පසුගිය මාස කීපය තුළ දිවි රඟ මඩලින් බැස ගිය අපේ ආදරණීය කලා තරු
මේ අවුරුද්ද ලෝකයට වගේම ලංකාවටත් ඉතාමත් කණගාටුදායක අවුරුද්දක්. අපේ රටේ විවිධ ක්ෂේත්‍ර වල විශිෂ්ටයෝ ගණනාවක් ජීවිතයට සමු දුන්නා. කොවිඩ් වසංගතයත් එක්ක ඇතිවෙලා තියන අර්බුදකාරී තත්ත්වය මැද තව තවත් මිනිසුන් කම්පනයට ලක් කිරීමට දිනපතා අහන්නට ලැබෙන මේ ලබැඳියන්ගේ සමුගැනීමුත් හේතු වුණා. මේ නිසා අපි හිතුවා පසුගිය දවස්වල අප අතරින් සදහටම සමුගත් ශ්‍රේෂ්ඨ මිනිසුන් පිළිබඳව කෙටි සටහනක් තියන්න.
1. සරත් චන්ද්‍රසිරි
සරත් චන්ද්‍රසිරි කියන්නේ අපේ රටේ ජනතාවට ඉතාම සමීප නළුවෙක්. සාමාන්‍ය නළුවෙකුගේ සම්මත පෙනුමකට එහා ගිය ඔහුට තිබුණේ සාමාන්‍යයෙන් අපේ රටේ මිනිසකුගේ ස්වරූපය. ඒ නිසාම ඔහුට ලැබුණු චරිතවලටත් ඔහු ඉතාම හොඳ සාධාරණයක් ඉෂ්ට කළා. වේදිකා නාට්‍ය මඟින් ඔහුට ලැබුණු පන්නරයත් ඒ සඳහා එක හේතුවක් වෙන්න ඇති. “සමගිපුර වසන්ත”, ටෙලි නාට්‍ය ක්ෂේත්රය තුළ ඔහු නිරූපණය කළ කැපී පෙනෙන චරිතයක් ලෙස ප්‍රේක්ෂකයන් අතර මතකයේදී රැඳී තිබෙනවා.
2. සම්පත් තෙන්නකෝන්
වේදිකාව, ටෙලිනාට්‍ය සහ චිත්‍රපට යන ක්ෂේත්‍ර තුනෙහිම තමන්ගේ දක්ෂතාවය පෙන්නපු සම්පත් තෙන්නකෝන් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම චරිතාංග නළුවෙක්. ඒ වගේම ඉතාමත් ඉහළ පෞරුෂයක් සහිත ඔහු වේදිකාව තුළ ඉතා මනරම් ගායනා පවා ඉදිරිපත් කළා. ප්‍රවීණ රංගනවේදිනී රත්නා ලාලනී ජයකොඩි මහත්මියගේ ස්වාමි පුරුෂයා වූ ඔහුගේ වෙන්වීම බොහෝ දෙනෙකුට අදහාගත නොහැකි කරුණක් වුණා. සම්පත් තෙන්නකෝන්ව සිහිපත් කිරීමේදී “ගුරු තරුව” වේදිකා නාට්‍යයේ මධුර මුදලාලි ලෙස ඔහු නිරූපණය කළ භූමිකාව ගැන විශේෂයෙන් සඳහන් කළ යුතු වෙනවා.
3. දමින්ද මෙන්ඩිස්
දමින්ද මෙන්ඩිස් ටෙලිනාට්‍ය නළුවකු විදිහට රංගනයෙන් දායකත්වය ලබා දුන්නේ ටෙලිනාට්‍ය කීපයකට පමණයි. එහෙත් එම චරිත නිසාම ප්රේක්ෂකයන්ගේගේ වගේම තම සමීපතමයන්ගේ ආදරය ඔහුට ලැබුණා. කොරෝනා රෝගය නිසා අකාලයේ ඔහුට සමු ගන්නට සිදු වීම ඔහුගේ වගේම ප්‍රේක්ෂකයන්ගේ ද අවාසනාවක්.
4. ලක්ෂ්මන් විජේසේකර
පිළිකා රෝගයෙන් පීඩා විඳිමින් සිටි ලක්ෂ්මන් විජේසේකර මහත්මයා මිය ගියා කියන ආරංචිය මුළු ලංකාවම සංවේගයට පත් කරන්න සමත් වුණා. ගායකයෙකු විදිහට මනරම් ගීත ගණනාවකින් රසිකයන් පිනවූ ඔහු මුල් කාලයේ ටෙලි නාට්‍ය ගණනාවක නැතුවම බැරි නළුවෙකු වුණා. ඒ අතරින් “ගංගා සහ නිශ්ශංක” ටෙලිනාට්‍යය විශේෂයෙන් සඳහන් කළ යුතු වෙනවා. ඒ වගේම ඇතැම් වාර්තා වලට අනුව “විරාගය” චිත්‍රපටයේ අරවින්දගේ භූමිකාවට මුල්වරට තෝරාගෙන තිබෙන්නේ ද ලක්ෂ්මන් විජේසේකරවයි.
5. ගාමිණී සුසිරිවර්ධන
සිරස සුපර් ස්ටාර් වේදිකාව හරහා මුළු රටේම ආදරය දිනා ගැනීමට ගාමිණී සුසිරිවර්ධන සමත් වුණා. විශේෂයෙන්ම ඔහු වේදිකාව මතදී ඉතාමත් අව්‍යාජව තමන්ගේ පවුල් පසුබිම සහ අනෙකුත් කාරණා පිළිබඳව අදහස් පළ කළා. එසේම තමන් තරගයෙන් ඉවත් වන දිනයේ දී ඉතාමත් සංවේදී සහ සෘජු කතාවක් ඔහු විසින් සිදු කරනු ලැබුවා. කෙසේ නමුත් සුපර් ස්ටාර් වැඩ සටහනින් ලබාගත් ජනප්‍රියත්වයේ තරමටම ඔහුට පසුකාලීනව නිර්මාණ සඳහා දායක වීමට ඉඩ නොලැබීම එක්තරා විදිහකට කණගාටුදායක තත්ත්වයක්.
6. සමන්තා ඈපාසිංහ
කාලයක් අපේ රටේ ජනප්‍රියත්වයේ හිණිපෙත්තේ සිටි නිළියක් වූ සමන්තා ඈපාසිංහ, ටෙලි නාට්‍ය සහ වේදිකා නාට්‍ය ගණනාවක චරිත හරහා අපේ රටේ ප්‍රේක්ෂකයන්ගේ හදවත් හොරා ගැනීමට සමත් වුණා. ඇය පෙනී සිටි වෙළඳ දැන්වීමක් නිසා ගැටළු ගණනාවකට මුහුණ දීමට ඇයට සිදුවුණා. එහි ප්‍රතිඵලය වූයේ ඇය වසර ගණනාවක් යන තෙක් ක්ෂේත්රයෙන් සමුගෙන විදේශගත වීමයි. නැවත ලංකාවට පැමිණීමෙන් අනතුරුව නිහඬ ජීවිතයක් ගත කිරීමට ඇය පෙළඹුනා.
7. විශාඛා සිරිවර්ධන
ලංකාවේ උසම නිළිය විදිහට වාර්තා තබපු විශාඛා සිරිවර්ධන චිත්‍රපට සහ ටෙලිනාට්‍ය ගණනාවක කැපී පෙනෙන චරිත නිරූපණය කළා. ඒ අතරින් “සුරදූතියෝ” චිත්‍රපටියේ ඇය නිරූපණය කළ චරිතය විශේෂයෙන් සඳහන් කළ යුතු වෙනවා. සිය රංගන ජීවිතයේ හිනිපෙත්තේ සිටියදී ඇය හදිසි අනතුරකින් ආබාධිත තත්ත්වයට පත්වූ සිය පෙම්වතාව විවාහ කර ගන්නවා. ඇයට ආදරය ඉදිරියේ වෙනත් කිසිවක් වැදගත් වුණේ නැහැ. ඇගේ සැමියාගේ වියෝවෙන් වසරක් ගතවන්නටත් පෙර තමයි ඇයගේ මරණය පිළිබඳ දුක්බර පුවතත් අපට අසන්නට ලැබෙන්නේ.
එහෙමනම් ඉතින් වෙනදා වගේම මේ ලිපිය ගැන ඔබේ අදහස් පළ කරන ගමන් ෂෙයාර් කරන්න අමතක කරන්න එපා.