මෙය ය.
ඩෙල්ෆ්ට් හි අනෙක් බිම් සලකුණ පිහිටා ඇත්තේ දිවයිනේ විරුද්ධ පැත්තේ එනම් දකුණු වෙරළ තීරයේ ය. ක්වීන්ස් කුළුණ හුදෙක් ම සරල ප්‍රදීපාගාරයකි. කුළුණ තුළ වාතය ඉහළට යැවීමට රික්තයක් ඇති අතර මෙය ගිනි හෝ දුම් සංඥා සඳහා භාවිත කළා විය හැකි ය. ප්‍රදේශවාසීන් "ක්වින්ඩා කුළුණ" ලෙසද හඳුන්වන රැජනගේ කුළුණ මුලින් ඉදිකර ඇත්තේ ලන්දේසීන් ය. "කිංග්ස් ටවර්" නමින් හැඳින්වෙන තවත් කුළුණක් බ්‍රිතාන්‍යයන් විසින් නිර්මාණය කරන ලද නමුත් එය විනාශ වීමෙන් පසු එහි බිම් පදනම පමණක් ඉතිරි ව ඇත.
ක්වීන්ස් කුළුණ
ක්වීන්ස් කුළුණ පිහිටා ඇති ඩෙල්ෆ්ට් හි දකුණු වෙරළ තීරයේ සිට ඉන්දියාවේ වෙරළ තීරය දැකිය හැකි බව බොහෝ විට කියැවේ. කාලගුණික තත්ත්‍වය අනුව රාත්‍රී කාලයේ දී ඉන්දියාවේ සුප්‍රසිද්ධ රාමේෂ්වරම් දේවමාළිගාවේ දීප්තිමත්ව ආලෝකය දිස් වන අයුරු ඩෙල්ෆ්ට් සිට දැකිය හැකි ය. කච්චතිව් දූපතට සමාන නිරිත දෙසින් පිහිටි රාමේෂ්වරම් දූපත ඩෙල්ෆ්ට් සිට කිලෝ මීටර් 48 ක් දුරින් පිහිටා ඇත.
දිවයිනේ ඊසානදිග වෙරළ තීරයට වන්නට පෞරාණික බෞද්ධ ස්ථූප තුනක නටබුන් ලෙස චෝලන් හෝ වෙඩිඅරසන් ස්ථූප හදුනාගත හැක. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මඟින් එහි බිම් බිත්ති ප්‍රතිසංස්කරණය කර ඇත. ස්ථූප දෙකක් මධ්‍යම හෝ කුඩා ප්‍රමාණයේ වුවත් විශාලත ම ස්ථම්භය මීටර් 32 ක වට ප්‍රමාණයක් ඇත. මෙම ප්‍රධාන ස්ථූපය උස් වේදිකාවක පිහිටා ඇති අතර උප ස්ථූප හතරක් වට කර ඇත.
සෙල්ලිපි තුනක්
මෑත කාලයේ ඩෙල්ෆ්ට් ගොඩනැගිලි මෙන් ම පෞරාණික ස්තූපය ද ඉදි කර ඇත්තේ කොරල් ගල්වලිනි. මෙම ප්‍රධාන ස්තූපය සෑදීමට භාවිත කළ ගල් මත වූ සෙල්ලිපි තුනක් සොයාගෙන ඇත. දෙමළ භාෂාවෙන් ලියූ සෙල්ලිපි දෙකක් මධ්‍ය කාලීන යුගයේ අග භාගයට අයත් වන අතර බ්‍රාහ්මී අක්ෂර භාවිත කළ එක් පැරණි සෙල්ලිපියක් ක්‍රිස්තු වර්ෂ පළමු සහශ්‍රකය ආරම්භය දක්වා දිව යයි.