කොළඹට සිට කි. මී. 37ක් උතුරින් පිහිටි මිගමුව, ගම්පහ දිස්ත්‍රික්කයට අයත් වෙරළබඩ නගරයක්. පුරාණ බෙදීම් අනුව එය අලුත්කුරු කෝරළයට අයිති වෙනවා. රෝමානු කතෝලිකයින් බහුතරයක් වෙසෙන මීගමුව නගරයේ කතෝලික දේවස්ථාන රාශියක් පිහිටා තිබෙන බව ඔබ දන්නවා. මීගමුව නගරය පුංචි රෝමය ලෙස ද ප්‍රචලිතව ඇත්තේ ඒ නිසයි. බෞද්ධාගමිකයන් වගේම හින්දු ආගමිකයන් ද මීගමුවේ ජීවත් වෙනවා. ධීවර කර්මාන්තයට ප්‍රකට මිගමුව දෙස් විදෙස් සංචාරකයන් අතර ඉතා ජනප්‍රිය සංචාරක ඉසව්වක්. මීගමුවට ගිහින් දැකබලා ගත යුතු තැන් කිහිපයක් ගැන යි අපි මෙහි ඉදිරිපත් කරන්නේ.
ඉතිහාසය සොයා බලමු
ක්‍රිස්තු පූර්ව දෙවන සියවසේ දී ලංකාවේ මාගම රාජධානිය පාලනය කළ කාවන්තිස්ස රජුගේ බිසව වූ විහාරමහා දේවියට දුටුගැමුණු කුමරු පිළිසිඳ ගැනීමේ දී සැට රියන් මී වදයක් ගෙන මහා සංඝයාට දී ඉතිරිවුණු කොටස කන්න දොළක් උපන්නා. මෙම මීය සෙවීමේ දුෂ්කර කාර්යය පැවරුණේ දස මහා යෝධයන්ගෙන් කෙනෙකු වූ වේළුසුමනට යි. රුහුණේ සිට මායා රටට පැමිණි ඔහුට වෙරළේ මසුන් මරන්නන් ගොඩට ඇද තිබූ ඔරුවක සැට රියනක් දිග මීයක් දකින්න ලැබුණා. එම මීවදය කඩාගෙන ගොස් රජ බිසවට ලබාදුන්නා. මී ගොමුව යන වහර එබැවින් ඇතිවූ බව කියැවෙනවා. තවත් කතාවක සඳහන් වන්නේ මීගස් කැලේ යන අරුතින් මී ගොමුව වූ බව යි. පුරාණ විදේශීය ලේඛකයන් සඳහන් කරන්නේ මීගමුවේ පොල් පැණි මෙන්ම පැණි හකුරු ද මීපැණි ද දකුණු ඉන්දියාවේ පවා ජනප්‍රියව පැවතුණු බව යි.
මීගමුව පුරාණයේ සිටම ප්‍රකටව පැවතියේ නැව්තොටක් ලෙස යි. අරාබි ජාතිකයන් එහි වෙළෙඳාම පිණිස පැමිණ තිබෙනවා. පසුව පෘතුගීසින් සහ ලන්දේසීන් එම නැව්තොට සංවර්ධනය කළ නිසා එය වඩාත් ප්‍රසිද්ධියට පත්වූ බව පෙනෙනවා. සල්ලි හෙවිල්ලට වැඩි උනන්දුවක් දැක්වූ ලන්දෙසි මීගමුව අවට විශාල වශයෙන් කුරුඳු වගාකර තිබෙනවා. ලන්දේසි කුරුඳු රට යවා මීගමු කුරුඳු ලොව පුරා ජනප්‍රිය කළ බව පැවසෙනවා.
ලන්දේසි බලකොටුව
නැව්තොටක් වූ මිගමුවේ මුලින්ම බලකොටවුක් ඉදිකෙරෙන්නේ පෘතුගිසින් විසින්. ඒ වර්ෂ 1600 දී යි. පෘතුගීසින්ගේ කොළඹ, යාපනය සහ ගාල්ල පිහිටි බලකොටුවලින් අනතුරුව, උපායශීලීව වැදගත් ඊළග බලකොටුව ලෙස මීගමුව සැලකුණා. මුලින්ම ඉදිකරනු ලැබූ පෘතුගීසි බලකොටුව දුර්වල ව්‍යුහයකින් යුක්ත වූ බව යි පෙනෙන්නේ. පෘතුගීසි ලේඛක ජොආඕ රිබෙයිරෝ මීගමුව ගැන සඳහන් කරන්නේ මෙලෙස යි:
යුද හමුදාවක් නවතා ඇති මීගමු බලකොටුවට හලාවත සිට ඇත්තේ ලීග දහයක් (දුර මැනීමේ ඒකකයකි) වන අතර, කොළඹ සිට ඇත්තේ ලීග හයක් පමණි. මීගමු කොටුව කපිතාන්වරයෙක් යටතේ පැවති එකකි.
(රිබෙයිරෝගේ ලංකා ඉතිහාසය, පරි. ටි. කේ. රුබේරු, පිට 8)
පෙරදිග රටවල් කෙරෙහි කෑදරකමින් සිටි තවත් ජාතියක් වූ ලන්දේසි ලංකාවේ පෘතුගීසි බලකොටුවලට පහර දෙන්නට පටන් ගත්තා. ෆිලිප් ලුකාස් විසින් අණ දුන් ලන්දේසි හමුදා විසින් 1640 පෙබරවාරියේ දී මීගමුව යටත් කර ගත්තා. කෙසේ නමුදු එම වර්ෂයේම දෙසැම්බරයේ දී බලකොටුව නැවත අල්ලා ගැනීමට පෘතුගීසින් සමත් වුණා. ලන්දේසින් ඉන් පසුබැස්සේ නැහැ. යළිත් වරක් ෆ්‍රැන්කුයිස් කැරන් යටතේ අණලද ලන්දේසී හමුදා බලකොටුව 1644 වර්ෂයේ ජනවාරියේ දී අල්ලා ගන්නවා. ලන්දේසින් විසින් බලකොටුව වටලෑමේ දී භාවිත කළ කාලතුවක්කු ප්‍රහාර හේතුවෙන් බලකොටුවෙහි මුලින් ඉදිකළ අට්ටාලයන් විනාශ වී ගියා. වර්ෂ 1672දී ලන්දේසීන් බලකොටුව යළිත් වැඩි ශක්තියකින් යුක්තව ගොඩනංවා තිබෙනවා. එහිදී සාමාන්‍ය හතරැස් ස්වරූපයෙන් බැහැරව පංචාස්‍ර හැඩයෙන් යුතුව බලකොටුව ඉදිකර තිබෙනවා. බලකොටුව පංචාස්‍ර හැඩයෙන් යුක්ත වූවත් එය ප්‍රාකාර බැමි හතරකින් පමණක් සමන්විත වූ අතර, එහි පස්වන බැම්මක් ඉදිකර තිබුණේ නැති බව පැරණි සිතියම් පරික්ෂා කිරීමේ දී පෙනෙනවා.
ඉංග්‍රීසි ජාතිකයන් මෙරට මුහුදුබඩ පළාත් වර්ෂ 1796 දී යටත්කර ගැනීමේ දී මීගමුවේ බලය ද ඉංග්‍රීසින්ට හිමි වුණා. ඉංග්‍රීසින් 1800 ද බලකොටුවේ කොටුපවුරු සහ ඒ තුළ වූ ලන්දේසි ගොඩනැගිලි කඩා බිඳ දමා එහි සිරගෙයක් ඉදිකළා. බලකොටුවේ කළුගල් ඒ සඳහා භාවිත කළ බව සඳහන් වෙනවා. මෙහි පිහිටි ඔරලෝසු කණුව වික්ටෝරියා රැජනගේ ජුබිලිය වෙනුවෙන් තනා තිබෙන සිහිවටනයක්. අදත් මීගමුව බන්ධනාගාරය පවත්වාගෙන යන්නේ කොටුවේ ගොඩනැගිලි තුළ යි.
දැනට මෙහි ලන්දේසි මතක ලෙස ඉතිරිව ඇත්තේ නැඟෙනහිර ප්‍රාකාරයේ ඇතුළුවන ද්වාරය, උතුරු සහ දකුණු අට්ටාල පිහිටි පස් ගොඩැලි ආදී ශේෂ කිහිපයක් පමණයි. මෙහි ඇතුළුවන ද්වාරයේ ඉහළ කොටස කළුගලින් නිමවා ඇති අතරම, එහි ‘වර්ෂ 1678‘ යනුවෙන් සටහන් කර තිබෙනවා.
ඕලන්ද ඇළ හෙවත් හැමිල්ටන් ඇළ
මීගමුව නගරය මැදින් ඇදී යන හැමිල්ටන් ඇළ නගරයට ආකර්ශනය ගෙනෙනා ජල මාර්ගයක්. කොළඹ සිට මීගමුව දක්වා ඇළේ දිග කි. මී. 33ක් වෙනවා. කෝට්ටේ 8 වන වීරපරාක්‍රමබාහු රජු භාණ්ඩ ප්‍රවාහනයට මෙම ඇළ මුලින්ම ඉදිකිරීම් ඇරඹු බව සඳහන් වෙනවා. පසුව ලන්දේසීන් ඇළේ ඉතිරි කොටස් කැපීම නිමකළත් කරදිය පැමිණි නිසා එහි ඉදිකිරීම් කටයුතුවලට බාධාවී තිබෙනවා. ලන්දේසින් ඔවුන්ගේ ලාභ උපයන ප්‍රධාන වෙළඳ භාණ්ඩ වන කුරුඳු වැනි භෝග පිට පළාත්වල සිට කොළඹට ප්‍රවාහනය කිරීම සඳහා ඇළ යොදාගැනීමට එය ඉදිකර තිබෙන බව සඳහන්.
ඉංග්‍රීසි යුගයේ දී මෙම ඇළේ ඉදිකිරීම් නැවතත් සිදුවුණා. 1802 දී එහි සංවර්ධන කටයුතු ඉංග්‍රිසින් ආරම්භ කළ අතර, 1804 දී අවසන් කර තිබෙනවා. එවකට ශ්‍රී ලංකා යටත් විජිත දේශීය ආදායම් සහ වාණිජ කටයුතු භාර නිලධාරියා වන ගැවින් හැමිල්ටන් ගේ අධීක්ෂණය යටතේ මෙම ඇළ ප්‍රතිසංස්කරණය කළ නිසා ඕලන්ද ඇළ පසුව හැමිල්ටන් ඇළ ලෙස ප්‍රසිද්ධ වුණා. මීගමුවේ ධීවරයන්ට දැනටත් ඉතා ප්‍රයෝජනවත් මේ ඇළ මාර්ගය සංචාරකයන් ද ප්‍රිය කරන ස්ථානයක්. ධීවර බෝට්ටු නැවැත්වීමටත් ඇළ යොදාගෙන තිබෙනවා. පසුගිය සියවසේ මැදභාගය ද දක්වාම මෙම ඇළ ඔස්සේ කොළඹ සිට පාරු මඟින් භාණ්ඩ ප්‍රවාහනය කර තිබෙනවා. අද වන විට මීගමු පුරවරයේ තිබිය යුතු අලංකාරම ස්ථානයක් වන හැමිල්ටන් ඇළ අපවිත්‍රම ස්ථානයක් බවට පත්වී තිබීම කනගාටුදායක යි.
ශාන්ත මරියා පල්ලිය
මීගමුව මහ වීදියේ පිහිටා තිබෙන මෙම දේවස්ථානය ශ්‍රි ලංකාවේ ලොකුම ආසන දෙව්මැදුරක් ලෙස සැලකෙනවා. එය මහවිදිය පල්ලිය නමින් ප්‍රකටයි. වර්ෂ 1874 දී මෙහි ඉදිකිරීම් ආරම්භ වුණා. එය නිමවූයේ 1922 දී යි. ප්‍රංශ ජාතික විස්ත්‍රීන් පියනමගේ විශාල උත්සාහය මේ පල්ලියේ කතාව තුළ සැඟව තිබෙනවා. එය මීගමුවට ආභරණයක් ලෙසයි, කතෝලික බැතිමතුන් සලකන්නේ.
නව සම්භාව්‍ය යුරෝපීය ගොතික් සහ බැරෝඔක් ශෛලීන් මෙය ඉදිකිරීමේ දී යොදාගෛන තිබෙනවා. උස් වහලක් සහ ආරුක්කු සහිතවයි එය තනා තිබෙන්නේ. එහි කිරිගරුඩ ප්‍රතිමා, සිවිලිමේ චිත්‍ර, බිත්තිවල අලංකරණ අපූර්වත්වයක් ගෙනෙනවා. සිවිලිම යේයුස් වහන්සේගේ ජීවිතයේ සිද්ධිවලින් අලංකාර කර තිබෙනවා. බිත්තිවල ඉහළින් දැකගත හැක්කේ ශාන්තුවරයන්ගේ ප්‍රතිමා. වර්ණ වීදුරු අලංකාර රටාවලින් යුක්ත යි. මෙහි සිත්තම් ඇඳ තිබෙන්නේ එවකට විශිෂ්ට සිත්තරෙක් වූ එන්. එස්. ගොඩමාන්න විසින්.
ශාන්ත ස්ටෙෆාන් දේවස්ථානය
මීගමුව උසාවිය පාරේ පිහිටා තිබෙන මෙම පල්ලිය 2011 දී පුරාවිද්‍යා ස්මාරකයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබෙනවා. ඇංග්ලිකන් ක්‍රිස්තියානි දහම අදහන බැතිමතුන්ට පල්ලියක් නැතිවීමේ අඩුව සපුරාලීමට මෙය ඉදිකිරීමේ අදහස මතුව ඇත්තේ වේල්ස් ජාතිකයන් කිහිපදෙනෙකුට යි. ඔවුන් එවකට පැවති බ්‍රිතාන්‍ය ආණ්ඩුවෙන් කළ ඉල්ලීමකට අනුව සුදුසු ඉඩමක් ලබාගෙන පල්ලිය ගොඩනැගීමට ප්‍රදානයක් ද ආණ්ඩුවෙන් ලබා දී තිබෙනවා. වර්ෂ 1877 දී එහි ඉදිකිරීම් ආරම්භ වූයේ රූඩ් 2 පර්චස් 17ක ඉඩමක බව සඳහන් වෙනවා. 1880 දී පල්ලිය ආගමික කටයුතු සඳහා විවෘත වී තිබෙනවා.
ශාන්ත සෙබස්තියන් පල්ලිය
මීගමුව ආරක්ෂා කරන බවට සැලකෙන ශාන්ත සෙබස්තියන් මුනිඳුන් වෙනුවෙන් කැපවූ මේ පල්ලිය ප්‍රකට වී තිබෙන්නේ වැල්ලෙවීදියේ පල්ලිය යනුවෙන්. ප්‍රංශයේ රේමිඩ් ආසන දෙව්මැඳුරට සමාන ආකෘතියකට අනුව එය ද ඉදිවී තිබෙනවා. මිගමුව ශාන්ත සෙබස්තියන් වීදියේ පිහිටි මෙම දේවස්ථානයට මුල්ගල තැබුවේ කොළඹ අගරදගුරු පියනම වශයෙන් සිටි පියරේ ගුගාමේ මාක් විසින් 1936 පෙබරවාරි 2 දා යි. එය සැලසුම් කළේ ජි. ගැනන් පියනම විසින්. පල්ලිය තනා නිමකිරීමට අවුරුදු 10ක් ගතවූ බව සඳහන්. මෙය මීගමුවේ පිහිටි අලංකාර පල්ලියක් ලෙස සැකකෙනවා. සෑම වර්ෂයකම ජනවාරි මාසයේ පැවැත්වෙන පල්ලියේ මංගල්‍යයට විශාල බැතිමතුන් පිරිසක් පැමිණෙනවා.
ශාන්ත පීතර දේවස්ථානය
මීගමුව නගරය මැද පිහිටි පැරණි පල්ලියක් වන ශාන්ත පීතර දේවස්ථානය මුලින්ම ඉදිකරනු ලැබුවේ 1864 දී යි. මීගමුව දූවේ පදිංචිව සිටි මිහිඳුකුලසූර්යවරුන් මීගමුව නගරය මැදට පැමිණ පදිංචි වූ පසු ඔවුන්ට ආගමික කටයුතු කිරීමට මෙම පල්ලිය ඉදිකළ බව සඳහන් වෙනවා. පසුකාලීන ප්‍රතිසංස්කරණ නිසා මෙහි පෞරාණික අගයක් නම් දැකගැනීම අපහසු යි.
අඟුරුකාරමුල්ල පන්සල
මීගමුවේ පිහිටි අඟුරුකාරමුල්ල බෝධිරාජාරාම විහාරය පුරාවිද්‍යා ස්මාරකයක් නොවුණත් අවුරුදු 100කට වැඩි ඉතිහාසයක් සහිත යි. පොල්කටු අඟුරු තැනූ මිනිසුන් පදිංචිව සිටි නිසා මේ ප්‍රදේශය අඟුරුකාරමුල්ල නමින් හැඳින්වුණා.
මෙම ස්ථානයේ පන්සලක් තැනීමට මුලින්ම ඉඩමක් පරිත්‍යාග කර තිබෙන්නේ 1868 දී යි. පූජා ඔප්පුවකින් කිරිමැටියානේ රේවත හාමුදුරුවන්ට ඉඩමක් පූජා කර තිබෙනවා. එය ප්‍රමාණවත් නොවූ නිසා වර්තමාන විහාරය පිහිටි ඉඩම සයිමොන් ද සිල්වා මුදලි විසින් පූජා කර තිබෙනවා. මෙම විහාරය බෞද්ධයන් අතර වගේම විදේශිකයන් අතරත් ප්‍රකටව ඇත්තේ එහි පිහිටි විශාල චිත්‍ර හා මූර්ති නිසයි. ප්‍රතිමා මන්දිරය දිගින් අඩි 103ක් ද පළලින් අඩි 38ක් ද වෙනවා. එහි සෑම අස්සක් මුල්ලක්ම අලංකාර චිත්‍ර හා මූර්තිවලින් සරසා තිබෙනවා. මේවා නිර්මාණය කර ඇත්තේ පසුගිය සියවසේ මුල්භාගයේ ජයෝරිස් ගුරුන්නාන්සේ විසින්. බ්‍රිතාන්‍ය යුගයේ මුලින්ම ඉදිවූ මෙම පන්සල පසුව නවීකරණයට ලක්වි තිබෙකවා. ධාතු මන්දිරය සහිත තෙමහල් පුස්තකාලයක් ද තෙමහල් වටදාගෙය සහිත දාගැබක් ද පන්සලේ අංග අතර දැකගත හැකියි. පන්සල ඉදිරිපිට විශාල හිටි බුද්ධ ප්‍රතිමාවක් ද මෑත අතීතයේ දී නිර්මාණය කර තිබෙනවා.
අනගාරික වලිසිංහ හරිස්චන්ද්‍රතුමා උපන් නිවස
මීගමුව සිට දිවුලපිටිය පාරේ කි. මි. 2ක් දුරින් පිහිටා තිබෙන පැරණි නිවසක්. වර්ෂ 200ක් පැරණි ගොඩනැගිල්ලක් වන එය තනා ඇත්තේ ඕලන්ද සැලසුමකට අනුව යි. බෞද්ධාගමට විශාල සේවයක් කළ වලිසිංහ හරිස්චන්ද්‍රතුමා මෙහි උපන්නේ 1876 ජූලි 6 දා යි. ඔහු භාවිත කළ ගෘහ භාණ්ඩ, දිනපොත් සහ තවත් කෞතුක භාණ්ඩ රාශියක් මෙහි තැන්පත් කර තිබෙනවා. 1996 දෙසැම්බර් 13 දා මෙහි කෞතුකාගාරයක් ආරම්භ කළ අතර පසුව මෙම ගොඩනැගිල්ල සංස්කෘතික දෙපාර්තමේන්තුවට භාර දී තිබෙනවා. දැනට එහි සංස්කෘතික මධ්‍යස්ථානයක් පවත්වාගෙන යනවා.