රාජකීය ඔසුවක් වන තැඹිලි වතුර 🥥🧋
ශ්‍රී ලාංකිකයන් වන අපට තැඹිලි වතුර නව අද්දැකීමක් නොවුනත් බටහිර රටවලට තරමක් නැවුම් අද්දැකීමක් වෙනවා. මෙම ලිපියෙන් අවධානය යොමු කරනුයේ තැඹිලිවල ගුණ හා අගුණ පිරිස් සම්බන්ධවයි. තැඹිලි මාස කිහිපයක් පුරා ජෛව පිරිසිදු වීමේ ක්‍රියාවලියකට භාජනය වෙලා තමයි තැඹිලි අපට පාරිසරික වශයෙන් ලැබෙන්නෙ. තැඹිලි ජීවාණුහරිතය. තැඹිලි වල ස්වාභාවික සීනි අඩංගුය. ඇතැම්විට ආයුර්වේදය තුල තැඹිලි දියවැඩියා රෝගීන්ට ගැටලුවක් නොවන බව පැවසූවද පාලිත තත්වයක් මත ලබා දීම සිදු කල යුතුය. තැඹිලි මදය තන්තුවලින් බහුලව තිබීම හේතුවෙන් මලබද්දය ඇති අයටද යෝග්‍ය වේ.
ඛනිජ ලවණ අධික ලෙස තැඹිලි වතුරෙහි පැවතීම නිසා හදවතටද ගුණදායක වේ. පොටෑසියම් (K), සෝඩියම් ක්ලෝරයිඩ් (NaCl), මැග්නීසියම් (Mg) බහුල ලෙස එහි අඩංගු වී ඇත. තවද මැංගනීස් (Mn), අයඩීන් (I), සල්ෆර් (S), සින්ක් (Zn), කැල්සියම් (Ca), පොස්පරස් (P), විටමින් C, විටමින් B, ඇමයිනෝ අම්ල හා කාබනික අම්ල පැවතීම නිසා හදවතෙ ක්‍රියාකාරීත්වය සදහා ද හදවතට ගුණදායක High Density Lipoproteins (HDL) පැවතීම නිසා එහි නිරෝගී පැවැත්මට මහෝපකාරී වේ. ධමනිවල තැන්පත්ව ඇති කොලෙස්ටරෝල් ඉවත් කිරීමට හා ධමනි පිරිසිදු කිරීමක්ද සිදුවේ. එමනිසා අධිරුධිර පීඩනය සමනයටද දායක වේ.
ඖෂධවල විෂ නැතිකිරීමට හා රුධිරය පිරිසිදු කිරීමට උපකාරී වේ. කැඩ්මියම් (Cd), ආසනික් (As) හා පළිබෝධනාශක වල විෂ නැති කිරීමටද වැදගත් කාර්යයක් ඉටු කරයි. පිළිකා ඇතිකිරීමට සමත් නිදහස් මුක්තඛණ්ඩක විනාශ කිරීමට හැකියාවක් තැඹිලි වතුර සතුවේ. තැඹිලි වතුරේ සින්ක් (Zn), සෙලනියම් (Se) පැවතීම නිසා ලිංගික මදසරුභාවය නැති කිරීමටද උපකාරී වේ. තවද ඝන ආහාර ලබාගත නොහැකි දුර්වල වූ රෝගීන් සදහා දිව්‍යමය පානයක් වේ. විජලනය වූ අයට හා වෙහෙස වූ අයට ද ශරීරයේ සිසිල් බව රදවාගැනීමට හා ශරීරයේ නැවුම්බව රදවා ගැනීමටද මහත් සේ උපකාරී වේ.
සන්ධි රෝගවලට, මුත්‍රා මාර්ගයේ අපහසුතාවලට, මුත්‍රාශයේ රෝගවලට, මුත්‍රා පිටකිරීමේ අපහසුතාවලට, බඩේ අජීර්ණවලට හා බඩ පිපුමට, මන්දපෝෂණයට, පණු රෝගවලට, පිත්තාශයේ රෝගවලට හා ගර්භණී මව්වරුන්ටද ඉතා සුදුසුවේ. තවද තැඹිලි වතුරවල බැක්ටීරියානාශක ගුණයක්ද පවතී. වමනය වැළැක්වීමට, මාංශ පේෂීවල වර්ධනයටද වක්‍රව බලපෑම් ඇති කරයි.
ශරීරයේ ප්‍රතිශක්තිකරණය ඉහල නැංවීමට හා සේලයින් වෙනුවට භාවිතා කළහැකි ඉතා ගුණදායක පානයකි. මව්කිරිවල ඇති ලෝරික් අම්ලය තැඹිලි වතුරවලද පැවතීම නිසා ළදරු කිරිපිටිවලට වඩා වැඩි ගුණයක් එහි පවතී. ආහාර දිරවීම පහසු කරවීමට හා වකුගඩු, අක්මාවල ක්‍රියාකාරීත්වයට හා එහි පැවැත්මට සුභදායී අයුරින් බලපෑම් ඇති කරයි. එබැවින් තැඹිලි වතුර දිව්‍යමය පානයක් ලෙස සැලකිය හැකියි.