අපිට අගයක් නැති කොස් ගැන විස්තරේ.... 🍈
වත්තේ කොස් ගස් වෙත බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වන්නේ ඒවා කපන්නට වුවමණා වූ විට වන්නට පුළුවන. එතෙක් ඒ ගස්වල හැදෙන කොස් පල ගස යටම වැටී කුණු වී ගියාට සැකයක් නැත. කොස් ගසට කෙරෙන මේ අවර ගණයේ සැලකිල්ල ආසියාවේ බොහෝ රටවල දැකිය හැකිය. කොස් පල ලෝක සාගින්දර නිවීමට හොඳ විසඳුමක් බැව් කියා මෙකල ජීවත්වන ආසියාතිකයන්ට නොපෙනීම සහ නොසිතීම පුදුමයක් නොවේ.
ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන අන්දමට ලෝක ජනගහනයෙන් 11%කට අධික පිරිසක් ආහාර හිඟකමෙන් පීඩා විඳිති. සංඛ්‍යාත්මකව දැක්වුවහොත් ඒ පිරිසට මිලියන 805ක ජනගහනයක් අයත්ය. ඉන් සෑහෙන පිරිසකගේ කුසගින්න නිවන්නට කොස් පල යොදාගත හැකි බව බ්‍රිතාන්‍යයයේ පර්යේෂකයෝ පිරිසක් පවසති. ඔවුන් කොස් පල හඳුන්වන්නේ “ආශ්චර්යයේ බෝගය”ලෙසය. ගෝලීය කාලගුණ විපර්යාසවල බලපෑම් නිසා ඉරිඟු සහ තිරිඟුවල අස්වනු අඩුවීමක් සිදුවන බව කෘෂි විද්‍යාඥයෝ පවසති. ඒ අස්වනු අඩුවේ හිලව්වට කොස් යොදාගත හැකි බව පර්යේෂකයන්ගේ අදහසයි. කොස්, ඌරු මස්වලට විකල්පයක්ය යන්න ඔවුන් පෙන්වා දෙන තවත් වැදගත් කාරණයකි.
විටමින් සී සහිත මංසල මදුලු මෙන්ම කොස් බීජ හෙවත් කොස් ඇටත් ඉතා පෝෂ්‍යදායී බව පර්යේෂණවලින් තහවුරු වී තිබේ. කොස් පලයක බීජ සිය ගණනක් ඇත. ඒ බීජ කැල්සියම්, ප්‍රෝටීන්, යකඩ සහ පොටෑසියම් යන පෝෂක කොටස්වලින් පරිපූර්ණය. කොස් ආහාරයට ගැනීමෙන් අපේ ශරීරයට වැඩිපුරම ලැබෙන්නේ ජලයයි. ඒ හැරුණු විට එහි සීනි, තන්තු, කාබෝහයිඩ්‍රේට්, විටමින් ඒ විශාල ප්‍රමාණයකුත් එහි ඇත. කොස් ග්‍රෑම් සියයක කිලෝ කැලරි 95ක ශක්තියක් ගැබ්ව ඇති බව සඳහන් වේ.
කොස්වල ඇති පෝෂණ ගුණය දන්නා දන්නා බටහිර රටවල වැසියෝ සිය ආහාර වේලට කොස් එකතු කර ගනිති. මේ නිසා කොස්වලට බටහිර රටවල තිබෙන්නේ ඉහළ ඉල්ලුමකි. එහි කොස් අලෙවි වන්නේද සුපිරි මිලකටය. “ජැක්ෆෘට් මික්සස්”යනුවෙන් නම් කර ඇති කොස් ඇසුරුම් බ්‍රිතාන්‍යයේ අලෙවි කෙරේ. “ජැක්ෆෘට් මික්සස්”අසුරුමක් ග්‍රෑම් 300ක් බරැතිය. අසුරුමක මිල ඇමෙරිකානු ඩොලර් 6.90ක් පමණ වන බව සඳහන් වේ. පෙරදිග රටවල සිට බ්‍රිතාන්‍යයට කොස් අපනයනය කිරීමත් මේ නිසා ඉහළ ගොස් ඇත. නැව් මඟින් බ්‍රිතාන්‍යයට කොස් අපනයන කෙරෙන්නේ ගැටලු රාශියක් මධ්‍යයයේ බව සඳහන් වේ. ප්‍රවාහනයට ඉහළ වියදමක් දරන්නට සිදුවීම එහිදී මතුවන එක් ගැටලුවකි. නැව් තුළ ගබඩා කර ප්‍රවාහනය කෙරෙන විට කොස්වලින් සෑහෙන ප්‍රමාණයක් නරක් වේ. එය මඟ හරවා ගන්නට විසඳුමක් නැත. මෙවැනි බාධක මධ්‍යයේ බ්‍රිතාන්‍යයට ගෙන්වා ගන්නා කොස්වලින් එක් රාත්තලක් අලෙවි වන්නේ ඩොලර් 6ක පමණ තොග මිලකට බව සඳහන් වේ. කොස් යොදාගෙන රසවත් ආහාර සැකසීම බ්‍රිතාන්‍යය ජාතික ව්‍යාපාරිකයකු සහ ව්‍යාපාරිකාවක ආරම්භ කර ඇති බව ඩේලි මේල් පුවත්පත වාර්තා කරයි. දෙදෙනා බර්මින්ග්හැම්හි වෙසෙන ජෝර්දාන් ග්‍රේසන් සහ අබි රොබර්ට්සන්ය. මස් මෙන් පිස සකස් කරගත් කොස් ව්‍යංජන, පාන් පෙති අතරට මස් පිරවුමක් මෙන් යොදාගත හැකි කොස් මිශ්‍රණ මෙන්ම කොස් සහිත අතුරුපස ද පාරිභෝගිකයන්ට හඳුන්වාදීමට ඔවුහු සැරසෙති. මස් පලහා ගන්නාක් (බාබකිව්) මෙන් කොස් ද පලහා සකස් කරගත හැකි මේ දෙපොළ පෙන්වා දෙති. කොස් මදුළු භාවිතයට ගනිමින් අයිස් ක්‍රීම්, ජෑම්, ජෙලි, චට්නි, පළතුරු සලාද, රසකැවිලි මෙන්ම සුප් ද සකසාගත හැකි බව ඔවුන්ගේ අදහසයි. කොස්වලින් එවැනි ආහාර සහ පාන වර්ග ඔවුන් දැනටමත් සකස් කර ඇත. කොස් බීජ හෙවත් කොස් ඇට පමණක් භාවිතයට ගෙන සැකසෙන රසවත් කෑම වර්ගත් ඇත. කොස් යොදාගෙන සැකසෙන නව කෑම වට්ටෝරු අත්හදා බලා ඒවා හඳුන්වාදීම ඔවුන්ගේ තවත් අරමුණකි. මේ ව්‍යාපාරිකයන් දෙදෙනා තමන්ට අවශ්‍යය කොස් තොග ඉන්දියාවෙන් මේ වන විට අපනයනය කරවා ගන්නා බව සඳහන් වේ.
“...කොස්වලින් සකසන කෑම ගැන ඇහුවම සමහරු කලබල වෙනවා. නමුත් ඒ ආහාර වර්ග වරක් රසවින්ඳ කෙනෙකු නැවත නැවත ඒවා ආහාරයට ගන්නවා. කොස් සහිත ආහාර මස්වලට වඩා හොඳයි. ...” කියා අබී රොබර්ට්සන් පවසන්නීය.
අපනයන කෙරෙන කොස් බ්‍රිතාන්‍යයේදී ඉහළ අගයකට මිල කෙරුණ ද ආසියාවේ බොහෝ රටවලදී කොස් නිකරුණේ නරක් වී යනු දක්නට පුළුවන. එවැන්නක් සිදුවන්නේ කොස්, දුප්පතාගේ ආහාරයක් ලෙස හංවඩු ගසා ඇති බැවිනි. එම තත්ත්වය ඉන්දියාවේ වෙසෙසින්ම දක්නට ලැබේ. ඉදී ගස්වලින් බිමට වැටෙන කොස් ගෙඩි ගස් යටම නරක වී විනාශ වී යෑම එහි සුලබ දසුනකි. ආසියාවේ කොස් අස්වැන්නෙන් 75%කට ආසන්න ප්‍රමාණයක් එනිසා අපතේ යන බව සනාථව ඇත. මේ තත්ත්වය වෙනස් කරන්නට ඉන්දියාවේ රාජ්‍ය නොවන සංවිධාන රාශියක් දැන් ක්‍රියාකරමින් සිටී. මේ සංවිධාන ගොවීන්ට මිල ගෙවීමක් කර කොස් මිලදී ගැනීමේ වැඩ පිළිවෙලක් සකස් කර ඇත. අස්වනු කාලයට ගම්වලට පැමිණෙන සංවිධාන නියෝජිතයන් මිලට ගන්නේ කොස් ගෙඩි නොව කොස් ගෙඩි සහිත ගස්ය. ඔව්හු ගසේ ඇති පලදාව බලා ගොවීන් සමඟ සාකච්ඡා කොස් ගසට ගණනක් නියම කර ගනිති.
කොස් ශාකයේත් කොස් පලවලත් ඇති වැදගත්කම බටහිර විද්වතුන් පෙන්වා දුන්නද කොස් ගස “බත් ගස”ලෙස හැඳින් වූ ශ්‍රේෂ්ඨ ලංකා පුත්‍රයෙක් මෙයට සියවසකට පළමුව මෙහි ජීවත් වූයේය. ඔහු ආතර් වී දියෙස් හෙවත් “කොස් මාමා”ය. කොස් ආහාරයට ගැනීමේ වැදගත්කම ඔහු පෙන්වා දුන්නේ 1918 ජුනි 11වැනිදා ආරම්භ කළ වැඩසටහනකිනි. එය වඩාත් තීව්‍ර වූයේ එයට ආසන්න කාලයකදී ඇරඹි කොළඹ ආනන්ද විද්‍යාලයේ “ආනන්ද කොඩි සතිය”හේතුවෙනි. කොඩි සතියේදී ශත 10ක් දී කොඩියක් ගත් කෙනෙකුට ආතර් වී දියෙස් අතින් කොස් ඇටයක් පිරිනැමිණ. මේ ක්‍රියාව නිසා ඔහුට කොස් මාමා යන ආදරණීය නමත් පටබැඳුණේය. කොස් ගසේ වටිනාකම එතරම් අතීතයේ සිට හඳුනාගෙන සිටිය ද අපි ජාතික වෘක්ෂය ලෙස නා ගස තෝරා ගතිමු. කොස් ගසේ නිජබිම ඉන්දියාව වුවත් බංගලිදේශයේ ජාතික වෘක්ෂය කොස් ගසය. ටින් කළ කොස් මදුළු සහ කොස් ඇට බටහිරෙන් එන තුරු බලා සිටීම එහෙව් අපට ලජ්ජාවට කාරණයක්වත් නොවේ.